HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මියන්මාරයේ ‘සිනාසෙන කැස්බෑවා’ යළි සිනාසෙයි!

කැස්බෑවන් සංරක්ෂණය කරන වැඩ සටහන් ශ්‍රී ලංකාවේත් තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තු විසින් විද්‍යාත්මකව කැස්බෑවන් සංරක්ෂණය කරන වැඩසටහන හැරුණු විට තවත් කැස්බෑ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන අය ඉන්නවා. දකුණේ වෙරළබඩ ක්‍රියාත්මක කෙරෙන එවැනි වැඩසටහන් නිසි අවසරයක් ඇති කරන ඒවා නෙවෙයි.

ඒත් මා කියන්නට යන්නේ ඒ වගේ කතාවක් නෙවෙයි. වඳ වී ගියේ යැයි සලකනු ලැබූ කැස්බෑ විශේෂයකට යළි පණ දී ගංගාවට යැවූ අනුවෙදනීය කතාවක්. ඒක ඇහෙන්නේ මියන්මාර‍ රාජ්‍යයෙන්. කලින් මේ රාජ්‍යය හැඳින්වූයේ බුරුමය කියලයි. ඒ නිසා මේ දුර්ලභ කැස්බෑ වර්ගය හැඳින්වෙන්නේ ‘බුරුම වහලැති කැස්බෑවා’ (Burmese roofed turtle) කියලයි. මේ කැස්බෑවා ජීවත්වුණේ සාගරයේ නෙවෙයි,
මේ සිනාසෙන කැස්බෑවාගේ ඇස් ඉදිරියට න‍ෙරා ඇවිත් 
ඉහළට නැවුණු තොල්වලින් උගේ මුහුණේ පෙනුම අපූරූ පෙනුමක් 
ඇති කරනවා. මේ සතා හොඳින් වැඩුණොත් අඩි දෙකක් විතර විශාල වෙනවා.

මේ කැස්බෑවාගේ මුහුණේ ඕනෑම වෙලාවක අපූරු හිනාවක් තියෙනවා. සිත් ගන්නාසුලු ඒ අපූරු හිනාව නිසා ඌ හැඳින්වෙන්නේ ‘සිනාසෙන කැස්බෑවා’ යන සුරතල් නාමයෙන්. කාලයක් තිස්සේ මේ අපූරු සතා දකින්න නොලැබුණු නිසා ඒ වන විට කැස්බෑ විශේෂඥයන් මෙන් ම පරිසරවේදීන් ද සිතුවේ ඌ වඳ වී යන්නට ඇතැයි කියායි.

කෙසේ නමුත් 2000දී හදිසියේ ම මේ වර්ගයේ කැස්බැවෙක් හමුවුණා. පණ පිටින් චීන වනජීවී සත්ව වෙළඳපොළකට විකුණන ලද මේ කැස්බෑවා ඇමරිකානු කැස්බෑවන් එකතු කරන්නකු විසින් මිලදී ගෙන තිබුණා. මේ ආරංචිය ලද කැස්බෑ විශේෂඥයන් මෙන් ම පරිසරවේදීන් ද ඉන් මහත් සේ සතුටට පත් වුණා. මියන්මාර බලධාරීන් වහා ක්‍රියාත්මක වී ආපසු ඒ සතා මිලදී ගත්තා. ඒ එක්කම තවත් අපූරු දෙයක් සිදුවුණා. ඒ ක්ෂේත්‍ර පරීක්ෂාවලදී විද්‍යාඥයන්ට වනගත ව ඉතිරි ව සිටි කැස්බෑවන් දෙ‍ෙදනකු ද හමු වීමයි. එසේ හමුවුණේ මියන්මාරයේ ඩොක්ටවඩි හා ඉහළ චින්වින්ඩ් ගංගාවලදියි.
මේ බිත්තරය හිමි ‘බුරුම වහලැති කැස්බෑවා’ 
ජීවත්වන්නේ මියන්මාරයේ ගංගාශ්‍රිතවයි. 
ඒ 2000දී ඌ වඳවී ගිය සතකු ලෙස නම් කෙරුණා.

ඔවුන් ඒ සමග ම ඒ කැස්බෑ විශේෂය සංරක්ෂණ කරන විශේෂ වැඩ සටහනක් වහාම දියත් කළා. වසර 20කට පසුව දැන් එය සාර්ථක වෙලා. ඔවුන් දැන් පැටවුන් 1000ක් බෝ කර ගෙන ඉන්නවා. මේ දැන් ‘සිනාසෙන කැස්බෑවා’ට දැන් සිනාසෙන්න පුලුවන්. මේ සතුන් වැඩි හරියක් ඉන්නේ තවමත් බෝ කිරීමේ වැඩසටහන යටතේ ඔවුන් බාරයෙයි. පර්යේෂණයේ කොටසක් හැටියට පසුගිය වසර පහ තිස්සේ ටික දෙනෙකු විතරක් වන දිවියට මුදා හැරියා.

වනජීවි සංරක්ෂණ සංගමයේ උරග විද්‍යාඥයකු (herpetologist) වූ ආචාර්ය ස්ටීවන් ජී. ප්ලැට් තමයි, මේ ව්‍යාපෘතිය බාරව කටයුතු කළේ. ඔහු කියන්නේ, ‘ඇත්තෙන් ම අපට ඒ සතුන් නැති වෙන්නයි ගියේ. අපට හොඳ වෙලාවට මේ සතුන් හමුවුණා. එහෙම නූනා නම් අද මේ සතුන් මේ මිහිමතින් වඳ වෙලා ගිහින්.’ කියලයි.
චින්ඩ්වින් ගංගාවේ කැස්බෑ බිත්තර රැකුමට සැකැසූ තැනයි, මේ.
මේ උරග විද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ජී. ප්ලැට් තමයි, 
මේ සංරක්ෂණ ව්‍යාපෘතියට නායකත්වය දු‍න්නේ.

මේ සතුන් අතරින් ගැහැනු සතා පිරිමි සතාට වඩා ලොකුයි. ගැහැනු සතා වාහනයක සුක්කානමක් තරම් ලොකුවට වැඩෙනවා. බෝ කරන කාලෙදි පිරිමි සතුන්ගේ සිරුරු ලස්සන වර්ණ ගන්නවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ හිස් කොළ පැහැති වුවත් වර්ගයා බෝ කරන කාලෙදි ඒවා දීප්තිමත් කළු පුල්ලි සහිත තද කහ පැහැයකට හැරෙනවා.

මේ ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ගංගාශ්‍රිතව ජීවත්වන කැස්බෑවන් ගැන වැඩි විස්තර මෙතෙක් නොවීමේ අඩුව එයින් පිරිමැසෙනවා. ‘අතීතයේ ඉතා පුළුල්ව පැතිර ජීවත් වූ මේ කැස්බෑවන්ගේ ගහණය අඩුවී ගොස් වඳවී යාමේ තර්ජනයට ලක් වූයේ දිගු කලක් තිස්සේ මිනිසා විසින් ඔවුන්ගේ බිත්තර එකතු කිරීමත්, වැඩිහිටි සතුන් පණ පිටින් එක් රැස් කර විකිණීමත්, ඔවුන් ජීවන වටාපිටාවන් හා බිත්තර දමන පරිසර මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී යාමත් නිසයි.’ ඒ පර්යේෂණ පත්‍රිකාවෙහි ආචාර්ය ප්ලැට් විසින් සඳහන් කරලා තියෙනවා.

මියන්මාරයේ ගංගාශ්‍රිත කැස්බෑවන් වඳවී යාම වළක්වන්නට වනජීවි සංරක්ෂණ සංගමයේ උදවිය මේ අන්දමට පියවර ගත්තත්, අපේ රටේ කැස්බෑවන් වඳවී යාමේ තර්ජනය කලක් තිස්සේ ම පවතින්නක් වුනත් ඒ සඳහා එවැනි සංවිධානවත් රජයවත් ඇස් කන් යොමු කරන්නේ නැහැ. ඒ නිසා ම කැස්බෑවන් සංරක්ෂණය විදේශී සංචාරකයන්, ගසා කන්නන් පිරිසක් අතට පත් වී තියෙනවා. මස් පිණිස කැස්බෑවන් දඩයම් කිරීම, ඔවුන් පීඩාවට පත් කිරීම හා ඔවුන්ට හානි කිරීම, බිත්තර එකතු කිරීම, අනවසරයෙන් කැස්බෑවන් බෝ කිරීම, වගා කිරීම, විසිතුරු මසුන් මෙන් ඇති කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙත් නාම පුවරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින්, සංචාරකයන් සූරාකමින් ගෙන යන මේ නීති විරෝධී ව්‍යාපාරය නවතාලන්නට කිසිම වගකිවයුත්තෙක් මෙතෙක් සමත්වී නැහැ.

හුදෙක් සංචාරකයන්ගෙන් මුදල් ගරා ගැනීමේ අරමුණෙන් පමණක් ම කරන ඒවා මිස සතුන් ගැන අනුකම්පාව නිසා කරන ඒවා නොවෙයි. ජල ටැංකි හදාගෙන කැස්බෑවන් ප්‍රදර්ශනය කරන අයත් ඉන්නවා. කැස්බෑ බිත්තර රක්කවා මුහුදට යැවීමේදී සංචාරකයන්ට අත ගස්සවා විශාල මුදලක් ගසා කන අය ඉන්නවා. ඇතැමුන් ඒ සඳහා රුපියල් පන්දහසක් පමණ මුදලක් අය කරනවා. ඒ සඳහා කුඩා කැස්බෑ පැටවුන් තුන්හතර දෙනකු එක් විදේශ සංචාරකයකුට ලැබෙනවා. සාමාන්‍යයෙන් කැස්බෑ පැටවුන් සාගරයට මුදා හරින්නේ රාත්‍රි කාලයේ දී වුනත් මුදල් ගසා කන්නන්ට ඒ සඳහා වෙලාවක් නැහැ. ඔවුන් කැස්බෑ පැටවුන්ට අනතුරුදායක වේලාවක වුනත් සංචාරකයන් එනවා නම් ඒ කටයුත්ත කරන්න සුදානම්. එයින් සංරක්ෂණ අරමුණු කිසිසේත් ඉටු වෙන්නේ නැහැ.

කැස්බෑවන් සංරක්ෂණය සඳහා පිහිටුවා ඇති රජයේ රැකව මධ්‍යස්ථානයේ දී ඒ කාර්යය ඉතාමත් නිවැරදිව, විද්‍යාත්මකව එය ඉටු කෙරෙනවා. එය නරඹන්න නම් සංචාරකයන් කලින් වෙන්කරවා ගෙන ඒ වේලාවන් තුළ එහි යායුතු වෙනවා.

ඈත සාගරවල ජීවත්වන කැස්බෑවුන් බිත්තර දමන්නට තමයි, ශ්‍රී ලංකා මුහුද වෙරළ සොයා ගෙන එන්නේ. සමහර කැස්බෑවුන් මෙසේ එන්නේ සැතැපුම් දහස් ගණනක් දුර සිටයි. ලෝකයේ දැනට හඳුනා ගෙන ඇති කැස්බෑ වර්ග හතෙන් පහක් ම, ශ්‍රී ලංකා වෙරළට එනවා, වැල්ලේ වළක් හාරා බිත්තර දමන්නට. සිය වර්ගයා බෝ කරන්නට හොඳම පරිසරය ලෙස ඔවුන් තෝරා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඔවුන් ආරක්ෂා කිරීම අපේ යුතුකමයි.
මේ ශ්‍රී ලංකාවේ විදේශික සංචාරකයන් පිරිසක් 
දකුණු වෙරළ තීරයේ නීති විරෝධීව කැස්බෑවන් ඇති කරන 
තැනක මහ දවල් කැස්බෑවන් මුහුදට මුදා හරින අයුරු.

මෙසේ දමන බිත්තරවලින් නිසි කලට මෝරා එළියට එන සිඟිති කැස්බෑ පැටවුන් ඒ මොහොතේ ම, අඳුරේ ම, මුහුද කරා ඇදී යනවා. එසේ ගොස් පැය 48ක් නොකවා ම එක දිගට ම පිහිනනවා. මේ ගමන හැඳින්‍වෙන්නේ ‘බාලක උන්මාදය’ යන අරුත ඇති juvenille frenzy නම් ඉංග්‍රීසි වදනින්. සොබාදහම විසින් මේ ක්‍රියාවලිය සකසා ඇත්තේ දුර්වලයන් ඉවත් කර, ශක්තිමත් පැටවුන් පමණක් ඉතිරි කිරීම පිණිසයි.

ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයට ඇතුළත් ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා දැඩි ලෙස මේ තත්වයට මුහුණ පා සිටිනවා. ලොව පුරා සාගරවල සිටින කැස්බෑ විශේෂ හතකින් විශේෂ පහක් ම ශ්‍රී ලංකා වෙරළ තීරය සොයා ගෙන එනවා. බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) ඒ පස් දෙනායි.

අවුරුදු 300ක් ජීවත්වීමට හැකියාවක් ඇති කැස්බෑවුන් අකාලයේ මිය යාමට සැලැස්වීමෙන් මිනිස් අප කරන්නේ කොයි තරම් විශාල අපරාධයක්ද?

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments