HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක ඉතිහාසයේ පළමු වරට ‘රතු ග්‍රහයා’ අල්ලන්න රටවල් තුනක් පෙරට!

ජූලි මාසය අභ්‍යවකාශ තරණය අතින් විශාල වැදගත්කමක් උසුලන මාසයක්. 1969 ජූලි මාසයේ තමයි, මිනිසා පළමුවරට හඳ මත පා තැබුවේ. රටක් වශයෙන් එහිදී ඇමරිකාව ඉදිරියට ආවත් ඒ ජයග්‍රහණය සමස්ත මානව වර්ගයාම ලද එකක්. 2020 ජූලි මාසයත් සුවිශේෂී එකක් වෙනවා. ඒ දින 10ක් ඇතුළත රටවල් තුනක් ම අඟහරු(රතු ග්‍රහයා) ජය ගන්න පෙරට ඒම නිසයි.
ලෝකයේ රටවල් තුනක්, දින 10ක් තුළ, 
මෙහෙයුම් 3ක් යවන අඟහරු ග්‍රහයා

එයින් මුලට ම එන්නේ චීනයයි. චීන රජය 2020 ජූලි මාසයේ 20 වැනිදා අඟහරු බලා යන මුල් ම අභ්‍යවකාශ යානය දියත් කළා. ‘ටියන්වෙන් -1’ නම් ඒ යානය උඩුගුවනට රැගෙන ගියේ ‘ලෝන් මාච් 5’ නම් දැවැන්ත රොකට්ටුවෙන්. චීනයේ දකුණේ හයිනැන් දූපතෙන් ගමන් ඇරඹූ මේ අභ්‍යවකාශ යානය මාස 7ක් තිස්සේ කි.මී. මිලියන 55ක (සැතැපුම් මිලියන 34ක) දුරක් ගෙවා, 2021 පෙබරවාරි මාසයේදි අඟහරුට ළඟා වීමට නියමිතයි. චීනයේ මේ අඟහරු මෙහෙයුමට ඒ ග්‍රහයා වටා යාමට එක් යානයකුත්, අඟහරු මතට බැසීමට තවත් යානයක් හා එහි බිම් ගවේශනයට තවත් යානයකුත් වශයෙන් කොටස් තුනක් අයත් වෙනවා.
චීනය අඟහරු ග්‍රහ ලෝකයකට යවන ප්‍රථම අභ්‍යවකාශ යානය 
 ‘ටියන්වෙන් -1 දියත් කළ මොහොත.

ඊළඟට ජූලි 23 වැනිදා මැදපෙරදිග පිහිටි එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයත් අඟහරු ග්‍රහයාගේ කක්ෂය වටා යාමට අභ්‍යවකාශ යානයක් යැව්වා.

තුන්වැනියට පොළොවෙන් නිකුත්වීමට නියමිතව ඇත්තේ අඟහරු වෙත යැවෙන ඇමරිකානු අභ්‍යවකාශ යානයයි. නාසා ආයතනය සැලසුම් කර ඇති පරිදි එය, හෙට, එනම්, ජූලි 30 වැනිදා අඟහරු බලා පිටත්වනු ඇති.

මෙම රටවල් තුන ම, ‍මෙයාකාරයට, එකම කාලයක, අඟහරු ග්‍රහයා බලා අභ්‍යවකාශ යානා දියත් කරන්නට හේතුව, අඟහරුත් පෘථිවියත් වඩාත් ළංව පිහිටන කාලයේදී යානා එහි ළඟා කරවීමේ අදහසිනුයි.
චීනයේ ‘චෑන් ෂෙන් 5’ (ලෝංමාච් -5) රොකට්ටුව මගින් 
‘ටියන්වෙන් -1 යානය සමග අඟහරු රෝවරය ඒ ග්‍රහයා වෙත 
ජූලි 20 වැනිදා දියත් කෙරුණා.

මේ යානා තුන අතරින් මුලින්ම යැවුණේ ‘ටියන්වෙන් -1’ යන චීන අඟහරු යානයයි. එයට ඒ නම තබා ඇත්තේ ‘ස්වර්ගයට ප්‍රශ්න මාලාවක්’ යන අරුත් ඇති වසර 2000ක් පැරණි චීන සම්භාව්‍ය පද්‍යයක මාතෘකාවක් සිහියට නංවමිනි.

චීන ඉංජිනේරුවන් හා අනෙක් සේවකයන්, දකුණු චීනයේ හයිනැන් දූපතේ සිට ඔවුන්ගේ ලොකුම අභ්‍යවකාශ රොකට්ටුව වූ ‘ලෝන් මාච් 5’, ටියන්වෙන් -1 යානය රැගෙන නිල් අහස සිසාරා යනු දැක අත්පොළසන් දුන්නා. එහි මෙහෙයුම් බාර ප්‍රධානියා වූ ශාන් සූයූ කීවේ චීන ජාතික රූපවාහිනිය ඔස්සේ එය සාර්ථකව දියත් කළ බවයි.
චීනයේ අභ්‍යවකාශ යානය අඟහරු වෙත ‍ගෙන යන, චීනය සතු යෝධ ලෝන් මාච් - 5 රොකට්ටුව.

දෙවනුව, ජපානයේ සිට දියත් කෙරුණු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට අයත් අභ්‍යවකාශ යානය රතු ග්‍රහයා වෙත ළඟා වූ පසු එහි කක්ෂයක ගමන් කරනු ඇති. එය රතු ග්‍රහයා මතට පහත් නොවේවි. ඒ නිසා මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ චීනයේ හා ඇමරිකාවේ අභ්‍යවකාශ යානා කෙරෙහියි. විශේෂයෙන් ම මේ අවස්ථාවේ දී ඇමරිකාව සමග බල අරගලයක යෙදී සිටින චීනයේ අභ්‍යවකාශ යානය කෙරෙහි ඇමරිකාවත් විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා.

ඇමරිකාවේ නාසා ආයතනය මේ වන විට රෝවර හතරක් අඟහරු ග්‍රහයා මතුපිටට යවා තිබෙනවා. ඒ 1990 අවසාන වසරවලදියි. මෙවර යැවීමට නියමිත අඟහරු රෝවරය නම් කර ඇත්තේ ‘උට්ඨාන වීර්යය’ යන අරුත් ඇතිව‘පර්සවරන්ස්’ කියායි. එය SUV ප්‍රමාණයේ යානයක් තරම් වන අතර එය අඟහරු මතුපිට සිසාරායමින් පුරාණ සූක්ෂම ජීවී ලක්ෂණ ඉතිරිව තිබේදැයි සොයා බලාවි. ඒ වගේ ඒ යන අතරතුර විශේෂයෙන් අවධානය යොමු කරන පස් හා පාෂාණ සාම්පල එකතු කරනු ඇති. ඒ මේ වතාවේ ගෙන ඒම සඳහා නොවෙයි. අනාගතයේ දී, 2031 දී, යැවෙන චාරිකාවක දී ගෙන ඒම සඳහායි.
එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය අඟහරු බලා යවන අභ්‍යවකාශ යානය 
නම් කර ඇත්තේ ‘අමල්’ (බලාපොරොත්තුව) කියායි. 
එය දියත් කළ මොහොතේ ඩුබායිහී පාලක මැදිරියේ අය සතුට පළ කළ හැටි

‘මේක චිනයේ පළමු උත්සාහය නිසා මං හිතන්නෙ නෑ ඇමරිකාව මේ වෙන තෙක් කරල තියෙන දේට වඩා වැඩි යමක් කරාවි කියලා.’ චීන අභ්‍යවකාශ යානය ගැන එහෙම කියන්නේ ජොනතන් මැක්ඩොවෙල්. ඔහු, හවාඩ් සරසවියේ, තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ස්මිත්සෝනියානු මධ්‍යස්ථානයේ සිටින තාරකා විද්‍යාඥයෙක්.

‘ටියන්වෙන් -1 යානය බොහෝ දුරට ඇමරිකාව 1975-76 අතර අඟහරු වෙත යැවූ වයිකිං යානයට සමානයි.’ ඔහු තවදුරටත් කියනවා.

නිරවි යුද සමයේ දී ඇමරිකාවත්, රුසියාවත් අතර පැවති අභ්‍යවකාශ තරගය දෙස බලාගෙන සිටි, චීනය තමන්ගේම අභ්‍යවකාශ වැඩ සටහනක් සඳහා හමුදාව වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් මුදල් යෙදෙව්වා. අද එය ක්‍රියාත්මක වන්නේ චීන හමුදා ව්‍යාපෘතියක් ලෙසයි.
ඩුබායි අභ්‍යවකාශ ගවේෂණ අධිකාරිය ඔවුන්ගේ පළමු අඟහරු යානය 'අමල්' (Hope)  
ඩුබායිහිදී උත්සවාකාරයෙන් ඉදිරිපත් කළ අවස්ථාව.

‘රතු ග්‍රහයා ජය ගැනීමේ තරගයට චීනය පිවිසීම, අඩ සියවසක් තිස්සේ ඇමරිකාව පවත්වාගෙන ගිය ආධිපත්‍යයට අභියෝගයක් වෙනවා නිසැකයි.’ මෙහෙම කියන්නේ චීනයේ අභ්‍යවකාශ වැඩ පිළිවෙළ පිළිබඳ විශේෂඥයකු වූ චෙන් ලැන්.

මෙය චීනය අඟහරු ජය ගන්න කළ ප්‍රථම උත්සාහය නොවෙයි. 2011 දී රුසියාවත් සමග කළ ඒ මුල් උත්සාහයේදී රුසියාවේ කසකස්තානයෙන් නිකුත් වූ පසු චීන රොකට්ටුව පෘථිවි කක්ෂයෙන් ඔබ්බට නොගොස්ම විනාශ වී ගියා. මේ වතාවේ රුසියාව හවුල් කර නොගෙන අඟහරු බලා යානයක් යැවුවේ ඔවුන් තනියමයි. චීනයේ අභ්‍යවකාශ වැඩ සටහන පසුගිය දශක කීපය තුළ රහසිගතව ඉතා වේගයෙන් දියුණු වූ බවට මෙය හොඳ සාක්ෂියක්.

2003 දී යැං ලීවේ ප්‍රථම අභ්‍යවකාශගාමියා වුණා. පසුගිය වසරේ චීනය චෑන්ඊ=4 කියා අභ්‍යවකාශ යානයක් හඳට යැව්වා. ප්‍රථම වරට හඳ‍ෙහි අඳුරු පැත්තට යානයක් යැවූ එකම රට වූයේ චීනයයි.

‘මේ පියවර නිසා චීනයට විශාල වාසියක් අත්වෙනවා.’ යැයි වොෂිංටනයේ හෙරිටේජ් පදනමේ සේවය කරන චීන අභ්‍යවකාශ වැඩ පිළිවෙළ පිළිබඳ විශේෂඥයකු වූ ඩීන් චෙන් කියනවා.

අඟහරු මතට ගොඩ බැසීම ලේසි පහසු කාර්යයක් නොවෙයි. ඒ කටයුත්ත සීරුවෙන් කිරීමට සමත්වී ඇත්තේ තවමත් ඇමරිකාව විතරයි. 1976 පසු ඇමරිකාව අට වතාවක් ඒ කටයුත්ත කරලා තියෙනවා. නාසා ආයතනයේ ‘ඉන්සයිට්’ හා ‘කියුරියෝසිටි’ යන රෝවර් යානා තවමත් අඟහරු මත සක්‍රියව කටයුතු කරන අතර ඒවා රතු ග්‍රහයා මත යමින් නොකඩවා තොරතුරු එවනවා.
ටියන්වෙන් -1 යානය ගෙන රෝවරය ලබන පෙබරවාරියේ දී 
අඟහරු මතට පහත් වූ පසු පෙනෙන හැටි සිත්තරකු දුටුවේ මෙසේයි.

දැනට අඟහරු වෙත යැවූ අභ්‍යවකාශ යානා හයක් ඒ ග්‍රහයාගේ කක්ෂයේ යමින් ගවේෂණයේ යෙදෙනවා. ඉන් තුනක් ඇමරිකාව යැවූ ඒවා. දෙකක් යුරෝපීය අභ්‍යවකාශ ආයතනය යැවූ ඒවා වන අතර එකක් ඉන්දියානු අභ්‍යවකාශ යානයක්.

පසුගිය දස අවුරුදු කාලය තුළ චීනය අභ්‍යවකාශ කටයුතුවලින් විශාල ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. ඔවුන් 2022 දී ඔවුන්ගේ ම අභ්‍යවකාශ නැවතුම්පොළක් උඩුගුවනේ පෘථිවි කක්ෂයක ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා.

චීනය මේ වන විටත් සඳට රෝවර දෙකක් යවා තියෙනවා. ඒවා තවමත් සක්‍රියයි. ඉන් දෙවැනි රෝවරය වූ ‘යූටූ 2’ඔවුන් යැවූයේ සඳ‍ෙහි නොපෙනෙන පැත්තටයි. ඒ අනුව සඳ‍ෙහි ඒ පැත්තට යානයක් සීරුවෙන් ගොඩ බැස්සූ ප්‍රථම රට බවට චීනය පත් වෙනවා. චන්ද්‍ර මෙහෙයුම්වලින් චීනයට පෘථිවි කක්ෂයෙන් පිට කටයුතු කිරීම පිළිබඳ විශාල අත්දැකීමක් ලැබුණා. ඒත් අඟහරුගේ තත්වය ඊට වෙනස්.

එයින් අදහස් කෙරෙන්නේ වැඩි දුරක් යනවා කියන්නේ පොළොවට සංඥා ලැබීම හෙමින් හා අඩු තාරතාවකින් ලැබෙන බවයි. ඒ නිසා පොළොවෙහි පිහිටි පාලක මැදිරිය ඒ සංඥා හසු කර ගැනීමට තරම් ප්‍රබල විය යුතුයි. ඒ නිසා චීනයේ ෂින්හුවා පුවත් සේවය සඳහන් කරන අන්දමට චීනයේ ඈත බටහිර ෂින්ජියෑන් පළාතේ පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරියත්, වයඹදිග හෙයිලොංජියැන් පළාතේ පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරියත් යන දෙකම මේ වෙනුවෙන්ම වැඩි දියුණු කරලා තියෙනවා.
2020 දී නාසා ආයතනය යවන අඟහරු රෝවරය ඒ ග්‍රහයාගේ පස් හා පාෂාණ එක් රැස් කොට 
නලවල බහා තබා අනාගතයේ යැවෙන යානයකින් පොළොවට ගෙන එනු ඇති.

1960න් පසු මේ දක්වා ඇමරිකාව, රුසියාව, යුරෝපය, ජපානය හා ඉන්දියාව යන රාජ්‍යයන් රතු ග්‍රහයා වෙත යැවූ දුසිම් ගණනක් අභ්‍යවකාශ යානා අතුරින් වැඩි හරියක් අසාර්ථක වුණා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුව නිසා, චීන අභ්‍යවකාශ වැඩ පිළිවෙළ සමග සම්බන්ධකම් පවත්වන්න, නාසා ආයතනයට ඉඩ හරින්න, ඇමරිකාවට පුලුවන්කමක් නැහැ.

‘නේචර් ඇස්ට්‍රොනොමි’ කියන තාරකා විද්‍යා සඟරාවට ලිපියක් ලියමින් චීන අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන ඉංජිනේරු වැන් වීෂින් කියා ඇත්තේ ‘ටියන්වෙන් -1 යානය ගොඩ බහින්න යන්නේ අඟහරු ගේ උටෝපියා ප්ලැනීෂියා නම් ප්‍රදේශයට බවයි. ඒ ග්‍රහයාගේ වැඩිම බලපෑමකට ලක් වූ නිම්නයක් ලෙස ප්‍රකට, ඒ ප්‍රදේශයේ භූගත හිම ඇති බවට නාසා ආයතනය දැනටමත් පිළිගත හැකි සාක්ෂි සොයා ගෙන තියෙනවා.

සියල්ල හොඳින් සිදුවුවහොත්, සූර්ය බලයෙන් ක්‍රියාකරන, කි.ග්‍රෑ. 240ක් (රා.529ක්) බරැති මේ චීන රෝවරය, අඟහරු මත මාස තුනක් සක්‍රියව හිඳිමින් අවශ්‍ය දත්ත පොළොවට එවාවි. අඟහරු කක්ෂගත යානය වසර දෙකක් සක්‍රියව පවතීවි.

මෙවර ඇමරිකාව අඟහරු වෙත යවන, කි.ග්‍රෑම් 1,025ක් (රා. 2,259ක්) බරැති පර්සවරන්ස් යානය හා සසඳන විට 2013 හා 2019 වසරවලදී සඳට යැවූ චීන රෝවර දෙක ම එකට ගත් විටත් ඇමරිකානු යානය දෙගුණයකටත් වැඩි බැව් කිවයුතුයි. පර්සවරන්ස් යානය අවම වශයෙන් වසර දෙකක්වත් අඟහරු මත සක්‍රියව පවතීවි.

චීනය දැනටමත්, ඇමරිකාව, රුසියාව හා යුරෝපය සමග චන්ද්‍රිකා පදනම් කර ගත් නාවික මෙහෙයුම් පද්ධතියකට හවුල් වී ඇති නිසා අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් ඇමරිකාව අබිබවා යාමේ අරමුණක් චීනයට තිබිය නොහැකි යැයි විශේෂඥයන්ගේ මතයයි. වොෂිංටනයේ හෙරිටේජ් පදනමේ විශේෂඥ ඩීන් චෙන් කියන්නේ චීනය හෙමින් හෙමින් මේ සූදානම් වන්නේ ජපානය හා ඉන්දියාව අබිබවමින් ආසියාවේ අභ්‍යවකාශ බලය තහවුරු කර ගන්න කියලයි.
චීන අඟහරු මෙහෙයුමට අයත් වන අඟහරු වටා යන කක්ෂගත යානය, 
එය රැගෙන යන අඟහරු යානය හා රෝවරය ඊට ඇතුළත්. 
පරචූට මගින් එයත්, රෝවරයත් අඟහරු බිමට පහත් කෙරෙනවා. 
ඉන්පසු රෝවරය ඒ ග්‍රහයා මත යමින් තොරතුරු එවාවි.

අඟහරු ‍ලොවට යන ගමන ආරම්භයේදීම චීනයට පසුබෑම් කීපයක්ම ඇති වුණා. ඔවුන්ගේ ලෝන් මාච් - 5 රොකට්ටුව වසර මුලදී දියත් කිරීමට හැකි වුණේ නෑ. ඒ කෝවිඩ් නිසා විද්‍යාඥයන්ට නිවෙස්වල සිට වැඩ කරන්න සිදුවුණු හින්දයි. මාර්තු මාසයේදී අවශ්‍ය උපකරණ බෙයිජිංවලට සිට ෂැන්හයි දක්වා ගෙන යන්නට කණ්ඩායම් තුනකට පැය 12ක් තිස්සේ වාහන පදවන්නට සිදුවුණා.

අඟහරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානා යැවීම කළයුතු සුදුසුම කාලය, එනම් පෘථිවියත් අඟහරුත් අතර වඩාත් සමීපතම කාලය, එළඹෙන්නේ සෑම පෘථිවි මාස 26කට වරක් වන නිසා, මාස 7ක ගමනකින් පසු ඒ කාලයේදී අඟහරු වෙත ළඟාවීම ඉලක්ක කර ගෙන කටයුතු කරන්න සිදු වෙනවා.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය ජූලි 23 වැනි බදාදා යැවූ ‘අමල්’ (බලාපොරොත්තුව) අභ්‍යවකාශ යානය අඟහරුට ගොඩ බසින්නේ නැහැ. එය අඟහරුගේ කක්ෂයක යමින් දත්ත පෘථිවියට එවනවා ඇති. මෙය අරාබි කලාපයෙන් යැවූ ප්‍රථම ග්‍රහලෝකාන්තර මෙහෙයුම වෙනවා. මෙය ඩුබායිදී තැනුවද දියත් කෙරුණේ ‍ ජපානයේ තනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. ඒ දියත් කිරීම පාලනය කළේ ඩුබායිහී පිහිටි මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

ඇමරිකාවේ නාසා ආයතනයෙන් අඟහරු වෙත යැවෙන පර්සවරන්ස් යානය දියත් කෙරෙන්නේ ජූලි 30 වැනි බ්‍රහස්පතින්දායි.

ලෝක ඉතිහාසයේ කිසිම දවසක, මෙවැනි තත්වයක් උදා වී නැහැ. ලෝකයේ රටවල් තුනක් අඟහරු වෙත දින 10ක් තුළ මෙහෙයුම් 3ක් සඳහා අභ්‍යවකාශ යානා තුනක් යැවීම අභ්‍යවකාශ විද්‍යාවේ විස්මිත ජයග්‍රහණයක්.

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments