HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවීන උපමා කතාවක් - රස්සාවක් සොයා ගිය උගත් තරුණයාගේ කතාව

උගත්කමින් පිරිපුන් තරුණයෙකු දැවැන්ත සමාගමක කළමනාකාර තනතුරකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඔහු ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සහතික සමකළ හැකි කිසිවෙක් එතැන වෙන හිටියේ නෑ. ඒ නිසා ඔහු පළමු වැනි පරීක්ෂණයෙන් ඉහළින් ම සමත් වුණා.

අවසාන සම්මුඛ පරීක්ෂණය කළේ ඒ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයායි.

ඔහු තරුණයාගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු විස්තරය දුටු ගමන් ම ඔහු ගැන පැහැදුණා. තරුණයාගේ අධ්‍යාපනික සුදුසුකම් හැම එකක් ම අනභිභවනීය බව පැහැදිලිව ම පෙනුණා. ද්විතීයක පාසල් අධ්‍යාපනයේ සිට පශ්චාත් උපාධි පර්යේෂණය දක්වා සෑම වසරක ම ඉහළ ම ලකුණු නොලද කිසි අවස්ථාවක් ඔහුගේ අධ්‍යාපනික තොරතුරු අතර සොයා ගන්නට තිබුණේ නැහැ. ඉතාම අඩු වයසකදී ඔහු අනෙක් හැමදෙනාටම වඩා ඉදිරියෙන් සිටිය බව කළමනාකාර අධ්‍යක්ෂවරයාට පෙනී ගියා.


කළමනාකාර අධ්‍යක්ෂවරයා ඒ සියල්ල නිරීක්ෂණය කර අන්තිමේ දී ප්‍රශ්නයක් ඇහුවා.

‘ඔබට පාසලේ අධ්‍යාපනය ලබද්දී මොන යම් හෝ ශිෂ්‍යත්වයක් ලැබුණාද?’

‘නැහැ’ තරුණයා උත්තර දුන්නා.

කළමනාකාර අධ්‍යක්ෂවරයා ඊළඟට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.

‘ඔබේ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය වියදම් දැරුවේ පියාද?’

‘නැහැ. මට අවුරුද්දක් වෙද්දී මගේ පියා මිය ගියා. අම්ම තමයි මගේ අධ්‍යාපනයට අවශ්‍ය වියහියදම් සපයා දුන්නේ!’ තරුණයා කීවා.

‘ඔබේ අම්මා කළ රැකියාව කුමක්ද? ‘කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇසුවා.

‘මගේ අම්මා රැකියාව විදියට කළේ රෙදි සේදීමයි.’ තරුණයා පිළිතුරු වශයෙන් කීවා.

කළමනාකාර අධ්‍යක්ෂවරයා ඊළඟට තරුණයාට ඔහුගේ දෙ අත්ල දිග හැර පෙන්වන්නැයි කීවා.

තරුණයා දෑත් දිගු කොට අද අත්ල විදහා කළමනාකාර අධ්‍යක්ෂවරයාට පෙන්නුවා. ඒවා ඉතා පිරිසිදුවට, සුමටව හා මුදු මොළොක්ව තිබෙනු කළමනාකාර අධ්‍යක්ෂවරයා දුටුවා.

කළමනාකාර අධ්‍යක්ෂවරයා ඊළඟ ඇහුවේ මෙහෙම ප්‍රශ්නයක්. ‘ඔබ මීට කලින් කවදා හරි දවසක ඔබේ මවට රෙදි සෝදන්න උදවු වෙලා තියෙනවාද?’

තරුණයා ඊට දුන්නේ මේ විදියෙ උත්තරයක්. ‘කවදාවත් නෑ. මගේ අම්මාට හැමදාමත් ඕනෑ වුණේ මං වඩාත් හොඳින් අධ්‍යාපන කටයුතුවලට යෙදෙනව දකින්නයි. හැම තිස්සෙ ම මාව යොමු කළේ පාඩම් කරන්නයි, පොත් කියවන්නයි විතරයි. අනික් අතට මට වඩා ඉක්මනට රෙදි හෝදන්න අම්මට පුලුවන්.’

කළමනාකාර අධ්‍යක්ෂවරයා තරුණයා දෙස බලා මෙහෙම කිව්වා. ‘මං ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අද ඔබ ගෙදර ගියාම ඔබේ අම්මා ළඟට ගිහින් ඇගේ අත් දෙක පිරිසිදු කරන්න. එහෙම කරලා හෙට උදේ ඇවිත් මාව හම්බවෙන්න.’

කළමනාකාර අධ්‍යක්ෂවරයා තමා හා සුහදව කතා කළ නිසා රැකියාව ලැබෙතැයි විශ්වාසයක් තරුණායා තුළ ඇති වුණා. ඔහු සතුටින් ගෙදර ගොස් මවට සම්මුඛ පරීක්ෂණය ගැන කියා ඒ කළමනාකාර අධ්‍යක්ෂවරයා කරන්න කියූ දේ අම්මාට කීවා. ‘අම්මා මට ඔයාගේ අත් පිරිසිදු කරන්න දෙන්න!’

අම්මාට මහ අමුත්තක් දැනුණා. සතුටක් වගේ ම දුකකුත් ඇතිවුණා. ඒ මිශ්‍ර හැඟීම් එක්ක ඇය පුතා දෙසට දෑත දිගු කර ගෙන හිටියා.

තරුණයා හෙමින් හෙමින් අම්මාගේ දෑත් පිරිසිදු කරන්න පටන් ගත්තා. ඔහු ඒ කරද්දී ඔහු කඳුළු බිඳුවක් අම්මාගේ අල්ලකට වැටුණා. පළමුවන වතාවටයි ඔහු දුටුවේ, අම්මාගේ අත්ල රැලි වැටී ඇති බව. ඇගේ අතේ කරගැට වගේම දිය පට්ටාත් මතු වී තිබුණා. සීරුම් තුවාල තිබූ තැන් වතුරෙන් පිරිසිදු කරන විට ඇය වේදනාවෙන් වෙවුලා ගිය බව ඔහුට දැනුණා.

එදා තමයි, මුල්වරට, තරුණයාට අවබෝධ වුණේ මවගේ මේ අත් දෙක නේද, දිනපතා රෙදි සෝදමින්, ඔහුගේ පාසල් කටයුතු සඳහා වියහියදම් සපයන්න උදවු වුණේ කියා. ඔහුට උසස් අධ්‍යාපනය සරිකර, සාර්ථක අනාගතයක් ලබාදීමට හිලවු වශයෙන් අම්මාට පෙරළා ලැබු‍ණේ ඇගේ අත්ලේ වැටුණු රැලි, කරගැට හා සීරීම් බව තරුණයාට හොඳටම තේරුණා.

අම්මාගේ දෑත් සෝදා පිරිසිදු කළ තරුණයා හෙමින් සීරුවේ එදා අම්මාට සේදීමට ඉතිරිව තිබූ රෙදි ටිකත් සෝදා දැම්මා.

එදා රෑ අම්මාත් පුතාත් වෙන කවරදාත් නොවූ විදියට බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටියා.

පසුවදා උදෙන් ම තරුණයා කළමනාකාර අධ්‍යක්ෂවරයා සොයා ගියා. තරුණයාගේ ඇස් කඳුළින් පිරී තිබෙනු කළමනාකාර අධ්‍යක්ෂවරයා දුටුවා.

‘මට කියන්න ඔබ ගෙදර ගිහින් මොකද කළේ. ඒවගේම ඔබ ඊයේ ගෙදරදී ඉගෙන ගත් දේ මොනවද කියලා’ කළමනාකාර අධ්‍යක්ෂවරයා සන්සුන්ව ඇසුවා.

තරුණයා මෙහෙම පිළිතුරු දුන්නා. ‘මං අම්මාගේ දෑත් පිරිසිදු කළා.ඊට පස්සෙ ඉතිරිව තිබූ රෙදි සියල්ලත් පිරිසිදු කළා.’

‘දැන් මට කියන්න ඒ වෙලාවේ ඔබට ඇති වෙච්ච හැඟීම්, වගේ ම ඉගෙන ගත්තු දේ ගැන.’ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියා.

තරුණයා මෙහෙම කීවා. ‘මං වැදගත් කරුණු තුනක් ගැන ඉගෙන ගත්තා. අංක 1- මං දැන් දන්නවා සේවය ඇගයීමේ වැදගත්කම ගැන. මගේ අම්මා නොහිටින්න මට මේ තරම් තැනකට එන්න කිසිදාක ලැබෙන්නේ නැහැ. අංක 2 - අම්මත් එක්ක එකතු වෙලා වැඩි කිරීමෙනුත්, අම්මාගේ වැඩට උදවු වීමෙනුත් මට අවබෝධ වුණා, යමක් කරන එක කොයිතරම් අමාරු දෙයක්ද කියලා. අංක 3 - මට දැන් හොඳින් ම වැට‍ෙහනවා පවුල් සබඳකම්වල තියෙන වටිනාකම ගැන.’

කළමනාකාර අධ්‍යක්ෂවරයා අවසාන වශයෙන් කීවේ මෙහෙම දෙයක්. ‘මට ඕනෑ වුණේ ඔන්න ඔය අවබෝධය තියෙන කෙනෙක්, මගේ කළමනාකාරයා හැටියට. මට ‍බඳවා ගැනීමට අවශ්‍ය වුණේ, අනික් අයගෙන් ලැබෙන උදවු අගය කරන, වැඩ නිම කරන්න අනෙක් අය දරන වෙහෙස ගැන දැනුමක්, අවබෝධයක් තියෙන, ජීවිතයේ එකම අරමුණ මුදල් හම්බ කිරීම නොවන බව තේරුම්ගත් අයෙක්. ඔබ ‍රැකියාවට බඳවා ගන්නවා.’

Post a Comment

0 Comments