බුදුන් වහන්සේ කතුන්ට පැවිදි වරම් දුන් බිනර පුන්පොහොය

අද බිනර පුරපොහෝ දිනයයි. සෑම පුරප‍ොහෝ දිනක ම බුදු සසුනේ කිසියම් වැදගත් සිදුවීමක් සිහිපත් කෙරනවා. ඒ අනුව අද දවස අපේ සිහියට එන්නේ බුදු සසුනේ පදනම වූ හික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවක පිරිස සම්පූර්ණ වූ දිනය ලෙසයි. බුදුන් වහන්සේ විසින් භික්ෂුණී සාසනය පිහිටුවන ලද්දේ බිනර පුන්පොහෝ දිනකයි.

භික්ෂුණී සාසනය පිහිටුවීම පිළිබඳ අදහස මුල්වරට බුදුන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද්දේ උන්වහන්සේගේ කිරි මව වූ මහාප්‍රජාපතී ගෝතමිය විසිනුයි. ඒ බුදුන් වහන්සේ කිඹුල්වත් පුර නීග්‍රෝධාරාමයෙහි වැඩ සිටි සමයෙදියි. සිදුහත් කුමරු ඉපිද සත්වැනි දවසේ, සිදුහත් මාතාව වූ මහා මායා දේවිය මෙලොව හැර ගියෙන්, මහාප්‍රජාපතී ගෝතමිය කිරි මව් පදවි ලැබුවා. ඇය මේ නිසා බුදුන් වහන්සේගේ විශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටියා. එසේ වුවත් බුද්ධ සාසනයට කාන්තාවන් ඇතුළත් කර ගන්නා ලෙස ඇය කළ ඒ ඉල්ලීම මුලදී බුදුන් වහන්සේ විසින් එක හෙළා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහෙත් ඉන් අධෛර්යයට පත් නොවූ මහාප්‍රජාපතී ගෝතමිය ඊළඟට තම අපේක්ෂාව බුදුන් වහන්සේ ගේ අග්‍ර උපස්ථායක වූ, ධර්මභාණ්ඩාගාරික ආනන්ද තෙරණුවන්ට සැල කර සිටියා. මහාප්‍රජාපතී ගෝතමිය සමග සසුනේ පැවිදිවීම අපේක්ෂාවෙන් සිටි පිරිස අතර වැඩි දෙනකු කිඹුල්වත් පුරයට වැඩි ගමනේදී බුදුන් වහන්සේ වෙත පැවිදි වූ කුමාරවරුන්ගේ බිරින්දැවන් වීමද විශේෂයක් වුණා.

ඉන්පසු මහාප්‍රජාපතී ගෝතමියගේ මේ අදහස යළිත් වරක් ආනන්ද තෙරුන් විසින් බුදුන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එවරද බුදුන් වහන්සේ ඒ අදහස ප්‍රතික්ෂේප කළා. අනතුරුව බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයෙන් නික්ම විසාලා මහනුවරට වැඩම කර එහි කූටාගාර ශාලාවෙහි වැඩ හිඳිද්දී මහාප්‍රජාපතී ගෝතමිය, හිස මුඩු කර, කසාවත් හැඳ, පන්සීයක් ස්ත්‍රීන් සමග එහි පැමිණියා. ස්ත්‍රීන් සසුන්ගත කිරීම කිහිප වරක් ම තරයේ ප්‍රතික්‍ෂේප කළ ද එවර ඒ සඳහා බුදුන් වහන්සේ එකඟ කරවා ගැනීමට ආනන්ද තෙරුන් සමත් වුණා.

එහිදී බුදුන් වහන්සේ කාන්තා පැවිද්ද ලබා දීම සඳහා එකඟ වූවත් අෂ්ට ගරු ධර්ම යනුවෙන් කොන්දේසි අටක් ඉදිරිපත් කළා. මහා ප්‍රජාපතී ගෝතමිය ඒ අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටුවීමට හේතු වන බව බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට වදාළා. ඒ අෂ්ට ගරු ධර්ම මෙසේයි.

1. උපසම්පදාවෙන් වස් සියයක භික්ෂුණියක වුවද, එදින උපසම්පදා භික්ෂූවක දුටු විට වැඳපුදා ගරු කළ යුතුයි.

2. භික්ෂූන් නැති ප්‍රදේශවල භික්ෂුණීන් වස් විසීම නොකළ යුතුයි.

3. භික්ෂුණියක විසින් අඩමසකට වරක් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාරා අවවාද ලැබිය යුතුයි.

4. වස් අවසානයේ දී, භික්ෂු භික්ෂුණී යන සංඝ දෙපාර්ශ්වය ඉදිරියේ වස් පවාරණය කළ යුතුයි.

5. ගරු ඇවතකට පත් භික්ෂුණියක විසින් සංඝ දෙපාර්ශ්වය ඉදිරියේ මානත් පිරිය යුුුුුුතුයි.

6. වසරක පරිවාස කාලයක් ශිෂ්‍ය මානවිකාවකව සිට සංඝ දෙපාර්ශ්වය ඉදිරියේ උපසම්පදාව ලැබිය යුතුයි.

7. කවර හේතුවක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතුයි.

8. භික්ෂූන් විසින් භික්ෂූණීන්ට අවවාද කරනු ලැබිය යුතු අතර භික්ෂූණීන් භික්ෂූන්ට අවවාද නොකළ යුතුයි.

ආනන්ද තෙරුන් විසින් මේ අෂ්ටගරු ධර්ම කියවා තේරුම් කොට දී ඒවා පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වන්නේයැයි ප්‍රකාශ කළ අතර මහා ප්‍රජාපතී ගෝතමියද බුදුන් වහන්සේ වදාළ ඒ අෂ්ටගරු ධර්ම පිළිගන්නේ යයි තෙවරක් සාධුකාර දෙමින් ප්‍රකාශ කළා. එයම එතුමියගේ පැවිද්ද සහ උපසම්පදාව වුණා. ඉන්පසු සෙසු කුමාරිකාවන්ද සංඝයා වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලැබුවා. මේ අසිරිමත් සිදුවීම බිනර පොහොය මුල්කර ගත්තක්. බිනර පුන්පොහොය කාන්තාවනට සුවිශේෂී වන්නේ ඒ නිසයි.

බුදුන් වහන්සේ පහළ වූ ඉන්දියානු සමාජයේ ස්ත්‍රිය පහත්කොට සලකනු ලැබුවා. දුවක ඉපදීම මහා අවාසනාවක් යැයි සලකනු ලැබුවා. පුරුෂාධිපත්‍යය යටතේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ස්ත්‍රිය පිළිබඳ ඒ ආකල්ප වෙනස් කිරීමට බුදුන් වහන්සේ නොයෙක් වර බණ දෙසා තියෙනවා. කාන්තාවට විමුක්ති ලබා දීම පිණිස බුදුන් වහන්සේ ගත් පියවරවල කූටප්ප්‍රාප්තිය ලෙස මේ කාන්තාවට පැවිද්ද හා උපම්පදාව ලබා දීම සලකන්න පුලුවන්. බුදුන් වහන්සේ අෂ්ට ගරු ධර්ම පැනවූයේත් පැවිද්ද නිසා කාන්තාව ලබන නිදහස තුළ ඇගේ ආරක්ෂාව සලසා ධර්ම මාර්ගයේ ගමන් කිරීම පහසු කරවනු පිණිසයි.

- පර්සි ජයමාන්න

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments