HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 9/11දා මුලින් ම ගිය ගිනි නිවන රථය!

ඉතිහාස පොත්වලට ඇතුළත් නොවුණු එහෙත් ඉතිහාසයට එක්වුණු මිනිසාට අදාළ විස්මිත දෑ මෙන් ම අපේ පරම්පරාව නොදුටු අතීත පරම්පරාවල මිනිසුන් මැවූ සිහින දැක ගන්න ඔබව ලෝක සවාරියක ගෙන යන්න පසුගිය 8 වැනිදා ආරම්භ කළ විශේෂාංගයේ දෙවැනි කොටසයි, මේ.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටට මුලින් ම එතැනට ගිය ගිනි නිවන රිය! 

ලැඩර් 3 ගිනි නිවන රථය

හරියටම මීට වසර 19කට ඉස්සර 2001 සැප්තැම්බර් 11 වනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඔබට මතකද? ඒ ප්‍රහාරය සඳහා පමණක් ත්‍රස්තවාදීන් මගී ගුවන් යානා දෙකක් යොදා ගත්තා. ලෝකයේ උසම ගොඩනැගිලි අතරින් එකක් වූ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට අයත් කුලුනු දෙකට එල්ල කළ ප්‍රහාරයෙන් ඒවා බලා සිටියදී පොළොවට සමතලා වෙන්නට පටන් ගත්තා.

ඒ අවස්ථාවේ දී ආධාර පිණිස එහි මුලින් ම ගිය ගිනි නිවන රථය, මේ ‘ලැඩර් 3’යි. ඒ හදිසි අවස්ථාවේ දී එය පදවා ගෙන කපිතන් පැට්රික් බ්‍රවුන් ප්‍රමුඛ ගිනි නිවන භට කණ්ඩායමක් මේ රථයේ සිටියා. එ්ත් ඔවුන් එහි ළඟා වෙත්ම, වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු කුලුන, ඔවුන් ගිය රියේ ඉදිරිපස මතට කඩා වැටුණා. වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අනතුරට පත් අය ගලවා ගැනීම කෙසේ වෙතත් ඔවුන් කිසිවකුටත් ඉන් දිවිගලවා ගැනීමට හැකි වුණේ නැහැ. සුන්බුන්වලට වැසී තිබී මේ ගිනි නිවන රිය මතු වූයේ ඒ අවට සුන්බුන් ඉවත්කළ පසුවයි. එයින් පසු වාහනය ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හැඟරයක තැන්පත් කර පසුව 2011 දී ඒ සඳහා වෙනම ම සෑදූ අනුස්මරණ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා. මෙහි දැක්වෙන්නේ ඒ ලැඩර් 3 ගිනි නිවන රථයයි.

වසර 4000ක් පැරණි ඔල්මෙක් ශිෂ්ටාචාරයට අයත් විස්මිත පිළිරූ!

දැවැන්ත ශෛලමය ශීර්ෂ ප්‍රතිමා

ඔල්මෙක් ශිෂ්ටාචාරයට අයත් දැවැන්ත ශෛලමය ශීර්ෂ ප්‍රතිමාවලට, ලෝකයේ ඉපැරණි ගෝත්‍රික කලා නිර්මාණ අතර විශේෂ තැනැක් හිමි වෙනවා. මේ ශිෂ්ටාචාරය පැවතියේ ක්‍රිස්තු පූර්ව 2,500 – 400ත් අතර කාලයේදියි. මේ සිරස් පිළිම හමු වී ඇත්තේ, වර්තමාන මැක්සිකෝවේ සැන් ලොරොන්සෝ හා ලා වෙන්ටා නගර අතර ප්‍රදේශයේයි. එකල විසූ ප්‍රජාව පිළිබඳ යම් ප්‍රමාණයක ඉඟියක් මේ සිරස් පිළිම ඔස්සේ ලැබෙන බව ඒ පිළිබඳ පර්යේෂකයන් කියනවා.

මුහුණෙන් විවිධ ඉරියව් හා හැඟීම් පළ කරන දැවැන්ත සිරස් පිළිම රැසක් ඔවුන් මතුකර ගෙන ඇති අතර මෙහි දැක්වෙන්නේ එයින් එකක්. ඒවා තුළින් ඒ කාලේ මිනිසුන්ගේ හැඩ රුව පමණක් නොව ඔවුන් තුළ පැවති කායික ශක්තිය හා මිනිස් බලය කොතරම් දැයි අපට පහසුවෙන් වටහා ගන්න පුලුවන්. මේවා සම්පූර්ණයෙන් ම අතින් නෙළන ලද ඒවා විතරක් නොවෙයි, සමහර පිළිම දැන් තියෙන තැනට ගෙනත් තියෙන්නේ සැතැපුම් සිය ගණනක් ඈතක සිටයි.

ඔල්මෙක් තමයි, මුල් ම ශිෂ්ටාචාරය මැක්සිකෝවේ. මැක්සිකෝ බොක්ක ආශ්‍රිතව බිහිවූ මේ ඉපැරණි ශිෂ්ටාචාරයට ඒ නම ලැබුණේ නහෝටි යන ඇස්ටෙක් බසින්. එහි අරුත ‘රබර් ජනතාව’ යන්නයි. රබර් බෝලය, චොකලට් වැනි දේ මූලිකව ලොවට හඳුන්වා දුන් ජාතියක් ලෙස ඔවුන්ට අපේ ගෞරවාදරය හිමිවිය යුතුයි.

අවුරුදු 100කටත් වඩා පැරණි නවීන පන්නයේ විසිතුරු මාලයක්!

ජෝර්ජ් ෆකේගේ අපූරු නිර්මාණය

මේ විසිතුරු මාලය 1905 ප්‍රංශ ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන ජෝර්ජ් ෆකේගේ අපූරු නිර්මාණයක්. මේ වගේ ඉතා සියුම් ස්වර්ණාභරණ මෝස්තරවලට ප්‍රසිද්ධ, ප්‍රංශයේ වඩාත් ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පියකු වූ ඔහු ගේ පියාත් මේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ අයෙක්. 1900 දී තමන්ගේ ම සමාගමක් ඇරඹූ ජෝර්ජ් ෆකේ ඒ සඳහා කළ අපූරු නිර්මාණයක්, මේ. ඔහු ඉදිරිපත් කළ මේ නිර්මාණ නවරැල්ලේ ඒවා ලෙසයි, එදා සැලකුණු ලැබුවේ. ඔහුගේ මේ නිර්මාණ නව මෝස්තර වූවා පමණක් නොව, අද ඒවා කෞතු භාණ්ඩ ලෙස කෞතුකාගාර සරසනවා. ඔහුගේ ඒ නිර්මාණ රැසක් ඇමරිකාවේ නිව්යෝක් සිටිහි මෙට්‍රොපොලිටන් මියුසියම් ඔෆ් ආට් කෞතුකාගාරයේත්, ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි පිටිට් පලේ කෞතුකාගාරයේත් ප්‍රදර්ශනයට තබා තියෙනවා. මේ ශිල්පියාගේ එදා පැවති ආකාරයේ ස්වර්ණාභරණ වෙළඳ සැලේ අනුරුවක් ද පැරීසියේ කානවැලේ කෞතුකාගාරයේ ප්‍රති නිර්මාණය කර තියෙනවා.

නෙදර්ලන්තයේ සියුම් දැව කැටයම් සහිත ක්ෂුද්‍ර ‍ලී පෙට්ටි විශේෂයක්!

සියුම් දැව කැටයම් සහිත ක්ෂුද්‍ර ‍ලී පෙට්ටි විශේෂය

මේ කුඩා ලී පෙට්ටියේ ඇති කැටයම්වල අසිරිය නරඹන්න අණ්වීක්ෂයක් ඕනෑ වෙනවා. මෙහි ඇති ඉතා සූක්ෂම කැටයම් කපන්න මුළු ජීවිත කාලයක් ම අවශ්‍ය යැයි කියලා හිතෙන තරම්. මේ පිළිබඳ පර්යේෂකයන් කියන්නේ මේ ලී කැටයම් පෙට්ටි, 16 වැනි සියවසේ යුරෝපයේ ධනවත් සමාජය සංකේතවත් කරන නිර්මාණ වූ බවයි. මේ කැටයම්වලින් නිරූපණය වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයේ හා බයිබලයේ විවිධ අවස්ථායි. සුප්‍රකට ඉතිහාසඥවරියක වූ ඊව් ඛාන් කියන්නේ, ‘මේ කැටයම් කොතරම් සියුම්ද කීවොත් සුරදූතයන්ගේ අත් පියාපත්වල ඇති පිහාටු වෙන්කර දැක ගන්න පුලුවන්. මකරුන්ගේ සිරුරුවල කොරපොතු පවා සියුම් ලෙස කැටයම් කර තියෙනවා. ඇතැම් තැනක දිරා ගිය කුඩා නිවාසවල කැඩුණු උළු කැට පවා ඒ අයුරින් ම නිර්මාණය කර තියෙනවා. ශාන්තුවරයන්ගේ ඇඟලුම්වල මෙන් ම සොල්දාදුවන්ගේ නිල ඇඳුම්වල ඇති ලාංඡනද ඉතා කුඩා ප්‍රමාණයෙන් නිසි අයුරින් ම කැටයම් කර තිබෙනවා.

රෝමන්වරුන් හා ගෝල්වරුන් අතර පැවති යුද්ධවලින් එන සංකේතයක්!

හිස් කබල පසාරු කර ගෙන ගිය ලාන්සය

මීට අවුරුදු දෙදහසකට පෙර පැවති යුද්ධයකින් ඉතිරිව ඇති සිහිවටනයක්, මේ. පුරාණ රෝම හමුදා රණශූරයෙකුට අයත් හිස් කබලක් පසාරු කර ගෙන ලාන්සයක් ගිය දුර ඔබට මෙයින් දැක ගන්නට පුලුවන්. ක්‍රිස්තු පූර්ව 58 ත් 51ත් අතර තමයි, මේ රෝමන්වරුන් හා ගෝල් දේශයේ (අද ප්‍රංශය හා බෙල්ජියම ඇති ප්‍රදේශ) වැසියන් අතර යුද සටන් පැවතියේ. ඔබ ‘ඇස්ටරික්ස්’ කාටූන් චිත්‍රකතා මාලාව කියවා ඇත්නම්, ඉන් තැනූ කාටූන් චිත්‍රපට බලා ඇත්නම්, මේ ගැන යම්තම් හරි ඔයාලා අහලා ඇති. ‘සූරපප්පා’ යන නමින් සිංහලෙන් හඬ කවා ඇති මේ කාටූන් කතාවල රෝමන්වරුන් හා සටන් වදින ‘සූරපප්පා’ඇතුළු පිරිස, ගෝල්වරුන් තමයි. ඇත්ත වශයෙන් ම ඒ යුද්ධවලදී රෝම සොල්දාදුවන් 30,000ක් පමණද, ඔවුන් සමග ගෝල් දේශය රැක ගැනීමට මුහුණට මුහුණලා කළ සටන්වලින් ගෝල්වරුන් ලක්ෂ දහයක් පමණ ද මියගියා. රෝමන්වරුන් විවිධ දුෂ්ඨ උපක්‍රම මගින් තමයි, ගෝල් දේශයේ සිටි විවිධ ගෝත්‍රිකයන්ගෙන් සමන්විත ගෝල්වරුන් පරාජයට පත් කළේ. අවසානයේ දී ඒ යුද්ධවලින් දෙගොල්ලන් ම අත්වූයේ පරාජයයි. ඒ වගේම නගර 800කුත් විනාශයට පත් වුණා.

ඇමරිකන් සිවිල් යුද්ධයේ දී ශල්‍ය වෛද්‍යවරයකුගේ වෛද්‍ය කට්ටලයක්!

හිස් කබලක් පසාරු කර ගෙන ලාන්සය

යුද පිටියේ සේවය කරන වෛද්‍යවරුන්ට ඔවුන්ගේ රැකියාව හැමවිට ම ලොකු ම අභියෝගයක්. ඔවුන්ට ඒ අභියෝගය එල්ල වන්නේ ඕනෑම තැනක, ඕනෑම විටෙක, සැත්කම් කිරීමට සූදානම්ව සිටිය යුතු නිසයි. බොහෝ විට ඔවුන්ට ඒවා කරන්නට සිදුවන්නේ අකමැති තත්වයන් යටතේයි. මේ තත්වය වඩාත් නරකව පැවතියේ ඇමරිකන් සිවිල් යුද්ධය පැවති සමයේදියි. වෛද්‍ය වෘත්තිකයන්ට ප්‍රතිකාර කරන්නට අවශ්‍ය පහසුකම් තබා අව ම පහසුකම්වත් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ මදිවාට එම යුද්ධය දරුණු සටන්වලින් පිරුණු එකක් වුණා. මේ වෛද්‍ය උපකරණ කට්ටලය තුළ ඔබට පෙනේවි, ඉතා හොඳට ඇසුරුම් කළ සුළු ආම්පන්න කීපයට අමතරව බ්‍රැන්ඩි බෝතලයක් තැන්පත් කරලා තියනවා. මොකටද ඇත්තටම බ්‍රැන්ඩි බෝතලයක් මෙතැනට. ඒ හදිසියේ ම සටන්වලින් තුවාල වෙලා අරන් එන සොල්දාදුවන්ගේ තුවාලවලට ප්‍රතිකාර කරන්න පෙර මෙයින් ටිකක් බොන්ට දීමෙන් ඔවුන්ගේ වේදනාව නැති කළ හැකි යැයි එකල යුද පරිපාලනය හිතූ නිසා වෙන්න ඇති.

දම්වැල් කියතෙන් විස්මිත දේ මවන්නාගේ අපූරු මකරාසනය!


ඔබ කවදා‍ හෝ සිතුවාද දම්වැල් කියතකින් විස්මිත නිර්මාණ කළ හැකියි කියා. ඒ වගේ දරදඬු උපකරණයකින් තෙලිතුඩකින් කරන වැඩ කරන්න පුලුවන් කියලා කොහොම හිතන්නද? ඒත් මේ ඉගෝර් ලොස්කුටෝෆ් ශිල්පියා එසේ මෙසේ කෙනෙක් නොවෙයි. ඔහු ඒ හපන්කම කරනවා, හිටිවනම. ඔහු හස්ක්වර්ණා දම්වැල් කැටයම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක්. 2015 ලෝක හස්කිකප් කැටයම් උළෙලේ දී එහි ඉහළම සම්මානය ඔහු හිමකර ගත්තා. එස්ටෝනිවේ සිට ඇවිත් යුරෝපය පුරා සංචාරය කරමින් දම්වැල් කියතෙන් නිර්මාණ මවමින් ඔහු යුරෝපය මවිත කළා. මේ 2017 දී ඔහු කොටයකින් හිටිවනම කැපූ මකරාසනයක්. මෙහි මකරාගේ හිසත්, වල්ගා කොටසත්, ඔහු කැපුවේ නරඹන්නියක් ඒ මත වාඩි වී බලා සිටියදීයි.

සංගීත ස්වර ලියන්නට කවාකාර යතුරු ඇති ටයිප්රයිටරයක්!

සංගීත ස්වර ලියන්න පුලුවන් ටයිප්රයිටරයක්

සංගීත ස්වර යතුරුලියනය කළ හැකි ටයිප්රයිටරයක් 1936 දී කීටන් නමින් ආවා. ඒකට යතුරු 14ක් තිබුණා. සංගීත ස්වර ලියන්න පුලුවන් ටයිප්රයිටරයක් කියන්නේ ඒ කාලේ හැටියට හාස්කමක්. ඊට පස්සෙ ආවා, එහි නව මාදිළියක්, පනස් ගණන්වල. එහි කවාකාරව සවි කළ යතුරු 33ක් තිබුණා. ටයිප්රයිටරයේ යාන්ත්‍රික කොටසට යටින් කොළයක් තබා යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ විට ඒ ස්වර පිළිවෙළට කොළය මත ටයිප් කෙරෙනවා. ඒක ටිකක් සංකීර්ණයි වගේ පෙනුනත් සංගීත ස්වර ලිවීම පහසු වුණා, මේ ටයිප්රයිටරය නිසා. හැබැයි එකම අඩුපාඩුවකට තිබුණේ, අතරමග දී යම් වැරදීමක් වුණොත් ආයිත් අලුත් කොළයක මුල ඉඳලා ස්වර ටයිප් කරන්නට සිදුවීමයි.

චීනයේ ෆුකාන් කඳුකරයට වැටුණු විස්මිත ග්‍රහකයක්!

චීනයෙන් සොයා ගත් ග්‍රහකය ෆුකාන් ක

වසර 2000 දී චීනයෙන් සොයා ගත් ග්‍රහකය ෆුකාන් කියා නම් කරනු ලැබුවේ ඒ ආසන්නයේ තිබුණු ෆුකාන් කඳුකරය නිසයි. මේ ග්‍රහයා මතට වැටුණු උල්කාවන් හා ග්‍රහක අතර මේ විදියේ තවත් දෙයක් නැති තරම්! වයඹදිග චීනයේ ෂින්ජියෑන් පළාතේ, ෆුකාන් නගරයට ඔබ්බෙන් වූ කඳුකරයේ ඇවිදින්න ගිය දේශීය සංචාරකයෙකුට තමා, මේ අපූරු ග්‍රහක කොටස හමුවී තියෙන්නෙ. පැලසයිට් නම් පාෂාණ ද්‍රව්‍යයෙන් සෑදී ඇති, ඔලිව් පැහැති ස්ඵටික කොටස්වලින් යුත්, මේ ග්‍රහක කැබැල්ල තුළට යකඩ හා නිකල් මුසු ලෝහ කොටස් කා වැදී තියෙනවා. පසුබිමින් ආලෝක දහරක් එල්ල කළ විට දිස්වෙන්නේ ජනේලවලට සවිකරන විසිතුරු වර්ණ වීදුරු වාගෙයි. තාම විද්‍යාඥයන් සමත්වී නැහැ, නිශ්චය කරන්නට, මේ ග්‍රහකය පැමිණියේ කොහෙන්ද කියා. ඔවුන් දැනට සොයා ගෙන තියෙන්නේ එය වසර බිලියන 4.5ක් පැරණි ග්‍රහකයක් බව පමණයි. පුදුමයි නේද?

මොංගෝලියානු ඇල්ටායි කඳුකරයේ සුරැකුණු අපූරු කාන්තා බූට් යුගල!


අපූරු කාන්තා බූට් යුගල

මේ සමග ඇති ඡායාරූපය මෑතකදී ගත්තක් වුනත් ඊට ලක්වූ මේ කාන්තා බූට් යුගල වසර 2,300ක් පැරණි එකක්. ඔබට අදහන්නත් බැරි වේවි, ඒ තරම් ඈත අතීතයේ, මේ තරම් මෝස්තර රටා තිබුණද කියලා, පාවහන්වලට. කාන්තා ‘බූට්’ පාවහන් නිසා, ඔබට ඒක විශ්වාස කරන්න ම වෙනවා. කාල නිර්ණය කිරීම අනුව, ක්‍රිස්තු පූර්ව 300 ගණන්වල නිර්මාණය කළ දෙයක් ලෙස නිගමනය කර ඇති මේ අපූරු පාවහන්වල, මේ වර්ණ, මේ තරම්, අපූරුවට ආරක්ෂාවෙලා තියෙන්නේ, මොංගෝලියාවේ ඇල්ටායි කඳුකරයේ ඇති හිම මිදෙන දේශගුණය නිසයි. මෙය තනා ඇත්තේ සමින්. විසිතුරු රටා දමා ඇත්තේ විවිධ ද්‍රව්‍යවල, විවිධ වර්ණ කෙඳි හා තුනී ලෝහ පත්‍ර ආදිය යොදා ගෙනයි. රන් ලෝ පත් විතරක් නොවෙයි, ටින්, තඹ හා ඇන්ටිමනි මුසු පිව්ටර් ලෝහ කොටස්, වීදුරු පබළු, පයිරයිට් ස්ඵටික ආදියත් යොදා ගෙන තියෙනවා. මෝස්තරවලට නියමිත කාලයක්, යුගයක් නෑ. ඒවා සර්වකාලීනයි. ඔබ වුනත් කැමති වේවි මේක පැලඳගෙන හැඩ බලන්න!

ලොව ඉපැරණිම නක්ෂත්‍ර ඔරලෝසුව ප්‍රාග් නගරයෙන්!

ප්‍රාග් නක්ෂත්‍ර ඔරලෝසුව

චෙක් ජනරජයේ අගනුවර වූ ප්‍රාග්හි පිහිටුවා ඇති ‘ප්‍රාග් නක්ෂත්‍ර ඔරලෝසුව’ (Prague Astronomical Clock) තවමත් හොඳින් ක්‍රියාකරන ඒ වර්ගයේ පැරණිම ඔරලෝසුවයි. ඒකෙන් වෙලාව විතරක් නෙවෙයි, ඒ මොහොතේ සඳ, හිරු, ග්‍රහලෝක හා ලග්න ආදිය පිහිටි ස්ථාන පවා නිවැරදිව බලා ගන්න පුලුවන්. මෙයට ඔර්ලෝජ් (Orloj) කියාද හැඳින්වෙනවා. එහි තීරු කීපයක් යොදාගෙන තියෙනවා, ග්‍රහයන් ඒ ඒ වෙලාවට සිටින ස්ථාන දැක්වීමට. වේලාව දක්වනවාට අමතරව, ඔරලෝසුවේ ප්‍රධාන මුහුණතෙහි සංකේත යොදා තියෙනවා, චෙක් වේලාව හා රෝම අංකවලින් 24 පැයේ වේලාව දැක්වීමට. මුහුණතෙහි රතු හා නිල් වර්ණ කීපයක් අඩු වැඩි වශයෙන් යොදා තියෙනවා දවසේ විවිධ කාල කොටස් දැක්වීමට. හරිම විස්මයජනකයි නේද?

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments