HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 13,000කට පෙර දරුවකු වඩාගත් මවක් ගිය ත්‍රාසජනක ගමනක්!

පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇති මිනිස් පිය සටහන්වලින් මවක් දරුවකු සමග වසර 13,000කට පෙර ගිය ගමනක් පසුුගිය දා හෙළිවුණා. (එය සිත්තරකු දුටවේ මෙසේයි)

වසර 13,000කට පෙර දරුවකු වඩා ගෙන රුදුරු වන සතුන් ගහන පෙදෙසක් හරහා ගිය මවකගේ පිය සටහන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී තියෙනවා. කිලෝමීටර් 1.5ක් (සැ. 0.9ක්) දිග මේ පියසටහන් සොයා ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් නව මැක්සිකෝවේදියි. ඒ අනුව පුරාවිද්‍යාඥයන් කර ඇති මේ විස්මිත හෙළිදරව්ව මෙතෙක් කර ඇති ලොකුම රහස් පරීක්ෂක කටයුත්ත ලෙස දැක්විය හැකියි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පොසිල පියසටහන්වලින් තමයි, ඔවුන් ඒ ත්‍රාසජනක ගමන චිත්‍රණය කර ඇත්තේ. 

මේ පියසටහන් පෙළ මෙතෙක් පොසිල ලෙසින් හමුවී ඇති දිගම පිය සටහන් හැටියටයි, විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ. දිය සිඳුණු ගඟක මඩ කලල් මතින් තනි කෙළින් වැටී ඇති, මේ පිය සටහන් පොසිල බවට පත් වී ඇත්තේ වසර දහස් ගණනකට පෙරයි. මේ පිය සටහන් විශ්ලේෂණය කළ පුරාවිද්‍යා පර්යේෂකයන් කියන්නේ, මේ මවත් දරුවාත් කලබලයෙන් මෙන් මේ සිඳුණු ගඟ මතින් දිව ගොස් ඇති බවයි. 

ඒ පිය සටහන් අතරින් අඛණ්ඩව විහිදී ඇත්තේ වැඩිහිටියාගේ පා සලකුණුයි. 
ඇතැම් තැනක දරුවකුගේ පිය සටහන් කීපයක් දක්නට ලැබෙනවා.

විද්‍යාඥයන් කියන්නේ, මෙසේ දිව ගොස් ඇත්තේ තරුණ මවක් සහ වයස අවුරුදු දෙකක තරම් කුඩා දරුවෙක් බවයි, ඒ පුරාවිද්‍යා ගවේෂණයට සහභාගි වූ එක් විද්‍යාඥයෙක් කියන්නේ සමහර විට ඒ දරුවා වඩා ගෙන ගිය තැනැත්තිය මව විය හැකි වුවත්, පිය සටහන් ප්‍රමාණයෙන් වැඩුණු පිරිමියකුගේ පිය සටහන්වලට වඩා කුඩා නිසා ඒවා ගැටවරයකුගේ වුවද විය හැකි බවයි. පිය සටහන් අනුව කලබලෙන් දිව ගිය ලකුණු පළ කරන නිසා බොහෝ විට දරුවාගේ මව ම විය හැකි යි. 

මේ දෙ‍දෙනා ඒ පරිසරයේ අනතුරුදායක බව දැනගෙන ඉක්මනින් ඒ ඉසව්ව පසු කර යාමේ අදහසින් ඒ මඩ සහිත මේ අසීරු බිම මැදින් යන්නට ඇති. ඔවුන් මේ ගමන ගිහින් ටික වෙලාවකට පසුව මැමතයකු (mammoth) හා යෝධ මන්දයෙකු (giant sloth) ඒ අඩි පාර ඔස්සේ ගොස් තිබෙනවා. ඒ බවට සලකුණු හමුවී තියෙනවා. 

පොසිල සටහන්වලින් පෙනෙනවා ප්‍රමාණයෙන් කුඩා වැඩිහිටියකුගේ හා අවුරුදු දෙකක පමණ පා සටහන් දෙවර්ගයක්. ඒ දෙන්නා මෘගයන් ගැවසෙන අනතුරු සහිත මගකින් ගොස් ඇත්තේ.

මේ දිය සිඳුණු ගඟා තලය හෙවත් ප්ලායාව(playa) ගැන වෙනම කළ විශ්ලේෂණයකට අනුව මේ ප්‍රදේශයේ උල් දළ සහිත බිලාලයන්, වෘකයන්, බයිසන් හා ඔටුවන් වනගතව සිටි බව හෙළිකරගෙන තියෙනවා. වසර 13,000 කට පෙර ඉතිහාසයේ මේ ප්‍රදේශයේ සිටි ආදි මානවයන් මේ සමහරක් දඩයම් කළ බවත් පැවසෙනවා. ඒ වගේ ම සමහර සතුන් මානවයන්ට පහර දුන්නා. ඒ නිසා මේ ප්‍රදේශයේ ගමන බොහෝ සේ අනතුරුදායක වුණා. 

මේ පියසටහන් සොයා ගෙන විශ්ලේෂණය කළ පර්යේෂකයන් කියන්නේ මේ පියවර තැබූ ආකාරය අනුව මව මෙහි ඇති අනතුරුදායක බව ගැන අ‍වබෝධයෙන් සිටි බවයි. 

විශ්‍ලේෂණයෙන් පෙනෙනවා, ඒ දෙදෙනා වේගයෙන්, නෙවෙනස්ව, ඒ මග ඔස්සේ ගිය බව. ළමයා වඩා ගෙන යද්දී සිදු වූ වෙනස්කම් හඳුනා ගත හැකියි.

මේ ගැන ‘කන්වර්සේෂන්’ (The Conservation) සඟරාවට ලිපියක් සපයමින් එංගලන්තයේ බෝර්න්මවුත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැතිව් රොබට් බෙනට් හා මහාචාර්ය සැලී ක්‍රිස්ටීන් රෙනෝල්ඩ් යන දෙපළ ඒ අවස්ථාව ගැන මෙසේ සඳහන් කරනවා. ‘ඒ බිමෙහි දිය සිඳී මඩ කලල් මතු වී ලිස්සන ගතියක් තිබුණා. වේගයෙන් ඇවිදින එක ඔවුන්ට ඉතා වෙහෙසකර කටයුත්තක් වෙන්න ඇති. අපි ගණන් බලපු විදියට ඔවුන් ගිහින් තියෙන්නෙ තත්පරයකට මීටර් 1.7ක වේගයකින්. වියළි පැතලි බිමක වුනත් අවිදින්න පහසු වේගය තත්පරයට මී 1.2 හෝ 1.5ක්.’ යැයි කියනවා. 

ළමයාත්, මවත් වේගයෙන් ගිය බව පර්යේෂකයන් දැන ගත්තේ, ඒ පියසටහන්වල ත්‍රිමාන ක්‍රමයට ස්කෑන් කිරීමෙනුයි. 

මුළු ගමන පුරාම එක පිය සටහන් පෙළක් නොබිඳී තියෙනවා. ඒ වැඩිහිටියාගේ. ඒත් ඇතැම් තැනකදී දරුවාගේ කුඩා පියවර කීපයක් දැකිය හැකියි. පර්යේෂකයන් කියන්නේ මව සමහර විට ඇකය මාරු කරන්න හෝ වෙහෙස නිසා දරුවා බිම තබා විඩා නිවා ගන්න ඇති කියායි. ඒත් ඒ භයානක පරිසරයේ මොහොතකට හෝ නතර වීම ඒ මෘගයන් අතින් මැරුම් කෑමට හේතුවිය හැකි නිසා වැඩි වෙලාවක් එසේ නොසිටින්නට ඇත. 

ඇමෙරිකාවේ නව මැක්සිකෝවේදී හමු වී ඇති මේ පා සලකුණු 
වැටුණු මග කිලෝමීටර් එන හමාරක් දිග එකක්.

පර්යේෂකයන්ට ඔවුන් ගියේ කොහාටදැයි නිශ්චිතව කිව නොහැකිව ඇත්තේ පිය සටහන් හදිසියේම අතුරුදහන්ව ඇති නිසයි. ඒ දෙදෙනා කොහේ ගියත් වැඩිහිටියා දරුවා නැතුව තනිවම ඒ මග දිගේම, පැය කීපයකට පස්සේ ආපසු ඇවිත් තියෙනවා 

‘මේ පිය සටහන් කියන්නේ අමුතුම කතාවක්. ඒ තැනැත්තිය හා දරුවා තනියම ඒ ප්ලායාවේ කුමක් කළාද? ඒ තරම් වේගයෙන් කලබලෙන් ගියේ කුමක් නිසාද?’ පර්යේෂකයන් ඒ ලිපියෙන් පෙන්වා දෙනවා. 

‘එයින් කියවෙන්නේ ඒ කාලේ පැවති සමාජ සංවිධානය පිළිබඳවයි. ඔවුන් යා යුතු තැන ගැන දැන සිටියා. තමන්ට මිතුරු පිළිගැනීමක් ලැබෙන බව සහතික ව දැන සිටියා. ඒ දරුවා සිටියේ රෝගීවද? එහෙම නැත්නම් දරුවා මව ළඟට ගෙන ගොස් දුන්නාද? එහෙම නැත්නම් වැසි කුණාටුව ඉක්මනින් හමා ඇවිත් මවත් දරුවාත් අනතුරකට පත් කළාද? 

ඒ මව හා දරුවා කඩිනමින් ගිය පා සලකුණු ස්කෑන් කර ගත් 
ත්‍රිමාන පිළිබිඹුවකින් පර්යේෂකයන් හෙළි කර ගත්තා

‘අපට දැන ගැනීමට ක්‍රමයක් ඇත්තේ ම නැත්නම් අපට ලැබී ඇති සුළු සාක්ෂි අනුව අපට කිසියම් නිගමනයකට එළඹෙන්න සිද්ධ වෙනවා. 

‘අපට කියන්න පුලුවන්, ඒ කාන්තාව ඒ පරිසරය ගැන බියක් දැක්වුවද කෙසේ හෝ ඒ ගමන යාමට සූදානම්ව සිටිය බව පමණයි.’ 

මේ වැඩිහිටියා ඒ මගෙහි එක් පැත්තකට ගොස් දරැවා නැතිව අනෙක් අතට ගිය කෙටි කාලය අතරතුර ඒ මග ඔස්සේ දැනට වඳවී ගොස් ඇති යෝධ සතුන් කිප දෙ‍ෙනක් ගිහින් තියෙනවා. 

ඇමරිකාවේ මේ තැනිතලා බිම් පුරා දැවැන්ත වන මෘගයන් වාසය කළ බවත් ඔවුන්ගේ පා සලකුණු වලින් මේ සිදුවීම පැවති කාලය තීරණය කළ හැකි බවත් පැහැදිලියි. පර්යේෂකයන් දැනටමත් කියා තියෙනවා, ‘ඒ ගමන් වාර දෙක අතරතුර මන්දයකු හා මැමැතයකු ඒ මග හරහා ගිය බව’. 

‘ආපසු ගමනේ පිය සටහන් ඒ සතුන්ගේ පාසලකුණු මතින් වැටී ඇති බව පෙනෙනවා. මන්දයාගේ පා සලකුණුවලින් පෙනෙනවා, ඌ මිනිස් පා සලකුණු හඳුනා ගත් බව.’ 

‘සතුන් පිය සටහන් වෙත ළංවෙත්ම ඒවා ඉව කිරීමට පසු පාදවලට බරදී සිට ගත් බව උගේ පා සලකුණුවලින් පෙනෙනවා. ඌ ඉස්සී වටේට හැරෙමින් ඉව කර අනතුරුව පා හතරට ම බර දී තියෙනවා. එයින් ඌ එහි ඇති අනතුර හඳුනාගත් බව පැහැදිලි වෙනවා. 

‘අනෙක් අතට මැමතාගේ පා සලකුණු ඊට වඩා වෙනස්. ඌ හොඳින් වැඩුණු සතෙක්. වෙනතක නොහැරී කෙළින්ම මිනිස් පිය සටහන් ඔස්සේම ගිය බව උගේ පා සලකුණුවලින් පෙනෙනවා. ඒ බව මිනිසාට දැනිලා නැහැ.’ යනුවෙන් පර්යේෂකයන්ගේ ලිපියෙහි සඳහන් වෙනවා. 

මේ පර්යේෂණ පත්‍රිකාව Quaternary Science Reviews හි පළ වී තියෙනවා. 

අප්‍රිකාවේ සිට ආදි මානවයන් යුරේසියාවට ගිය පා සලකුණුත් හමු වී තියෙනවා. 

අරාබි අර්ධද්වීය හරහා ආදීම මානවයන් ගිය පා සලකුණු පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. ඒවා ඇත්තේ වර්තමානයේ නෙෆුද් කාන්තාරය පිහිටි තැන ආදි කාලයේ තිබූ පුරාණ විලක් තිබූ බිමකයි. ඔවුන්ගේ විශ්වාසය ඒ පිය සටහන් වසර 120,000ක් පැරණි බවයි. 

මේ කලාපය ඉතා වැදගත් එකක් වන්නේ, අප්‍රිකාවෙන් යුරෝපය දෙසට මානවයා සංක්‍රමණය වූයේ මේ පිවිසුම් මාර්ගය හරහා වීම නිසයි. වසර 300,000කට පෙර අප්‍රිකාවෙන් මතු වූ මානවයා තවත් වසර 150,000ක් වනතුරු අප්‍රිකාවෙන් පිට මං වුණේ නැහැ. 

මුලින් විශේෂඥයන් සිතුවේ වෙරළ කලාපය ඔස්සේ මිනිසා සංක්‍රමණය වූවාය කියායි. ඒත් දැන් එසේ නොවන බව තහවුරු වී තියෙනවා. ඒ අනුව දැන් ඔවුන් සිතන්නේ ගංගා දිගේ ගොඩබිමින් ඔවුන්ගේ මේ සංක්‍රමණය සිදු වු බවයි. 

මිනිස් පා සලකුණුවලට අමතරව පොසිල සලකුණු 233ක් හා සත්ව පා සලකුණු 369ක් ද හමු වී තිබෙනවා. ඒ අතර අලින් 44කගේ ඔටුවන් 107කගේ පා සලකුණු තිබෙනවා. ඒ විල එකල සතුන් බහුලව ගැවසුණු තැනක් බව හෙළි වෙනවා. 

‘අලි ඇතුන්, හිපෝලා, වැනි ලොකු සතුන් ජීවත්වීමත්, විවෘත තණ බිම් හා විශාල ජලාශ තිබීමත් නිසා උතුරු අරාබිය විශේෂ ආකර්ෂණයක් වෙන්න ඇති, අප්‍රිකාව හා යුරේසියාව අතර සංක්‍රමණය වූ ‍ආදී මානවයාට.’ ඒ අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයකු වූ ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතතනයේ මයිකල් පෙට්‍රග්ලියා කියනවා. 

අද අරාබි අර්ධද්වීපය විශාලව පැතුරුණු කාන්තාර ප්‍රදේශවලින් ගහණ වියළි පෙදෙස් ඒ හරහා ඇදී ගිය ආදි මිනිසුන්ට හා ඔවුන් දඩයම් කළ සතුන්ට අහිතකර තත්වයන් ඇති කරන්නට ඇති. 

පසුගිය දශකයේ කළ පර්යේෂණ අනුව ඒ ප්‍රදේශවල තත්වය හැමදාම එසේ නොපැවති බව හෙළි වි තියෙනවා. 

මේ අධ්‍යයනයට එක් වූ එක් පර්යේෂකයකු වූ එංගලන්තයේ රෝයල් හොලවේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉයන් කැන්ඩි කියන්නේ මේ කාලය මානවයාගේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉතා වැදගත් අවස්ථාවක් බවයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments