HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිරිසිදු තිරසර පරිසරයකට මග පාදන ‍පෙරළිකාර පියවරක්!

බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝඩ්ෂයර්හි ක්‍රේන්ෆීල්ඩ් ගුවන්තොටුපොළෙන් සුවිශේෂ ගුවන්යානයක් අහසට නැංගා. ඒක ඓතිහාසික අවස්ථාවක්! ඒ ගුවන්යානය අහසට නැංගේ සුපුරුදු ඉන්ධනවලින් නොවේ. හයිඩ්‍රජන් වායුව තමයි, ඉන්ධන වෙනුවට පාවිච්චි කළේ. ඒ නිසා පරිසරයට හානිකර විෂවායුව පිටාර ගැලීමක් සිදු වුණේ නැහැ. කිසිම ශබ්දයක් ඇසුණේත් නැහැ. මේ අහස්යානය නව ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්! 

බෙඩ්ෆෝඩ්ෂයර්හි ක්‍රේන්ෆීල්ඩ් ගුවන්තොටුපොළෙන් 
පිටත්ව මිනිත්තු 20ක ගුවන්ගමනක යෙදුණු 
ආසන හයක් ඇති පයිපර් එම්-පන්තියේ ගුවන් යානය

සීරෝඒවියා නමින් වූ ආයතනයක් තමා, මේ අලුත් ව්‍යාපෘතිය පටන් ගත්තේ බ්‍රිතාන්‍ය රජයේ ආධාර ඇතිව. ඔවුන්ගේ හයි ෆ්ලයර් නම් වූ ඒ ව්‍යාපෘතියේ පර්යේෂණ කටයුතුවලට රජයෙන් ලැබුණු ප්‍රදානය පවුම් මිලියන 2.7ක්. ඇමරිකාවත්-බ්‍රිතාන්‍යයත් එක් ව පිහිටුවූ සීරෝඒවියා නම් ඒ ආයතනයේ විශේෂඥයන් මුලින්ම අත්හදා බැලීමට තැනුවේ කුඩා අහස් යානයක්. 

සීරෝඒවියා ආයතනයේ විශේෂඥයන්ගේ බලාපොරොත්තුව, 2023 වන විට මගී ගුවන් සේවයට මේ වර්ගයේ, පරිසරය නසන විස දුම නිකුත් නොකරන, එනම් ශූන්‍ය විමෝචන, ගුවන් යානා එක් කිරීමටයි. 

හයිඩ්‍රජන් ඉන්ධන භාවිතයෙන් වානිජ ගුවන්යානයක් 
පළමුවරට ගුවන් ගත කළ අවස්ථාව මෙයයි.

මේ වසරේ මෑත භාගයේදි, ඒ ආයතනය නිපදවූ නව යානයක් ඕක්නි දූපත්වල දී, මිනිත්තු 20ක සැතැපුම් 250ක අත්හදා බැලීමේ ගමනක සාර්ථකව යෙදුණා. ධාවන පථයේ හැරවීම, ඉහළ නැංවීම, පියසැරිය, නැවත පැමිණීම ආදි සියල්ල පරීක්ෂණයට භාජනය කෙරුණා. එය හය දෙනෙකුට යා හැකි පයිපර් එම්-පන්තියේ යානයක්. සියල්ල සාර්ථකව සිදු වීම ගැන ඔවුන් සතුටු වුණා. 

ඒ යානය ක්‍රියා කරන්නේ හයිඩ්‍රජන් ඉන්ධන සෛලවලින්. වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගෙන, ටැංකියක ගබඩා කර ගත් හයිඩ්‍රජන් සමග ඉන්ධන සෛල ඔස්සේ කෙරෙන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් නිපදවන විදුලියෙන්. එසේ නිපදවෙන විදුලිය යානයේ මෝටරයටත්, විදුලිය ගබඩා කළ හැකි බැටරියකටත් යැවෙනවා. එහිදී ඍජුව ලැබෙන විදුලිය, මෝටරය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවන විට, බැටරිය තුළ ගබඩා කළ විදුලිය ප්‍රයෝජනයට ගන්නවා. 

මේ මංගල ගමන සඳහා නවෝත්පාදක යානය නිෂ්පාදනය කළේ සීරෝඒවියා සමාගමයි. 
මෙම යානය 2023 දී වෙළෙඳ පොළට එවීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙහි පර්යේෂණ 
හා නිෂ්පාදන කටයුතු කළේ ක්‍රේන්ෆීල්ඩ් ගුවන්තොටුපොළේ පිහිටුවා ඇති 
ක්‍රේන්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයට අයත් විශේෂ පර්යේෂණ ඒකකයේදියි.

මේ ක්‍රමයේ දී ඉවත යන එකම අපද්‍රව්‍යය ජලයයි. සාමාන්‍ය සාම්ප්‍රදායික ගුවන් යානාවලින් වැඩි ප්‍රමාණයක් විමෝචනය කෙරෙන්නේ හරිතාගාර වායුවයි. 

මින් පෙර පැවති පරීක්ෂණවලින් තහවුරු වුණේ, මිනිසාගේ දායකත්වයෙන් දේශගුණික වෙනස්වීම් වලට කෙරෙන අහිතකර බලපෑම්වලින් සියයට 3.5ක් සිදු වන්නේ ගුවන් ගමන් නිසා බවයි. එයින් තුනෙන් දෙකක් සිදුවන්නේ යානය පසුපසින් ඇදී යන වායු ධාරාවලින් හා වෙනත් කාබන් ඩය‍ොක්සයිඩ් විමෝචනවලින්. 

එයාබස් සමාගම ආරම්භ කළ හයිඩ්‍රජන් ඉන්ධන භාවිත කරන ගුවන් යානා ව්‍යාපෘතියට වර්ග තුනක ගුවන්යානා අයත් වෙනවා. ඔවුන් 2035 දී මගී සේවාව සඳහා මේ යානා යෙදවීමට බලාපෙ‍ාරොත්තු වෙනවා.

සීරෝඒවියා ආයතන ප්‍රධානී වැල් මිෆ්ටකොෆ් කියන්නේ, ‘මෙහි සාර්ථකත්වය ගැන විස්තර කරන්න අපට වචන නැහැ. මෙය ශූන්‍ය විමෝචන පියසැරි ගැන උනන්දුවක් දක්වන හමෝටම ඉතා වැදගත්. ඒ අතින් අප ලද ජයග්‍රහණය අති විශිෂ්ටයි.’ කියායි. 

‘කලකට ඉහත අත්හදා බැලීමක් ලෙස, බලසැපයුම සඳහා හයිඩ්‍රජන් ඉන්ධන සෛල බැටරි භාවිත කරමින්, ගුවන්යානාවක් දෙකක් පියාසර කළත් පළමු වතාවට මේ තමන් යන්නේ ශූන්‍ය විමෝචනය සහිත යානයකැයි මගීන්ට නියම වශයෙන් දැනෙන්නේ මෙහි ගමන් කරන විටයි.’ 

ඒ ආයතනය කියන්නේ කලින්, මේ පිළිබඳව අත්හදා බැලූ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියා කරන යානා දැන් සියල්ලම අභාවයට ගිහිල්ලා, මේ නවෝත්පාදනය තමයි, සාර්ථකව ඉදිරියට යා හැකි තත්වයක පවතින්නේ කියා. 

බ්‍රිතාන්‍යයේ දුම්රිය සේවය මේ 321 පන්තියේ දුම්රිය එන්ජින් හයිඩ්‍රජන් 
ඉන්ධන සෛල භාවිතයට හැරවීම ආරම්භ කරලා. ලබන වසර වෙන කොට 
මුලුමනින් ම හයිඩ්‍රජන්වලට හැරෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔවුන් බැටරි වෙනුවට යොදා ගන්නේ ලිතියම් බැටරියි.

2016 දී සිව් දෙනෙකුට යා හැකි HY4 කියා යානයක් ඔවුන් විසින් තනනු ලැබුවා. එය ජර්මනියේ ස්ට්ටට්ගාට් ගුවන්තොටුපළේ සිට සාර්ථක ධාවනයක යෙදුනා. එය මුළුමනින් ම බල ගන්වනු ලැබුවේ හයිඩ්‍රජන් ඉන්ධන සෛල මගිනුයි. ඒ යානය ඔවුන් තැනුවේ ජර්මන් ගගන පර්යේෂණ ආයතනයත් සම්බන්ධ කර ගෙනයි. 

සීරෝඒවියා ආයතනය මෙවර භාවිත කර ඇති යානය සැබැවින්ම මගීන් ගෙන පයිපර් එම් පන්තියේ යානයක්. HY4 යානය එවැන්නක් නොවෙයි. 

බ්‍රිතාන්‍ය ගුවන් සේවා අමාත්‍ය රොබට් කෝට්ස් කියන්නේ, ‘දැන් ගුවන් සේවාව සඳහා නව නිපැයුම් තනන්නට බොහොම දෙනෙක් වෙහෙසෙනවා. ඒ අතරින් සීරෝඒවියා ආයතනයේ මේ නව නිපැයුම, අපේ ගුවන් ගමන් සේවාවේ තිරසර අනාගතය සාර්ථක කර ගැනීමට තාක්ෂණය අතින් තැබූ සුවිශේෂ පියවරක්’ කියායි. 

ප්‍රංශයේ ඇල්ස්ටම් සමාගම හයිඩ්‍රජන් ඉන්ධන භාවිත කරන මේ දුම්රිය කට්ටල100ක් 
ඉදිරි වසර දෙකක ඇතුළත යුරෝපයේ දුම්රිය මාර්ගවලට කිරීමට බලාපෙ‍ාරොත්තු වෙනවා. මෙයින් එක් දුම්රියක් දැනටමත් ප්‍රංශය හා ජර්මනිය අතර ධාවනය වෙනවා.


පසුගියදා එයාබස් ආයතනයත් හයිඩ්‍රජන් ඉන්ධන යොදා ගන්නා ගුවන්යානා තුනක් තැනීමට නව ව්‍යාපෘතියක් ආරම්භ කළා. එය 2030 දී ගුවන් සේවයට එක්වීමට නියමිතයි. ඒ වර්ග තුන හඳුන්වා ඇත්තේ ‘ටර්බෝෆෑන්’, ‘ටර්බෝප්‍රොප්’ හා ‘බ්ලෙන්ඩඩ්-වින්ග් බොඩි’ කියායි. එයින් ‘ටර්බෝෆෑන්’ වර්ගය සැකිල්ල අතින් සාමාන්‍ය අහස් යානයකට සමානයි. එහි එන්ජින් එක බැගින් දෑලේ දෙකක් සවි කර තියෙනවා. 

ඒ යානයට මගීන් 200ක් රැගෙන එක දිගට සැතැපුම් 2,300ක් යන්න පුලුවන්, නැවත ඉන්ධන පිරවීමක් නැතිව. එ්ත් එය‍ට අත්ලාන්තික් සාගරය හරහා යන්නට අවසර ලැබෙන්නේ නැහැ. 

‘ටර්බෝප්‍රොප්’ ගුවන් යානය සැලසුම් කර ඇත්තේ කෙටි ගමන්වලටයි. ඒවාට අවරපෙති,යි යොදා තියෙන්නේ. එයත් පෙනුමෙන් සාමාන්‍ය ගුවන් යානයක් වගෙයි, ඒත් ප්‍රමාණයෙන් කුඩායි. එහි මගීන් ගෙන යා හැක්කේ 100කට ටිකක් වැඩි ප්‍රමාණයක්. තනි ගමනට යා හැකි වැඩිම දුර සැතැපුම් 1,150ක් විතරයි. 

‘බ්ලෙන්ඩඩ්-වින්ග් බොඩි’ කියා හඳුන්වා ඇති යානයෙහි බඳට තටු සවි කෙරෙන්නේ ඉංග්‍රීසි ‘වී’ හැඩයටයි. ‘ටර්බෝෆෑන්’ ගෙන යන මගීන් ප්‍රමාණයම ගෙන ඒ හා සමාන දුරක් යා හැකියි. එ්ත් එහි ඇත කැබින් ඉඩකඩ වැඩියි. වැඩිපුර හයිඩ්‍රජන් ප්‍රමාණයක් ද ගබඩා කළ හැකියි. 

ඒ හා සමාන පරිසර හිතකාමී යානයක් නෙදර්ලන්තයේ KLM ආයතනයත් තනා දැන් අත්හදා බැලීම් අරඹා තියෙනවා. එහි මගීන් 314ක් ගෙනි යන්න පුලුවන්. හැබැයි එහි ඉන්ධන වශයෙන් යොදා ගන්නේ පෙට්‍රෝලියම්වලින් පිරිපහදු කර ගත් දෙයක්. ඒත් එහි කාර්යක්ෂමතාව සාමාන්‍ය හ්වාට වඩා සියයට විස්සකින් වැඩියි. 

ගුවන්යානා විතරක් නොවෙයි, අනාගතයේදී හයිඩ්‍රජන් පාවිච්චි කරන්න සැලැසුම් කරලා තියෙන්නෙ. ලබන අවුරුද්දේ, 2021දී මුල හරියේදි හයිඩ්‍රජන් පාවිච්චි කරන දුම්රිය ධාවනයට යොදවන්න එක්සත් රාජධානිය සැලසුම් කරලා තියෙනවා. ඒවා කිසිම සද්දයක් බද්දයක් නැතිව ගමන් කරන නිසා නම් කරලා තියෙන්නේ ‘මඳ පවන’ (Breeze) කියලයි. 1988දී එරට භාවිතයට ගත් විදුලි දුම්රිය සේවාව තමයි, මෙහිදී වෙනස් කරන්න යන්නෙ. ඒ දුම්රියට පැ.කි.මී 140 (පැ.හැ.87)ක වේගයෙන් ධාවනය කළ හැකියි. 

ඇල්ස්ටම් කියන ප්‍රංශ සමාගම ‘එවර්ෂොල්ට් රේල්’ මාර්ගය සඳහා හයිඩ්‍රජන් පාවිච්චි කරන දුම්රියක් යොදා ගෙන 2019 මුල හරියේ සිටම ජර්මනියට මගීන් ගෙන යනවා. මේ දුම්රියකට, වරක් හයිඩ්‍රජන් ටැංකියක් පිරවූ පසු කි.මී. 1000ක් (හැ.620ක්) යන්න පුලුවන්. 

හයිඩ්‍රජන් ඉන්ධන සෛල ක්‍රියා කරන්නේ කෙසේද? 

හයිඩ්‍රජන් ඉන්ධන සෛල මගින් සිදුවන්නේ, හයිඩ්‍රජන් හා ඔක්සිජන් මිශ්‍ර කොට විශේෂයෙන් සැකසූ තැටි යෙදූ ඉන්ධන සෛල පුංජයක් හරහා යවා විදුලිය නිපදවා, බැටරියකට හා මෝටරයකට බලය සැපයීමයි. මේ ඉන්ධන සෛල පුංජයත්, බැටරිත් දැන් හකුළුවා ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක සීරුවෙන් ඇසිරිය හැකි පරිදි තැනීමට දැන් විද්‍යාඥයන් සමත් වී තියෙනවා. ඒ නිසා ‍‍දැන් කුඩා කාරයකට වුනත් මේ පද්ධතියක් සවි කරන්න පුලුවන්. මෙතෙක් මේ පද්ධති සවිකළ හැකි වුණේ බස් ලොරි ඇතුළු ලොකු වාහනවලට පමණයි. 

මේ ක්‍රමයේදී ඔක්සිජන් ලබා ගන්නේ වාතයෙන්. ඔක්සිජන් වාහනයේ ඉදිරියේ ඇති දැල් සිදුරු තුළින් ඇතුළට ගන්නවා. හයිඩ්‍රජන් ඇලුමීනිම් ස්තරයක් යෙදූ ටැංකි තුළ ගබඩා කර තියෙනවා. (හදිසි අවස්ථාවකදී ඒ ටැංකි හයිඩ්‍රජන් කාන්දු නොවන සේ ඉබේ ම මුද්‍රා තැබීමක් සිදු වෙනවා.) හයිඩ්‍රජන් හා ඔක්සිජන් යන ඒවා විශේෂ ක්‍රමයකට මුසු කිරීමෙන් තමයි, පාවිච්චි කළ හැකි විදුලිය නිපදවනු ලබන්නේ. එහිදී අතුරු ඵලයක් ලෙස නිකුත් වන්නේ ජලයයි. මෙහි ඇති තාක්ෂණය තමයි, දැනට ලෝකයේ වඩාත් නිහඬ හා පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් මිනිසා වෙනුවෙන් සිදුකරන්නේ. 

මේ තාක්ෂණයේ හයිඩ්‍රජන් සෛල පුංජයන් සඳහා යොදා ගන්නා ප්ලැටිනම් ප්‍රමාණය අඩු කිරීමෙන් ඉන්ධන සෛලවලට යන වියදම කපා හරින්න පුලුවන්. එහෙත් මේ දුර්ලභ ලෝහයේ ඇති හිඟකම නිසා මේ ක්‍රමය භාවිතය පුළුල් කළ නොහැකිව තියෙනවා. 

මෑතදී කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් තියෙනවා, කාර්වලට හයිඩ්‍රජන් ඉන්ධන භාවිත කිරීම අනාගතයේදී විදුලි මෝටර් රථවලට ලොකු අභියෝගයක් එල්ල කරාවි කියා. දැනට සමහර රටවල විදුලිය ආරෝපණය කළ හැකි පිරවුම්හල් බහුලව ඇති නිසා දැනට ඒවා ජනප්‍රිය වුවත් වැඩි මූලික පිරිවැයක් යන හයිඩ්‍රජන් පිරවුම්හල් ඇති කළ විට විදුලි මෝටර්රථ අභාවයට යාවි යැයි මතයක් පළ වී තියෙනවා. 

හයිඩ්‍රජන් ඉන්ධන සෛල කාර්වලට යළි ඉන්ධන පිරවීමට යන්නේ ඩීසල් පිරවීමට යන කාලයටත් වඩා අඩු කාලයක්. විදුලි කාරයක බැටරියක් පිරවීමට ඊට වඩා දසගුණයක විතර කාලයක් ගත වෙනවා. 

ඉන්ධන සෛල කාර් වැඩි ප්‍රමාණයක් පාරට එන බව පසක් වූ විට ව්‍යාපාරිකයන් ඩොලර් මිලියන දෙකක් පමණ වැය කොට පිරවුම් හලක් පිහිටුවීමට අකමැති වෙන එකක් නෑ. 

ඇමරිකාවේ බලශක්ති රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන විධියට දැනට එරට ඇත්තේ හයිඩ්‍රජන් පිරවුම් හල් 34ක් පමණයි. එයින් තුනක්ම ඇත්තේ කැලිෆෝනියාවෙයි. ඒ වගේ ම, 2017 දී වාර්තා වී ඇත්තේ FCV (Fuel Cell Vehicle) හෙවත් ඉන්ධන සෛල වාහන 6,475ක් පමණයි. ඒ අනුව FCV වාහනවලට අනුවර්තනය වීමේ ඇමරිකාවේ ප්‍රතිශතය 53ක්. මෙය ජපානයේ 38ක් ලෙසත්, යුරෝපයේ 9ක් ලෙසත් දැක්වෙනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments