HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -2 නිවසේ සුවපහසුව, පාරිභෝගික ද්‍රව්‍ය හා විනෝදාංශ

හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -1 යටතේ (ජූලි 21දා පළ විය.) අප පළ කළේ වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍යයට අදාළව නාසා ආයතනයේ අනුග්‍රහයෙන් හා මග පෙන්වීම යටතේ කරන ලද නව නිපැයුම් ගැනයි. මෙවර පළ වෙන්නේ නිවසේ සුවපහසුව, පාරිභෝගික ද්‍රව්‍ය හා විනෝදාංශවලට අයත් නව නිපැයුම් කීපයක් පිළිබඳවයි.
මේ රැහැන් රහිත රික්තක ශෝධකය ආවේ 
සඳ මතුපිට පස් එකතු කරන්නට 
තැනූ උපකරණය ඇසුරෙනි.

නිවසේ සුව පහසුව සපයන මෙමරි ෆෝම් - කෘත්‍රිම අත්පා හා රොබෝටික අවයව තැනීමට අදාළ ව යොදා ගන්නා මෙමරි ෆෝම් හෙවත් ටෙම්පුර් ෆෝම් කුෂන් විශේෂය ගැන සඳහන් කරද්දී ඒවා කොට්ට මෙට්ට හා ආරක්ෂක ආවරණවලට සාර්ථකව භාවිත කළ හැකි බව කීවා ඔබට මතක ඇතැයි සිතමි. අද ඒ පිළිබඳව තවත් විස්තර පැවසීමට අදහස් කරමි. ‘එබූ පසු හෙමින් යථා තත්වයට පත්වන’ කුෂන් විශේෂයක් වන ටෙම්පුර් ෆෝම්, මෙමරි ෆෝම් කියාත් හැඳින්වෙයි. පීඩනයක් එල්ල කළ විට එය දරා ගනිමින් ඒ පීඩනය ඉවත් කළ විට හෙමින් කලින් පැවති තත්වයට පත් වන මෙය බහු කාර්ය කටයුතු සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍යයකි. ගුවන් මගීන්ට මුහුණ පාන්නට වන හදිසි අනතුරුවලදී හැප්පීම්වලින් සිදුවන හානි වළක්වා ගන්නට පිරවුම් ද්‍රව්‍ය ලෙස මේ නව නිපැයුම බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇ‍මරිකාවේ ඒමිස් පර්යේෂණ මධ්‍යස්ථානයටයි.

දැන් මේ ටෙම්පුර් ෆෝම් ද්‍රව්‍ය යොදා ගෙන තනන විවිධ දේ අප්‍රමාණය. ඒවා දැන් මෙට්ට, කොට්ට ආදියට පමණක් නොව යුද ගුවන්යානාවලටත්, මගී ගුවන්යානාවලටත්, මෝටර් රථවලටත්, මෝටර් සයිකල්වලටත්, ක්‍රීඩා ආරක්ෂිත උපකරණවලටත්, විනෝද උයන්වලට හා රඟහල් අසුන්වලටත්, අසුපිට යනවිට සැදෑලවලටත්, දුනුසිප් ඉලක්කවලටත්, මිනිස් හා සත්ව අත්පාවලටත් යොදා ගනු ලැබේ. ඒ ද්‍රව්‍යය‍ෙහි ඇති, අධි ශක්තියට ඔරොත්තු දෙන හැකියාවත්, මෘදු ගති ලක්ෂණත්, එදිනෙදා ජීවිතයේදී අපට ආරක්ෂාවත්, සුවපහසුවත් සපයයි. 
ආම්ස්ට්‍රෝං සඳ මතුපිට පස් එකතු කරද්දී...

රැහන් රහිත ජංගම රික්ත ශෝධකය (cordless vacuum cleaner) - ඇපලෝ වැඩ පිළිවෙළ සඳහා සඳ මත දී පස් සාම්පල එක් රැස් කර ගැනීමටත් කැණීම් කරන්නටත් අතේ ගෙන යාහැකි විදුම් කටුවක් සමඟ රික්ත ශෝධක මෙවලමක් තැනීමේ අවශ්‍යතාව නාසා ආයතනයට තිබිණ. එසේම එය රැහැන් රහිතව ක්‍රියාකළ හැකි, සඳ මතුපිට ගුරුත්වාකර්ෂණය නැති තත්වයක් යටතේ පස් ගල් කැබලි ඇද ගැනීම පිණිස රික්තයෙන් යුතු වියයුතු විය.

මෙහි නිෂ්පාදන කාර්යය බාර වූයේ බ්ලැක් ඇන්ඩ් ඩෙකර් සමාගමටයි. ඒ සඳහා අවම බලයකින් ක්‍රියා කරන, මෝටරයක් සහිත විදුම් කටුවක් සැලසුම් කිරීමට පරිගණක ක්‍රමලේඛයක් සකස් කෙරිණ. ඒ අනුව සැකැසුණු රැහැන් රහිත කුඩා රික්තක ශෝධකය නිර්මාණ කෙරිණ. සඳ මතදී සාර්ථකව ඒ කාර්යයට උර දුන් ඒ උපකරණය, අද ‘ඩස්ට්බස්ටර්’ (DustBuster) නම් සන්නාමයෙන් ලෝකය පුරා ප්‍රචලිතව ඇත.
අභ්‍යවකාශ යුගයේ LZR Racer පිහිනුම් ඇඳුම් කට්ටලය

අභ්‍යවකාශ යුගයේ පිහිනුම් ඇඳුම් කට්ටලය - ලෑන්ලි පර්යේෂණායනයේ පරීක්ෂණ වා උමං පහසුකම් තුළදී කරන ලද අත්හදා බැලීම්වල, නිරීක්ෂණ හා ජල ගලනයට අදාළ විශ්ලේෂණ පරිගණක වැඩ සටහන අනුව ලත් දැනුම. උපයෝගී කර ගෙන අභ්‍යවකාශ යුගයට සරිලන විශේෂ පිහිනුම් ඇඳුම් කට්ටලයක් නිර්මාණය කර ඇත. එක්සත් රාජධානියේ ස්පීඩෝ පිහිනුම් ඇඳුම් කට්ටල නිෂ්පාදන සමාගම තැනූ මේ LZR Racer නම් නව පිහිනුම් ඇඳුම් කට්ටලය අනෙක් පිහිනුම් කට්ටලවලට වඩා ඝර්ෂණය සියයට 24කින් අඩු කිරීමට සමත් විය. ඒ අනුව මේ නව පිහිනුම් කට්ටලය පැලඳි තරඟකරුවන් විසින් 2008 මාර්තුවේ අන්තර්ජාතික පිහිනුම් තරඟවලදී ලෝක වාර්තා 13ක් අලුතින් පිහිටුවනු ලැබීය.

අභ්‍යවකාශ යුගයෙන් ආ ළදරු ආහාර - වර්තමාන වෙළඳ පොළේ ඇති පෝෂණ ගුණයෙන් පිරි ළදරු ආහාර වර්ගවලට ඒ උසස් තත්වය ලැබුණේ අභ්‍යවකාශතරණයෙහි අතුරු ඵලයක් ලෙසයි. නාසා ආයතනය විසින් දීර්ඝ කාලීන අභ්‍යවකාශ ගමන් සඳහා භාවිත කළ හැකි ආහාරවල පෝෂණ ගුණාත්මක භාවය වැඩි කරන්නට මුහුදු ක්ෂුද්‍ර ඇල්ගේ යොදා ගෙන කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස නිපදවූ සුවිශේෂ පෝෂණ සංඝටක ළදරුවන්ගේ නිරෝගී භාවය ඇති කිරීමට, ළදරු ආහාරවලට අතිරේක ලෙස එක් කිරීමට, දැන් කටයුතු කර ඇත. 
මයික්‍රො ඇල්ගේ අතිරේක ආහාර 
අතරට අයත් පෙති වර්ග ඇතුළත්ය

මිනිස් සිරුරට අත්‍යවශ්‍ය සංඝටක ලෙස සැලකෙන ඩොකෝසාහෙක්සීනොඉක් ඇසිඩ් (DHA-Docosahexaenoic acid), ඇරිකිඩෝනික් ඇසිඩ් (ARA- Arachidonic acid) මෙසේ එක් කරන සංඝටක වේ. මේවා ස්වාභාවිකව මව්කිරිවල ඇති බව අධ්‍යයනයන් ගෙන් හෙළි වී තිබේ. ‘ඔමේගා 3’වලත් හමුවන මේවා මෙතෙක් අප ලබා ගත්තේ මසුන්ගෙනි. මසුන්ට ඒවා ලැබෙන්නේ සාගරයේ ක්ෂුද්‍ර ඇල්ගේවලිනි. මේ පෝෂණ සංඝටක එක්සත් ජනපදයේ සියයට ළදරු ආහාරවලින් සියයට 90කට එක් කර ඇත. එසේ ම ලෝකයේ වෙනත් රටවල් 65කට වැඩි ප්‍රමාණයකද භාවිතයට ගෙන ඇත. මර්ටෙක් බයෝසයන්සස් කෝපරේශන් ආයතනය හා එහි ප්‍රධාන විද්‍යාඥයන් මේ ක්ෂේත්‍රයේ විශේෂඥ භාවය ලබා ගත්තේ නාසා ආයතනයේ වැඩ සටහන සමග එක්ව කටයුතු කිරීමෙනි.

හිමායන වියළීම(freeze drying) යන තාක්ෂණය - ඇපලෝ වැඩ සටහනේදී දිගු කාලයක් අභ්‍යවකාශගාමින්ට ගත කිරිමට සිදුවීම නිසා ඒ මෙහෙයුම සැලසුම් කිරීමේදී අභ්‍යවකාශය සඳහා විශේෂ ආහාර අවශ්‍ය විය. ඒ පිළිබඳ ව පුළුල් පර්යේෂණ ගණනාවක් නාසා ආයතනය විසින් පවත්වනු ලැබිය. ආහාර සඳහා හිමායන වියළීමේ ක්‍රමය යොදා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. එය 1938 දී ස්විට්සර්ලන්තයේ නෙස්ලේ සමාගම විසින් සංවර්ධනය කරන ලද තාක්ෂණයකි. එක්සත් ජනපදයේ ඇක්ෂන් ප්‍රඩක්ට්ස් සමාගම කිරි වෙනුවට වෙනත් ආහාරවලට මේ ක්‍රමය වානිජ මට්ටමෙන් යොදා ගත්තේය. අභ්‍යවකාශ අයිස් ක්‍රීම් එවැනි එක් නිෂ්පාදනයකි.
හිමායන වියළීම අනුව නිපදවූ අභ්‍යවකාශ අයිස් ක්‍රීම්

අනෙක් ආහාරවලදී ඒවා පිසූ විගස අධිශීතනය කොට ඉන්පසු රික්තක කුටියක් තුළ හෙමින් තාපයට ලක් කිරීම සිදු කෙරේ. එසේ කරන්නේ අධිශීතනය ක්‍රියාවලියේදී ඇති වන හිම ස්ඵටික ඉවත් කිරීම පිණිසය. මෙහිදී අවසානයට ආහාර පිණිස ගන්නා නිෂ්පාදනය, පහෙන් එකක් බරින් අඩු, සියයට 98ක් පෝෂණයෙන් ගුණයෙන් යුත් අංග සම්පූර්ණ ආහාරයකි. අද මෙය පෝෂණ ගුණය නොනැසී ආහාර කල්තබා ගත හැකි ක්‍රමයක් ලෙස ලොව ම හඳුනා ගෙන තිබේ. අද ලොව පවත්නා ආහාර රටාවෙන් ප්‍රයෝජනය ගැනීමට අසීරු, ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට හෝ නිවාසවලට කොටුවී සිටින රෝගී වූ හෝ දුබල වූ වියපත් අයට අවශ්‍ය පෝෂණය සපයන විශේෂ ආහාර මේ ක්‍රමයෙන් සකසා තිබේ.

ස්මාට් ෆෝනයේ ඩිජිටල් කැමරාවට එක් කළ චිලය - අභ්‍යවකාශ තරණය නිසා ඇති නව නිපැයුම් අතර සුවිශේෂ තැනක් ගන්නා නිමැවුමක් ලෙස ‘සීඑම්ඕඑස්’ (CMOS) නමින් හැඳින්වෙන ඉලෙක්ට්‍රොනික චිපය හැඳින්විය හැකිය. එහි සම්පූර්ණ නම ‘පරිපූර්ණ ලෝහ ඔක්සයිඩ අර්ධ සන්නායකය’ (complementary metal oxide semiconductor) යන්නය. සංවේදක ඉලෙක්ට්‍රොනික චිපයක් වූ ඒ මගින් ඩිජිටල් පිරිසැකසුම සඳහා අවශ්‍ය ලෙසට ෆෝටෝන ඉලෙක්ට්‍රෝන බවට පත් කෙරේ. ඩිජිටල් කැමරාවලට, ඩිජිටල් වීඩියෝ කැමරාවලට, ඩිජිටල් සීසීටීවී කැමරාවලට අවශ්‍ය රූ ගැන්වීමට මේ සංවේදක අවශ්‍ය වෙයි.
ස්මාට්ෆෝනයේ එන ඩිජිටල් කැමරාව

මේ සංවේදක චිපය නිර්මාණය කරන ලද්දේ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ විද්‍යාඥ එරික් ෆෝසම් (Eric Fossum) විසිනි. අභ්‍යවකාශ මෙහෙයුම්වලදී පාවිච්චි කළ හැකි ප්‍රමාණයෙන් කුඩා කැමරාවල අවශ්‍යතාව තේරුම් ගත් ඔහු මේ චිපය නිර්මාණය කළේ ඒ සඳහා ය. මුලින් ම තමා නිර්මාණය කළ මේ වර්ගයේ චිපය වැඩි දියුණු කළ ඔහු, ඊට ඇති වූ සංඥා බාධා මග හරවා ගෙන, පික්සල ආරෝපණය කර පැහැදිලි රූප මැවිය හැකි සක්‍රිය පික්සල සංවේදක චිපයක් නිර්මාණය කළේය. අද ස්මාට් ෆෝන්වල ඇති කැමරා අති පැහැදිලි දසුන් මවන්නේ මේ නිර්මාණයට පින් සිදුවන්නටය.
වායු පවිත්‍රකරණ මෙවලමක්

වායු පවිත්‍රකරණය (air scrubber) - 1990 ගණන්වල කරන ලද සොයා ගැනීමක් අනුව යමින් අභ්‍යවකාශ ස්වයංක්‍රීය කරණය හා රෝබෝටික විද්‍යාව පිළිබඳ විස්කොන්සින් මධ්‍යස්ථානයේ පර්යේෂකයන් මාෂල් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථාන මගින් පවත්වාගෙන යන අභ්‍යවකාශ නිෂ්පාදන සංවර්ධන වැඩ සටහනෙහි ආධාරය ඇතිව කරන ලද නිපැයුමකි. මෙය මුලින් තැනුවේ අභ්‍යවකාශ යානාවල රෝපණය කරන ශාක මත හා ඒ අවට වාතයෙහි එක් රැස් වෙන එතලීන් ඉවත් කිරීමට විසඳුමක් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය ප්‍රකාශ ප්‍රේරිත ඔක්සිකරණයක් (light-induced oxidation) ලෙස හැඳින් වෙයි.

එහිදී පාරජම්බුල කිරණ ටයිටේනියම් ඔක්සයිඩ මත පතිත වූ විට මුදා හැරෙන ඉලෙක්ට්‍රෝන මගින් ඔක්සිජන් හා අර්ද්‍රතාව ආරෝපිත අංශු බවට පත් කෙරේ. ඒ ආරෝපිත අංශු වායුවේ ඇති වාෂ්පශීලී කාබනික සංයෝග වැනි අපද්‍රව්‍ය ඔක්සිකරණය කර කා‍බන්ඩයොක්සයිඩ් හා ජලය ලෙස මුදා හරියි. මේ වායු පවිත්‍රකරණය මගින් වායුවට එක් වූ වෙනත් කාබනික සංයෝග ද ඉවත් කළ හැකි අතර බැක්ටීරියා, වයිරස හා පුස් වර්ග ද උදාසීන කළ හැකිය. මේ ප්‍රකාශ ප්‍රේරිත ඔක්සිකරණයක් ඇති වායු පවිත්‍රකරණයකින්, වායුව, මතුපිට තලයන්, ඇඳුම් ආදිය පිරිසිදු කළ හැකිය. කෝවිඩ් 19 ආසාදන තත්වයනට මුහුණදීමේදී මේ වායු පවිත්‍රකරණ මෙවලම් බහුලව භාවිත විය.
ජීම්වලට ආ අලුත්ම ව්‍යායාම් උපකරණ

ජීම්වලට ආ අලුත්ම ව්‍යායාම් උපකරණ - අභ්‍යවකාශයට ගොස් ආපසු එන අභ්‍යවකාශගාමීනගේ මාංශ පේශීවල ස්කන්ධයෙහි අස්ථිවල ඝනත්වයෙහි ක්ෂය වීමක් නාසා ආයතනයට දක්නට ලැබිණි. මෙය ගුරුත්වාකර්ෂණය යටතේ මිහිමත දී පැවති තත්වයන් ගෙන් මිදීම නිසා සිදු වූවක් බව පැහැදිලි විය. සාමාන්‍ය බර ඉසිලීමේ තාක්ෂණයන් හා ඒ සඳහා යොදා ගත් යාන්ත්‍රණයන් අභ්‍යවකාශයේ දී මාංශ පේශී වර්ධනයට උපකාර නොවීය. ඒ නිසා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මුල්‍යාධාර ඇතිව පෝල් ෆ්‍රැන්සිස් නම් නිර්මාණශිල්පියා විසින් බර රහිත බර ඉසිලීම් පුහුණු යාන්ත්‍රණයක් නිර්මාණය කරන ලදි. ඒ සඳහා බර වෙනුවට යොදා ගනු ලැබුවේ ප්‍රත්‍යස්ථ ප්‍රතිරෝධයයි. මේ පුහුණු වීම් යාන්ත්‍රණය ප්‍රථම වරට උඩුගුවනේ රඳවා තිබෙන අභ්‍යවකාශ නැවතුම්පොළට යවනු ලැබුවේ 2000 වසරේදී ය. මේ තාක්ෂණය යොදා ගෙන තැනූ යන්ත්‍රය ‘බෝව්ෆ්ලෙක්ස්’ (Bowflex) නමින් වෙළඳ භාණ්ඩයක් වශයෙන් ජනතාවට මිල දී ගැනීමට හැකි වූයේ 2005 දීය. එය අද ලොවපුරා සරඹ පුහුණු මධ්‍යස්ථානවල ජනප්‍රිය අංගයක් වී තිබේ.

- පර්සි ජයමාන්න

මීළඟට - ගමනාගමනය, ප්‍රවාහනය, පොදු සේවා හා මහජන ආරක්ෂාව,

Post a Comment

0 Comments