HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මාර්ටින් වික්‍රමසිංහ දුටු සාහිත්‍යය හා සංස්කෘතික දියුණුව

මේ සාහිත්‍ය මාසයයි. පොතපතට වැඩි අවධානයක් යොමු කෙ‍ෙරන මාසයයි. ලේඛකයන්, ප්‍රකාශකයන් හා පාඨකයන් එක් කරන මාසයයි. රටපුරා සාහිත්‍ය උත්සව, පොත් ප්‍රදර්ශන පැවැත්වෙන මාසයයි. ලේඛකයන් රාජ්‍ය සම්මාන ඇතුළු සම්මානවලින් පිදුම් ලබන මාසයයි.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මේ විශේෂ ඡායාරූපය 
සරසවිය පත්‍රයේ කලා සංස්කාරක නිමල් පෙරේරාගේය.

සිංහල සාහිත්‍යය එදා මෙදාතුර බිහිකළ විශිෂ්ටතම ප්‍රාඥයා වූ, ලෝක සම්භාවනාවට පාත්‍ර වූ, හෙළ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ජීවතුන් අතර සිටියදී සාහිත්‍යය ගැන ලියූ මේ විශේෂාංගය ‘මල්කැකුළු’ පළ කරන්නේ ඒ නිමිත්තෙනි.

විසි වසරක් තිස්සේ, වසරකට වරක්, පාඨකයන් වෙත ආ පොත් වසන්තය, යළිත් තව දින 4කින් උදාවෙයි. ශ්‍රී ලංකාව පුරා සිටින ලේඛකයන්, පාඨකයන්, සාහිත්‍ය සහෘදයන්, පුස්තක ලෝලීන්, ප්‍රේක්ෂකයන්, ප්‍රකාශකයන් සමග එක්වන, මේ අපූරු සැණකෙළිය, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2020, සැප්තැම්බර් 18-27 තෙක් පෙරවරු 9 සිට රාත්‍රි 9 දක්වා කොළඹ බණ්ඩානායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

මාර්ටින් වික්‍රමසිංහ දුටු සාහිත්‍යයෙන් පිළිබිඹු වන සංස්කෘතික දියුණුව

ජනතාවකගේ ශ්‍රේෂ්ඨත්වය, බුද්ධිය, විනීතභාවය හා ශිෂ්ටත්වයද මනිනු ලබන්නේ ඔවුන්ගේ සංස්කෘතියෙනි. ඩාවින්ගේ පරිණාමවාදයෙන් පසු මානව විද්‍යාව නමින් අලුත් විද්‍යාවක් බටහිර පහළ විය. අවසාන ලෝක සංග්‍රාමයට පෙර එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය යන රටවල් මානව විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් ප්‍රමුඛ ස්ථානය ගත්තේය. යුද්ධයෙන් පසු එ් පර්යේෂණ සම්පූර්ණයෙන්ම වාගේ ඇමරිකාවට හිමි විය. මානව විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා බෙහෙවින් මුදල් වියදම් කළ යුතුය. යුද්ධයෙන් පසු බංකොලොත් වූ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල, විද්‍යාඥයන් යවා පර්යේෂණ පැවැත්වීම සඳහා මුදල් වියදම් කළ නොහැකි විය. ඒ රටවල් මහ ධනවත් රටව්ල් ලෙස වැජඹුණේ පෙරදිගත් අප්‍රිකාවේත් රටවල් සූරා කෑමෙනි. යුද්ධයෙන් පසු ඒ රටවල් සූරාකෑමේ අයිතිය ඒ රටවලට නැති විය. ඇමරිකාව නොයෙක් දේ පොළොවෙන් උපදින ස්වාධීන මහා ධනවත් රටක් විය.

යුද්ධයෙන් පසු ඇමරිකාව මානව විද්‍යාත්මක පර්යේෂණ සඳහා බෙහෙවින් මුදල් වියදම් කරන්නට විය. ශාන්තිකර සාගරයේ නොදියුණු මිනිස්සු ජීවත්වන රටවල් බහුල වූහ. ඒ රටවල් ඇමරිකාවට ආසන්නව පිහිටි රටවල් වූයෙන්, මානව විද්‍යාඥයන් එහි යැවීම ඒ තරම්ම වියදම් කාරියක් නොවීය. දැන් ඇමරිකාව මානව විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් පළමුවන තැන ගෙන සිටියි.

රටක ශ්‍රේෂ්ඨත්වය මැනීමට ඒ රටේ සංස්කෘතිය විමසිය යුතුය. රටක ජනයාගේ බස, සාහිත්‍ය කලා, ආගම, සිරිත් විරිත්, කලාශිල්ප, ඇඳුම් පැලඳුම් හා මිනිසුන් පිළිබඳ හැම දේද, ඔවුන් කන බොන දේ හා කන බොන විධිද, ගමන් බිමන් ක්‍රමද ඔවුන්ගේ සංස්කෘතියෙහි ඇතුළු වෙයි. මෙයින් බොහෝ දේ සංස්කෘතික උපකරණ ලෙස මානව විද්‍යාඥයෝ හඳුන්වති. ඒවා පරිහරණයෙන් හා භාවිතයෙන් ඇති වන සිරිත් පැවතුම් ආදිය සංස්කෘතියෙහි අංග වෙයි.

මෙකල අප රට සමහරුන් සංස්කෘතිය ලෙස හඳුන්වන්නේ, ආගම හා සාහිත්‍ය කලා උගැන්මෙන් ලබන හැදියාව ලෙසිනි. එය පරිණාම වාදය හා මානව විද්‍යාව පහළ වීමට ‍අවුරුදු ගණනාවකට පෙර බටහිර උගතුන් අතරද පැවති සංස්කෘතිය පිළිබඳ විවරණයකි. දැන් සංස්කෘතිය උගැන්ම මානව විද්‍යාවෙහි විශේෂ ලක්ෂණයකි.

සාහිත්‍ය කලා ආදියෙන් හටගන්නා ජාතික දියුණුව විමසිය යුත්තේත්, එයින් ඇති වන සංස්කෘතික දියුණුව අනුවයි. නොඑසේ නම් ජාතික දියුණුව සඳහා සාහිත්‍යයෙන් සිදු වන සේවය සොයන්නට වෑයම් කිරීම, සාහිත්‍යය දේශපාලනයට යට කරන වෑයමක් වැන්න. දේශපාලනය, ජාතික දියුණුව ආදිය ගුරුකොටගෙන නිපදවනු ලබන නවකතා, කාව්‍ය ආදිය නියම සාහිත්යික රචනා නොව, ප්‍රචාරක රචනා වෙයි. ඒවා නියම ගද්‍ය පද්‍ය කාව්‍ය මෙන්, භාෂාවත් ඒ බස වහරන ජනයාත් ජීවත්වන තාක් පවතින පොත් නොවේ. වෙනස් වන දේශපාලනය සමඟ නැතිව යන ග්‍රන්ථ වෙයි. ථෙර ථෙරී ගාථා, ජාතක පෙළ නොහොත් පාලි ජාතක පද්‍ය, සිංහල ජාතක කතා, ගුත්තිලය, කාව්‍යශේඛරය, සද්ධර්මරත්නාවලිය ආදිය පැරණි ජනයාගේ ජීවිතය, ඔවුන්ගේ චරිත ආදිය ඇසුරෙන් රචිත නියම සාහිත්යික රචනා වෙයි. ඒවා සිංහලයන් ජීවත්වන තාක්, ඔවුන්ගේ බස හා පාලි බසද පවතිනු තාක් පවතිනු ඇත.

සිංහලයන්ගේ සැබෑ ජීවිතය හා ඔවුන්ගේ චරිිතද ඇසුරෙන් ලියනු ලබන කතා හා පද්‍ය කාව්‍යයන් ජාතියේ දියුණුවට වැඩ සලසමින් පවතිනු ඇත. සැබෑ ජීවිතය හා චරිත නොතකා අද්භූත බොරු කතා හා රාමායණය වැනි අත්භූත කාව්‍යයන් ලියනු ලැබුවහොත්, කලක් යනතුරු ඒවා විකිණෙනු ඇත. අනතුරුව ඒවා අභාවයට යනු ඇත. දැනට ලියනු ලබන ප්‍රේම කතාද වැඩිකල් යන්නට පෙර ඉඳුරා අභාවයට යනු ඇත. ලෝක සංග්‍රාමය පැවති කාලයේ කවි කතා බෙහෙවින් ලියනු ලැබීය. ඒ කාව්‍ය අභාවයට ගොස් ඇත. ප්‍රේම කතාද දැන් කෙමෙන් අභාවයට යන තැන තෙක් පිරිහී ඇත.
‘අපේ රටේ ඕනෑම තරුණයෙකුට නවකතාවක් ලියූ විට, 
එය පළ කරන්නට ප්‍රකාශකයෝ වෙති.’ - මාර්ටින් වික්‍රමසිංහ 
(පසුගිය පොත් ප්‍රදර්ශනයක දසුනක්.)

පද්‍ය ගද්‍ය කාව්‍ය රචනයෙන් ජාතියට සේවයක් කළ හැක්කේ, ජීවිතයත් භාෂාවත් දෙක ඉතා හොඳින් උගැන්මෙනි. ජීවිතය පොතින්පතින් හා අත්දැකීමෙන් ඉතාම හොඳින් උගත යුතුය. එවිටය, කුණුගොඩක් වැනි ජීවිතයෙන් ඉතා වටිනා දියමන්ති රත්තරන් ආදිය සොයා තෝරා බේරාගත හැක්කේ. එසේ සොයා තෝරාගන්නා මුතු මැණික් ඔබා වටිනා ආබරණ සෑදීම වැන්න, හොඳ ගද්‍ය පද්‍ය රචනයක් නිපදවීම. ඒ සඳහා බස හැසිරවීමෙහි හසළ දැනුමක්, ඇබ්බැහිකමක් වුවමනාය. ජීවිතය ගැන අත්දැකීමෙන් හා පොතින්පතින් දැනුම ලැබුවත්, ඒ දැනුම නමැති කුණුගොඩ ඉවසිල්ලෙන් හාරා, මුතු මැණික් රන් කෑලි සොයා ගැනීමේ හොඳම දැනුම ඔහුට තිබිය යුතුය. ජීවිතය නමැති කුණුගොඩ ගරා එහි ඇති මුතු මැණික් රන් කෑලි සොයා තෝරාගැනීමට ඉතා සියුම් දැනුමක් වුවමනාය. උචිතානුචිත විවේකබුද්ධිය නමින් සමහර සකු ආලංකාරිකයන් හඳුන්වා ඇත්තේ, ඒ සියුම් දැනුමයි. ප්‍රතිභා ශක්තිය නමින් එක් සකු ආලංකාරිකයකු හැඳින්වුයේ ඒ සියුම් දැනුමයි. වර්තමාන තරුණ නවකතාකාරයන්ගෙන්, පද්‍ය කාව්‍ය රචකයන්ගෙන් සියේට අනූවක් පමණ මේ උචිතානුචිත විවේක බුද්ධියෙන් ඉතා දුබල බව, ඔවුන්ගේ රචනා පනහක් හැටක් උඩින් පල්ලෙන් වුවද කියවීමෙන් විවේක බුද්ධිය ඇති අයෙකුට දත හැකිය. මෙසේ තෝරාගන්නා මුතු මැණික් ආදිය ඔබා ලෝකුරුවකු විසින් කරාබු කුට්ටමක් සෑදීම වැන්න, නවකතාවක්, පද්‍ය කාව්‍යයක් රචනා කිරීම. ඒ සඳහා දැඩි පුරුද්දෙන් ලත් ව්‍යවහාර ඥානය හා දැඩි ආසාවද වුවමනාය. ඒ දෙක තුනම ඇත්තේ ඉතාම හොඳ සමත් හුරුපුරුදු රන්කරුවාටය.

මීට හොඳම නිදසුනක් ලැබිය හැක්කේ බටහිර ශ්‍රේෂ්ඨතම නවකතාකාරයන්ගෙනි. ගස්ටෙව් ෆ්ලෝබේ ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නවකතාකාරයෙකි. ඔහු තමාගේ ‘මැඩම් බෝවරි’ නවකතාවට වස්තුව සම්පාදනය කළේ බොහෝ කලක් වෙහෙස ගැනීමෙනි. ඒ කතාව ලියා නිම කරන්නට ඔහු අවුරුදු 17ක් ගත කළේය. නාමපදයට උචිත ක්‍රියාපදයක්ද, ඊටම උචිත ගුණපදයක්ද ඇතැයි ඔහු ඇදහුවේය. ඒ ක්‍රියාපදයත් ගුණපදයත් උචිත ස්ථානයෙහි යෙදීමට ඔහු වෙහෙසුන බැවින්, ඔහු නවකතාව ලියා නිම කළේ අවුරුදු ගණනාවකිනි. තම නවකතාවෙහිලා සඳපහනින් එළිය වුණු ගෝවා වත්තක් විස්තර කරන්නට ඔහුට උවමනා විය. ඔහු සඳපාන ඇති රැයක ගෝවා වත්තකට ගොස් රැයක් ඒ ගෝවා වත්ත විමසා උගත්තේය.

ලියෝ තොල්ස්තෝයි ලෝකයේ ශ්‍රේෂ්ඨ නවකතාකාරයකු පමණක් නොව, තමන්ගේ නවකතා හා ‍ගෙදර ජීවිතය, බිරිය හා දරුවන් හැරදමා වල් වැදුණු තවුසෙකි. ඔහුගේ යුද්ධය හා සාමය නවකතාව කාණ්ඩ තුනකින් යුතු ඉතාම දිගු නවකතාවකි. එය තොල්ස්තෝයි මුද්‍රණයට යැව්වේ හත් සැරයක් කටුගා ලිවීමෙන් පසු ය. පළමු පිටපත ලියා මසකට පසු ඔහු එය කටුගා සකස් කෙළේය. එය ඔහුගේ බිරිය පිටපත් කළාය. මසකට දෙකකට පසු ඔහු එය යළිත් කටුගාමින් සකස් කෙළේය.

දැන් නවකතා හා පද්‍ය කාව්‍ය රචනා කරන වර්තමාන ඉංග්‍රීසි තරුණයා, ප්‍රකාශකයන් දහ දොළොස් දෙනකුටම පිටපත් යවා හරවා එවනු ලැබීමෙන් පසු, ඒවා පුළුස්සා දමා තවත් එකක් ලියයි. එයත් පළමුවැන්න සේම ප්‍රකාශකයෝ හරවා එවති. එයද ඉවත දමා ඔහු තවත් නවකතාවක් ලියා ප්‍රකාශකයන්ට යවයි. එයත් සියලුම ප්‍රකාශකයෝ හරවා එවති. මෙසේ නවකතා පහක් හයක් ලියා සියල්ලම හරවා එවූ පසුය, අලුත් නවකතාකාරයා නවකතා ලිවීම අත්හරින්නේ. මෙසේ නවකතා ලිවීමෙන් වෙහෙසී අවසානයෙහි නවකතා ලිවීම හැර දමන්නෝ, පසුගිය කාලයේ එංගලන්තයේ දහස් ගණන් වූහ. අපේ රටේ ඕනෑම තරුණයෙකුට නවකතාවක් ලියූ විට, එය පළ කරන්නට ප්‍රකාශකයෝ වෙති. සමහර තරුණයෝ නවකතාව ලියා තමන්ගේම වියදමෙන් පළ කරති. (සාහිත්‍යය 2015 විශේෂ කලාපයෙන් උපුටා ගන්නා ලද්දකි)

- මාර්ටින් වික්‍රමසිංහ

Post a Comment

0 Comments