HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතීත සිතුමිණි 3 - මළවුන්ට ගරුකරන්නට මානවයා පටන් ගත්තේ කවදාද?

කාලය - වසර 600,000ට පමණ පෙර 

ආදීම මානවයා තුළ මේ අපූරු අදහස ආරම්භ වූයේ කවදාද? කවුරුන් විසින්ද? එය නිශ්චිතව කිව නොහැකියි. ඒ පිළිබඳ සාක්ෂි කීපයක් සොයා ගෙන තියෙනවා. ඊට හේතුවූ ප්‍රාග් මානවයා හෝමෝ හයිඩෙල්බර්ජෙන්සස් (Homo Heidelbergensis) කියලයි, සැලකෙන්නෙ. මළවුන් වැළලීම ගැන උනන්දුවක් දැක්වූ ප්‍රථම ප්‍රාග් මානවයා ඔහු විය හැකියි. ඒ ප්‍රාග් මානවයා විසුවේ මීට වසර 6,00,000ත් 4,00.000ත් අතර කාලයේ දීයි. ඒ මානවයා හොමෝ හැබිලිස්ටත්, හෝමෝ සේපියන්ටත් පූර්ව ආදි මානවයෙක්. 

ඒ මානවයා මියගිය ඥාතීන් වූ මළවුන්ට ගරු කිරීම පිණිස යම් කිසි චාරිත්‍රයක් කළ ද යන්න තවමත් හරියට හෙළිදරවු වී නැහැ. කෙසේ වෙතත් දැනට වසර 1,30,000ක් පැරණි සොහොන් බිමක් හමුවී තියෙනවා. එහි තිබී හමුවූ අස්ථි තැන්පත් කර තිබූ ආකාරය අනුව කිසියම් ආකාරය ගරු කිරීමක් කළ බව පෙන්නුම් කරන්නේ යැයි පුරාවිද්‍යාඥයන් කියනවා. ඒ අස්ථි සමග මියගිය අය පරිහරණය වස්තු තැන්පත් කර තිබූ ආකාරය අනුව මළවුන් ඇදහීමක් වැනි සංකල්පයක් ඔවුන් වෙත තිබෙන්නට ඇතැයි සිතිය හැකියි. 

හෝමෝ හයිඩෙල්බර්ජෙන්සස් ජනාවාසයක් සිත්තරකුගේ ඇසින්.

මළවුන් වැළලීම ගැන උනන්දුවක් දැක්වූ ප්‍රථම ප්‍රාග් මානවයා හෝමෝ 
හයිඩෙල්බර්ජෙන්සස් විය හැකියි. (චිත්‍රයක්)

ලෝකයේ හැම කලාපයකින් ම වාගේ මළවුන්ට ගරු කිරීමට ආදි මානවයන් පෙලඹුණු බවට සාක්ෂි මතු වී තියෙනවා. යුරෝපයේ මළවුන්ට ගරු කිරීමට මුලින් ම පෙලඹුණේ නියැන්ඩර්තාල් නම් ආදි මානවයායි. 

ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු මළවුන්ට ගරු කිරීම ඉහළින්ම සිදු කළේ මිසරයේ වැසියන් තමයි. මිය රජුන්ට හා වංශවතුන්ට ගරු කිරීම සඳහා කළ ඒවා අපට පිරමීඩ ඇසුරෙන් වටහා ගන්න පුලුවන්. ඒ වගේ ම අතීතයේ චීනයේ ද මිය ගිය අධිරාජයන්ට ගරු කිරීම පිණිස ටෙරා කොටා හමුදා තැන්පත් කළ බව ඉපැරණි සොහොන් බිම්වල කැණීම්වලින් හෙළි වුණා. 

ලංකාවේ හමුවී ඇති පැරණිම පුරා විද්‍යාත්මක සාක්ෂි ලැබෙන්නේ දකුණේ අම්බලන්තොට ප්‍රදේශයේ පතිරාජවෙලෙනි. එහි දී හමුවී ඇති ආදි මිනිසා ඉතිරි කර ‍දේ අතර මියගිය අයගේ ඇටසැකිලි, ගලින් කළ මෙවලම් ආදිය හමුවී තියෙනවා. ඒ පුරාවිද්‍යා වටිනාකමින් යුතු භූමිය සොයා ගන්නා ලද්දේ බූන්දල මැදි විදුහලේ සිසුවෙකු විසිනුයි. නියැන්ඩර්තාල් ආදි මානවයා මිහිමත පහළ වන්නට වසර 20,000කටත් පෙර මෙහි මානවයන් පහළ වී සිටි බව එයින් ලද සාක්ෂිවලින් හෙළි වෙනවා. මේ ශිලා මෙවලම් ජාත්‍යන්තරව පිළිගත් කාල නිර්ණය කිරීම්වලට අනුව ක්‍රිස්තු පූර්ව වසර 125,000ත් 75,000ත් අතර කාලයට අයත් යැයි කියැවෙනවා. ඒ කාලයේ ආහාර හිඟකම නිසා එක මානව කණ්ඩායමකට පවුල් එකක් දෙකක් විතරයි, උන්නේ. ඒත් ඔවුන් දිවයිනේ කීප තැනකම විසිර සිටි බව හෙළි වෙනවා. 

නියැන්ඩර්තාල් මානවයා වසර 60,000කට පෙර

ආදී මානවයන් ක්‍රිස්තු පූර්ව වසර 700,000 දී තරම ලංකාවට එන්නට ඇතැයි දැන් හෙළිවී ඇති කරුණු අනුව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ඒ ලංකාවත් ඉන්දියාවත් ගොඩබිම් යාව තිබූ කාලයේදියි. 

පේලියෝලිතික යුගය කියන්නේ පැරණි ගල් යුගයටයි. ගල් යුගයේ මැද භාගයේ දී එනම් වසර 200,000කට පෙර හොමෝ සේපියන් මානවයා බිහි වූයේ. ඒ මධ්‍යම පේලියෝලිතික යුගයේ දී තමයි, භාෂාව, සංගීතය, ආදි යුගයේ චිත්‍ර සංවර්ධනය කර ගත්තේ. ඒ වගේ ම ක්‍රමාන්‍රකූලව මළවුන් මිහිදන් කරන්න පවා පටන් ගත්තේ. 

අපේ රටේ ආදි මානවයන් ද මළවුන්ට ගරු කිරීම සොහොන් ඉදිකිරීමත්, ඒ වාගේ මළවුන්ට අයත් ද්‍රව්‍ය තැන්පත් කිරීමත් සිදු කළ බව ඒවායේ කළ කැණීම්වලින් හෙළිවී තියෙනවා. 

මානවයා ශිෂ්ටාචාරයට යද්දී මුලින් ම ඇති කර ගත් නව අදහස් අතර මෙවලම් තැනීම වැනි ම වැදගත් අදහසක් තමයි, මළවුන්ට ගරු කිරීම හා ඒ සඳහා ක්‍රමවේදයන් නිර්මාණය කර ගැනීම. ඒවා ප්‍රාථමික යුගයේ දී බොහෝ විට සමානකම් පෙන්වුවද අද මේ වන විට විවිධ ඇදහිලි හා ආගම් ඇති ‍වීමෙන් මළවුන්ට ගරු කිරීම වර්තමානයේ දී ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන තියෙනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments