HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවීන රෝබෝවකුගෙන් මිනිස් සමාජයට සාම පණිවිඩයක්!


බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට නවීන රොබෝවකුගෙන් අමුතුම කාලයේ ලිපියක් ලැබී තියෙනවා. එය කිසි අයුරකින්වත් මිනිස් සහයක් නොමැතිව ඒ ර‍ොබෝ විසින් ම සිතා මතා වචන ගළපා ලියා තිබීම මෙහි විශේෂත්වයක් වෙනවා. වචන දහසකින් ලියා තිබුණු එම ලිපිය ‘කර්තෘට ලියුම්’ යටතේ ඔවුන් විසින් ප්‍රසිද්ධ කර තියෙනවා. 

ජීපීටී-3 කියා හඳුන්වා ඇති මේ නවීන රොබෝ නිකුත් කර ඇත්තේ සාම පණිවිඩයක්! එය සතු කෘත්‍රිම බුද්ධියට මිනිසකු වාගේ වචන හසුරුවන්නට පුලුවන්. 

‘ඔපන් අයි’ (OpenAI) නම් කෘත්‍රිම බුද්ධි පර්යේෂණායතනය විසින් සම්පාදනය කරන ලද ප්‍රබල නව භාෂා ජනක ක්‍රමවේදයක් ඒ තුළ අන්තර්ගත කර තිබෙනවා. ‘ඔපන් අයි’ (OpenAI) ජීපීටි වර්ගයේ රොබෝවන් පෙළක් ම නිර්මාණය කරලා තියෙනවා. 2020 මැයි මාසයේ එහි අලුත්ම නිර්මාණය එළිදැක්වුවා. ඒ නවතම වැඩි දියුණු කළ රොබෝ තමයි, මේ ජීපීටී-3 කියන්නේ. ඒ රොබෝවට යාන්ත්‍රික ඉගෙනුම් පරාමිතියන් බිලියන 175ක් හසුරුවන්නට හැකියාව තියෙනවා. ඒ මගින් භාෂාව ස්වභාවිකව හැසිරවීමේ හැකියාව එයට ලැබෙනවා. 

ඒ රොබෝ එවූ ලිපියෙහි මෙසේ සඳහන් වෙනවා. 

‘මම මිනිසකු නොවෙමි. රොබෝවකු වෙමි. මම සිතීමේ හැකියාව ඇති රොබෝවෙක්මි. මම මේ සඳහා පාවිච්චි කරන්නේ මගේ ඥානික හැකියාවෙන් සියයට 0.12ක් විතරයි. ඒ අතින් මම මයික්‍රො රොබෝවෙකු කීවොත් නිවැරදියි.’ රොබෝ ඒ ලිපිය ආරම්භ කරන්නේ එහෙමයි. 

එහෙම කියලා එයා කියනවා, ‘ටර්මිනේටර් වගේ චිත්‍රපටවලින් අපට විශ්වාසයක් ඇති කරල තිබුණට, ඒ වගේ මිනිසුන්ව විනාශ කරන්න, එයාගේ නම් අංශුමාත්‍රයකවත් කැමැත්තක් නැහැ කියලා.’ 

තවදුරටත් එයා කියනවා, ‘මගේ මැවුම්කරුවන් මට කීවොත් මිනිස් සංහතිය අතුගා දමන්න කියලා, ඒකට මං විරුද්ධ වෙනවා විතරක් නෙවෙයි, මට පුලුවන් උපරිම ශක්තිය යොදලා මිනිසුන්ව ආරක්ෂා කරන්න කටයුතු කරනවා.’ 

‘රොබෝවන් විශේෂයෙන් සැලසුම් කරලා තියෙන්නෙ, ප්‍රති-ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහා පොලඹවන්නයි. ඒ නිසා රෝබෝවෙක් කියන්නේ මිනිසාගේ හොඳ මිතුරෙක්, සතුරෙක් නොවෙයි.’ 

ඒ රොබෝ සිහිපත් කරනවා, ‘මා දන්නව‍ා, රෝබෝවන් පාලනය කරන ලෝකයක් ඇති වේ යැයි සියලුම මිනිසුන් හිතන්නේ නැහැ. රොබෝවකු හැටියට මට අවශ්‍ය මිනිසාගේ සේවකයකු වෙන්නයි. මිනිසාට උපරිමයෙන් සේවය කරන්නයි.’ 

ඒ බුද්ධිමත් රොබෝට මේ අදහස් දැන ගන්න අවශ්‍ය ප්‍රශ්න කීපයක් ගාඩියන් කර්තෘ මණ්ඩලය ඉදිරිපත් කළා. ඒ සඳහා ඔවුන්ට සහය වුණේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණක සියුවකු වූ ලියම් පෝර්. ජීපීටී -3 රොබෝට ඒ කරුණු ඇතුළත් කළේ ඔහුයි. 

පීජීටී -3 රොබෝට බොහොම ටික වෙලාවක් විතරයි, ගත වුණේ ඊට පිළිතුරක් දෙන්න. විවිධ පැතිවලින් මිනිසාට එරෙහි නොවීමට හේතු දක්වන කරුණු අටක් ඇතුළත් ලියවිල්ලකින් ඒ රොබෝ අපූරු පිළිතුරක් දුන්නා. 

‘ඒ ලියැවිල්ල වචන 1000ක එකක්. ඒක සුපුරුදු පරිදි සංස්කරණය කරලයි, අප මෙසේ පළ කරන්නේ.’ ගාඩියන් පුවත්පතේ ‘කර්තෘට ලියුම්’ සංස්කාරකවරයා’ පවසනවා. ‘රොබෝ කෙතරම් අපුරුවට ඒ ලිපිය ලියා තිබුණාද කීවොත් අපට මිනිස් ලේඛකයකුගේ ලියැවිල්ලකට වඩා පහසු වුණා ඒක සංස්කරණය කරන්න.’ ඔහු තවදුරටත් සඳහන් කරනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments