එක දවසක් නස්රුදින්ගේ බිරිඳ එයාට යෝජනා කළා, කිරි හරකෙක් ගෙන එමු කියලා. ‘කිරි එළදෙනෙක් ගෙනාවොත් අපට හැමදාම උදේට කිරි දොවා ගන්න පුලුවන්’ බිරිඳ කිව්වා.
නස්රුදින් එ්කට විරුද්ධ වුණා. ‘අලුතෙන් එළදෙනෙක් ගෙනත් කොහෙද තියන්නෙ? අපේ වත්තෙ මගේ බූරුවාට වඩා ඉඩක් නෑනෙ’ නස්රුදින් කිව්වා. ඒත් බිරිඳ නෙවෙයි, ඒක කනකටවත් ගත්තෙ. එයා බල කර සිටියා එළදෙනෙක් ගේන්න ම කියලා.
අන්තිමේදි නස්රුදින්ට ඒකට කැමති වෙන්න සිද්ධ වුණා. එයා වෙළඳපොළට ගිහින් කිරි එළදෙනෙක් ගෙනාවා.
නස්රුදින් කිව්වා වගේ ම පිදුරු මඩුවෙ උන් එයාගෙ බූරුවටයි, එළදෙනටයි, එතැන ඉඩ මදි.
ඒ බව බිරිඳට කොතෙක් කිව්වත් වැඩක් නැති හින්දා නස්රුදින් කල්පනා කළා දෙවියන්ටවත් කන්නලව් කරන්න. එහෙම කල්පනා කරලා එදා රාත්‍රියේ දෙවියන්ට යාඥා කළා.
‘අනේ! දෙවියනේ, මට පිහිට වෙන්න! මගේ බිරිඳට ආයිත් මට කරදර නොකර ඉන්න මේ එළදෙන මරා දමන්න! මගේ බූරුවාට යහතින් ඉන්න සලස්වන්න’ නස්රුදින් කීවා.
ඊළඟ දවසේ උදේ නස්රුදින් පිදුරු මඩුවට ගිහින් බලන කොට එළදෙන වෙනුවට බූරුවා මැරිලා හිටියා.
නස්රුදින් එක පාරට ම අහස දිහාට හැරිලා මෙහෙම කිව්වා. ‘දෙවියනේ මං මේ ඔබ වහන්සෙට වරදක් පවරනවවත්, දොස් කියනවවත් නෙමෙයි. මං මේ අහන්නෙ මෙච්චර කාලයක් තිස්සේ ඔබ වහන්සෙ ලෝකය පාලනය කරනවා, එළදෙනගෙයි, බුරුවාගෙයි වෙනස අඳුනන්නෙ නැද්ද?’
- පර්සි ජයමාන්න
0 Comments