මේ සාහිත්‍ය මාසයයි. ඒ නිසා සාහිත්‍යයේ විවිධ පැතිකඩ ඔස්සේ ලිපි කීපයක් ලිවීමට අදහස් කරනවා. මුලින් ම අපි අවධානය යොමු කරන්නේ සාහිත්‍යයේ ජනප්‍රිය ශානරයක් වන රහස් පරීක්ෂක කතා දෙසයි. විශ්ව සාහිත්‍යයට රහස් පරීක්ෂක කතා එක් වී මේ වන විට වසර 180ක් විතර වෙනවා. ඉංග්‍රීසියෙන් නිකුත් ප්‍රථම රහස් පරීක්ෂක කතාව පළ වූයේ 1840 දියි. ඒ එඩ්ගා ඇලන් පෝ ගේ ‘ද මර්ඩර්ස් ඉන් ද රියු මෝර්ග්’ නම් කෙටිකතා කෘතියෙන් තමයි, සී. ඔගස්ටින් ඩුපින් කියන මුල්ම ප්‍රබන්ධ රහස් පරීක්ෂක චරිතය එළි දුටුවේ.
පියදාස සිරිසේන
ඇලන් පෝ ඒ චරිතය නිර්මාණය කළේ ඒ කාලේ පැරීසියේ සෑබෑවට ම ජීවත් වූ පුද්ගලික රහස් පරීක්ෂකවරයකු වූ ඉයුජීන් ප්‍රංශුවා වීඩොක් (Eugène François Vidocq) ගේ චරිතය අනුව යමින්. වීඩොක්ගේ කතා ඔහුගේ මතක සටහන් හැටියට ඒ කාලේ ප්‍රංශ බසින් පළවුණා. ඔහු මුලින් අපරාධකාරයෙක්. පසුව පුදගලික රහස් පරීක්ෂකයෙකු වෙමින් පොලිසියට සහය වුණා. ඔහු ඒ කාලේ ප්‍රංශයේ විසූ ලේඛකයන් රැසක් ඇසුරු කළා. ඔහුගේ ආභාසය ඔවුන්ගේ නිර්මාණවලට බලපෑවා. 1820 දී වික්ටර් හියුගෝ පළ කළ ‘ලේ මිසරබ්ල’ (මනුතාපය) කෘතියේ ප්‍රධාන චරිත දෙක වූ ජෝන් වැල්ජෝන්ගේ චරිතයත් ඉන්ස්පෙක්ටර් ජාවට්ගේ චරිතයත් නිර්මාණය කර ඇත්තේ වීඩොක් තුළිනුයි.
ඇලන් පෝ සිය ඩුපින්ගේ චරිතයට පාදක කර ගත්තේත් විඩොක් තමයි. ඊළඟට 1887 දී ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් චරිතයට පදනම් කර ගත්තේ වීඩොක් පාදක කර ගෙන පෝ නිර්මාණය කළ ඩුපින්ගේ චරිතයයි. 1829 දී ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය (ජනප්‍රිය ස්කොට්ලන්ඩ් යාඩ්) පිහිටෙව්වේත්, 1908 දී ඇමරිකන් එෆ්බීඅයි නිර්මාණය වූයේත් වීඩොක්ගේ ‘ශ්රටේ’ (ආරක්ෂාව) සංකල්පය ඇසුරෙනුයි.
ලංකාවේ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව වූ
‘ඩිංගිරි මැණිකා හෙවත් වික්‍රමපාලගේ පළමුවෙනි වික්‍රමය’
ශ්‍රී ලංකාවේ පියදාස සිරිසේන සිය රහස් පරීක්ෂක චරිතයට පදනම් කර ගත්තේ කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් චරිතයයි. ඒත් ඔහු සිය කොන්ගොඩ වික්‍රමපාලගේ චරිතයට එවකට පැවති දේශීය අවශ්‍යතාව අනුව ධර්මපාල තුමාගේ සදාචාරාත්මක දර්ශනයත් ඊට එක් කර ගත්තා. ඒ වගේ ම බටහිරට ගැති නොවී, පර සිරිත්වලට ආවඩන්නන් හෙළා දකිම්න්, බුදුදහම, සදාචාරය, දේශීය සිරිත් විරිත්, අගයමින් ජාතික චින්තනය නංවාලන්නට කවියෙන්, නවකතාවෙන්, ලේඛනයෙන්, ඔහු ගෙන ගිය සටන ඔහු සිය රහස් පරීක්ෂක කතාව වූ ‘ඩිංගිරි මැණිකා’ තුළින් ද ගෙන ගියේය.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව වූ ‘ඩිංගිරි මැණිකා හෙවත් වික්‍රමපාලගේ පළමුවෙනි වික්‍රමය’ ලිව්වේ 1918 දියි. මේ නවකතාව එකල අතිශයින් ම ජනප්‍රිය වූ අතර 1956 වන විට මුද්‍රණ හයක් නිකුත් කොට 30,000කට වඩා අළෙවි කර තිබෙනවා. 1956 දී එය ඒ නමින්ම චිත්‍රපටයට නැඟුණු අතර චිත්‍රපටය ද අතිශයින් ජනප්‍රිය වුණා.
ඩිංගිරි මැණිකා, ගම්පොළ මීවිටිගල නිලමේගේ එකම දියණියයි. මහනුවර නගරයේ පරසිරිත් ගැති නිවසක නැවතී ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන අතර ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි තම ගමේම සාමාන්‍ය පවුලක තරුණයකු වූ රන් බණ්ඩා හමුවෙනවා. රන්බණ්ඩාගේ ඇසුර නිසා ඇගේ ආකල්ප හා අදහස් වෙනස් වෙනවා. ඇය පරසිරිත් ඉවතලා සිංහල කුල සිරිත්වලට හුරු වෙනවා. කල්යාමේ දී දෙදෙනාගේ මේ මිතුරුකම පෙමකට හැරෙනවා.
මෙය දැනගත් දෙමාපියන් ඇය පාසලින් ඉවත් කර ගෙදර ගෙන යනවා. රන්බණ්ඩා ද ඉගෙනුම නතර කොට සිය ගමට අවුත් ගොවිතැන් කටයුතුවල යෙදෙනවා. ඒ අතර දෙදෙනාගේ පෙම රහසින් මෝරා යනවා. ඇය තමාව කැටුව ගොස් විවාහ කරගන්නා ලෙස ඔහුට බල කරනවා. එ්ත් තම පෙළැන්තියේ අයකුට ඇයව විවාහ කරදීමට දෙමාපියන් සැරසෙනවා.
විවාහයට පෙර එක් රාත්‍රියක ඇය රන්බණ්ඩා සමඟ නිවසින් පැන යාමට ඇය තීරණය කරනවා. ඒ වලව්වේ වැඩට සිටි තරුණියක් වූ මැගී ද වටිනා බඩුමුට්ටු කිහිපයක් සොරකම් කර ගෙන, එදින රාත්‍රියේ ම, පැන යෑමට සුදානම් වෙනවා. ඒ අඳුරු රාත්‍රියේ දී ඩිංගිරි මැණිකාත් මැගීත් නගින්නේ වැරදි වාහනවලටයි. තමන්ට වූ වරද ඔවුනට වැටහෙන්නේ බොහෝ දුරක් ගිය පසුවයි. සොරකු අතට පත් වුණු ඩිංගිරිමැණිකාට ගණේවත්තට එහා වූ හොරුන්ගේ කැළෑ වාඩියකට යාමට සිදු වෙනවා.
මැගී නැඟී ගිය වාහනයේ හුන් රන්බණ්ඩා ඉන් විමතියට පත්ව බලාපොරොත්තු සුන් කර ගන්නවා.. මැගී ඔහුගෙන් සමුගෙන නාවලපිටියේ බත් කඩයට යනවා. උසාවියේ නඩු විභාගයෙන් පසුව රන් බණ්ඩා වසර තුනකටත්, මැගී මාස තුනකටත් සිරගෙට නියම වෙනවා. දෙමාපියන් ඩිංගිරි මැණිකා සොයන්නට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වෙනවා.
මාස දහයකට පසු, මීවිටිගල නිලමේට පෞද්ගලික රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාල දුම්රියේදී හමු වෙනවා. එහිදී නිලමේ තමන්ට මුහුණ පාන්නට වූ ඇබැද්දිය ගැන ඔහුට කියනවා. දියණිය සොයා දෙන්නේ නම් රුපියල් දස දහසක් දෙන්නට ඔහු කෝන්ගොඩ වික්‍රමපාලට පොරොන්දු වෙනවා. ඔහු වෙස්වලා ගෙන මාස දෙකක් තිස්සේ ඇය සොයා ගම්නියම් පීරනවා. ඒ යන අතර මගදී ඔහු සමාජයේ වැරදි දුටු තැන පහර දෙමින්, සදාචාරය, සභ්‍යත්වය, ජාතිකත්වය පිළිබඳ සිරිසේන දැරූ අදහස් සමාජය තුළ උචිත අයුරින් ප්‍රචාරය කිරීමට පෙලඹෙනවා.
අවසානයේ දී රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාල හොර වාඩිය සොයා ගොස් ඩිංගිරි මැණිකා ඉන් ගලවාගෙන ඒමට සමත් වෙනවා. ඔහු ඇගේ දෙමාපියන්ට ද පන්ති භේදය නිරර්ථක දෙයක් බව පහදා දෙනවා. ඔහුගේ ඇසුර නිසා ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙනවා. පසුව ඇය රන්බණ්ඩාට විවාහ කර දීමට කැමති වෙනවා. අද ‘ඩිංගිරි මැණිකා’ රහස් පරීක්ෂක කතාව කියවන අයට වසර සියයකට පෙර ලංකාවේ පැවති සමාජ තත්වය ගැන ද පැහැදිලි අවබෝධයක් ගන්න පුලුවන්.
- පර්සි ජයමාන්න
0 Comments