HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -3 ගමනාගමනය, ප්‍රවාහනය, පොදු සේවා හා මහජන ආරක්ෂාව

ගුවන්යානා තටුවල හිම බැඳීම වැළක්වීම - කුඩා ව්‍යාපාර නවෝත්පාදන පර්යේෂණ වැඩ සටහන යටතේ නාසා ආයතනය ප්‍රතිහිම තාක්ෂණය සඳහා ආයෝජනයක් කළ අතර නාසා විද්‍යාඥයෝ එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහ. තර්මාවින්ග් (Thermawing) යන තාපවිදුලි හිම නිවාරණ ක්‍රමවේදය සංවර්ධනය කරන ලද්දේ ඒ අනුවය. සරල විදුලි ධාරාවකින් ක්‍රියාකරන වායු සමීකරණයක් තනි එන්ජිමක ගුවන්යානයකට ප්‍රමාණවත් වන අතර එය තර්මාකූල් ලෙස හැඳින්වෙයි. ඒ දෙවර්ගයම ක්‍රියා කරවීමට අධි ප්‍රතිදානයක් සැපයිය හැකි ප්‍රත්‍යාවර්තකයක් අවශ්‍ය වෙයි. මේ තර්මාවින්ග් ක්‍රමය ඔනෑම හිම වැටෙන තත්වයක් යටතේ ගගන නියමුවන්ට ඉන් බාධාවක් නොවී සුරක්ෂිතව පියාසර කළ හැක. උඩුගුවනේ දී අභ්‍යවකාශ යානාවල මුහුණ පාන්නට වන විවිධ කාලගුණික තත්වයන්ට ඔරොත්තු දෙන්නට සිදුවෙයි. හිමපතනයක් ඇති විට ඉන් ගැලවීමට නිර්මාණය කළ මේ ක්‍රමය අද සාමාන්‍ය ගුවන්යානාවලටත් යොදා ගැනේ.
අභ්‍යවකාශ යානා තටු මත හිම බැඳීම 
වැළැක්වීමට නව ක්‍රමවේදයක්

අධිවේගී මාර්ගවල ආරක්ෂාව - තෙත් ධාවන පථවලදී ගුවන් යානා අනතුරු සිදුවීම අවම කර ආරක්ෂාව තහවුරු කිරීමට මුලින් යොදාගත් ක්‍රමය වූයේ කොන්ක්‍රීට් මත ආරක්ෂිත කට්ට කැපීම මගින් කර්ෂණය වැඩි කිරීමය. ඒ ක්‍රමය අනුව යමින් ඉන්ටර්නැෂනල් ගෲවින් ඇන්ඩ් ග්‍රයින්ඩින් ඇසෝසියේෂන් හා එක්ව මේ තාක්ෂණය අධිවේගී මාර්ගවලට හා මාර්ගයේ පදික මාරුවීම්වලට සුදුසු පරිදි සකස් කෙරිණ. මේ ආරක්ෂිත කට්ට කැපීමේ ක්‍රමවේදය නිර්මාණය කළේ නාසා ආයතනයට අනුබද්ධ ලෑන්ලි පර්යේෂණ මධ්‍යස්ථානයේදියි. එය ගුවන්තොටුපොළවලදී හා අධිවේගී මාර්ගවලදී අත්හදා බලන ලද්දේද එම ආයතනයේ සහය ඇතිවය. මේ ක්‍රමය නිසා ලිස්සායෑම් අවම විය. යානා නැවැත්වීමේ දුරද අඩු විය. යානයක වංගු ගැනීමේ හැකියාවද වැඩි විය. දැන් මේ ක්‍රමය ලොව පුරා භාවිත කෙ‍රෙන අතර එය රථගාල්වලට, සත්ව ගොවිපළවලට පමණක් නොව වෙනත් ලිස්සනසුලු පරිසරවලට භාවිතයට ගනු ලැබේ.

වැඩි දියුණු කළ රේඩියල් ටයර් - වානේවලටත් වඩා සවිමත් කෙඳි විශේෂයක් යෙදූ පැරචූට් රෙද්දක් නිපදවීමට නාසා ආයතනයට අවශ්‍ය විය. ඒ සඳහා එක්වූයේ ගුඩ්ඉයර් ටයර් ඇන්ඩ් රබර් සමාගමයි. ඔවුන් වානේවලට වඩා පස්ගුණයක් සවිමත් කෘත්‍රිම කෙන්දක් නිපදවීමට සමත් වූ අතර ඒ කෙඳි යොදා තැනූ පැරචූටය පාවිච්චි කළේ නාසා ආයතනය අඟහරු වෙත යැවූ වයිකිං ලෑන්ඩරය නමැති අභ්‍යවකාශ යානය නිරුපද්‍රිතව හෙමින් අඟහරු බිම මතට පහත් කිරීමටයි. මෙය සාර්ථක වීමත් සමග ඒ කෙඳි විශේෂයේ ඇති කල්පැවැත්මේ ගුණය සලකාගෙන, ගුඩ්ඉයර් ආයතනය ඒ තාක්ෂණය තවදුරටත් පුළුල් කොට නව රේඩියල් ටයරයක් නිෂ්පාදනය කළේය. අද එය කි.මී. 16,000ක ආයු කාලයක් ඇති ටයරයක් ලොව පුරා පුළුල් ලෙස භාවිතයට පැමිණ ඇත. 
බිම්බෝම්බ ඉවත් කරන හමුදා භටයන් පිරිසක්

රසායනික අවි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් - නාසා ආයතනය, අයිඕඑස් (IOS) හෙවත් ඉන්ටෙලිජන්ට් ඔප්ටිකල් සිස්ටම්ස් ආයතනය හා එක්ව ගුවන්යානා බඳ‍ෙහි මළ ඇතිවීම් හා දිරායාම් කල්තියා දැන ගත හැකි ක්‍රමයක් සංවර්ධනය කළේය. ඒ යානා තටුමත ඇති වන තෙ‍තමනය හා පීඑච් අගය හඳුනාගත හැකි සංවේදක නිර්මාණය කිරීමය. ඒවා මගින් ඒ තත්වයන් ඇති වීමට කලින් හඳුනාගත හැකි වූයේ ඒ සංවේදක ඒ ඉලක්ක ගත තැන්වලදී වර්ණය වෙනස් කළ නිසාය. මේ කාර්යය සාර්ථකව නිම කළ පසු ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් IOS ආයතනයට, තවත් වැදගත් ආරක්ෂක කටයුත්තක් බාර කරන ලදි. ඒ රසායනික අවි හා එවැනි තර්ජනාත්මක නීති විරෝධී අවි හඳුනා ගැනීමට හැකි වන ලෙස මේ ක්‍රමය සංවර්ධනය කරන ලෙසටය. විෂ සහිත කාර්මික සංයෝග හා ස්නායු පද්ධතියට බලපෑ හැකි විෂ වායුව හඳුනා ගැනීමද ඊට ඇතුළත් විය. එය සාර්ථකව ඉටු කළ IOS ආයතනය දැනටමත්, මේ ක්‍රමවේදයන් භාවිත කළ හැකි රසායනික සංවේදී ඔප්ටිකල් කේබල්, ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන්යානා හා අභ්‍යවකාශයානා නිෂ්පාදක සමාගම්වලට අළෙවි කර ඇති අතර, ඔවුන් ඒ ඔස්සේ යමින් සංවේදක උපකරණ, විවිධකාර භාවිතයන් සඳහා යොදා ගනියි.
වීඩියෝ ආවේක්ෂණ පද්ධතියක්

වීඩියෝ විශ්ලේෂණ පද්ධති වැඩි දියුණු කිරීම - නාසා ආයතනයෙන් නිර්මාණය කළ විසාර් (VISAR - Video Image Stabilization and Registration) තාක්ෂණය පදනම් කරගෙන ඉන්ටර්ග්‍රාෆ් ගවර්න්මන්ට් සොලියුෂන්ස් (Intergraph Government Solutions) විසින් නිර්මාණය කරන ලද වීඩියෝ විශ්ලේෂණ පද්ධතිය FBI නියෝජිතයන්ට වීඩියෝ ටේප් විශ්ලේෂණය කිරීමට නව ක්‍රමවේදයක් සපයා දුන්නේය. වීඒඑස් (VAS - Video Analyst System) නම් ඒ වීඩියෝ විශ්ලේෂණ පද්ධතිය මගින් ඩිජිටල් වීඩියෝ රුප සම්පූර්ණයෙන් ම විභේදනය කිරීම, රාමුවෙන් රාමුව විමර්ශනය කිරීම, ඇනලොග් වීඩියෝ, ඩිජිටල් වීඩියෝ බවට පරිවර්තනය කර පටිගත කිරීම, වෙනත් කිසිදු වෙනස්වීමක් නොකර කැමරාවට නැඟූ රුප රාමුවල පැහැදිලි බව වැඩි කිරීම ඇතුළු වීඩියෝ රූප සම්බන්ධව කළ හැකි හැම දෙයක් ගැනම ඉතාමත් නිවැරදිව විග්‍රහයක් කිරීමට පුළුවන. නීතිමය හා ආරක්ෂක කටයුතුවලට සහය ලබා ගැනීමට හැරෙන්නට මේ ක්‍රමවේදය මගින් හමුදා කටයුතුවලට සැලසෙන සේවය අතිමහත්ය. මේ ක්‍රමය යුද කටයුතු විමර්ශනයටත්, අවි ආයුධ වැඩි දියුණු කිරීමට අදහස් ලබා ගැනීමටත්, අලාභ හානි තක්සේරු කිරීමටත්, පුහුණු කිරීම්වලටත්, යුද මෙහෙයක පසුවිපරමටත් යොදා ගත හැකිය.

බිම්බෝම්බ ඉවත් කිරීම - තියෝකෝල් ආයතනය, නාසා ආයතනයේ මාෂල් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ අවසරය ඇතුව පාවිච්චි නොකර ඉතුරුවන රොකට් ඉන්ධන ලබා ගෙන එයින් බිම්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට සමත් විය. ඒ අනුව බිම්බෝම්බ ඇති ප්‍රදේශය මතුපිටින් ගිනි දැල්වීම මගින් ඒවා පිපිරීම වළක්වා නිෂ්ක්‍රිය කළ හැකිය. අභ්‍යවකාශ යානයක් දියත් කළ පසු ඉතිරි වන ඉන්ධන ඝන බවට පත් වෙයි. ඒවා යළිත් භාවිත කළ නොහැකියි. එහෙත් ඒවා බෝම්බ නිෂ්ක්‍රීය කරන මෙවලමකට අවශ්‍ය සංයෝගයක් ලෙස යොදා ගත හැකියි. මේ මෙවලම මගින්, බැටරියෙන් ක්‍රියා කරන විදුලි දල්වනයක් යොදා, ගෙන ගිනි දැල්ලක් ඇති කොට, බිම්බෝම්බ පිපිරීමෙන් තොරව නිෂ්ක්‍රිය කළ හැකිය. ඝන රොකට් ඉන්ධන මගින් යවන ගිනි දැල්ල බිම්බෝම්බයේ ආවරණය තුළ සිදුරක් ඇති කිරීමට සමත් වෙයි. ඉන්පසු ඒ තුළ ඇති පුපුරන ද්‍රව්‍ය සියල්ල පුළුස්සා දමයි. ඒ අනුව අනතුරක් නැතිව ම බිම්බෝම්බය අහෝසි කළ හැකියි.

ගිනි නිවාරක ප්‍රතිසාධනය - ඇවකෝ කෝපරේෂන්හි සැලසුමක් හා නිමැවුමක් වූ ඇපලෝ යානයේ තාපාවරණය වටා යොදා ඇති ද්‍රව්‍ය තනා ඇත්තේ නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී පිලිස්සී යමින් එහි ජනිත වන ශක්තිය විසුරුවා හැර, යානය තුළට තාපය ඇතුළුවීම වළක්වාලීම පිණිසයි. ඇවකෝ ආයතනයේ තාපාවරණයට අදාළ වෙනත් ද්‍රව්‍ය සංවර්ධනයටද නාසා ආයතනය ආයෝජනය කළේ ය. එ්වා අතර ගුවන්යානා සඳහා පිලිස්සීමට ඔරොත්තු දෙන තීන්ත හා ෆෝම් ද්‍රව්‍ය ආදිය ද වෙයි. ගින්නට හා තාපයට බඳුන් වූ විට ඉදිමුමට ලක් වි පරිමාවෙන් වැඩි වන ඉපොක්සි ද්‍රව්‍ය, ඉන්පසු පිලිස්සුණු ද්‍රව්‍ය සමග එක්ව, එහි දී ඇති වූ තාපය යානය ඇතුළට ඒම වළක්වාලයි. අනෙක් නවෝත්පාදන අතර උස් ගොඩනැගිලිවලට හා පොදු ඉදි කිරීම්වලට යොදන වානේ ආලේපනද වෙයි. හදිසි ගින්නකදී ඒවා ප්‍රසාරණය වී වානේ මත ශක්තිමත් ස්ථාවර ස්තරයක් ඇති කරන ඒ ආලේපන නිසා, ගින්නෙන් පසු ‍ගොඩනැගිල්ල කඩා වැටීම පැය හතරකින් පමා කර, එහි නිවැසියන්ට බේරීයාමට කල් ලබා දෙයි.
අද භාවිත කරන ගිනි නිවන ඇඳුම් කට්ටලය

ගිනි නිවන උපකරණ - ඇමරිකා එක්සත් ජනපදයේ දැන් පාවිච්චි කරන ගිනි නිවන උපකරණ අභ්‍යවකාශ වැඩ සටහන නිසා නිර්මාණය වූ ඒවාය. ඒවා ඉතාමත් සැහැල්ලු ද්‍රව්‍යවලින් තැනූ ඒවා නිසා හැසිරවීම පහසුය. නාසා ආයතනයත්, ජාතික ප්‍රමිති කාර්යංශයත් එක්ව තැනූ සැහැල්ලු ශ්වසන පද්ධතියට, මුහුණු ආවරණයක්, රාමුවක්, සන්නාහයක් සහිත ඇඳුම් කට්ටලයක්, වායු බෝතල ආදිය තනා ඇත්තේ ඇලුමීනියම් සංයෝග ලෝහ ද්‍රව්‍යයකිනි. එය මුලින් යොදා ගත්තේ රොකට් ආරක්ෂක වැසුම් තැනීම සඳහාය. ගිනි නිවන තාක්ෂණයේ දී වඩා වැදගත් වන මේ ශ්වසන උපකරණ කට්ටලයෙන් දුම ආඝ්‍රාණයෙන් විය හැකි අනතුරු වළක්වයි.

මීට අතිරේකව, ගිනි නිවාරක භටයන්ගේ භාවිතයට දී ඇති කෙටි තරංග ද්විත්ව රේඩියෝව, ආරක්ෂා සහිතව, පහසුවෙන් පරිහරණය කළ හැකි කුඩා එකක් වන අතර, එයද අභ්‍යවකාශයේදී හා සඳ මතුපිට දී පාචිච්චි කළ මෙවලමෙන් නිෂ්පන්න එකකි. එසේ ම නාසා ආයතනය ග්‍රෑම් 85ක් පමණක් බර විශේෂ මුහුණු ආවරණය තනා ඇත්තේ අභ්‍යවකාශගාමීන් පෘථිවිය කරා එන ගමනේදී ෂටලය වායුගෝලයට ඇතුළු වන විට ඇති වන ගිනි ගැනීමෙන් හා අධික තාපයෙන් මුහුණට හා හිසට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමටය. එය සාදා ඇත්තේ නම්‍යශීලී, තාපරෝධක ද්‍රව්‍යවලිනි. ඒවා අනුව යමින් සැකැසූ ගිනි නිවන ඇඳුම් කට්ටල දැන් වානිජ හා හමුදා කටයුතු යන දෙකටම යොදා ගැනේ. නගරවල ගිනි භටයන් අතර මෙන් ම ගුවන්යානා අනතුරුවලදී මුුදා ගැනීමේ භටයන් අතර ද මේවා දැන් භාවිත වෙයි.

ගොඩනැගිලි ආරක්ෂාවට කම්පන අවශෝෂක - නාසා ආයතනය, ටේලර් ඩිවයිසස් ඉන්කෝපරේෂන් ආයතනය සමග එක්ව කම්පන අවශෝෂණ ක්‍රමවේදයක් සංවර්ධනය කළේය. එහි අරමුණ වූයේ ස්පේස් ෂටලය උඩුගුවනට යැවීම සඳහා දියත් කරන අවස්ථාවේ දී, ඉන්ධන හා විදුලි සබඳතා එතැනින් ආරක්ෂිතව ඉවත් කිරීමයි. ඒ සඳහා ඔවුන් තැනූ කම්පන අවශෝෂක, දැන් භූමිකම්පාවලදී තෝකියෝ හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරවල ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා සාර්ථකව යොදා ගනු ලැබේ.

 - පර්සි ජයමාන්න

මීළඟට - පරිගණක තාක්ෂණය හා තොරතුරු සන්නිවේදනය

Post a Comment

0 Comments