HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බෙනඩික්ට් දොඩම්පෙගමගේ හිත ගිය තැන්!

මීට වසර පනහකට හැටකට විතර ඉස්සර මට අපූරු සුන්දර මිනිසකු මුණ ගැහුණේය. මුලින්ම ඔහු ලියූ පුවත් පත් විශේෂාංග ලිපි මගිනි. දෙවනුව පොතපතිනි. ඔහු බොහෝ විට ලියුවේ කෙටි ලිපි ය. එහෙත් ඒ හැම විට ම ඔහු හදවතට වදින, සිත්ගන්නාසුලු යමක් ලියුවේ ය. ඒ නිසා ම මම විමසිල්ලෙන් සිට ඔහුගේ සෑම ලිපියක් ම පළ වූ විගස කියැවූයෙමි. ඔහුට ලියන්නට විශේෂ වූ විෂයයක් නැත. ඔහු සෑම දෙයක් ගැන ම ලීවේය. ඒ හැම විට ම අලුත්, නැවුම් අදහසක් ඉදිරිපත් කළේය.

බොහෝ විට ඔහුට මාතෘකාව වූයේ එදා උදේට, මුළු ලෝකයේ ම අවධානය දිනා ගත් දෙයයි. නැති නම් හෙට මාතෘකාව විය හැකි දෙයයි. එසේත් නැතිනම් කිසිදාක අභාවයට නොයන මාතෘකාවකි. මෙහි පළ ‍වන්නේ ඒ තුන්වන ගණයට වැටෙන ලිපියකි. මෙය මීට වසර පනස් පහකට පමණ පෙර සිළුමිණ පත්‍රයට ලියා පසුව ඔහුගේ ම ‘හිත ගිය තැන්’ (ගුණසේන 1965) නම් ග්‍රන්ථයට එක් කළ එකකි.
බෙනඩික්ට් දොඩම්පෙගමගේ ඡායාරූපය සමග ඇති අනෙක් ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔහු සිළුමිණ පත්‍රයේ සේවය කරද්දී, මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කළ අවස්ථාවකි.

පුදුම අන්ධ විශ්වාස

ඔබ මුද්දක් පැලඳ සිටින්නේ නම් එය ඇත්තේ වම් අතේ හතර වන ඇඟිල්ලේ ය. මුද්ද මේ ඇඟිල්ලේ ම පලඳින්නේ ඇයි? එසේ කරන්නේ අවුරුදු දහස් ගණනකට පෙර සිට පැවත එක් විශ්වාසයක් නිසාය.

ඉතා පැරණි කාලවල සිට ලෝකය පුරා පැතිර තිබූ විශ්වාසයක් නම් වම් අතේ හතරවන ඇඟිල්ලේ සිට හදවතට විශේෂ ලේ නහරයක් ඇති බවය. මෙම විශ්වාස අවුරුදු තුන්දහසකට වඩා පැරණිය.

ග්‍රීක හා රෝම වෛද්‍යවරුන් බෙහෙත් වර්ග කලවම් කළේ මෙම ඇඟිල්ලෙනි. මෙම ඇඟිල්ලෙන් කලවම් කළ විට එයින් විශේෂ ගුණ ලැබෙතැයි ඔවුහූ විශ්වාස කළහ. මේ ඇඟිල්ලට වෙදැඟිල්ල කියා කීවේ ඒ නිසා විය හැකිය.

ප්‍රේමයේ ලාංඡනය වශයෙන් පලඳින මුදුව ද හදවතට විශේෂ වශයෙන් සම්බන්ධ වූ ඇඟිල්ල මෙන් පිළිගත් වමතේ හතරවන ඇඟිල්ලේ පැලඳීම ආරම්භ වූයේ මෙම විශ්වාසය නිසාය.

වර්තමානයේ ලෝකය විද්‍යාව අතින් ‍කෙතරම් උසස් දියුණුවක් ලබා ඇතත් මිනිසුන් අතර ඇති සමහර අන්ධ විශ්වාසයන් ඉවත් කිරීමට හැකි වී නැත්තේය. මේ මිථ්‍යා විශ්වාසයන් ඇත්තේ නූගත්කමින් පිරී ඇතැයි ඇතැමුන් සලකන ආසියාතික රටවල පමණක් නොවේ. යුරෝපා ජාතීන් අතර ද මෙම අන්ධ විශ්වාස බොහෝ සේ ඇත්තේය. කෙතරම් නවීන අධ්‍යාපනයක් ලැබුවත් බොහෝ දෙනා මෙම විශ්වාසයන් පිළිගෙන කටයුතු කරති.

පුදුමයට හේතුවන එක් කරුණක් නම් මෙවැනි විශ්වාසයන් බොහොමයක් එකම ස්වරූපයෙන් ම ලෝකයේ රටවල් බොහොමයකම දක්නට ලැබීම ය.මෙම බොහෝ විශ්වාසයන් මිනිස් ඉතිහාසය තරම් ම පැරණි ය. ඒවා මුලිනුපුටා දැමීම පහසු දෙයක් නොවේ.

බුද්ධියෙන් සලකා බැලූ විට ඒවා හරයක් නැති විශ්වාස ය. එහෙත් කෙතරම් තර්කානුකූලව මේවායේ බොරු බව ඔප්පු කිරීමට තැත් කළත් ඒවායේ එල්බ සිටින්නෝ එම විශ්වාසයන් අත් නොහරිති. කොමියුනිස්ට් රටවල මෙවැනි විශ්වාසයන්ට විරුද්ධ එළිපිට ම සටන් කරතත් ඒ රටවල් බොහොමයකද මේ විශ්වාස තවමත් පවතී.

අන්ධ විශ්වාසයන් මැඬීමට ඉතා මෑතදී මන්ත්‍රකාරයන ගේ පිහිට ලබා ගැනීමට පාලකයන්ට ද සිදුවූ අවස්ථාවක් අප්‍රිකාවෙන් වාර්තා විය. අප්‍රිකාවේ මාවු මාවු ව්‍යාපාරයට බැඳී සිටි අය ඉන් ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයෝ මන්ත්‍රකාරයන්ගේ සරණ ලබා ගත්හ. මාවු මාවු ව්‍යාපාරයට බැඳීමට දිවුරුම් දිය යුතුය. එයින් ඉවත්වීමට වුවමනා නම් එය සිදු කළ හැක්කේ පිළිගත් මන්ත්‍රකාරයකුට පමණකි. මෙවැනි මන්ත්‍රකාරයන්ගේ සහාය බ්‍රිතාන්‍යයන්ට ලබා ගැනීමට සිදු වූයේ මෙම හේතුව නිසාය.

දරු උපත, මරණය, ලෙඩරෝග වාසනාව ළඟා කර ගැනීම සතුරන්ට හානි පැමිණවීම ආදී දේට අන්ධ විශ්වාස බොහොමයක් සම්බන්ධ වී ඇත්තේය.

බොහෝ අප්‍රිකානු ගෝත්‍රිකයන් පිළිපදින සිරිතක් නම් බිරියට දරුවකු ලැබෙන විට සැමියාත් ගෙයි මුල්ලකට වී බිරියට ඇති අමාරුව ම පෙන්වීම ය. එම වේදනාවෙන් ඔහුත් පෙලෙන බව එහි පැමිණ සිටින අයට පෙන්විය යුතු ම ය.

බොහෝ නොදියුණු ගෝත්‍රිකයන් නැන්දම්මාට දක්වන්නේ කිව නොහැකි බියකි. නැන්දම්මාට කථා කරන්නේ ද ඈ නොපෙනෙන තැනක සිටින විට පමණකි. නැන්දම්මා යන මගවත් ඔවුහූ නොයති.

පෘතුගාලය, දකුණු අමෙරිකාව සහ තව බොහෝ රටවල අදත් යමකු මිය ගිය විට ඔහුගේ ඇස් දෙක උඩ කාසි දෙකක් තබති. සමහරුන් සිතන්නේ සමහර විට විවෘත වී ඇති ඇස් වැසීමට මෙය කරන බවය. මෙය ග්‍රීක කාලයේ සිට පැවත එන පුරුද්දකි. මියගිය අයගේ කටේ කාසි කිහිපයක් තැබීම පැරණි ග්‍රීසියේ තිබූ සිරිතකි. අනික් ලෝකයට ගිය විට මළ තැනැත්තන්ට ගඟකින් එගොඩවීමට සිදු වෙයි. දේ තබන කාසි එම ගාස්තුවයි.

දකුණු අමෙරිකාවේ ඇස්ටෙක්වරු මළ තැනැත්තාගේ කට උඩ පච්ච වර්ණ ගල් වර්ගයක් තැබූහ.

ආසියාතික සිරිත් විරිත් සහ විශ්වාසයන්ට ද සිනාසෙන යුරෝපා ජාතීන් අතර ඇති අන්ධ විශ්වාස අපමණ ය. සිකුරාදා ඉතා අසුබ දිනයක් ලෙස යුරෝපා ජාතික‍යෝ විශ්වාස කරති. මේ විශ්වාසය ඇති වීමට හේතුව ක්‍රිස්තුස්වහන්සේ සිකුරාදා දිනයක ස්වර්ගස්ථ වීම යැයි කියති.

එහෙත් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට ඉහත කාලයේ සිට සිකුරාදා අසුබ දිනයක් ලෙස සලකනු ලැබුවේය. ජුදාවරුන්ගේ විශ්වාසය අනුව මිනිසාට වින කරන සියලුම භූතයන් උපත ලැබුවේ සිකුරාදා දිනයකය. මොවුන්ගේ මිනිසාට වැඩි වශයෙන්ම හානි සිදු වන්නේ සිකුරාදා දිනයෙහිය. මේ කුමන කරුණ නිසා හෝ වේවා සිකුරාදා සිකුරාදා ඉතා අශුභ දිනයක් ලෙස යුරෝපා රටවල අද ද තදබල විශ්වාසයක් ඇත්තේය. 

ඉණිමඟක් යටින් යාම ඉතා අශුභ දෙයක් ලෙස විශ්වාස කරන්නෝ යුරෝපා රටවල බොහෝ ය. මොන හේතුවක් නිසා හෝ මොවුහූ ඉණිමඟක් යටින් රිංගා නොයති. මෙය ඉතාමත් පැරණි විශ්වාසයකි.

මෙහි උපතට සිදුවීම් දෙකක් හේතුවීයයි කියති. පැරණි මිසරවාසීන්ගේ විශ්වාසය අනුව ඔසිරිස් නමැති දෙවියා මොලොව සිට ඉණිමඟක නැඟ දෙව්ලොවට ගියේය. සුරදූතයන් ඉණිමඟකින් යන බවක් පරණ තෙස්තමේන්තුවේ එන ජෝබ් කථාවෙහි සඳහන් වෙයි. ඉණිමඟක් යටින් යන්නෙකුට මෙලොවින් එලොවට යන භූතයන් වැනි අය හමුවිමට ඉඩ තිබේය යන විශ්වාසය නිසා ඉණිමං යටින් යාමට බොහෝ යුරෝපා ජාතීහූ බියවෙති.

බොහෝ යුරෝපීයයන්ට ‘දහ තුන’ ඉතාම අශුභ ගණනකි. 13නේ ඉලක්කමට මොවුන් දක්වන්නේ මහත් බියකි. මෙයත් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ වී ඇත. දහතුන් දෙනෙකු මේසයක වාඩි වී ආහාර ගැනීමට යුරෝපීය ජාතිකයෝ බොහෝ සේ බියවෙති.

දහ තුනේ ගණන බැබිලෝනියානු ජාතිකයන් අතර ද අසුබ ඉලක්කමකි. මේ බව ඔවුන්ගේ ලේඛනයක සඳහන් වෙයි. බැබිලෝනියානු රජකුගේ අන්තඃපුරයක් ගිනිගෙන දා විනාශ වී ගියේය. ගිනි ගන්නා විට එහි බිසෝවරු 13 දෙනෙක් වාසය කළහ.

රජතුමා ගින්න ඇති වීමට වරද පැමුණුවේ කිසිම දෙයකට නොව දහ තුනේ ගණනටය. දහ තුන කොතරම් අසුභ ඉලක්කමක් ලෙස යුරෝපය, ඇමරිකාව වැනි රටවල සැලකේද යත් ඉතා නවීන පන්නයට ඇති මහා හෝටල්වල පවා කාමරයකට 13නේ නොම්මරය වෙනුවට යොදන්නේ ’12 ඒ’ නොම්මරයයි.

මෙයින් පෙනෙන්නේ මිථ්‍යා විශ්වාසයන් ආසියාවට, නූගතුනට, පමණක් සීමා වූ ඒවා නොව කවර තරාතිරමේ අය අතරත් ලොව පුරා පැතිර ඇති බවය. බුද්ධිමතුන් අතරත් නොයෙක් අන්ධ විශ්වාස පවතී. විද්‍යාවට, බුද්ධියට, සම්පූර්ණයෙන් විරුද්ධ මතවල එල්බ සිටින්නන් උගතුන් අතරින් ඕනෑතරම් සොයා ගත හැකිය.

නක්ෂත්‍ර කටයුතු සඳහා වර්ෂයකට ඩොලර් 20,000,000ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයේ වැසියන් වැය කරතියි ගණන් බලා ඇත. යන්ත්‍ර මන්ත්‍ර, පුදපූජා, ආදිය සඳහා ඉන්දියාවේ දස අවුරුද්දකට වැය කරන මුදල මුළු ඉන්දියාවේ ම කෘෂිකර්මය නවීන ක්‍රමයට පරිවර්තනය කිරීමට ප්‍රමාණවත් වෙතැයි කියති.

- බෙනඩික්ට් දොඩම්පෙගම

Post a Comment

0 Comments