ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා |
ඒ මොහොතේ වීරයා වූයේ ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර මැතිතුමා ය. එතුමා තරම් රටට, ජාතියට ආදරය කළ ජනතා නියෝජිතයකු තවත් නැත. ජාතික මන්ත්‍රණ සභාවේ ජාතික ඇඳුම ඇඳි ප්‍රථම ඇමතිවරයා ඔහු විය. එතුමා ජාතික ඇඳුම ඇන්දේ බොහෝ කළු සුද්දන් මෙන් අසරණ මිනිසුන්ගේ ඇස්වලට වැලි ගසා තම පටු දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීමට නොවේ. දිලිඳු අයට ළංවීමටවත් නොහැකි, ධනවතුන්ට පමණක් සීමා වූ අධ්‍යාපනය, මේ දූපතේ ඉන්නා සෑම දරුවකුට ලබා ගත හැකි වන පරිදි නිදහස් අධ්‍යාපන පනත ගෙනාවේ එතුමා අවංක චේතනාවෙනි.
1944 මැයි 30 වැනිදා අධ්‍යාපන සංශෝධන ආඥා පනත ඔස්සේ නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේ එතුමාගේ සභාපතිත්වයෙන් පැවති අධ්‍යාපන කමිටුවෙන්, ජාතික අභිලාෂයන් මුදුන් පත් කරවා ගැනීමට කළ නිර්දේශ අනුව යමිනි.
ඒ යෝජනාවලට ඒ කාලේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි බලවත් උදවිය පවා විරුද්ධ විය. ඇතැම් අය කීවේ ඒ යෝජනා ක්‍රියාත්මක වූ විට ‘අපේ බත් බැලයන් හැමෝම උගතුන් වෙලා ගියාට අපේ ගස්වල අපට ගහක ගෙඩියක් නඩා ගන්නත් කොල්ලෙක්වත් නැති වේවි’ කියා ය.
ඒත් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන යෝජනා ඉදිරිපත් කිරීම අත්හළේ නැත. එහි අංශුවක්වත් වෙනස් නොකර රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. එසේ ඉදිරිපත් කරමින් පැය හයක කතාවක් ද කළේය. ඒ මහතා එම කතාව ආරම්භ කළේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි කවියකු වන තෝමස් ග්‍රේ ගේ මේ කවියෙනි.
"නොයෙනා හිරු රැස් සිඳු ගැබ පතුළට
අගනා මිණි කැට අඳුරේම සැඟවෙද
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළඟින් වනයෙම පරවෙත"
“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී, සුවඳ අහිමි වී, යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි."
ඒ කාලේ ඇතැම් මාධ්‍ය ආයතන පවා කන්නන්ගරගේ පනතට විරුද්ධ විය. එතුමාට සහය දුන්නේ ඒ. රත්නායක, ඊ. ඒ. නුගවෙල, ආචාර්ය ඇන්. ඇම්. පෙෙර්රා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, සර් ඔලිවර් ගුණතිලක යන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයන් පමණි. ඒ වගේ ම එකල සිටි ප්‍රබල සමාජ ක්‍රියාකාරීන් වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද යන දෑහිතකාමීන්ගේ සහයත් එතුමාට ලැබුණේය.
"ගරු සභිකවරුනි, එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුවා මා එන විට ගඩොලින් බැඳ තිබු රෝමය වෙනුවට ඉතිරි කොට ආවේ කිරි ගරුඬෙන් තැනූ රෝමයකි. අන්න ඒ වගේ අප යන විටත් මිල අධික අධ්‍යාපනය මිල බැස්සුවා. වසා මුද්‍රා තබන ලද අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කළා. ධනවතුන් ගේ වරප්‍රසාදයක්ව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායදයක් බවට පත් කළායැ යි උදම් අනන්න අපට පුළුවන් නම් එය කොයි තරම් අගේදැ යි" යනුවෙන් එතුමා සභිකයන් හෘද සාක්ෂිය අවදි කළා. ඒ අනුව 1945 ජූලි මාසයේ දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ අතර, සිය දහසක් දූ දරුවන්ගේ හා මාපියන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් එම වසරේ ඔක්තෝබර් මස පළවෙනිදා සිට එය බලාත්මක කෙරුණා.
කන්නන්ගර මැතිතුමා ක්‍රියා කළේ ලක්දිව සියලු දූදරුවන්ට
සමාන අධ්‍යාපන ක්‍රමයක් නොමිලේ ලබා දී
ඔවුන්ගේ සිහින සැබෑ කිරීම සිය පරම යුතුකම ලෙස සලකා ගෙනයි.
එදා එතුමා ගෙනා ඒ නිදහස් අධ්‍යාපන පනත නොවූවා නම්, අද ලක්දිව ඈත පිටිසර දිලිඳු දූදරුවන් මේ රට තුළ පමණක් නොව, ලොව පුරා විසිර යමින් අපේ රටට කීර්තියක් ගෙන දෙමින් අභිමානයෙන් ජීවත්වන්නේ කන්නන්ගර මැතිතුමාට පින්සිදු වන්නටය.
එතුමා අධ්‍යාපන ඇමති පදවිය බාර ගනිමින් පනතේ අරමුණු ඉටු කරන්න ඇප කැප විය. රෝයල් කොලීජිය ආදර්ශයට ගනිමින් පහසුකම්වලින් පිරි මධ්‍ය විද්‍යාල රටපුරා ඇති කළේය. ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රමයක් ස්ථාපිත කළේය. එහෙත් මේ කිසිවක් අපේ රටේ ‘අන්ධ’ ඡන්දදාකයන්ට පෙනුනේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ මහිමයෙන් ඔවුහූ ඊළඟ මැතිවරණයෙන් ඔහුව පරාජය ගෙදර යැව්වෝය.
ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් වැඳුම් පිදුම් ලැබිය යුතු තරම් වූ මේ ‘නිදහස් අධ්‍යාපනයේ පියා’ගේ අවසානය ද අතිශයින් ශෝචනීය ය. 1956 විශ්‍රාම යාමෙන් පසු, දැන් මෙන් විශ්‍රාම වැටුපක් නොලැබුණු නිසාත්, විසිපස් වසරක් මන්ත්‍රීවරයතු වශයෙන් සේවය කළත් ‘හම්බ කර ගත් දෙයක්’ නොවූ නිසාත්, තමාට ජීවත්වීමට ‘පිං පඩියක්’ ලබා ගැනීමට ආයාචනාත්මක ලිපියක් එවකට පාර්ලිමේන්තුවේ කතානායක ආර්. ඇස්. පැල්පොළ මහතා වෙත යැවීමට පවා සිදු විය. එදා, 1961 ඔක්තෝබර් 26 වැනිදා, එතුමා යැවූ ලිපියේ මෙසේද සඳහන් වේ.
‘රජයේ ඉහළම රාජ්‍ය සභාවල සියවස් කාලකටත් වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව මා දැනට පත්වී තිබෙන අසරණ තත්ත්වය නිසා හදිසි මුල්‍යමය ආධාරයක් අපේක්ෂාවෙන් මේ ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කරන බව ගෞරවාන්විතව දන්වා සිටිමි. ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවකම යැපුණේ මගේ මිත්‍රයන්ගෙන් ලැබුණු පරිත්‍යාගවලිනි. මගේ සෞඛ්‍යය රැකගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතී.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා
පනත ඉදිරිපත් කළ සමයේ මෙරට සිටි
ප්‍රම්‍රඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයෙකි.
‘මිත්‍රයන්ගෙන් හා නැදෑයන්ගෙන් සහනාධාර යැදීම සියවසකින් තුනෙන් එකක් තරම් වූ කාලයක් තිස්සේ රජයේ ඇමැති තනතුරක් දැරූ මා වැන්නකුට කිසිසේත් තරම් නොවන බවට ඔබතුමා ද එකඟ වනු ඇත යනු මාගේ විශ්වාසයයි. රජයෙන් ක්ෂණික සහනයක් අපේක්ෂාවෙන් මගේ මේ ආයාචනය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අද මා මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය නිසා ය. එසේම සියවස් කාලකට වැඩි කාලයක් තිස්සේ මගෙන් කිසියම් ගෞරවයකට හා පිළිගැනීමකට ලක් වූ සේවයක් ඉටු වී ඇති බව ද මා අදහස් කරන නිසාත් ය.‘ යනුවෙන් එතුමාගේ ආයාචනයෙහි සඳහන් වෙයි.
එතුමාගේ ආයාචනයට ප්‍රතිචාර වශයෙන් පාර්ලිමේන්තුවෙන් රුපියල් 10,000ක ප්‍රදානයක් හා මාසිකව රුපියල් 500ක දීමනාවක් ලැබුණු අතර ඊළඟට බලයට පත් රජයට විසින් ඒ දීමනාව 1000 දක්වා වැඩි කරන ලදී. ඒ මුදල එතුමාට ප්‍රමාණවත් නොවූ බව, රෝගීවූ අවස්ථාවක එතුමාගේ මංගල මුදුව පවා උගස් කිරීමට සිදුවීමෙන් පෙනේ. ඒ කිසිම අවස්ථාවක එතුමා ඒ ගැන දුක්ගැනවිලි කියා නැත.
එතුමා සිහිකරමින් නිකුත් කළ මුද්දරය.
මුළු රටේ ම දූදරුවන්ට එක හා සමානව නැණැස පාදා ගන්නට නිදහස් අධ්‍යාපනය දායාද කළ එතුමාට මිනිපිරිය විසාකාවට ඇතුළත් කිරීමේ පරීක්ෂණයට ඇවිත් පැය ගණනක් පෝලිමේ රැඳී සිටින්නට සිදු විය. එහි ඇති ශෝචනීය තත්වය නම් ඒ තැන්වල කටයුතු කළ හැම දෙනාම නිදහස් අධ්‍යාපනයේ පල ලබමින් ඒ තැන්වලට ආ අය වීමයි. ඒ විතරක් නොවේ, එතුමා අසාධ්‍යව මහ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ඇඳක් මත අසරණව සිටියදී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු හැමදෙනා ම තමන්ට ඒ තැන්වලට එන්නට ලැබුණේ එතුමා නිසා බව නොදැන සිටීම හේතුවෙන් රෝගියකු වශයෙන් එතුමා වෙත ලැබිය යුතු අවම අවධානයවත් යොමු නොවීම ශෝකයට කරුණකි. එතුමාගේ උපැස් යුගලත් පාවහන් යුගලත් කිසිවකු විසින් සොරාගෙන තිබූ බවත් එතුමාගේ මිනිබිරිය වරක් සඳහන් කර තිබුණා. ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට නිදහස් අධ්‍යාපනයෙන් ජීවිත ජයගන්නට මග පෑදූ මෙවන් විශිෂ්ට යුග පුරුෂයකුට ජාතිය කෘත ගුණ සැලකුවේ ඒ අයුරිනි.
- පර්සි ජයමාන්න
0 Comments