HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2020 වසරේ නොබෙල් සම්මානයෙන් පිදුම් ලද්දෝ

ස්වීඩනයේ ස්ටොක්හෝම්හි කැරොලින්ස්කා ආයතනයේ ඇති නොබෙල්ගේ අඩ කයේ මූර්තිය.

සෑම වසරකම ලෝක පූජිත නොබෙල් සම්මාන කාලය ඔක්තෝබර් මාසයේ දී එළඹෙනවා. ඒ සඳහා ස්වීඩනය හා නෝර්වේ යන දෙරටේ නොබෙල් සම්මාන කමිටු රැස් වී විද්‍යාව, සාහිත්‍යය, ආර්ථික විද්‍යාව සහ සාමය යන විෂයයන්ට සම්මානලාභීන් තෝරනවා. ඒ අයගේ නම් ප්‍රසිද්ධ කිරීම පසුගිය ඔක්තෝබර් දෙවන සතියේ සඳදා සිට ආරම්භ වුණා. මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව සම්මානලාභීන්ගේ නම්. ඒවා ලබන 12 වැනි සඳුදා තෙක් ඊට අදාළ කමිටු මගින් වරින් වර ප්‍රකාශයට කිරීමට නියමිතයි. අවසාන වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානයයි. නොබෙල් අනුස්මරණය කරමින් එය පිරිනැමෙන්නේ ස්වීඩනයේ මහ බැංකුව (Sveriges Riksbank) මගිනුයි. 

මේ නොබෙල් සම්මාන හැමදාම පිරි නැමුණේ දෙසැම්බර් මාසයේදීම ස්වීඩනයේ අගනුවර වූ ස්ටොක්හෝම් හා නෝර්වේ අගනුවර වූ ඔස්ලෝ යන නගරවලදියි. ඒත් මෙවර ‍ඒ උත්සව එසේ නොපැවැත්වීමට නොබෙල් කමිටු තීරණය කර තියෙනවා. ඒ දැනට ලෝකයට තර්ජනයක්ව පවතින ‘කොවිඩ්-19’ වසංගත තත්වය නිසයි. එ් සම්මාන ප්‍රදානයන් අන්තර්ජාලය ඔස්සේ සිදු කොට සම්මන පදක්කම්, සහතික පත්, ඩිප්ලෝමාවන් හා ත්‍යාග මුදල් ඒ ඒ රටවල තානාපති සේවාවන් හරහා අදාළ සම්මාන ලාභීන් වෙත ප්‍රදානය කිරීමට බල‍ාපොරොත්තු වෙනවා. වසංගත තත්වය මඟ හැරුණොත් මෙවර සම්මානලාභීන්ටත් 2021 නොබෙල් සම්මාන උළෙලට ඇරයුම් කරන්නට නොබෙල් කමිටු බලාපොරොත්තු වෙනවා. 

ඔස්ලෝ නුවර දී පැවැත්වෙන නොබෙල් සම්මාන ප්‍රදානය පමණක් සීමිත අමුත්තන් පිරිසක් ඉදිරියේ චාමෙට පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

නොබෙල් සම්මානය පිළිබඳ මෙවර වෙනසක් සිදු වන බව කමිටුව ගිය සතියේ ප්‍රකාශ කළා. වෙනදා පිරිනැ‍මුණු නොබෙල් සම්මානයේ මුල්‍යමය ත්‍යාගය ස්විඩන් ක්‍රෝනා මිලියන 10 වෙනුවට තවත් මිලියනයක් වැඩි වන බවයි. ඒ අනුව ස්විඩන් ක්‍රෝනා මිලියන 11ක් සම්මානලාහීන්ට හිමි වෙනවා. මෙහි දී එක් විෂයයකට සම්මානලාභීන් වැඩි වූ විට ඒ ත්‍යාග මුදල ඔවුන් අතරේ සම සම ව බෙදනු ලැබුවත්, රන් පදක්කම්, සහතිකපත් හා ඩිප්ලෝමා හැම සම්මානලාභියකුට ම වෙන වෙන ම හිමි වෙනවා. 

මෙවර 2020 වසරේ නොබෙල් සම්මාන ලද්දන් මෙසේයි. 

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ සම්මානය 

වෛද්‍ය විද්‍යාව සඳහා වූ සම්මානය හිමිවූයේ හාවි ජේ. ඇල්ටර්, මයිකල් හවුට්න් හා චාල්ස් එම්. රයිස් යන විද්‍යාඥයන් තිදෙනාටයි.

මෙවර සම්මානය හිමි කර ගත්තේ ඇමරිකන් වෛද්‍ය පර්යේෂකයකු වූ වයිරස විද්‍යාඥ, වෛද්‍ය විශේෂඥ හාවි ජේ. ඇල්ටර්(Harvey J. Alter), කැනේඩියානු විද්‍යාඥ මයිකල් හවුට්න්(Michael Houghton) හා ඇමරිකන් වයිරස විද්‍යාඥ චාල්ස් එම්. රයිස් (Charles M. Rice) යන තිදෙනාටයි. එක් අයෙකුට සම්මාන මුදලෙන් තුනෙන් එකක් බැගින් හිමි වෙනවා. හෙපටයිටිස් සී වයිරසය සොයා ගැනීම වෙනුවෙන් ඔවුන්ට මෙවර සම්මානය හිමි වුණේ ඒ සොයා ගැනීමට අදාළව පමණක් නොව ඔවුන් විසින් ලොව පුරා මිලියන ගණනක් ජීවිත බේරා ගැනීමට මං පෑදූ නව රුධිර පරීක්ෂණ ක්‍රමවේදයන් හා නව ‍‍ඖෂධ සොයා ගැනීමට ඔවුන්ගේ සොයා ගැනීම් හේතු වූ නිසයි. 

භෞතික විද්‍යාව සඳහා වූ සම්මානය 

භෞතික විද්‍යාව සම්මානය හිමි වුයේ රොජර් පෙන්රෝස්, රයන්යාඩ් ජෙන්සල් 
හා ඇන්ඩ්‍රියා ගීස් යන තිදෙනාටයි.

මෙවර භෞතික විද්‍යාව සම්මානය හිමි කර ගත්තේ ඉංග්‍රීසි ජාතික රොජර් පෙන්රෝස්(Roger Penrose), ජර්මන් තාරකා ‍භෞතික විද්‍යාඥයකු වූ රයන්යාඩ් ජෙන්සල්(Reinhard Genzel) හා ඇමරිකන් භෞතික විද්‍යාඥවරියක වූ ඇන්ඩ්‍රියා ගීස්(Andrea Ghez) යන විද්‍යාඥයන්ටයි. සම්මාන මුදලින් අඩක් පෙන්රෝස්ටත් ඉතිරි අඩ ජෙන්සල් හා ඇන්ඩ්‍රියා අතර බෙදෙනවා. ඔවුන්ට මෙවර සම්මානය පිරිනැමුණේ කළු කුහරවලට අදාළව කරන ලද පර්යේෂණ හා සම්බන්ධ නව සොයා ගැනීම් හා පළ කරන න්‍යායවලටයි. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස් ජීවත්ව සිටියේ නම් ඔහුට රොජර් පෙන්රෝස් සමග එකට ම මේ සම්මානය හිමි වීමට ඉඩ තිබුණා. එහෙත් මියගිය අයට සම්මාන නොදෙන ප්‍රතිපත්ති නිසා එ් හා සම්බන්ධව ඔහුගේ නම සැලකීමට ලක් වුණේ නැහැ. අතීතයේ දී මහත්මා ගාන්ධි තුමාටත් මේ දේම සිදුවුණා. සාම ත්‍යාගයට නම් කර එය ප්‍රදානය කරන්නට පෙරාතුව එතුමා මියගිය නිසා ඒ සම්මානය පිරිනැමුණේ නැහැ. 

රසායන විද්‍යාව සඳහා වූ සම්මානය 

රසායන විද්‍යාව සම්මානය හිමි කර ගත් ඉමැන්වෙල් මාරී ෂාපෙන්සියේ හා ජෙනෆි ඒ. ඩවුනා යන අයයි.

මෙවර රසායන විද්‍යාව සඳහා වූ සම්මානය හිමි කර ගත්තේ ප්‍රංශ ජාතික මයික්‍රො ජීව විද්‍යාඥවරියක වන මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ අධ්‍යක්ෂ ඉමැන්වෙල් මාරී ෂාපෙන්සියේ(Emmanuelle Marie Charpentier) හා ඇමරිකන් ජෛවරසායන විද්‍යාඥවරියක වන ජෙනෆි ඒ. ඩවුනා යන දෙදෙනාටයි. ඔවුන්ට මේ සම්මානය හිමි වුණේ ගෙනොම (genome) සංස්කරණ ක්‍රමවේදයන් දෙකක් සොයා ගැනීම පිළිබඳ වෙන වෙන ම කළ පර්යේෂණ වෙනුවෙනුයි. සම්මානයට අයත් මුදල ඔවුන් දෙදෙනා අතර සමසේ බෙදෙනවා. 

සාහිත්‍යය සඳහා වූ සම්මානය 

සාහිත්‍යය සඳහා සම්මානයෙන් පුද ලද ඇමරිකන් කිවිඳිය ලුයී එලිසැබත් ග්ලූක්.

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය මෙවෙර හිමි වූයේ ඇමරිකන් කිවිඳියකටයි. ප්‍රශස්ත කිවිඳියක ලෙස ඇමරිකාවේ ඉමහත් ප්‍රසාදයට පත් ව සිටින කිවිඳියක වූ ලුයී එලිසැබත් ග්ලූක් (Louise Elisabeth Glück) මේ වන විට පුලිට්සර් ත්‍යාගය, ජාතික ග්‍රන්ථ සම්මානය ඇතුළු සම්මාන රැසක් ම දිනා තියෙනවා. 

සාමය සඳහා වූ සම්මානය 

සාම නොබෙල් සම්මානයට පාත්‍ර වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි 
ලෝක ආහාර වැඩ සටහනයි.

මෙවර සාමය සඳහා වූ සම්මානය හිමි වුණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි ලෝක ආහාර වැඩ සටහනට (World Food Program)යි. කෝවිඩ්-19 වසංගතයට ලෝක මුහුණ දී ඇති අවස්ථාවේ ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනගහනයක කුස ගිනි නිවීමේ කාර්යය වෙනුවෙන් ලෝක ආහාර වැඩ සටහන ගෙන අනවරත අරගලය වෙනුවෙන් ඔවුන් කරන සද්කාර්යය අගය කිරීමක් හැටියට නොබෙල් ත්‍යාගය පිරිනමන බවයි, කමිටුව පවසා ඇත්තේ. 1961 දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහනෙහි මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ රෝම නගරයේයි. එහි සිට ලොව පුරා ම කුසගිනි නිවීම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙනවා. 

ලෝක ආහාර වැඩ සටහන ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා මෙහි නියෝජිත කාර්යාලයක් ද ස්ථාපිත කර තියෙනවා. දැනටමත් ඒ අනුව එහි අලුත්ම ව්‍යාපෘතිය ලෙස පාසල් ළමුන්ගේ පෝෂණය නංවාලන්න විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට එකඟ වී තියෙනවා. සුනාමි අවස්ථාවේදීත් ලෝක ආහාර වැඩ සටහන අපට ආධාර කළා. 

ආර්ථික විද්‍යාව සඳහා වූ සම්මානය 

මහාචාර්ය  පෝල් මිල්ග්‍රම් හා රොබට් විල්සන්

අවසාන වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ ආර්ථික විද්‍යාවන් සඳහා වෙන්වූ නොබෙල් සම්මානයයි. එය හැඳින්වෙන්නේ නොබෙල් අනුස්මරණය කරමින් පිරිනැමෙන්නක් ලෙසයි. නොබෙල් ත්‍යාගය ආරම්භ වූයේ 1901 දියි. මේ ත්‍යාගය පිරිනැමීම ආරම්භ වූයේ 1969 දියි. මෙය පිරිනමනු ලබන්නේ ස්වීඩනයේ මහ බැංකුව (Sveriges Riksbank) මගිනුයි. ඒ නිසා එය හැඳින්වෙන්නේ ‘ආර්ථික විද්‍යාවන් සඳහා වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණ ස්විරිජ් රිස්ක් බැංකු ත්‍යාගය’ ලෙසයි. 

මෙවර 2020 නොබෙල් ආර්ථික විද්‍යා සම්මානය පිරිනැමුණේ ප්‍රකට ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයන් දෙපළකටයි. ඒ කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් වන පෝල් මිල්ග්‍රම් හා රොබට් විල්සන් යන දෙපළටයි. ද්‍රව්‍ය හා සේවා වෙන්දේසි කිරීමට හා අලෙවියට අදාළව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වෙන්දේසිවල ආකෘතීන් හා ඒ පිළිබඳ මූලික න්‍යායන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා තිබෙනවා. මෙතෙක් තක්සේරු කිරීම අපහසු වූ සේවා, ද්‍රව්‍ය හා දේපළ ආදිය සාධාරණ වටිනාකමකට අළෙවි කිරීමට ඔවුන්ගේ මේ න්‍යායන් හා ක්‍රමවේදයන් අනුව පුලුවන්. ඒවා දැනටමත් ලෝකය පුරා පුළුල්ව භාවිතයට ගන්නවා. 

නිදසුනක් වශයෙන් 1994 දී ඇමරිකානු බලධාරීන් ඔවුන්ගේ මේ ක්‍රමවේදයන් පළමුවරට ගුවන් විදුලි තරංග අළෙවි කිරීමේදී සාර්ථකව යොදා ගත්තා. මොබියල් පද්ධති මෙහෙයවන්නන්ට මිල කළ නොහැකි අධික වටිනාකමක් ඇති, රජයට අයත් ගුවන් විදුලි තරංග කලාප, බදු ගෙවන ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් ප්‍රයෝජනවත් වන ලෙස අලෙවි කිරීමට මේ ඔවුන්ගේ න්‍යායන් හා ක්‍රමවේදයන් උපකාරී වුණා. අනාගතයේ දී අභ්‍යාවකාශයේ සිදුවන අලෙවි කිරීම්වල දීත් මේ න්‍යායන් ඒ ආකාරයෙන් ම යොදා ගත හැකි වේවි.  

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments