හේමපාල මුනිදාසයන්ගේ රසකතා ගෙනෙන ‘රසාවදානය’

අප පාසල් ගිය කාලේ, සාහිත්‍යකරුවන් ලෙස අපේ ‍ගෞරවය දිනා ගෙන සිටියේ ලේඛකයන් අතළොස්සකි. ඒ අතරින් වඩාත් සිත් ගත් අයකු ලෙස හේමපාල මුනිදාසයන් හැඳින්විය හැකියි. එතුමා නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබුවද ස්වෝත්සාහයෙන්ම ඉගෙන ගෙන ලේඛකයකු බවට පත් වූ අයෙකි. ඒ කාලයේ හැටියට සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි පිළිබඳ දැනුමක් තිබූ ඔහුගේ පියා අකුරු කියවීමෙන් ලද පන්නරයත් ගෙදරට පියා ගෙන ආ පුවත්පත් නිසාත් ඔහුගේ සහජ හැකියාව අවදිවී ලේඛනයට යොමු වූ අයෙකි.

1903 ජූනි 22 වැනිදා ඌව පළාතේ වැලිමඩට නුදුරු අඹගස්දෝව නම් ගම්මානයේ උපන් ඔහු, පියාගේ මෙහෙයවීම මත කොළඹ ආවේ, අනගාරික ධර්මපාලතුමන් ආරම්භ කළ පේෂකර්මාන්ත පාසලේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට බැඳීමටය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15කි. පේෂකර්ම පුහුණුව ලැබ එහි ම ගුරුවරයකු ලෙස පත්වීම ලද ඔහු, අවුරුදු 13 සිට කළ පුවත්පත්වලට ලිපි සැපයීම දිගට ම කර ගෙන ගියේ ය. ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි කතු පදවිය දැරූ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට දිගටම කෙටිකතා රචනා කළ ඔහු පසුව එහි කර්තෘ මාණ්ඩලිකයකු විය. ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ ප්‍රකාශනයක් ලෙස, 1926 දී ලංකාවේ මුල් ම වෙසක් කලාපය සංස්කරණය කළේ හේමපාල මුනිදාසයන් ය. ලංකාවේ පුවත්පතක මුල්වරට අධිකරණ ප්‍රවෘත්ති විශේෂාංගයක් කළේ ද ඔහු ය. පුවත්පත් ගණනාවකම කතුකම් කළ ඔහුගේ පෑන නිහඬ වූයේ 1957 දෙසැම්බර් 29 දා ඔහුගේ අභාවයෙන් පසුවය. 


කෙටිකතා, නවකතා, ඓතිහාසික කතා, පරිවර්තන ආදී පොත පත රැසක් කළ ඔහු ‘රසාවාදනය’ නමින් අමුතු ආරේ පොතක් ද පළ කළේය. එයට ඇතුළත් වූයේ ඒ යුගයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන්ගේ ජීවනයේ අප්‍රකට රසමුසු පවත් ය. ඔහුගේ ‘රසාවදානය’ රස කළ කතා දෙකක් ඔහුගේ ලේඛන ශෛලිය හඳුනා ගැනීම පිණිස මෙසේ පළ කිරීමට අදහස් කෙළෙමු. 

මෙහි ‍මුලින් පළ වන්නේ විද්‍යාලංකාර පිරිවෙනට නායකත්වය දුන් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක මාහිමියන් හා විද්‍යෝදය පිරිවෙනට නායකත්වය දුන් හික්කඩුවේ නායක මාහිමියන් අතර වූ සිදුවීමක් පිළිබඳ රස කතාවකි. දෙවැන්න, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති මාහිමියන් හා සම්බන්ධ රස කතාවකි. හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ කෘතියට ඒ යුගයේ විසූ මහා පුරුෂයන් 11 දෙනෙකුගේ රස කතා ඇතුළත් වෙයි. 

විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් අතර පැවති වෙසක් පෝය පිළිබඳ වාදය 

ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විද්‍යාපීඨයන් අතර සමාරම්භයේ පටන්ම පවත්නා සුඛිත මුදිත තරඟයට සමානම වූ තරඟයක් එකල ඇතිව පැවැති විද්‍යෝදය හා විද්‍යාලංකාර පරිවෙණස්ථාන අතර එක් අවුරුද්දක වෙසක් පුන් පොහොය සම්බන්ධයෙන් ඇතිවුණු මතභේදයකුත් එය විසඳා ගැනීම සඳහා ප්‍රයත්නයක යෙදුණු අවස්ථාවකුත් මේ පිළිබඳ නිදර්ශනයකි. මේ නොබෝදා ද ඇති වූ පරිද්දෙන්ම මෙකී අවුරුද්දේ එක් වෙසක් මසක් ඇතුළත පසළොස්වක් පොහෝ දින දෙකක් යෙදී අධිමාසයක් වුණේය. මෙයින් අග පොහොය නියම වෙසක් පසළොස්වකයයි. විද්‍යාලංකාර පිරිවෙනේ පක්ෂයෙන් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක මාහිමියෝ තෙපළාහ. අග පොහොය නොව මුල පොහොයම නියම පසළොස්වක යයි විද්‍යෝදය පිරිවෙන් පක්ෂයෙන් හික්කඩුවේ නායක මාහිමියාණෝ පළ කළහ. සංවාදය සති කිහියක් පැවතුණු පසු හික්කඩුවේ නායක මාහිමියෝ විද්‍යාලංකාරයට අභියෝගයක් කළහ. වෙසක් මසක් මුලදී ලබන පොහොය නියම වෙසඟ පොහොය යයි එයින් දවසකට දෙකකට පෙර ස්වභාව ධර්මයෙන් ඔප්පු කරන්නට සූදානම් යයි එයින් සැලවුණේය. 

රත්මලානේ ශ්‍රී ධර්මාරාම මාහිමියෝ

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියෝ 

පළමුවන වෙසක් පසළොස්වකට පෙර දින රත්මලානේ ධර්මාරාම නායක මාහිමියන් ඇතුළු විද්‍යාලංකාරයෙහි ආචාර්ය මණ්ඩලයත් විද්‍යෝදය පරිවෙණස්ථානයෙහි දම්සබා මණ්ඩපය තුළ දකින්නට ලැබිණ. ලොකු සූදානමක් එහි පැවතිණ. මහ පදනැදුරන් දෙනම විශේෂ ආසනයක් අරා කථෝපකථනයක යෙදී සිටියහ. 

‘ඉතින් අපට මෙතැන පැලවෙන්න බැහැ. අනිද්දා ලබන්නේ නියම වෙසක් පෝය බව ස්වභාව ධර්මයෙන් ඔප්පු කරන බවක් කීවා නේද? ඉතින් ඇයි ඔප්පුු නොකරන්නේ?’ යයි ධර්මාරාම නායක හිමියෝ අවසානයෙහිදී හික්කඩුවේ නායක හිමියන්ට සැලකළහ. 

‘ඉන්නවා එහෙනම් ඔප්පු කරන්න’ යයි කියමින් හික්කඩුවේ හිමියෝ ඉවතට ගියහ. 

‘ආ! තැනේ! හික්කඩුවේ මොකාටද එන්න හදන්නේ?’ යයි ධර්මාරාම නාහිමියෝ ළඟින් සිටි කුලුපග තෙරවර‍යෙකුගෙන් විමසූහ. 

‘නායක හාමුදුරුවො සමනල අඩවියට දායකයෙක් යවලා වෙසක් මල් ගෙන්වා ගෙන තියෙනවා..’ උන්වහන්සේ සෙමින් පිළිතුරු දුන්හ. 

‘දැන් වෙසක් මල් පිපිලදැ’යි ධර්මාරාම හිමියෝ විස්මයෙන් විමසූහ. 

‘එහෙමයි, පිපිච්ච වෙසක් මල් ගොන්නක් ගෙන්නා ගෙන තියෙනවා...’ 

ධර්මාරාම නායක හිමියෝත් විද්‍යාලංකාරයේ සෙසු දූත පිරිසත් අත්‍යර්ථයෙන් ම නිහඬ වූහ. වෙසක් ‘ඕකිඩ්’ මල් පිපෙන්නේ හරියටම නියම වෙසක් පොහොයටය. පිපුණු වෙසක් මලක් දැක්වීම වෙසක් පුන් පොහෝ සමයේම කටයුතු ප්‍රාතිහාර්යයකි. හික්කඩුවේ මාහිමියන් මේ පොහෝ දවස්වල වෙසක් මලක් දැක්වුවහොත් ඒ වූකලී තම වාදය නිෂ්ඵල වී උන්වහන්සේගේ වාදය සනාථ කිරීමකි. මේ අතර හික්කඩුවේ නායක හිමියෝ සව් කඩදාසියකින් ඔතන ලද වෙසක් මල් ගුලාවක්ද රැගෙන එහි පිවිසියාහ. මේ සමගම එහි පැමිණියේ මේ වාදයට සම්බන්ධවී පෑලියගොඩ පැත්ත ගෙන සිටි කවට කතික පතේ කතුවරයා වූ පෑලිස් අප්පුහාමි ය. කාරණය කලින් දැනගෙන තිබූ ඔහු හික්කඩුවේ නායක මාහිමියන් දෙස බැලුවේ ය. 

‘අනේ නායක හාමුදුරුවනි! වහගෙන තියාගෙන ඔය පෙන්නන්න හදන්නේ මොකක්දැ’යි පෑලිස් අප්පුහාමි විමසුවේ ය. 

‘හා! හා! අප්පුහාමි! කලබල කරන්න එපා. අපේ හික්කඩුවේ නායක හාමුදුරුවො මල මාර්ගයෙන් වෙසක් පෙන්නන්න හදනවා නේ!’යි මෙහිදී ධර්මාරාම හිමියෝ හික්කඩුවේ නායක හිමියන් ඇතුළු මුළු සභාව හිනස්සවමින් පැවසූහ. 

බත්තරමුල්ලේ නායක මාහියන්ගේ රහස් ආයුධය! 

බත්තරමුල්ලේ සුභූති නායක හිමියන් වහන්සේ ප්‍රකටව විසුවේ වාදීභසිංහ‍යෙකුත්, වාගීශ්වරයෙකුත්, බුද්ධ ශාසනාරක්ෂාව පිළිබඳ පතාක යෝධයෙකුත් වශයෙන් පමණක් නොවේ. යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් හා සෙත් කවි වස් කවි සම්බන්ධයෙන් ද උන්වහන්සේ ප්‍රකටව විසූහ. මේ ප්‍රකටත්වය පිළිබඳ සත්‍යාසත්‍යය කෙසේ වුවද නවසිය පහලොවේ යුද්ධ නීති සමයෙහි දී උන්වහන්සේට මේ සම්බන්ධයෙන් ඇති වුණේ බලවත් අනාදරයකි. හිරිහැරයකි. සැකයකි. රාජ වෛරයකි. මුස්ලිම් ජනයාට අබිරහස් ලෙස අනතුරු කිරීම සඳහා සම්පාදනය වුණු රහස් අයුධයක් මුන්වහන්සේ ළඟ තිබේ යැයි අසන්නට ලැබූ රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහා පොලිස් භටයන් කීප දෙනෙකු සහිත ඉන්ස්පෙක්ටර් කෙනෙකු එව්වේ ය. කොළඹ ඌරුගොඩවත්තේ වෛජයන්ත මහා ප්‍රාසාදය නමින් පැවති ආශ්‍රමයට පැමිණි මොව්හූ වහාම තෙරුන් වහන්සේ කැ‍ඳ‍ෙව්වෝය. 

‘හාමුදුරුවන් ළඟ රහස් ආයුධයක් තියෙනවයි කියන්නේ සැබෑදැ?’යි තමන් හමුවට පැමිණ ආසනාරූඪ වූ තෙරුන් වහන්සේ ගෙන් පොලිස් ඉන්ස්පැක්ටර් විමසුවේය. 

‘මොන රහස් ආයුධයක්ද?’යි තෙරනුවෝ විමසූහ. 

‘මේ හම්බන්කාරයින්ට යි මරක්කල මිනිසුන්ට යි අන්තරා කරන රහස් ආයුධයක්...’ 

‘එහෙම එකක් මා ළඟ නැහැ. මා ළඟ තියෙනවා රහස් ආයුධයක්. ඒකෙන් කාටවත් අනතුරක් නෑ’යි බත්තරමුල්ලේ තෙරනුවෝ පැවසූහ. 

‘කෝ ඒක? මට බලන්න ඕනෑ’යයි ඉන්ස්පැක්ටර් මහත් උනන්දුවෙන් කීවේ ය. 

‘එහෙමත් බලතෑක, එහෙමත් පෙන්නතෑක’ 

‘නෑ නෑ. මට බලන්න ඕනෑ. කොහෙද තියෙන්නේ?’ 

‘මා ළඟ ඇති, නමුත්..’ 

‘නමුත් වලින් කමක් නෑ. වඩින්න, පෙන්වන්න. කොහෙද තියෙන්නෙ? එන්න, එන්න’ යයි ඉන්ස්පෙක්ටර් තෙරනුවන්ගේ අතක් අල්ලන්නට තැත් කරමින් කීවේ ය. 

‘එහෙනම් කුටියට එන්න පෙන්වන්න. නමුත් ඒක හැමෝටම පෙන්නන බඩුවක් නම් නෙවේ’යයි කියමින් තෙරනුවෝ අසුනෙන් නැගිට ඉන්ස්පැක්ටරුත් සමග ඇතුල් ගබඩාවක් කරා ගියහ. 

විනාඩි කීපයකට පසු ඉන්ස්පැක්ටර් තෙමේ කෝපාග්නියෙන් දිලෙන නුවන් යුවලෙනුත් විළියෙන් රත්වුණු කොපුල් සඟලෙනුත් යුක්තව එළියට ආවේ ය. 

‘මහ වල් හාමුදුරුවෝ! හරිම වලා!’යි තොල් මතුරමින් පොලිස් ඉන්ස්පැක්ටර් තෙමේ පොලිස් භටයන් ද කැටුව ආපසු නික්ම ගියේ ය. 

මුව පුරා උපහාස සිනාවක් ඇති තෙරනුවෝ මේ සමඟ ආලින්දයට වැඩියහ. ‘එයාට මම මගේ රහස් ආවුදේ පෙන්නුවා නේ’යි මහ හඬින් සිනාසෙමින් රැස්ව සිටි පිරිසට තෙරනුවෝ තෙපළාහ. 

 - පර්සි ජයමාන්න


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments