HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මීමන ගේ නෙත ගිය තැනක් ගැන ‍කළ අපූරු සටහනක්!

හැටේ දසකයේ මුල භාගයේ පමණ සිළුමිණ පත්‍රයෙහි ප්‍රධාන කතුවරයාව සිටි මීමන ප්‍රේමතිලකයන් ‘ලංකාවේ ලස්සන තැන්’ නමින් ලියූ සෞන්දර්ය චාරිකා විස්තර එවකට සිළුමිණ පාඨකයන් කුල්මත් කළ අයුරු අපට මතකය. එවකට කුඩා පාසල් ළමුන්ව සිටි අපට රස කුලුගන්වමින් රචනා ලියන්නත්, පාසල් බිත්ති පත්තර කරන්නත් ඒවා මගින් උත්තේජනයක් සැපයීය. එපමණක් නොව අවසානයේ දී ඒවා අපව පුවත්කලාවේදීන් බවට පත් කරන්නටත් හේතු විය.
මීමන ප්‍රේමතිලක

මේ සමග පළ වන්නේ එවකට සිළුමිණ පුවත්පතට මීමන ප්‍රේමතිලකයන් ‘ලංකාවේ ලස්සන තැන්’ නමින් සැපයූ සෞන්දර්ය චාරිකා සටහනකි. ‘අපේ පුවත් කලාවේදීන්ගේ නෙත ගිය තැන්’ යනුවෙන් ‘මල් කැකුළු’ අරඹන ලිපි පෙළක පළමු වැන්න ලෙස මෙය තෝරා ගතිමි.

මීමන ගේ නෙත ගිය තැනක් ගැන ‍කළ අපූරු සටහනක්!

ආලයෙහි ඇති එකම සම්පත අමතක නොවීම යයි මම සිතමි. කොස්ලන්දේ තානායමට කොළම සිට කොතරම් දුරදැයි මම නොදනිමි. ඒ කොස්ලන්ද ගැන කලින් මාගේ සිත ඇදී නොගිය හෙයිනි.

එහෙත් කොස්ලන්දේ තානායමෙහි සිට වැල්ලවාය පාරේ ටික දුරක් යන විට ජගත් රුචිරාණනියගේ සුන්දර සුරූපී දියණියක් හමුවූයෙන් මට දැන් කොස්ලන්ද මතකය. වැල්ලවායත් මතකය.

ආලයෙහි ඇති එකම සම්පත අමතක නොවීම යයි මා නිගමනය කළේ එහෙයිනි.

මට හමුවූ ඒ සුන්දරිය එඩිතරව සහ නොබියව ඉදිරියටම යාමේ සුන්දරත්වය මට පෙන්වූවාය.

ජීවිතයෙහි අනිස මට පෙන්වූවාය.

තෘෂ්ණාවෙහි හිස් බව පෙන්වුවාය. උඩඟුකමෙහි නිස්සාරත්වය පෙන්වුවාය. නිහතමානී බවේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වුවාය.

ජගත් රුචිරාණනියගේ ඒ සුරූපී දියණිය ගමනක් යන අතරමඟ බාධක ගල්පරයක් දුටුවාය. ගල්පරය දැක පසුබට නොවී ඉදිරියට යන්නට ඉටා ගත් ඈ ගල්පරයට නැඟ ඉදිරියට ගියාය. ඈ ගල්පරයෙන් ඇද වැටුණි. ඈ ඇද වැටුණේ පොළොවෙහි සිට අඩි 560ක් ඉහළින් වූ ගල්පරයකිනි.

ගල්හිසෙන් පනින විට ඇගේ එඩිතර ගමන නිසා ජගත් රුචිරාණනිය ඈ සුන්දරත්වයෙන් ආරක්ෂා කළාය.
දියලුම ඇල්ල

මා මෙ‍ෙතක් කීයේ දියලුම ඇල්ල ගැනය. දියලුම ඇල්ල ලංකාවට අරක් ගත් ජගත් රුචිරාණනියගේ සුරූපී දියණියකි. නොඑසේ නම් රුචිරාණනියගේ සිනාවකි.

කෝපි මල් පොකුරු ගොඩක් ගල්පරය උඩ සිට බිමට පනින්නාක් මෙන් අඩි 560ක් උඩින් ඇදහැලෙන දියලුම වරෙක කපු පුළුන් ගොඩක් ඇද හැලෙන්නාක් මෙන් පතිත වේ. තවත් වරෙක කලදෝ කඳක් වැටෙන්නාක් මෙන් පතිත වේ.

දියලුම ඇල්ල ඇද හැලෙන ගලෙහි ඇල්ල මුදුණේ සිට මීටර් 9ක් පමණ පහළින් ගල කැඩී ඇතුළට මීටර් 9ක පමණ වූ කුහරයේ දිය බිඳක්වත් නොගෑවෙයි.

එහෙත් එතරම් සර්ව සුන්දර වස්තුවක ස්පර්ශය නොලැබ ජීවත්වනුයේ කෙ‍සේ දැයි කියන්නට මෙන් දිය ඇල්ලෙහි ප්‍රතිබිම්බයක් ලබා ගන්නා ලෙස ඒ කුහරය දියලුම සෙවනැල්ල වැළඳගෙන නටන්නාක් මෙනි.

දියලුම ඇල්ලෙහි සෙවනැල්ල ඒ ගල්පරයෙහි පතිත වී සුළි මෙන් දඟලන අන්දම දැහැමියකුගේ සිතට නඟ‍න්නේ තෘෂ්ණාවෙහි බවය.

කන්ද මුදුනෙහි දිය ඇල්ලට ගෑවී ගෑවී නැවෙන නිල් අත්තකි. ඒ අත්තේ පටන් පසෙකට විහිදුණු තුරුපෙළ නිල්බරව සරුසාරව පවනින් ලෙළදෙයි. ඇල්ලට ගෑවෙන අත්ත දියලුම ජීවය අසළ වනයට ද බෙදා හැරියාක් මෙන් පෙනේ.

මා දියලුම දකින විට වැහි කල නොවූවත්, දියලුම ඇද හැලෙන විට නගින දියබිඳු මහා මාර්ගයෙහි අනෙක් කෙළවරෙහි සිටින්නවුන්ගේ ගත තෙමීමට වුවද සමත්ය. එය මා බැලීමට මෙතෙක් දුර වෙහෙසව ආ ඔබට ගිමන් ඇතැයි කියා දියලුම ඇල්ල විසින් සලන දිය රැල් විජිනි පතින් එන සිසිලසයයි උවම් කිරීමට නොබැරිය.

මිනිස් කටහඬ සහ මිනිස් නෙත නිසා කටවහ හෝ ඇස්වහ හෝ ඇතිවිය හැකියැයි සිතාදෝ දිය ඇල්ල ආවරණය කිරීමට මිහිදුම ගන්නා උත්සාහය අතිශයින්ම ව්‍යර්ථවී ගියා සේය.

සමහර විට දියලුම ජගත් සුන්දරියගේ රඟමඬලෙහි නිළියක් විය හැක. කවදා, කෙසේ, කොහිදී, කුමක් උදෙසා ඈ නටවන්නට පටන් ගත්තාදැයි කිසිවකුට කිව නොහැකිය.

එමෙන්ම ඇගේ නැටුම් කවදා, කෙසේ, කුමන අන්දමකින් කෙළවර වේදැයි කිව නොහැකිය.

එතරම් විස්මය ජනකවූ, එහෙත් ඒ සමගම ස්වභාවික වූ නැටුමක් නටන ඈ නටන නටන සෑමවිටකම සිය රූපය තිරයකින් ගන්නීය.

ඈ ඇදහැලෙන නැටුමත් සමගම දියබිඳු වලින් සැදුණු පටලයක් අහසට නඟී. එහෙත් ඒ සමඟම ඇගේ නොවත්නා රැඟුම් දැක්ක හැකිය.

දිවා රෑ දෙක්හී මෙසේ නොනැවතී නටන ඈට වෙහෙසක් නැද්දැයි මට සිතුණේ කුඩා අහිංසක දරුවකුගේ සිතුවිල්ලකි.

දියලුම ඇල්ලට මිටර් 30ක් ඈතට වී පැත්තක සිට බලන විට එක් දියවැලක් ප්‍රධාන දියවැලෙන් ඈත්ව මෙන් පැත්තකින් ගල මැද ඇති වූ ගල් පතුරකට වැටෙන හැටි දැක්ක හැකිය.

බිමින් අඩක් දුරින් පමණ පිහිටි ඒ ගල්පතුරට කුඩා දියවැල ඇදවැටුණු කෙණෙහිම පැන නඟින පෙන බුබුළු මංගල ගමනක් යන මනාලියකට යෙහෙළියක විසින් ඉසින ලද මල් පෙති වැනි යැයි සිතේ.

ශ්‍රේෂ්ඨත්වය හා සම්බන්ද නිහතමානී භාවය ගැන ද දියලුම පාඩමක් උගන්වයි. ප්‍රතාපවත් අ‍න්දමින් ගල්පර ගොඩකට ඇද වැටී කිසිවකු නොදත් විලස දියවැල් යළිත් සාමාන්‍ය දියවැල් මෙන් පාලම යටින් වනගත පෙදෙසට ඇදී යන අන්දම දකින කාහට වුවද ඇති වන්නේ සංවේගයක් මුසු ආදරයකි.

දියලුම අනුන්ගේ හරි වැරදි ගැන කිසිවක් නොසිතා කරන වැඩෙහිම නියැලි ශ්‍රේෂ්ඨ කාන්තාවක් වැන්න.

සෞන්දර්යයෙන් මත් වන්නාට ඈ සෞන්දර්ය රසය දෙන්නීය. පිපාසයෙන් පෙලෙන තැනැත්තා හෝ ස්නානයට කැමති තැනැත්තාට ඈ ජලය දෙන්නීය. එමෙන් ම මිය යාමට කැමති අයට ඈ මියයාමට ද ඉඩ දෙන්නීය.

සුන්දර වස්තුවකින් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත් කරන්නවුන් ගැන ඒ සුන්දර වස්තුව කිසිම අනුකම්පාවක් නොදැක්වීම පුදුමයට කරුණක් ද නොවේ.

ඒ සම්බන්ධයෙන් මා ඇසූ කතා පුවතකි.

යුරෝපීය යුවලක් දියලුම දැක රසයෙන් මත් වී සෞන්දර්ය ප්‍රවාහයක් මෙන් ඇද වැටෙන කඳු මුදුනට ගියහ. 

ටික වේලාවක් යන විට දිය ඇල්ල වැටෙන හැටි බලමින් සිටි ස්ත්‍රිය හදිසියේම ඇල්ලෙන් පහළට ඇද වැටුණාය. කිසිවක් කර ගතනුහුණු පුරුෂයාද ඒ සමගම ඇල්ලෙන් පහළට පැන්නේය. ඔවුන්‍ගේ ජීවිත දෙකම දිය ඇල්ල පාමුල වැටි අවසන් විය.

එදින පටන් ඒ අපිරිසිදු බිම සේදීමට මෙන් දියලුම ඇල්ල වඩාත් වේගයෙන් ඇදහැලෙතැයි මා කිවහොත් කවීන්ගේ අතිශයෝක්ති වර්ණනාවලට මාද ඇබ්බැහිවීමකි.

ප්‍රතාවත් දියලුම දිය ඇල්ල ඒ ප්‍රතාපවත් භාවය බදුලු දිස්ත්‍රික්කයටම අයත් මැණික් ගඟබඩ කතරගම් දේවාලයේ වැජඹෙන ස්කන්ධ දිව්‍ය රාජෝත්තමයාගේ ප්‍රතාපයෙන් අංශු මාත්‍රයක් ගැනීමෙන් ඇතිවීද?

සුන්දරත්වය අසල වනයෙහි වන දෙව්ලියන්ගෙන් එය ලබා ගන්න ලදද?

මට මේ කිසිවකට පිළිතුරු දිය නොහැක.

දියලුමෙහි ඇති පබාව මාගේ හද ඇතුළෙහි අමරණීයත්වයෙන් සැඟවී ඇති බව පමණක් මම දනිමි.

- මීමන ප්‍රේමතිලක

මෙම ලිපියෙහි මා දකින අපූර්වත්වය එහි ව්‍යංගයෙන් පවසන දෑය. ඔහු දිය ඇල්ල දකින්නේ ආලය, ආදරය, සොඳුරු බව මතු කරන කාන්තාවක් ලෙසයි. ඔහු ඒ තුළින් ජීවිතය දකියි, අනිත්‍යය දකියි. උපමා රූපක මහත් රාශියකි. එයින් ‘කෝපි මල් පොකුරු’, ‘කලදෝ කඳක්’ (රිදී කඳක්) වැනි පෙණ පිඬුවලට ගත් උපමා කැපී පෙනෙයි.

සිළුමිණෙන් පසු මෙය, ඔහු විසින් පළ කරන ලද, ‘වල් අලින් සහ වැද්දන් මැද’ නම් සෞන්දර්ය චාරිකා ලිපි එකතුවට ඇතුළත් කෙරිණ. ‘මගේ ප්‍රේමය, කලාව හා ජීවිතය’ ඔහුගේ ජීවන අත්දැකීම් ඇතුළත් කෘකියකි. කොළඹ ආනන්දයේ ගෙවූ පාසල් සමයේ දී ම කළ ‘ශ්‍රී ලංකා’ කාව්‍ය සංග්‍රහයෙන් පටන් ගෙන, පාළුගම, කිරිහාමි, මිනිසා, මරණය, අශෝකමාලා ආදී වශයෙන් පළ කළ කවි පොත් රැසකි. ‘මීමන’ නම් සුහද නමින් ඇමතුම් ලද කරුණාරත්න ප්‍රේමතිලක සිංහල පුවත්පත් කලාවට නව මඟක් හෙළිකළ අදීන පත්‍රකලාවේදියෙකි.

කෙළඹ යුගයේ විශිෂ්ට කවියකු, ප්‍රශස්ත භාෂා පරිවර්තකයකු ලෙස ද නම් දරා සිටි ඔහු 1965 ජූලි 12 වැනිදා සිය ජීවන සෞන්දර්ය චාරිකාව අවසන් කරන විට සිළුමිණ පුධාන කතු පදවිය දරමින් සිටියේය. 1918 සැප්තැම්බර් 20 දා හොරණ මීමන දී උපන් ඔහු මියයන විට 47 වැනි වියේ පසු විය.

‘ශ්‍රී ලංකාවේ දිය ඇලි’ නම් කෘතිය සම්පාදනය කරමින් ධර්මන් වික්‍රමරත්නයන් සඳහන් කරන්නේ ලංකාවේ දිය ඇලි සාහිත්‍යය ආරම්භය මීමන ප්‍රේමතිලකයන්ගෙන් සිදුවූවක් බවයි. ඔහු දිය ඇල්ලකට ‘මියුණු ඇල්ල’ යනුවෙන් නමක් තබා ‘නිල් දියේ නළඟන’ නමින් කවි පන්තියක් ද ලියා ඇති බව සිහිපත් කරන වික්‍රමරත්නයන් ඒ කවි පන්තියත්. මේ සමග පළ කරන දියලුම ඇල්ල ගැන රචනාවත් යන දෙකම ඔහුගේ ‘ශ්‍රී ලංකාවේ දිය ඇලි’ කෘතියට ඇතුළත් කර තිබේ. අද ඒ මියුණු දිය ඇල්ල ඔහුට ගෞරවයක් ලෙස ලංකා දිය ඇලි සංසදය විසින් ‘මීමන ඇල්ල’ කියා යළි නම් කර තිබේ.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments