HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -1 වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍යය

මිනිසා සඳ තරණය කර මේ සතියට වසර පනස් එකක් ගත වී ඇත. මේ වසර පනස් එක තුළ අජටාකාශගාමීනට පමණක් නොව අපට ද අලුත් අලුත් දෑ රැසක් ලැබී තිබේ. මේ නව මෙවලම් අද අපගේ එදිනෙදා භාවිතයට පැමිණ ඇත්තේ අභ්‍යවකාශ තරණය සඳහා පිහිටුවන ලද ඇමරිකාවේ නාසා (NASA- National Aeronautics and Space Administration) ආයතනයේ අනුග්‍රහය හා දායකත්වය නිසාය. දැනට ලොව පුරා භාවිත කරන ලැප්ටොප් පරිගණකයත්, ජංගම දුරකථනයේ එන ඩිජිටල් කැමරාවත්, නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු අභ්‍යවකාශගාමීන් පාවිච්චි කළ රැහැන් රහිත හෙඩ් සෙට් සමග ආ බ්ලූටූත් තාක්ෂණයත්, එක්වරම අපේ මතකයට එන සඳ තරණයෙන් පසු ලද විශිෂ්ටතම දායාද ලෙස සැලකිය හැක.
මුලින්ම හඳට ගිය දෙදෙනා හඳ මතදී..

අභ්‍යවකාශ තරණය නිසා අපට අත් වූ අතිරේක වාසි, එනම් පොදුවේ ලෝකයට සැලසුණු සෙත, කෙබඳුදැයි දැක්වීමට නාසා ආයතනය වෙනම ප්‍රකාශනයක් ද 1976 සිට වාර්ෂිකව පළ කරයි. ‘ස්පිනෝෆ්’ නම් වූ ඒ ප්‍රකාශනය මගින් පර්යේෂණ පැවැත්විය හැකි ක්ෂේත්‍ර 50කට අධික සංඛ්‍යාවක් දක්වා ඇති අතර නාසා ආයතනයේ අනුග්‍රහය හා මග පෙන්වීම යටතේ කළ නව නිපැයුම් 2000කට ආසන්න ගණනක් ගැන විස්තර පළ කර ඇත.

වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍යය, නිවසේ සුවපහසුව, පාරිභෝගික ද්‍රව්‍ය හා විනෝදාංශ, ගමනාගමනය හා ප්‍රවාහනය, මහජන ආරක්ෂාව, පරිසරය හා හා කෘෂිකාර්මික සම්පත්, පරිගණක තාක්ෂණය හා තොරතුරු සන්නිවේදනය, නිෂ්පාදන ඵලදායිතාව හා කාර්යක්ෂම මෙවලම් ආදි වශයෙන් විවිධ ක්ෂේත්‍ර යටතේ, අභ්‍යවකාශ තරණය නිසා, විශේෂයෙන් ම සඳ තරණයෙන් අනතුරුව, අපට අත් වූ සුවිශේෂ වාසි යනුවෙන් වර්ග කළ හැකිය.
අධෝරක්ත කර්ණික උෂ්ණත්වමානය

අද පළවන්නේ වෛද්‍ය වෘත්තියට හා අපේ සෞඛ්‍යයට අදාළව ලැබුණු අතිරේක වාසි අතුරින් විශේෂයෙන් කැපී පෙනෙන කීපයකි.

ඇමරිකාවේ අභ්‍යවකාශ වැඩ පිළිවෙළ නිසා, විශේෂයෙන් ම සඳ තරණය සඳහා වූ කඩිනම් වැඩ සටහන නිසා මෙතෙක් අප භාවිත කළ බටහිර වෛද්‍ය ක්‍රමයේ විශාල පෙරළියක් ඇති විය. රුධිර පීඩන තත්ව දර්ශකවල, ඉබේ සැකැසෙන ගතිකරවල, හෘදයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කරන අභ්‍යාස උපකරණවල හා අති ධ්වනි ප්‍රතිබිම්බ දර්ශකවල නවෝත්පාදන විශාල ප්‍රමාණයක් රෝග නිර්ණයට හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලොවට හඳුන්වා දෙනු ලැබීය.
ආචාර්ය ඩිබේකි ඔහුගේ තුන්දික ආධාරක මෙවලම 
(කෘත්‍රිම හදවත) පෙන්වමින්

අධෝරක්ත කර්ණික උෂ්ණත්වමානය - ඩියාටෙක් (Diatek) කෝපරේශන් හා නාසා එක්ව කර්ණ පටහයෙන් හෙවත් කන් බෙරයෙන් විමෝචනය කෙරෙන තාප විකිරණ භාවිතයෙන් ක්‍රියා කළ හැකි කර්ණික උෂ්ණත්ව මානයක් නිපදවා තිබේ. තත්පර දෙකක් වැනි සුළු කාලයක් තුළ උෂ්ණත්වය මැනිය හැකිය. මේ ක්‍රමයෙන් ශ්ලේෂ්මල පටලය ස්පර්ශ නොකර, අලුත උපන් දරුවන්ගේ හෝ දුබලව රෝගී තත්වයෙන් පසුවන්නන්ගේ උෂ්ණත්වය ස්පර්ශයෙන් තොරව මැනීමට හැකියාව ලැබේ. මෙම උපකරණය, පසුගිය කොවිඩ්-19 වසංගතයේදී ලොව පුරා විශාල වශයෙන් භාවිතයට ගැනිණ. නාසා ආයතනයේ තාක්ෂණික සහයෝගිතා වැඩ සටහන යටතේ ආධාර හා අනුග්‍රහය ඇතිව පෞද්ගලික සමාගමක් විසින් නිපදවන ලද්දකි.
හෘද ස්පන්දන මාන දක්වන මොනිටරය

හෘද ස්පන්දක මාන දක්වන මොනිටරය - අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශගාමීන්ගේ හෘද ස්පන්දනය මැනීම සඳහා භාවිත කරන උපකරණ අනුව යමින් සකස් කළ නව මෙවලම් දැන් ලොව පුරා බහුලව පාවිච්චි කරනු දැකිය හැකිය. එදිනෙදා ව්‍යායාම් සඳහා දුවන ඇවිදින අය අතේ බඳින ඔරලෝසුවකට සමාන උපකරණය ඉන් එකකි. ඉන් ඔබේ පියවර ගණන, දහනය කරන කැලරි ප්‍රමාණය පමණක් නොව හෘද ස්පන්දනය, රුධිර පීඩනය ඇතුළු සියලු දත්ත ඔබේ ස්මාර්ට් ෆෝනයට ලබා දෙන අතර අවශ්‍ය වුනොත් ඔබට එතැන් සිටම ඒ දත්ත වෛද්‍යවරයාට යවා උපදෙස් ලබා ගත හැකිය. මේ සුවිශේෂ ක්‍රමවේදයත්, උපකරණත් මුලින් ම නිර්මාණය වූයේ අභ්‍යවකාශගාමීන් සඳහාය.

තුන්දික ආධාරක මෙවලම (ventricular assist device) - හදවත් බද්ධයක් අපේක්ෂාවෙන් පසුවන රෝගීනට ඒ සඳහා හදවතක් ලැබෙනතුරු භාවිත කළ හැකි මෙම උපකරණය තනා ඇත්තේ නාසා ආයතනයත්, ආචාර්ය මයිකල් ඩිබේකි, ආචාර්ය ජෝර්ජ් නූන් සමග මයික්‍රොමෙඩ් තාක්ෂණික ආයතනය එක්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙය හඳුන්වා ඇත්තේ මයික්‍රොමෙඩ් ඩිබේකි තුන්දික ආධාරක මෙවලම (VAD) කියා ය. මෙය එක්තරා ආකාරයකට කෘත්‍රිම හදවතකි. මෙතෙක් භාවිත කළ හෘද ස්පන්දක ආධාරක උපකරණවලට වඩා දහයෙන් එකකටත් අඩු ප්‍රමාණයකින් යුත්, සැහැල්ලු උපකරණයක් වන මෙය, බැටරියෙන් ක්‍රියා කරන්නකි. බැටරි කාලය පැය අටකි. මෙය සවි කළ පසු රෝගියාට එහා මෙහා යා හැකි වන අතර, අපහසුවක් නැතිව එදිනෙදා කටයුතුවල පවා නිරත විය හැකිය.
කර්ණශංඛ බද්ධ උපකරණය

කර්ණශංඛ බද්ධ උපකරණය (cochlear implant) - නාසා ආයතනයේ ඉංජිනේරුවකු වූ ඇඩම් කිසායා (Kissiah) 1970 ගණන්වල දී විශේෂ ශ්‍රවනාධාර උපකරණයක් තැනීමට වෙහෙසුණේය. සාමාන්‍ය ශ්‍රවනාධාර උපකරණවලින් ප්‍රයෝජන ලැබිය නොහැකි, කන් ඇසීමේ දුර්වලතා ඇති හෝ කොහෙත්ම කන් නෑසෙන අයට කන් ඇසීමට සැලැස්වීම ඔහුගේ අරමුණ විය. නාසා ආයතනයේ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ විශේෂඥ ඉංජිනේරුවකු වූ කිසායා ඔහුගේ කෑම පැයේ හා වැඩ අවසන් වූ පසු සහ සවස් භාගයේ, නාසා ආයතනයේ තාක්ෂණික පුස්තකාලයේ ගත කරමින්, වසර තුනක් තිස්සේ ඇතුළු කනෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ භෞතික විද්‍යාත්මක න්‍යායන් හැදෑරීමට ගත කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තැනූ මේ කර්ණශංඛ බද්ධ උපකරණයට ඔහු වෙනුවෙන් හිමිකම් බලපතක් ලබා දීමට පවා නාසා ආයතනය උපකාර විය. අද ජීවතුන් අතර නැති කිසායාගේ මේ විස්මිත උපකරණය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඇසීම ලබා දී ඇත. 

අක්ෂිරෝග ප්‍රතිකාරයට යොදා ගන්නා ලැසික් (LASIK) තාක්ෂණය - අද ඇස්වලට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා මේ තාක්ෂණය බිහි වූයේ 1980 ගණන්වල අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශ යානා හා කෘත්‍රිම චන්ද්‍රිකා හමු වූ විට, සේවා කටයුතු සඳහා ඒවා ස්වයංක්‍රීයව එකිනෙක අමුණා ගැනීමට (බද්ධ කිරීමේදී) යොදා ගත් ක්‍රමවේදයේ අතුරු ඵලයක් ලෙසය. එකිනෙක අතර දුර හා ප්‍රවේගය ඒවා ස්වයංක්‍රීයව අමුණා ගැනීමට ලේසර් ක්‍රමය යොදා ගෙන මෙම නව තාක්ෂණය හඳුන්වා දෙනු ලැබීය. එය හැඳින්වූයේ ලාඩාර් (LADAR - LAser Detection And Ranging) කියාය. මෙම ක්‍රමය යුද හමුදාව මිසයිල අවි හැසිරවීමට ඉලක්ක ගැනීම සඳහාත්, නාසා ආයතනය අභ්‍යවකාශ වස්තු හසුකර ගැනීමටත් සාර්ථකව යොදා ගැනිණ. මෙම තාක්ෂණය අක්ෂි විශේෂඥයන් යොදා ගන්නේ තත්පරයට 4,000ක වේගයකින් අක්ෂි චලනයන් හසු කර ගැනීමටය. ඒ ලේසර් දහරක් මගින් කුණීතය යළි සැකසීමටත්, නාභිය නිවැරදි කිරීමටත්, ඇසේ මතුපිට පිරිසිදු කිරීමටත් යොදා ගැනේ.

රොබොටික මෙවලම් හා කෘත්‍රිම අත්පා නිර්මාණය කිරීම - නාසා ආයතනය විශේෂ අවධානයක් යොමු කළ ක්‍ෂ‍ෙත්‍රයකි. රොබොටික තාක්ෂණයෙන් කෙරෙන නවනිපැයුම් සඳහා නව සංකල්ප හා අදහස් පමණක් නොව අරමුදල් සැපයීමද ඔවුන් අතින් සිදු විය. කම්පන අවශෝෂණ ද්‍රව්‍ය නිපදවීමටත් ඒවා යොදාගෙන සතුන්ට හා මිනිසුන්ට සුදුසු වඩාත් කාර්යක්ෂම කෘත්‍රිම අත්පා තැනීමට නාසා ආයතනය පෞද්ගලික අංශය දිරිමත් කළේය. ඒ අනුව එන්වයර්මන්ටනල් රොබොට්ස් ඉන්කෝපරේශන් ආයතනය රොබෝටික සංවේදක හා ක්‍රියාකාරිත්වය සහිත, කෘත්‍රිම මාංශ පේශී පද්ධතියක් සංවර්ධනය කළේ ය. ඒ නාසා අභ්‍යවකාශ රොබෝටික හා යානාවලින් පිටතට විත් කරන කටයුතුවලට සරිලන ආකාරයට ඒවා ඉතාමත් කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකිවන සේ කෘත්‍රිම අත්පාවලට සවි කිරීමටය.
‘ටෙම්පර් ෆෝම්’ තාක්ෂණයේ මෙට්ට

ඊට අමතරව, නාසා ආයතනයේ ‘ටෙම්පුර් ෆෝම්’ (tempur foam) තාක්ෂණය යොදා ගෙන පුද්ගලික අංශයේ නව නිපැයුම්කරුවන් කුෂන් ද්‍රව්‍ය රාශියක් නිපදවා ඇත. හැප්පීම්, ගැස්සීම්, ගැටීම්, ඇතිල්ලීම්වලට පමණක් නොව තාපයට, ආර්ද්‍රතාවට ඔරොත්තු දෙන ඇතුරුම්, මෙට්ට, කොට්ට, ආවරණ තැනීමට මේ ද්‍රව්‍ය යොදා ගනු ලැබේ. මේවා භාවිතයෙන් කෘත්‍රිම අත්පාවල කෘත්‍රිම ගතිය නොදැනෙයි. මිනිස් මසක, සමක, සුමට බව මේවායින් ද ගම්‍ය වෙයි. අභ්‍යවකාශගාමීන්ට සැලසූ ඒ පහසුව අද ගුවන්යනාවලට පමණක් නොව ඔබේ නිදන කාමරයේ කොට්ට, මෙට්ට ආදියට එක්වී ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කරන එල්ඊඩී - ආලෝක විමෝචන ඩයෝඩ(LED) මුලීක වශයෙන් භාවිත කළේ නාසා අභ්‍යවකාශ ෂටලයේ ශාක රෝපණ අත්හදා බැලීම් සඳහායි. පසුව නාසා ආයතනය සිය සුළු පරිමාණ නවෝත්පාදන අරමුදල යටතේ කුඩා ව්‍යාපාරිකයන්ට කළ ප්‍රදානයන් හා පැවරුම් යටතේ, ක්වොන්ටම් ඩිවයිසස් ආයතනය, අතේ තබාගෙන පාවිච්චි කළ හැකි, අධි තීව්‍රතාවකින් යුත් එල්ඊඩී උපකරණයක් තැනීය. එය සිරුරේ ඇති වන අර්බුදයකදී හෝ පටකවල අසාමාන්‍ය වැඩීමකදී, මර්දනය සඳහා යොදා ගත හැකිය. දැනට භාවිත කරන විකල්ප පිළියම්වලින් පලක් නොවන විට, චිකිත්සා කටයුතු සඳහා මේ උපකරණය භාවිත කිරීමට නිර්දේශ කර ඇත.
රැහන් රහිත හෙඩ් සෙට්

සීරීම්වලට ඔරොත්තු දෙන කාච - සීරීම් වළක්වා ගත හැකි, කාචයක් නිපදවීමට ෆොස්ටර් ග්‍රාන්ට් සමාගමට නාසා ආයතනය අනුමැතිය දුන් අතර අව් කන්නාඩි නිපදවන සමාගමක් ලෙස ප්‍රකට ඔවුන් විසින් අභ්‍යවකාශයට යැවෙන නාසා ආයතනයේ උපකරණවල ඇති කාචවලට, හෙල්මට් ආවරණ වලට සීරීම් වළක්වන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබීය. අද ඒ ක්‍රමවේදය අප එදිනෙදා භාවිත කරන ඇස් කන්නාඩිවලට පමණක් නොව, වයිසර්වලට, වාහන වීදුරු ආදි නොයෙකුත් දෙයට යොදා ගැනේ.

අභ්‍යවක‍ාශ බ්ලැන්කට්ටු (පොරෝන) - 1964 දී අභ්‍යවකාශ වැඩ සටහනේ දී තනනු ලැබූ අභ්‍යවක‍ාශ බ්ලැන්කට්ටු, අධෝරක්ත කිරණ පරාවර්තනය කළ හැකි සැහැල්ලු පොරෝණා විශේෂයකි. දැන් ඒවා ප්‍රථමාධාර කට්ටලවලට ද ඇතුළත් කර ඇත.

ආහාර පිසින ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර - බීහෙක්ස් ආයතනයෙන් ආහාර සැකසීමේ ත්‍රිමාන (3D) මුද්‍රණ යන්ත්‍ර නිපදවා ඇත. නාසා ආයතනය ඒ පර්යේෂණ සඳහා මුදල් ආයෝජනය කර තිබේ. අභ්‍යවකාශ ගාමීන්ට උඩු ගුවනේදී කෑම පිළියෙල කර ගැනීමට මේ නිසා පහසු වූ අතර අද ඒ ආහාර ‘මුදුණ යන්ත්‍ර’ සාමාන්‍ය ජනජීවිතයටද එක්වී තිබේ. පිට්සා තැනීම, අතුරුපස, කේක් වැනි දේට අයිසිං දැමීම මේ ආහාර මුදුණ යන්ත්‍ර මගින් එසැණින් කර ගත හැකිය.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments