HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පුරුදු වෙන කෝකිලයෙක් වූ නස්රුදින්!

නස්රුදින් දවසක් නස්රුදින් පාර දිගේ යද්දී ඉදුණු ග‍ෙඩිවලින් පිරුණු පලතුරු ගහක් දැක්කා. එයාට පලතුරු කන්න හිතුණා. වට පිට බලලා කවුරුත් පේන්න හිටියෙ නැති හින්දා හෙමින් සීරුවේ ගහට නැඟලා හිතේ හැටියට පලතුරු කන්න පටන් ගත්තා.

ඒ අතර ගහ අයිතිකාරයා එතැනට ආවා. නස්රුදින් දැකලා හොඳටෝ ම තරහ ගියා.

‘මොකද ඔහෙ, ඔය ගහ උඩ කරන්නෙ?’ කියලා සැරෙන් ඇහුවා.

තමන් අහුවුණු බව දැනගත් නස්රුදින් ඒකෙන් බේරෙන්න හිතාගෙන මෙහ‍ෙම කිව්වා.

‘මං කෝකිලයෙක්, මං මේ අත්ත උඩ වාඩිවෙලා, ගායනා කරනවා’ නස්රුදින් ලයාන්විත ස්වරයකින් උත්තර දුන්නා.

නස්රුදින්ගෙ ඒ උත්තරෙන් අයිතිකාරයා පුදුමයට පත් වුණා විතරක් නොවෙයි, ඒක අහලා එක පාරට ම මිනිහට හිනා ගියා.

‘එහෙනම් ඔහේ කෝකිලයෙක්! හා! කෝ බලන්න, මට ඇහෙන්න ගායනා කරනවා.’

නස්රුදින් කට උල් කරලා, මුහුණ ඇද කරලා, කෝකිලයෙක් වගේ නාද කරන්න හැදුවා. මහ අමුතු සද්දයක් පිටවුණා. කෝකිල නාදයක් නම් කොහෙත්ම පිට වුණේ නෑ.

අයිතිකාරයාට හොඳටෝම හිනා ගියා. එයා හිනා වෙලා, ‍හිනා වෙලා එකපාරට ම හිනාව නවත්තලා මෙහෙම කිව්වා. ‘මිනිහෝ! මොකක්ද ඒ කරපු සද්දෙ? මං කවදාවත් කෝකිලයෙක් ඔහෙම නාද කරනවා අහලා නෑ.’

‘මං තාම පුරුදු වෙන කෝකිලයෙක්!’

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින් සහ නෑදෑයෝ’ කෘතියෙන්.www.mdgunasena.com)  

Post a Comment

0 Comments