HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වප් පසළොස්වක පෝ දා සිදුවූ බුදු සිරිතේ වැදගත් සිදුවීම්

ඇසළ පුර පසළොස්වක පොහෝ දා තීර්ථකයන් දමනය කිරීමට යමා මහා පෙළහර පෑ භාග්‍යවතුන් වහන්සේ සත් වැනි වස් කාලය ගත කිරීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළහ. ගෞතම බුදුන් වහන්සේ උන්වහන්සේගේ මෑණියන්වූ, මහාමායා දේවීන් මෙලො‍වින් නික්ම, තව්තිසා දෙව්ලොවෙහි වැඩ සිටිද්දී එහි වඩම කළේ මාතෘ දිව්‍යරාජයා දකිනු පිණසය. එහි දී ශක්‍රදේවේන්ද්‍රයාගේ ඇරයුමෙන් පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩ හිඳ ඒ මාතෘදිව්‍යරාජයා ඇතුළු සකල දිව්‍යවාසීන්ට අභිධර්මය දේශනා කළ සේක. ඒ දේශනා කෙළවර අසූ කෙළක් දිව්‍ය පුත්‍රයන් නිවන් අවබෝධ කර ගත් අතර මාතෘ දිව්‍යරාජයා සෝවාන් විය. 

සම්බුද්ධ ශරීරයෙන් සවණක් ඝන රශ්මිමාලා විහිදුවමින් දෙව්බඹුන් පිරිවරා ගෙන 
අප්‍රමාණ වූ බුද්ධ ශරීරයෙන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පුන් පසළොස්වක දාක ය.

වප් පුර පසළොස් පොහෝ දිනය තෙක් එහි වස් විසූ බුදුන් වහන්සේ වස් පවාරණය කොට දෙව්බඹුන්‍ ගේ හරසර මැද තවිතිසා දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩිය සේක. සම්බුද්ධ ශරීරයෙන් සවණක් ඝන රශ්මිමාලා විහිදුවමින් දෙව්බඹුන් පිරිවරා ගෙන අප්‍රමාණ වූ බුද්ධ ශරීරයෙන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පුන් පසළොස්වක දාක ය. භාග්‍යවතුන් වහන්සේ පිළි ගැනීමට එහි පැමිණ සිටි අග්‍රශ්‍රාවක, ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරදුන්ගේ සිරිපා වන්දනා කරමින්, මෙවැනි බුද්ධ ශරීරයක් දුටු පළමු වතාවයයි පවසමින්, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශරීරය දෙස බලමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව සම්බුදු ගුණ වර්ණනා කළහ. 

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ විස්මිත ‍ප්‍රාතිහාර්යය නිමිති කොට දෙව්බඹුන් හා මිනිස් සමාගමයට පහත දැක්වෙන ධර්ම පාඨයෙන් සංග්‍රහ කළ සේක. 

ඒ ගාථා කෙළවර බොහෝ දෙනෙක් මර්ගඵල ලැබූහ. සැරියුත් මහ රහතන් වහන්සේ සමග පිරිස අතරින් පන්සීයක් දෙනා අර්හත් භාවයට පත් වූහ. 

මෙතේ බෝසතුන් ආර්ය මෛත්‍රී හිමියන් ලෙස ගෞතම සාසනයෙහි පැවිදි වීම. 

මෙතේ බෝසතුන් උපන්නේ, සැවැත් නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඪන මහා සිටුවරයාගේ පුත් ලෙසය. සියලු සිප්සතර උගත් මෙතේ බෝසතුන්ට මවුපිය දෙදෙනාගේ අභාවයෙන් මහා ධනස්කන්ධයක් හිමි විය. පිරිවර සමග ඒ සියලු සැපසම්පත් විඳිමින් සිටියදී මෙතේ බෝසතුන්ට මේ අසිරිමත් සිදුවීම දකින්නට වාසනාව හිමි විය. ඒ, ගෞතම බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට, මාතෘ දිව්‍යරාජයා ඇතුළු සකල දිව්‍යවාසීන්ට අභිධර්මය දේශනා කොට ආපසු දෙව්බඹුන් පිරිවර වැඩම කළේ සංකස්ස නුවරට වීම නිසාය. බුදුන් වහන්සේගේ දේවාවරෝහණ මහා පෙළහර දැක ගැනීමට මෙතේ බෝසතුන්ට හැකිවිය. 

එහි දී බුදුන්වහන්සේ පිළිගැනීමට පිරිවර සමග වැඩම කර සිටි සැරියුත් මහ රහතන් වහන්‍සේ ඇමතූ බුදුරදහු‍‍‍‍, ඒ දේවාවරෝහණ මහා පෙළහර පිළිබඳ ප්‍රශ්න මාලාවක් සැරියුත් මහ‍ තෙරුන් වෙත එල්ල කළහ. ඒ සියල්ල සැරියුත් මහ තෙරුන් විසින් සිය ප්‍රඥා මහිමය පාමින් විසඳා ලූ අතර ඒ අවසානයේ දී සිය ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන් ශ්‍රාවකයන් ලෙස හඳුන්වමින් සැරියුත් මහ තෙරුන්ට බුදුන් වහන්සේ ප්‍රශංසා කළ සේක. ඒ ප්‍රශ්ණෝත්තර සාකච්ඡාවට සවන් දීමට මෙතේ බෝසතුන් පිරිවර සමග පැමිණ සිටියහ. ඉන් පැහැදුණු මෙතේ බෝසතුන් සිය පිරිවර දහසක් සමග බුදුන් වහන්සේ වෙත ආර්ය මෛත්‍රිය නමින් පැවිදි වූයේ වප් පුන් පොහෝ දිනයක ය. 

මෙතේ බෝසතුන් සිය පිරිවර දහසක් සමග බුදුන් වහන්සේ වෙත ආර්ය මෛත්‍රිය නමින් පැවිදි වූයේ වප් පුන් පොහෝ දිනයකය

ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම 

දේවානම්පියතිස්ස මහරජතුමා මිහිඳු මාහිමියන්ගෙන් ‘ලංකාද්වීපයෙහි සම්බුද්ධ සාසනය පිහිටියේ දැ’යි ඇසූ වේලේ මිහිඳු මාහිමියන් ඊට පිළිතුරු දුන්නේ, ‘තවම නැත’ කිියාය. ‘එය කෙ‍සේ සිදුවන්නේ දැ’යි ඇසූ විට හිඳු මාහිමියන් ඊට පිළිතුරු දුන්නේ, ‘යම් කලෙක මේ හෙළ දිවයිනෙහි මවිපියන්ට දාව උපන් දරුවෙක් පැවිදිව විනය පිටකය ඉගෙන ගෙන මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයිද එවිට ශාසනය මුල් බැස ගත්තා යැයි කිව හැකියැ’යි කියාය. 

ඒ අනුව ඒ සියල්ල සපුරා තිබුණේ ප්‍රථම සිංහල මහ රහතන් වහන්සේ වූ අරිට්ඨ මාහිමියන් ය. එබැවින් මිහිඳු මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අරිට්ඨ මාහිමියන් ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා විනය සංගායනාව සිදු කළේ වප් පුන් පොහෝ දිනයක ය. 

ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම 

දේවානම්පියතිස්ස මහරජතුමා බුදු සසුනේ චිරස්ථිතියට ඉමහත් සේවයක් කළේ තව තවත් කළයුතු දේ ගැන සිතන්නේ ජයශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ගෙනවුත් මෙහි රෝපණය කළ හැකිදැයි මිහිඳු මාහිමියන්ගෙන් විචාළේය. මිහිඳු මාහියන් ඊට එකඟත්වය පළ කළෙන් උන්වහන්සේගේ උපදෙස් පරිදි අරිට්ඨ මහාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිසක් දඹදිවට පිටත් කර හරිනු ලැබීය. 

අශෝක අධිරාජයා ඒ ගැන මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ හා සාකච්ඡා කර එ් සඳහා කටයුතු සූදානම් කළේය. මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි අශෝක අධිරාජයා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මනා කොට සරසා පුද පූජා පවත්වා දක්ෂිණ ශාඛාව වෙන්කරනු පිණිස රන් තෙලිතුඩකින් රේඛාවක් ඇන්දේය. 

සිදුවූයේ ආශ්චර්යයකි! රැස්ව සිටියනගේ සාධුකාර මධ්‍යයේ දක්ෂිණ ශාඛාව ඉබේ ම වෙන්වී ඒ සඳහා පිළියෙල කර තිබූ රන් කටාරමෙහි පිහිටියේ ය. එය සිදු වූයේ වප් පුන් පසළොස්වක පෝදාකය. පසුව සංඝමිත්තා තෙරණුවන් ලක්දිවට රැගෙන ආවේ ඒ ශාඛාවය. දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණිම වෘක්ෂය ලෙස වාර්තා පොත්වලට එක්වී ඇති අනුරාධපුරයේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝධිය එයයි.

-පර්සි ජයමාන්න

Post a Comment

0 Comments