HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉතිහාස පොත්වල නැති ඒත් ඉතිහාස ගත වූ විස්මිත දේ!

ඉතිහාස පොත්වලට ඇතුළත් නොවුණු එහෙත් ඉතිහාසයට එක්වුණු මිනිසා මැවූ හා තැනූ විස්මිත දෑ මෙන් ම අපේ පරම්පරාව නොදුටු අතීත පරම්පරාවල මිනිසුන් මැවූ සිහින දැක ගන්න ඔබව ලෝක සවාරියක ගෙන යන්නයි හදන්නේ. බොහෝ විට කෞතුකාගාරවලට සීමාවුණු, ඒවා දැකුමෙන් අපේ පරපුරේ නිර්මාශීලීන්ට නව අදහස් පහළ වෙන්නත් පුලුවන්. ඒවා පසුබිමේ රසවත් කථා පුවත් තියෙනවා. ඒවාත් ඔබේ ආස්වාදනයට හේතු වෙනවා නිසැකයි.

1905 දී බ්‍රිතාන්‍ය ගිනිනිවන භටයන් භාවිත කළ බයිසිකලය 

බ්‍රිතාන්‍ය ගිනිනිවන භටයන් භාවිත කළ බයිසිකලය

ගිනි නිවන භටයන් කණ්ඩායම් වශයෙන් ලොකු රථවලින් මහ පාරේ වේගයෙන් ගියත් අතීතයේ දී එවැනි දසුන් දකින්න තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ගියේ මේ බයිසිකල්වලින්. මහා බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නගරයේ තුවක්කු වැනි අවි ආයුධ, බයිසිකල් හා මෝටර් බයිසිකල් හදපු සමාගම් එකතුවක් තිබුණා අතීතයේ Birmingham Small Arms කියන නමින්. ඉස්සර ජනප්‍රිය ‘බීඑස්ඒ’ මෝටර් බයිසිකල් ඒ අයගේ කර්මාන්ත ශාලාවල කළ නිෂ්පාදනයක්. ඔවුන් තමා මේ අපූරු ගිනි නිවන බයිසිකලයත් තනා තියෙන්නේ. මෙහි ඇත්තේ අතීතයේ භාවිත කළ කොටස් එක්කර සංරක්ෂණ කළ එකක්.

මේ ගිනිනිවන බයිසිකලයේ රාමුව මැද ජල නළයක් අසුරා තිබුණා, අවශ්‍ය විට දිග හැර ගත හැකි පරිදි. ඉදිරියේ හැඬලයට සවි කර තිබුණා, විදුලි පන්දමක් ඕනෑම අතකට හරවා ගොඩනැඟිල්ලක ගිනි ගන්න තැන සොයා ගත හැකි. ඒ වෙතට ආලෝකය එල්ල කර තබා ගෙන ජලය විදින්න ගිනි භටයාට එයින් පුළුවන්කම ලැබුණා. ගමනක් යන්න වුනත් මේ බයිසිකලය හොඳයි, එත් නොදන්නා කෙනෙකු ඔබ ගිනි නිවන්නකු යයි වරදවා වටහා ගන්න එකක් නැහැ.

වසර 300ක් පැරණි කැටයම් කළ හිස් කබලක්! 

ටිබෙට් ජාතිකයකුගේ හිස් කබලක්

වසර 300ක් පැරණි මේ කෞතුක භාණ්ඩය, 2011 දී ඔස්ට්‍රියාවේ වියානා නගරයේ කෞතුක භාණ්ඩ වෙළෙඳ සැලකින් සොයා ගනු ලැබූවක්. අවුරුදු 300කට පෙර ටිබෙට් රටේ වාසය කළ ටිබෙට් ජාතිකයකුගේ හිස් කබලක් තමා මේ විදියට කැටයම් කරලා තියෙන්නේ. කෞතුක භාණ්ඩ වෙළෙඳ සැල් හිමියාට මෙය ගෙනත් දුන් තැනැත්තා කියා ඇත්තේ එපමණයි.

මේ හිස් කබල ගෙනත් දුන් තැනැත්තා ටිබෙට් හාමුදුරුවන්ට ‍ඉංග්‍රීසි බේත් හේත් සපයන්නෙක්. ඔහුගේ කතාවේ ඇත්ත නැත්ත තවම හරියට කියන්න අපට බැහැ. මේ විමසුමට භාජනය කළ පර්යේෂකයන් කියන්නේ ඒ කැටයම් සමග කිසියම් භාෂාවකට අයත් අක්ෂර ඇති බවයි. ඒත් ඒ කියවන්න තවත් කිසිවකුත් සමත් වී නැහැ. එහි ඇති අක්ෂර ප්ලාන්ට් හෝ රන්ජා කියන ඉන්දියානු අක්ෂර විය හැකියැයි ඔවුන් විශ්වාස කරනවා. කලකට ඉස්සර ඉන්දියාවට ගිහින් අපේ පරණවිතාන මහත්තයා අශෝක ලිපිවල බ්‍රාහ්මී අක්ෂර කියෙව්වා වාගේ කවුහරි කෙනෙක් ඇවිත් කියවලා දෙනකන් අපට බලන් ඉන්න වෙනවා.

18 සියවසට අයත් විස්මිත ලී කැටයමින් සැරසුණු ජර්මන් දොරක්! 

විස්මිත ලී කැටයමින් සැරසුණු ජර්මන් දොර

නිවාස තනන අය ලොව කොහේ හිටියත් වඩුවැඩ නැතුව නිවාස අලංකරණය සිදු වන්නේ නැහැ. ඒවා එදිනෙදා ජීවිතයේ දී අපේ ඇස් පිනවන අපට නැතිවම බැරි දේවල්. ඒ වගේ ම නිවාසයක් හදන හැමෝටම, දුප්පත් පොහොසත් බේදයක් නැතිව දොරවල් අවශ්‍ය වෙනවා. ඒ දොරවලින් නිවස ඉදිරියේ ප්‍රධාන දොරට කැටයම් යෙදීම ජර්මානුවන්ගේ සිරිතක්.

1700 වන සියවසේදී දැව කැටයම් කලාව ඉතා දියුණු තත්වයෙන් ජර්මනියේ පැවතියා. ලී කැටයම්කරුවන් මහන්සිය ගැන නොබලා නව නිර්මාණ කිරීමේ තෘප්තිය උදෙසා බොහෝ නිර්මාණ කළා. මේ ඉපැරණි දැව කැටයම එවැනි එකක්. මේ නිර්මාණය ගැන වදනින් විස්තර කරනවාට වඩා දැකීමෙන් ඔබට හුඟක් දේ දැන ගත්තෑකි. මේ ඒ යුගයට අයත් ජර්මන් නිවසක ඉදිරි දොරක් සඳහා කළ දෙයක්. මෙය ඇත්තෙන්ම සාමාන්‍ය දොරකට යොදන අල්පෝන්නත කැටයමකට එහා ගිය විසිමිත නිර්මාණයක්.

වික්ටෝරියානු යුගයට අයත් කැටයම් කළ අවමංගල රථයක්!


කැටයම් කළ අවමංගල රථය

ජර්මනියේ ඩ්‍රෙස්ඩේන් නගරයෙන් ආ මේ අවමංගල රථය කොයිතරම් අලංකාර එකක් ද කියා බලන්න. අසුන් යොදා ඇද ගෙන යා හැකි මෙය වික්‍ටෝරියානු යුගයට අයත් එකක්. ඒත් මෙහි ඇත්තේ ඒ කාලයේ අවමංගල රථවලට කළ සාමාන්‍ය කැටයම් නොවෙයි. ටිකක් වෙනස් විසිතුරු දෙයක්. මෙහි යොදා ඇති වීදුරුවත් මෙහි සුරදූතියන්ගේ කැටයම් ආදියත් වෙනත් අවමංගල රථවල සාම්ප්‍රදායට වඩා වෙනස්. මෙය තැනූ අය ගැන නිශ්චය කර අපට කිව නොහැකියි. මෙය පැදෙව්වේ කවුරුන්ද මෙහි හිමිකරු කවුරුන්ද කියා අප දන්නේ නැහැ. ඒත් අපට එකක් හිතා ගත හැකියි, මෙය පාවිච්චි කරන්නට ඒ කාලේ කවුරුනුත් ආසාවෙන් ඉන්න ඇති.

පියානෝවක් තුළින් වැඩෙන විස්මිත ගසක සේයා රුවක්! 

පියානෝ ගස

බලන්න මේ පියානෝ ගස දිහා. මේක ෆොටෝෂොප් වැඩක් එහෙම නෙමෙයි. ඇත්තම ඇත්ත එකක්! මේක කවුරුන් හරි පැරණි පියානෝවක් කැළේ ගිහින් දමලා ඒක අස්සෙන් කාලයක් තිස්සේ ගහක් හැදිලද මේ දසුන මෙ‍හෙම ඇති වුණේ. මෙය හමුවී තියෙන්නේ කැලිෆෝනියාවේදියි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ආසන්න මොටෙරේ බොක්කේ වන රොදකදී තමයි මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ. මෙහි ඇත්ත නම් එම සරසවියේ ශිෂ්‍යයකු වූ ජෙෆ් පියානෝව මේ ගස වටා සිටින සේ සකසා තිබෙනවා. පියානෝව මැදින් කපා ඉතා සියුම් ලෙස බද්ධ කිරීමෙන් තමයි, මේ දර්ශනය නිර්මාණය කර තියෙන්නේ. අප හිතා ගන්න පුලුවන්, ඔහුට ඒ එක කොයිතරම් අසීරු කාර්යයන් වෙන්න ඇද්ද කියා. ඒත් දැන් එතැන ගහ තිබුණත් පියානෝ එක එතැනින් අස් කරලා ඉවරයි. ඒක දැක ගන්න පුලුවන මේ පින්තූරයෙන් විතරයි!

දුර්ලභ ගණයේ හිරු තැටියක් හා කොම්පාසුවක් සමග රන් මුදුවක්! 

හිරු තැටියක් හා කොම්පාසුවක් සමග රන් මුදුව

ඔබට වෙලාව දැන ගන්න ඕනැද? ඔබ 16 වැනි සියවසේ ජීවත් වුණා නම් ඔබට හිරු දිහා බලන්න ඕනෑ වෙලාව කීයද දැන ගන්න. සමහර විට ඔබ අතේ සල්ලි යහමින් තියෙනවා නම් ඔබට මේ වගේ හිරු තැටියක් සහිත මුද්දක් ගන්න හැකි වේවි. කුඩා අත් ඔරලෝසුව අලුතින් නිපදෙව්වේ, ඒ කාලේ ජනතාව ස්වාභාවික විද්‍යාව ගැන ලොකු උනන්දුවක් දක්වපු නිසා, ඔවුන්ට ඒ වගේ දෙයක් අවශ්‍ය වූ හින්දයි. මේ විස්මිත මුදුව නිපදවනු ලැ‍බුවේත් එහි ප්‍රතිඵලයක් ලෙසයි. එහි රාජකීය ලාංඡනයත් කැටයම් කරලා තියෙනවා. සාමාන්‍ය මුදුවක් ලෙස පලඳින මෙය අවශ්‍ය විට උඩු පියන විවර කර වෙලාව බලා ගන්න පුලුවන්. එතැන ඔරලෝසුවක් විතඑක් නෙවෙයි කොම්පාසුවකුත් තියෙනවා.

පුරාවිද්‍යාඥයන් විසින් අතීතයෙන් ගොඩ ගත් අසුන් බැඳි රියක්! 

අතීතයෙන් ගොඩ ගත් අසුන් බැඳි රිය

මේ දර්ශනය බලාසිටිය හැකි එකක් නොවෙයි. ඒ වුනත් මේකෙන් ඔබට අතීතයේ බල්ගේරියාවේ පැවති ස්වරූපය කෙබඳු දැයි බලා ගන්න පුලුවන්. බල්ගේරියානු පුරාවිද්‍යාඥයන් ස්වෙස්ථාරීවල කෙරුනු කැනීම්වලින් සොයා ගෙන ඇති මේ අසුන් දෙදෙනා සහ අසුන්, හිටගෙන සිටින ආකාරයටම මිහිදන් වී තිබෙනවා. මේ අශ්ව කරත්තයට රෝද හතරක්, ආසන හා බඩු පැටවිය හැකි කොටසක් ඇතුළත් වෙනවා. මේ අස්රිය යුරෝපයේ ත්‍රාසියන් වංශවතකුට හිමි එකක් ලෙස සැලකෙනවා. මේ අසුන් දෙදෙනා රියත් ඇද ගෙන කඳුකරයේ පටු විවරයකින් යද්දී විවරය වැසී අශ්ව කරත්තය අසුන් හා එහි ගිය අය සමග පණපිටින් මිහිදන් වී තියෙනවා. ඒ වගේ හදිසි අනතුරක් සිදු වීම ඉතාමත් දුර්ලභ දෙයක්. මේ විස්මිත කැනීම නිසා හමුවී ඇති මෙය ඇදහිය නොහැකි තරම් දෙයක්.

විසූවියස් ගිනි කන්දේ ලාවාවලට යට වූ පාන් ගෙඩියක්! 

ලාවාවලට යට වූ පාන් ගෙඩිය

ක්‍රිස්තු වර්ෂ 79 දී සිදු ඉතාලියේ විසූවියස් ගිනිකන්ද හෙවත් යමහල විදාරණය වීමත් සමග පොම්පෙයි නගරය මුළුමනින්ම විනාශයට පත් වූණා. ‘ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි’ යන බටහිර නවකතාවෙන් කියවුණේ ඒ ඛේදවාචකයයි. එය ‘දේවතාපය” කියා සිංහලට පෙරළා තියෙනවා. ඒ ගිනිකන්දේ ලාවාවලින් පමණක් නොව ගිනිකන්දෙන් නිකුත් වූ අළු ආදියෙන් මුළු නගරයම වැළලී ගියා.

එදා එසේ යමහලෙන් නිිකුත් වූ ලාවා හා අළු ආදියෙන් වැසී වැළලී ගිය දේවල් ‍වසර 1950ක් තිස්සේ තවමත් ගොඩ දමනවා. ඒවා අතර, මිනිසුන්, සතුන්, විසිතුරු භාණ්ඩ, ඒ කාලයේ සමාජය විසින් භාවිත කළ හැම දෙයක් ම හමු වෙනවා. තවමත් පුරාවිද්‍යාඥයන් ලොව පුරා සිට මෙහි ඇවිත් කැනීම් කරනවා. මේ මෑතදී එසේ හමුවී ඇත්තේ පාන් ගෙඩියක්!. මේ සමග පළවෙන්නේ ඒ පාන් ගෙඩියයි. එය පිළිස්සීමේ වගකීම දැක්වෙන බක්කරේගේ ලාංඡනය පැහැදිලිව සටහන් වෙනවා. පුච්චපු ගමන්ම අළුයට සැඟවී ගිය මේ පාන් ගෙඩිය එදා තිබූ විධියට ම අදත් තියෙනවා. ඒත් කෑමට ගන්නට නම් සුදුසු නැහැ. මේ විසූවියස් ගිනි කන්ද 2019 දීත් යළි සක්‍රිය වුණා. එදාත් පන්දහසට වැඩි පිරිසක් මිය ගියා.

1500 සියවසේ ජර්මනියේ භාවිත වුණු කැටයම්වලින් විභූෂිත පොරවක්! 

කැටයම්වලින් විභූෂිත පොරව

1500 සියවසේ අග භාගයේදී ජර්මනියේ තනන ලද මෙවන් අලංකාර කැටයම් දැමූ අත් පොරවක් දකින පළමුවන වතාව මෙයයි. මීට වසර 500කට පෙර ඒ කාලේ ජීවත්වුණා නම් අපට දැක ගන්න තිබුණා, කම්මල්කරුවන් මේ අලංකාර කැටයම් යෙදා මේවා තනන අයුරු. ඒවගේ ම අපට අහන්න පුලුවන්, ඔවුන් මේ වගේ අත් පොරෝවලට කැටයම් යෙදුවේ ඇයිද, මේවා පාවිච්චි කළ කවුරුන්ද කියා. මේ විධියේ අත් පො‍රවක් භාවිත කළ අවස්ථා රැසක් තියෙනවා. කොටයක් උඩ තබා යම් යම් දේ කැබලි කිරීමට, ඒ වගේ ම කාය ශක්තිය පෙන්වීමට ක්‍රීඩාවක් වශයෙන් වෙර යොදා ඈතට විසි කිරීමටත්, ආත්මාරක්ෂාවට හා අලංකාරයට ළඟ තබා ගැනීමටත්, පුලුවන්.  ‍

ඒත් මේ ආකාරයේ අලංකාර අත් පොරවක් යුද පෙරමුණට ගෙනිහින් සතුරාට දමා ගසන්න නම් කිසිවෙකුත් කැමති වෙන එකක් නැහැ. මොකද ඒක ආපහු තමා අතට ලැබෙන්නේ නැති බව දන්න නිසා. ඒ හින්දා වංශවතුන් අලංකාරය පිණිස පැලඳීමට මේ විධියේ ඒවා තනවා ගන්නවා වෙන්නත් පුලුවන්.

දැවයෙන් තැනූ ඇටසැකිලි මෝස්තරයක් යෙදූ පැද්දෙන පුටුවක්! 

ඇටසැකිලි මෝස්තරයක් යෙදූ පැද්දෙන පුටුව

ඇත්තෙන් ම ඇටසැකිල්ලක් විධියට දැවයෙන් තැනු ‘පැද්දෙන පුටුවක’ සුව පහසුව ඉන්න ඔබට පුලුවන්ද? 19 වන සියවසේ රුසියාවේ තනන ලද මේ පැද්දෙන පුටුව ගැන බිය විය යුතු නැහැ. එය ඇත්තෙන් ම සුවදායක නිර්මාණයක්! ඇට සැකිල්ලකදී හමුවන හැම කැබැල්ලක්ම අනුකරණය කරමින්, දෑතේ වීරියෙන්, ලීයෙන් නිමවා ඇති මෙවැනි පුටුවක් තනන්න හුඟක් මහන්සි වෙන්න ඕනෑ. 19 වැනි සියවසේ තැනූ මේ මාදිළියේ පුටුවක් අඟල් 54ක් පමණ උසින් යුක්තයි. මෙය නිර්මාණය කර ඇත්තේ ඇටසැකිල්ලක් ඔබව උකුල මත තබා ගෙන ඉන්නවාය යන හැඟීමක් ඇති වෙන විධියටයි. මේ වගේ ගෘහ භාණ්ඩයක් ඩොලර් දහස් ගණනකට අලෙවි වෙනවා.

1867 දී වෝල්ටර් හන්ට් සෑදූ මුල් ම මහන මැෂිම 

මුල් ම මහන මැෂිම

ඇමරිකන් ජාතික වෝල්ටර් හන්ට් තමයි, 1832 සිට 1834 අතර කාලයේ නිව්යෝක් නගරයේ ඇමොස් වීදියේ පිහිටි කර්මාන්ත ශාලාවේදී අපූරු මැෂිමක් හැදුවා. අද ලොව පුරා ප්‍රචලිත මහන මැෂිම ආරම්භ වුනේ එහිදියි. ඒ විතරක් නෙවෙයි, ඔහු අපට පවුන්ටන් පෑන, හැට්ට කටුව වගේ හුඟක් ප්‍රයෝජනවත් නිපැයුම් හඳුන්වා දුන්නා. මුල් ම මහන මැෂිම ආවේ වක්වූ ඉඳිකටුවක් හා නූල් දෙකක් යෙදූ ෂටලයක් සමගයි. ඊළඟ වසර 30 තිස්සේ මේ මහන මැෂිම විශාල වෙනස්කම් රාශියකට මුහුණ පෑවා. එය ඇඳුම් මැහීමේ මහා පෙරළියක් ඇති කළා. මහන මැෂිම වෙනුවෙන් එක් කළ වෙනස්කම් නිසා හිමිකම් සඳහා නව නිමැවුම්කරුවන් නඩු මඟට පවා බැස්සා. අද පවත්නා මේ වෙනස ඇති කළ ආරම්භක මහන මැෂිම තමයි මේ සමග පළවෙන්නේ.

වසර 130 පැරණි අලංකාර කැටයම් යෙදූ රිදී හැඳි කට්ටලයක් 


කැටයම් යෙදූ රිදී හැඳි ලෝකයේ ධනවතුන් භාවිත කළ, ඉතාමත් සුඛෝපභෝගී මෙවලම් හැටියටයි සැලකෙන්නේ. මේ සමග තියෙන්නේ අයිස් ක්‍රීම් කන්න භාවිත කළ එවැනි රිදී හැඳි කට්ටලයක්. මේ හැඳිත් වික්ටෝරියානු යුගයට අයත් ඒවායි. ඒ කාලයේ සමාජයේ වංශවතුන් මෙවැනි සාටෝපයෙන් වැඩි මෙවලම් භාවිත කරන්න ආශා කළා. සිප්පිකටුවක ඇති මෝස්තරයක රටාවක් තමා මේ රිදී හැඳිවලටත් යොදා ගෙන තියෙන්නේ. මේවා අධික වියමක් දරා විශේෂයෙන් තැනිය යුතු ඒවායි. මේවායින් අයිස් ක්‍රීම් බුදින විට ඒ සමාජයේ අයට වැඩි රසයක් දැනෙන්න ඇති.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments