HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

13 හැවිරිදි දැරියකගෙන් විස්මිත නිර්මාණයක්!

කොවිඩ් 19 වසංගත කාලයේ ලෝකය පුරා ම ළමයින්ට නිවසේ සිට ක්‍රියාකාරීවීමට හැකි වන පරිදි විවිධ තරග හා ක්‍රියාකාරකම් හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. ඒ වගේ තරගයක් එංගලන්තයේ ඉංජිනේරු තාක්ෂණ ආයතනය ඉදිරිපත් කළා ‘අනාගත ක්‍රීඩාවට නව නිපැයුම්’ කියා. ඒ තරගය සඳහා නවෝත්පාදන රාශියක් ඉදිරිපත් කර තිබුණා. ඒ තරගයෙන් දිනුවේ 13 හැවිරිදි යොවුන් දැරියක්. ඇය තමා චාලට් ගියරි. ඇය දකුණු එංගලන්තයේ වෙරළාසන්න නගරයක් වූ බෝමර්මවුත්හි පදිංචිකාරියක්.
13 හැවිරිදි චාලට් ගියරි සිය නිර්මාණය සමග

මේ වතාවේදී ඉංජිනේරු තාක්ෂණ ආයතනය අවුරුදු 5ත් 13ත් අතර දරුවන්ගෙන් ඉල්ලීමක් කළා, ලොක්ඩවුන් කාලයේ දී අපූරු නිර්මාණ කාර්යයක යෙදන්නට කියා. මෙහිදී ඔවුන් කීවේ, අලුත් ක්‍රීඩාවක් ලෝකයට හඳුන්වා දෙන්න, එහෙමත් නැත්නම් පවතින ක්‍රීඩාවකට හෝ ක්‍රීඩා භාණ්ඩයකට නවෝත්පාදනයක් හඳුන්වා දෙන්න සැලැසුම් ඉදිරිපත් කරන්නටය කියායි. තරගය නම් කර තිබුණේ ‘අනාගත ක්‍රීඩාවට නව නිපැයුම්’ කියලයි. ඒ සඳහා දරුවන් අපූරු නිර්මාණ රැසක් ඉදිරිපත් කළා. විනිශ්චයකරුවන්ට වඩාත් ම හොඳ එක තෝරා ගැනීමට අසීරු වන තරමටම ඒ නිර්මාණ විශිෂ්ටයි!

එක දරුවෙක් ඉදිරිපත් කළා, පහරක් එල්ල කළ විට ආපසු තමා වෙතට එන පා පන්දුවක්. තනිවම කෙනෙකුට ක්‍රීඩා කළ හැකි, එය හැඳින්වූයේ ‘ස්ක්විනිස් බෝල්’ කියලයි. ඒ වගේ ම තවත් අයෙක් ඉදිරිපත් කළා, ක්‍රීඩාව අතරතුර ක්‍රීඩකයන්ගේ කටට ආහාර පිණිස ‘නගට්ස්’ විදිය හැකි මැෂිමක් හදන හැටි! පාපන්දු ක්‍රීඩා කරන්නට හවුල් කර ගත හැකි රොබොට්ටෙක් තවත් දරුවකුගේ නිර්මාණයක්. එසේ ම සමාජ දුරස්ථ භාවය රැක ගැනීම පුහුණු වනු පිණිස සංවේදකයක් සහිත උපකරණයක් තවත් දරුවෙක් ඉදිරිපත් කර තිබුණා, ඔබ යමෙකුට ඇති මීටර දෙකේ සීමාව පනින කොට ඒ බව එයට දැන්විය හැකියි.

මේ සියලු නිර්මාණ අතරින් විශිෂ්ටතම නිර්මාණය ලෙස තෝරා ගනු ලැබුවේ චාලට් ගියරිගේ නිර්මාණයයි. ඇය නවෝත්පාදනය ලෙස ඉදිරිපත් කළේ දුරස්ථ පාලකයකින් ක්‍රියාකළ හැකි පැදුම් ලෑල්ලක් හෙවත් ස්කේට් බෝඩ් එකක්. ඇය එ්ක නම් කරලා තියෙන්නේ ‘ඉලෙක්ට්‍රොඩෙක්’ කියලයි. එයට වොට් 400ක මෝටරයක් සවි කර තිබුණා. එය ස්වයංක්‍රීයව, දුරස්ථව මෙහෙයවනු ලැබුවේ බ්ලූ ටූත් එකකින්. එය පදවන්නාට කැමති අයුරින් ඕනෑම අතකට මෙහෙයවන්න පුළුවන්, අතේ තියෙන පුංචි දුරස්ථ පාලකයකින්.

මේ තරගය විනිශ්චය කළේ ලෝක පුජිත සයිකල් ශූරයකු වූ මාක් කැවෙන්ඩිෂ්, ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සභාපති පීටර් බෝන්ෆීල්ඩ්, වසරේ යොවුන් ඉංජිනේරුවරිය ලෙස සම්මානය දිනූ යින් වැන් ලෝ ඇතුළු විශේෂඥයන් පිරිසක්.

ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ප්‍රකාශකයකු කීවේ, ‘ඒක අලුත් තාක්ෂණය යොදා ගෙන, පවත්නා ජනප්‍රිය ක්‍රීඩාවකට අනාගතයේ දී නව මුහුණුවරක් දිය හැකි අපූරු උපකරණයක්’ කියායි. ඔහු සඳහන් කළ අන්දමට එය ඔවුන්ගේ තේමාවට සරිලන ආකාරයේ ම නිර්මාණයක්!
  

‘ඉලෙක්ට්‍රොඩෙක්’ කියන ස්කේට් බෝඩ් ලෑල්ලට පැයට හැතැප්ම 10 වේගයකින් යන්න පුළුවන්. මේ නව නිෂ්පාදනයෙන්, දෙපා ඉවතට නොගෙන, වෙනදා නොකළ දස්කම් රැසක් මෙය පදවන්නකුට කළ හැකි වේවි. දැනට පවතින ඒ ක්‍රීඩාවට නව ජවයක් හා නව ජනප්‍රියත්වයක් ගෙන ඒමට මෙය සමත් වේවි!

‘මේ තරගයෙන් මා දිනුවාය කියා, අසන්නට ලැබුණු වේලේ මට කථා කර ගන්නත් බැරුව ගියා. මේ වගේ දෙයකට සිය ගණනක් හොඳ නිර්මාණ එවනව නේ. ඒ නිසා දිනන එක ලේසි නැති බව මම දැන ගෙන හිටියා.’ චාලට් කීවේ ඉපිල යන සතුටින්.

ඇගේ මේ නව ස්කේට් බෝඩ් තරග ලෑල්ල ලබන අවුරුද්දේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගවලටත් යොදා ගන්නට යෝජනා කරලා තියෙනවා.

මේ තරගයේ දෙවැනි ස්ථානය හිමි වූයේ 9 හැවිරිදි දැරියක වූ‍ ඉසබෙලා වොට්සන් ගැන්ඩිටයි. ඇය ඉදිරිපත් කර තිබුණේ ලොකු අයියා සමග බාස්කට් බෝල් ක්‍රීඩා කිරීමේ දී පුංචි ඇයගේ අවාසිය මැකීමට පාවිච්චි කළ හැකි බූට් සපත්තුවක්! ‘බොයිං බූට්ස්’ නම් වූ එයින් කුඩා අයකුට ඉහළට පැනීම පහසු කරන්නට ස්ප්‍රිං සවිකර තිබුණා.

තුන්වැනි ස්ථානය හිමි වුණේ බෲනර් හාන් නම් 9 හැවිරිදි දරුවකුටයි. ඔහු ඉදිරිපත් කර තිබුණේ හදිසියක දී ටේබල් ටෙනිස් මේසයක් බවට පෙරළා ගත හැකි දොර ලෑල්ලක්!

‘අප කළ පර්යේෂණයකින් පෙනී ගියා, ඉංජිනේරු කාර්යභාරය ගැන, මේ තරගයට ඉදිරිපත් වූ සියයට 54ක් වූ දරුවන් දන්නේ නැති බව. එත්, ඔවුන් ඉදිරිපත් කළ සැලසුම් වැඩි හරියක් ඉතා උසස් ඉංජිනේරු සංකල්ප රැගත් ඒවා!’ ඒ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments