HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආදි මිනිසා ඇඳුම් ඇන්දේ කවදා සිටද? උකුණන් හෙළි කරන රහස්!

අපේ ආදි මුතුන්මිත්තන් ඇඳුම් ඇඟලන්නට පටන් ගත්තේ දෙවන හිම යුගයෙන් පසුව යැයි මතයක් මෑතක් වනතුරු තිබුණා. එසේ ඇඳුම් අඳින්නට ඇත්තේ නග්නව හිඳීමට වඩා එය සුවපහසු යැයි සිතුව නිසා විය හැකියි. ඒ අනුව මානවයා වසර 170,000කට පෙර ඇඳුම් අඳින්න පටන් ගන්නට ඇතැයි කියන්නට සාක්ෂි විද්‍යාඥයන් විසින් මෑතදී කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා. ඒ සාක්ෂි සොයා ගෙන ඇත්තේ අප්‍රසන්න සතකුගේ මාර්ගයෙන්. ඒ අන් කිසි සතකු නොව, අපේ හිස්වල දකින්නට, අද අප ඉතාමත් අකමැති උකුණායි. ඒ අනුව උකුණා, අප ඇඳුම් අඳින්න පටන් ගන්න පෙර සිට ම, වසර 170,000ක් තිස්සේ අප සමග ජීවත්වෙලා තියෙනවා.

ෆ්ලොරිඩාවේ ගේන්ස්විල්හී පිහිටි ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ කෙරුණු අලුත්ම අධ්‍යයනයකින් තමයි, මේ බව හෙළිවන්නේ. උකුණන්ගේ පරිණාමය පිළිබඳ සොයා බැලී‍මේදී තමයි, මේ බව හෙළිවි තියෙන්නේ. එහි ප්‍රධාන පර්යේෂකයා ඩේවිඩ් රීඩ්. ඔහු ෆ්ලොරිඩා ස්වභාවික ඓතිහාසික කෞතුකාගාරයේ සහකාර සංරක්ෂක වරයායි. ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සමග ඔහු, මානව පරිණාමය හා සංචරණ රටාවන්ට පිළිබඳව කළ අධ්‍යයනයකදී වර්තමාන මානවයන් ඇසුරු කර ගෙන ඉන්නා උකුණන් වෙත විශේෂ අවධානයක් යොමු කළා. වසර පහක් තිස්සේ ඔහුු විසින් ජාන යොදා ගෙන කළ අනුක්‍රමික රටා පිළිබඳ අධ්‍යයනයේදී මිනිසාගේ හිසේ වූ උකුණන් අනුක්‍රමයෙන් ඇඳුම්වලට ආවේ කොයි කාලයේ දැයි විමසා බැලීමක් සිදු කෙරුණා.

මේ අධ්‍යයනය සඳහා අරමුදල් සපයන ලද්දේ ඇමරිකාවේ ජාතික විද්‍යා පදනමෙනුයි. ඒ අධ්‍යයනය ‘මොලිකියුලර් බයොලජි ඇනි එවුලියෂන්’(Molecular Biology and Evolution) සඟරාවේ පළ වී තියනවා. 

‘අපට අවශ්‍ය වුණේ මානවයා මුලින්ම ඇඳුම් ඇන්ද කාලය වෙනත් ක්‍රමයකින් තහවුරු කර ගන්නයි.’ කී රීඩ් තවදුරටත් කීවේ, ‘ඒ නිසයි, මිනිස් පොසිල සමග තිබූ උකුණන්ගේ ජාන පරීක්ෂාවට ලක් කළේ. මිනිස් හිසෙහි වාසය කළ උකුණන් පසුව ඇඳුම් උකුණන් ලෙසට ඉතා හොඳින් අනුගත වුණා. ඒ අනුව මිනිස් හිසේ උකුණන් පසුව, ඇඳුම්වල වාසයට හැඩ ගැසුණු සමයේ මිනිසා ඇඳුම් ඇන්ද බව හෙළිවුණා.’කියායි.

මේ තොරතුරු අනුව පෙනී ගියා, නවීන මානවයා ශීත දේශගුණය ඇති ප්‍රදේශවලට හා උස් කඳුකරයට සංක්‍රමණය වීමට තවත් අවුරුදු 70,000කට පෙර ඇඳුම් ඇන්ද බව. ආදී මිනිසා මේ සංක්‍රමණය පටන් ගත්තේ තවත් වසර ලක්ෂයකට පෙරයි. මේ දිනය කෙළින් ම පුරාවිද්‍යා කැණීමවලින් තහවුරු කර ගැනීමට හැකියාවක් නැහැ. හේතුව ඇඳුම් වැනි දේ පුරාවිද්‍ය වැඩ බිම්වල ශේෂව තිබිය නොහැකි නිසා.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ මානවයන් ඇඳුම් ඇඳීමට පටන් ගත්තේ ඔවුන්ගේ සිරුරෙහි රෝම නැති වී ගිය කාලයට පසුවයි. ඒ ජානමය අතින් සමේ වර්ණය වෙනස් වීමෙන් පසුව, එනම් වසර මිලියනය එකකට පෙරාතුවයි. ඒ කාලයේ මානවයා සිටියේ කයේ රෝම මෙන්ම ඇඟට ඇඳුම් ද නැතිවයි.

‘කයේ රෝම මෙන්ම ඇඟට ඇඳුම් නැතිව අප්‍රිකා භූමිය තුළ වසර සිය දහස් ගණනක් තිස්සේ මිනිසා ජීවත් වූයේ යැයි සිතීම ඇත්තෙන් ම පුදුමයට කරුණක්. ඒ වගේ ම කයට රෝම මෙන්ම ඇඟට ඇඳුම් ලැබුණාට පසු අප්‍රිකාවෙන් පිටත ලෝකයේ අනික් පෙදෙස්වලට සංක්‍රමණය වූවා යයි සිතීමත් ඒ වගේම පුදුමයට කරුණක්.’ රීඩ් කියනවා.

උකුණන් අධ්‍යයනය සඳහා තෝරා ගන්නට හේතුව අනික් පරපෝෂිතයනට වඩා පරිණාමය සිදුවන දිගු කලක් තිස්සේ සත්කාරක සත්වයා සමග නොවෙනස්ව ජීවත්වීමට ඔවුන් සතුව තිබූ හැකියාව නිසයි. මේ සමබන්ධතාව තමයි, විද්‍යාඥයන්ට අවස්ථාව සැලසුවේ සත්කාරකයාගේ පරිණාමීය වෙනස්කම් ගැන හැදෑරීමට පරපෝෂිතයාගේ වෙනස්කම් පාදක කර ගන්නට.

උකුණන්ගෙන් දත්ත ලබාගෙන මානව පරිණාමය ගැන කියන මේ සුවිශේෂී ක්‍රමය සංවර්ධනය කරනු ලැබුවේ පසුගිය වසර 20 ඇතුළතයි. මේ ක්‍රමයෙන් ලබා ගන්නා දත්ත, වෛද්‍ය විද්‍යාව, පරිණාමීය ජීව විද්‍යාව, පරිසර විද්‍යාව ආදී ක්ෂේත්‍ර ගණනාවකම ප්‍රයෝජනයට යොදා ගත්තෑකි.

‘මේ නිසා, සත්කාරයාගෙන් මාරුවී වෙනත් නව සත්කාරකයන්ට එක්වීම වැනි චර්යාත්මක වෙනස්කම් මෙන්ම රෝග ආසාදන මතුවීම වැනි මිනිසාට බලපෑ නොයෙක් දේ ගැන හදාරන්නට අපට අවස්ථාවක් ලැබෙනවා’ රීඩ් කියනවා.

ඇඳුම්වල ඉන්නා උකුණන් පිළිබඳ මේ අධ්‍යයනයට මුලින් ම නායකත්වය දුන්නේ 2003දි ජර්මනියේ ලිප්සීග්හි මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ජාන විද්‍යාඥයකු වූ මාක් ස්ටෝන් කිං තමයි. එහිදී ඔහුට සහය වූයේ රැල්ෆ් කිට්ලර්, මැන්ෆ්රෙඩ් කේසර් යන පර්යේෂකයනුයි. ඒ අනුව නිගමනය කෙරුණේ මානවයා මුුලින් ම ඇඳුම් අඳින්නට පටන් ගත්තේ වසර 107,000 පෙර කියායි. එහෙත් ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මේ ප්‍රශ්නයට වඩාත් ගැළපෙන නව දත්ත හා නව ක්‍රමවේදයන් යොදා ගත්තා. ඒ අනුව එය තවත් එහාට තල්ලු වුණා.

ඒත් මෙවර උකුණන් යොදා ගත් අධ්‍යයනයේදී අනපේක්ෂිත විධියට හෙළිදරවු වුණා මානවයා ඇඳුම් අඳින්නට පටන් ගත්තේ ඊට බොහෝ කාලයකට ඉස්සර පටන් බව. මේ දිනය මෙතෙක් පිළිගෙන තිබූ ප්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් ගෙන තිබුණු නිගමනයට වඩා බොහෝ අතීතයට දිව යනවා. ඒත් ඒක පිළිගන්න තරම් අර්ථවත්’ යැයි කියන ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා හා මානව විද්‍යා ආයතනයේ කථිකාර්යවරියක වූ ඉයන් ගිලියන් වැඩි දුරටත් කියන්නේ. ‘මේ නව අධ්‍යයනයෙන් කියැවෙන්නේ මිනිසා ඇඳුම් ඇඳීමට පුරුදු වූයේ මුල්ම හිම යුගයට මුහුණ දීමෙන් ලත් අත්දැකීම් මත කය උණුසුම්ව තබා ගැනීමට බවයි.’

අවසාන හිම යුගය ඇති වූයේ මීට වසර 120,000කට පමණ පෙරාතුවයි. එහෙත් මේ අධ්‍යයනයෙන් නව මානවයා මුලින්ම ඇඳුම් ඇන්දේ යැයි දින නිර්ණය කර ඇත්තේ වසර 180,000කට පෙර පැවති හිම යුගයට පසුවයි. ඒ හිම තට්ටුවල හරයේ ඇති උෂ්ණත්වයන් පිළිබඳ කරන ලද අධ්‍යයනයන් අනුව යමිනි. ඒ අනුව ගිලියන් කියන්නේ මුලින් ම නව මානවයන් පහළ වන්නට ඇත්තේ වසර 200,000කට පෙර බවයි.

ආදී මානවයන් අද ‍සොයා ගැනීමට රෙදි උකුණන් ඉතිරි කර ගොස් නැති නිසා මේ අධ්‍යයනය අප්‍රිකාවෙන් බැහැර විසූ ආදි මානවයන් පිළිබඳව ගවේෂණය කරන්නට අපට හැකියාවක් නැහැ.
අපේ මුතුන්මිත්තන් ඇඳි කෞතුක වශයෙන් 
හමුවී ඇති පැරණිතම ඇඳුම ටාඛාන්

‘වසර සිය දහස් ගණනකට පසු, ගින්දර පාලනය කර භාවිතයට ගැනීම, ඇඳුම් ඇඳීමේ හැකියාව, නව දඩයම් උපක්‍රම හා නව ශිලා මෙවලම් ආදී තාක්ෂණ ගැන අපට වඩාත් සාර්ථකව තොරතුරු හෙළිදරවු කර ගැනීමට ලැබීම සතුටක්’ යයි රීඩ් කියයි.

මේ අධ්‍යයනයේ සම කර්තෘත්වය දරන්නේ ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ මෙලිස්සා ටුප්ස් හා පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඇන්ඩ්‍රෑ කිචන් දෙදෙනාත්, කලින් ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයත්, තවත් සම කර්තෘවරියක වූ ෆ්ලොරිඩා කෞකුකාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි අපේක්ෂිකාවක වූ ටෙක්සාස් ඒඇන්ඩ්ඇම් විශ්ව විද්‍යාලයේ ජෙසිකා ලයිට් සමග එක්වයි. මේ පර්යේෂක කණ්ඩායමට ඩේවිඩ් රීඩ්ගේ ජාතික විද්‍යා පදනමේ Faculty Early Career Development Award යටතේ පර්යේෂකයන්ට ලැබුණු විශේෂ ප්‍රදානය නිසයි, මේ අධ්‍යයනය සාර්ථක කර ගත හැකි වූයේ.

ආදි මානවයන් මුලින්ම ඇඟලුම් ලෙස පැලැන්දේ සත්ව සම්, ලොම් හා කොළ ආදිය බව අප දන්නවා. ඔවුන් ඒ ගැන ඉතා අතීතයේ අදහසක් ඇති කර ගත්තේ, කෘමි සතුන්ගෙන් සමට වන හානි වළක්වා ගැනීමටත්, ශීත කාලයේ හා ගිම්හානයේ කාලගුණික වෙනස්කම්වලට, වැසිවලට, ඔරොත්තු දෙන්නටත් යන කරුණුවලටයි. අද අපේ ඇඳුම්වලට විවිධ අරමුණු තිබුණත් එදා එකම අරමුණ ආරක්ෂාව සලසා ගැනීම පමණයි.

එහි අතීතය ගැන අපට නිශ්චිත කාලයක් ගැන හිතා ගන්නට නොහැකි වූයේ ඒ ඇඳුම්, ඔවුන්ගේ අස්ථි පොසිල මෙන් හෝ අපට ඒවා ශේෂව නොතිබුණු නිසයි. ඒ වුනත් වසර ලක්ෂ දෙකකට ආසන්න කාලයක ඈත අතීතයේ දී අපේ ආදීම මුතුන්මිත්තන් ඇඳුම්වලට හුරුවූ අයුරු උකුණන්ගේ ජානවලින් සොයා ගැනීමට හැකි වීම ඇත්තෙන් ම විස්මිත කරුණක් නොවේද?

අවසාන වශයෙන් කිවයුත්තක් තියෙනවා. ඒ අපට කෞතුක වශයෙන් අපට හමුවී ඇති ආදී අපේ මුතුන්මිත්තන් ඇඳි වියන ලද පැරණිතම ඇඳුම මීට වසර 5,000ත් 5,500ත් අතර කාලයේ දී භාවිත කළ එකක් බව. ඒ මිසර ශිෂ්ටාචාරය ආරම්භයේදියි. එය හැඳින්වෙන්නේ ටාඛාන් (Tarkhan) කියායි. 1913 ඊජිප්තුවෙන් සොයා ගන්නා ලද මේ ඇඳුම දැනට තැන්පත් කර ඇත්තේ ලන්ඩන‍් විශ්ව විද්‍යාලයේ ඇති විශේෂ මිසර කෞතුකාගාරයේයි.

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments