HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇලස්කා මුහුදේ පිහිනන සුදු තල්මසකුගේ අපූරු දසුනක්!

වසර ගණනාවකින් දකින්නට නොලැබුණු සුදු තල්මසකුගේ අසිරිමත් දසුනක් ඇලස්කා මුහුදෙන් පසුගියදා දැක ගන්න පර්යේෂක කණ්ඩායමකට අවස්ථාව ලැබුණා. ඒ ඕක්‍රා කියා හැඳින්වෙන මිනීමරු තල්මස් විශේෂයට අයත් සතෙක්. කිරි සුදු පැහැති මේ දැවැන්තයාගේ සිරුර නිල්පැහැති සයුරේ වරින්වර මතුවන අයුරු දැක පර්යේෂක කණ්ඩායම මවිතයට පත් වුණා. පසුගිය අගෝස්තු 7 වැනිදා ඔවුන් ඒ නෙත්කලු දසුනේ ආස්වාදය වින්දා පමණක් නොව ඔබටද ඒ පහස ලබන්නට ඒ දසුන වීඩියෝ ගත කළා.
සුදු තල්මසුන් ලෝකයේ ඉතාමත් දුර්ලභ දසුනක්.

වසර දෙකක් වයසැති මේ සුදු තල්මස් පැටියා පරක් තෙරක් නැති සාගරයේ පිහිනා ගියේ තනිවම නොවේ. තුන්පත් රෑනක් ලෙසයි. ඒ කියන්නේ ඌ පිහිනා ගියේ තවත් යෝධ තල්මසුන් දෙදෙනෙකු සමගයි. ඒ අම්මා සහ ආච්චි විය හැකියැයි පර්යේෂක කණ්ඩායම පවසනවා. මුලින් ම ඌ මුහුදේ පිහිනා යන අයුරු ඔවුන් දුටුවේ ඇලස්කාවේ පීටර්ස්බර්ග්වලට බටහිරින් පිහිටි කුලු හා කුප්රියනෝෆ් දූපත් අසල මුහදේදියි. මේ වාසනාව පියවි ඇසට දැක ගන්නට ලැබුණේ ‘ඇලස්කා සී ඇඩ්වෙන්චර්ස්’ සමාගමට අයත් ‘නොදර්න් සෝන්’ සාගර යාත්‍රාවේ ගිය පර්යේෂක කණ්ඩායමකටයි.

නිල වශයෙන් මේ සුදු තල්මසා හැඳින්වෙන්නේ ‘T46-B1B’ කියායි. එත් ඔවුන් මේ සුද්දාට අලුත් නමක් පට බැන්දා. ඒ ‘ටීලක්’ (Tl'uk) කියායි. ඒ කලාපයේ විසූ ඇමරින්දියන්වරුන්ගේ සැලිස් බසින් එහි අරුත ‘චන්ද්‍රයා’ යන්නයි.

‘සුදු පාට නිසා මුහුදේදී ඌව පහසුවෙන් හඳුනා ගත හැකියි.’ ඇලස්කා සී ඇඩ්වෙන්චර්ස් හිමිකරු ඩෙනිස් රොජර්ස් කියනවා. ‘මුහුදේ ගිලුණු පසු මේ තල්මසුන් සොයා ගැනීම එතරම් ලේසි දෙයක් නෙවෙයි, ඒත් මේ සතා සුදු නිසා අඩි දහයක් යට දී පවා උගේ සිරුරේ සුදු පැහැති හැඩයෙන් ඌ ඉන්නා තැන හා උඩට මතුවන අවස්ථාව කල්තියා දැක ගත හැකියි.’
මේ සතා සුදු නිසා අඩි දහයක් යට දී පවා උගේ සිරුරේ සුදු පැහැති හැඩයෙන් ඌ ඉන්නා තැන හා උඩට මතුවන අවස්ථාව කල්තියා දැක ගත හැකියි

ඇලස්කා ෆයාබෑන්ක්ස් විශ්ව විද්‍යාලයේ සාගරජීව විද්‍යාව හදාරණ පශ්චාද් උපාධි ශිෂ්‍යාවක වූ ස්ටෙෆ්නී හේස්ට තමා මුලින් ම මේ අපූරු සතා ඡායාරූපයට නඟන්න අවස්ථාව ලැබුණේ.

‘මං සුදු පාටට යමක් වතුර යට දිළිසෙනවා. එකවරටම මට හිතුණා, ඒ ඇළි තල්මසෙක් කියලා. මට හැඟුණා ඊළඟ මොහොතේ අමුතු දෙයක් සිද්ධ වෙන බව. මං කැමරාව සූදානම් කර ගත්තා. ඔන්න එතකොටම එකපාරට ම සතා මතුවුණා. හැමෝගෙම කටින් එකවරම ‘‘දෙවියනේ” කියලා කියවුණා’ ඇය ඒ මො‍හොත සිහිපත් කළේ එහෙමයි.

හේස් හඳුනා ගත්තා මේ තල්මස් පැටියා අවුරුදු දෙකක් වයසැති බිග්ස් මිනීමරු තල්මස් වර්ගයට අයත් එකෙක් හැටියට. ඒ තල්මස් වර්ගය විලෝපිකයන් අතර රජා ලෙසයි පිළිගැනෙන්නෙ ග්‍රිසලි වලසුන් ගේ වගේ උල් දත් ඌට තිබුණා. ඔවුන් සීල් මසුන්, මුහුදු සිංහයන්, ඩොල්පින් මසුන් පමණක් නොව, වෙනත් තල්මස් වර්ගද දඩයම් කර ආහාරයට ගන්නවා.

මේ සතාගේ කැපී පෙනෙන සුදු පැහැය, ඌ ගොදුරු කර ගන්නා සතුන්ට පහසුවෙන් හඳුනා ගත හැකි නිසා වැඩේ ටිකක් අමාරුයි. ඒත් ඔවුන් ගිය ඒ යාත්‍රවේ සේවකයන් දැක තිබෙනවා, ඒ සුද්දා වරාය අසල වෙසෙන සීල් මත්ස්‍යයකු දඩයම් කරනවා.

‘මේ සුද්දා මේ තුන්පත් රෑනෙහි ඉන්නා නිරෝගී සාමාජිකයෙක් බව පෙනෙනවා. සීල් මසුන් දඩයම් කරන්නේ නම් ඌ නිරෝගී බව එයම හොඳ සාධකයක්.’ හේස් කියනවා.

ඇය කියන්නේ ඉදිරියේදී මේ සුදු තල්මසුන් හමුවීම් ඔවුන් ගැන තවදුරටත් හැදෑරීමට අවස්ථාවක් කර ගත හැකි බවයි. ‘මේ සුදු තල්මසුන්ට දඩමේ යා හැකිද? ඔවුන් ගැන අනෙක් තල්මසුන්ගේ පිළිගැනීම කොහොමද? උන් දිගටම නිරෝගීම සම්පූර්ණ ආයු කාලය ගෙවාවිද? යන කරුණු ගැන සොයා බැලිය හැකියි’ ඇය තවදුරටත් කියනවා.


මේ බිග්ස් කිලර් තල්මසුන් පසුපස හඹා යාම පර්යේෂකයන්ට ලේසි පාසු දෙයක් නෙවෙයි. ඔවුන් ඇලස්කාවේ සිට උතුරු කැලිෆෝනියානු වෙරළ තෙක් සාගරයේ මහා දුරක් සැරිසරනවා. මේ සුද්දා ඇතුළු තුන්පත් රෑන, මීට කලින් කැනඩාවේ වැන්කූවර් දූපත අසල මුහුදේ දී දැක ගන්න ලැබී තිබෙනවා. ගිය සතියේ ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයේ 49 වැනි ජනපදය වූ ඇලස්කාව අසල මුහුදේ ද දැක ගැනීමට ලැබුණා.

‘සුදු තල්මසුන් ලෝකයේ ඉතාමත් දුර්ලභ දසුනක්. සමහර විට පර්යේෂකයකුට තමන්ගේ ජීවිත කාලය තුළදී දැක ගත හැකි වන්නේ නැහැ.’ ඉන්ස්ටග්රෑම් පෝස්ට් එකක් තබමින් හේස් සඳහන් කරනවා.

මේ අපූරු සතාට අනිත් ඒ වර්ගයේ සතුන්ට හිමි සිරුරේ කළු සුදු රටාව අහිමි වුවත් ඌ සැබෑ ඇළි සතෙක් නෙවෙයි. මේ කිරි සුදු පැහැය ඌට ලැබී තිබෙන්නේ ශ්වේතාණුවල විකෘතියක් නිසයි. සැබෑ ඇළි සතුන්ගේ ඇස් රෝස පාටයි, සම මීටත් වඩා තද සුදු පැහැතියි.

පසුගිය වසර 80 තිස්සේ ම මේ විදියේ සතුන් අතළොස්සකට වඩා හමුවී නැහැ. දැන ඇති සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන 10කටත් අඩුයි. මීට කලින් 2010 දී රුසියාවේ වයඹදිග වෙරළේදී මෙවැනි එකකු හමුවුණා. ‘අයිස්බර්ග්’ කියා නම් කර ඇති ඒ ඕක්‍රා තමයි, චිත්‍රපටයට නඟනු ලැබූ, මේ වර්ගයේ එකම සතා වන්නේ.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments