HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සුදු මුහුදේ අයිස් යට අධි ශීතල අඳුරු කලාපයේ විස්මිත සතුන් හමුවන්න!

හෙට (ජූනි 8 වැනිදා) ලෝක සාගර දිනයයි. ඒ නිමිත්තෙන් ‘මල් කැකුළු’ ඔබව සාගරයේ මෙතෙක් නොදුටු ඉසව්වකට ගෙන යන්නයි, මේ හදන්නේ. කවදත් ලෝකයේ අලුත් ම තොරතුරු ඔබට ගේන අප මෙවර ඔබව සුදු මුහුදට කැටුව යන්නයි මේ ඇරයුම් කරන්නේ.

පෘථිවියේ ඉතා ඈත කොනක පිහිටි මුහුදක දිය යට, මිනිසා මෙතෙක් නොකිමිදුනු පරිසරයක වෙසෙන අමුතු සත්තු දැක ගන්නට අවස්ථාව අපටත් පෑදිලා තියෙනවා. ඒ රුසියාවේ මොස්කොව්වල ජාතික සාගර ජීව විද්‍යාඥයකු කළ හපන්කමක් නිසයි. ඔහු නමින් ඇලෙක්සැන්ඩර් සෙමෙනෝෆ්. අඩි 200ක් ගැඹුරු මුහුදේ ශීතාධික කලාපයක විනාඩි 40ක් ගත කළ ඔහු මෙතෙක් ලෝකයේ කිසිවකු නොදුටු දසුන් පෙළක් ලොවට හෙළිදරවු කළා. ඔහු මේ කාර්යය කළේ විස්මිත නව තාක්ෂණික මෙවලම්වල ආධාරයෙන්. උපශූන්‍ය (sub-zero) තත්වයන් යටතේ අඩි 500ක් ගැඹුරු මුහුදේ මේ වගේ දෙයක් රූ ගත කිරීම අති නිර්භීත ක්‍රියාවක්.

සුදු මුහුදේ හිම යට විතරක් දැකිය හැකි මේ සතුන්ගේ මේ ඡායාරූප ලෝකයට මුල්වරට නිරාවරණය ‍වුණේ මේ සතියෙයි. මේ ඉන්නේ ‘සිංහ කෙසරු’ ඇති ලොඩියන් (jellyfish) සාගරය යට අඳුරේ තමන්ගේ ම ආලෝකයෙන් බැබලෙනවා.

සාමාන්‍ය මුහුදේ කිමිදීමේ දී මිනිසකුට අඩි 50කට වඩා ගැඹුරට පිහිනන්න බැහැ. සාගර ජලයේ හාත්පස (පරිමණ්ඩිත) පීඩනය මිනිස් සිරුරට දරා ගන්න බැහැ. ඒ සඳහා විශේෂ ඇඳුම් කට්ටල හා ඔක්සිජන් ටැංකි ඕනෑ. ඒකත් එක්තරා දුරකට විතරයි. ඊට වඩා ගැඹුරකට යනවා නම් විශේෂ කුමුදුවක් වැනි යානයක් ඕනෑ.

ඔහු කැමරාවට නැඟූ සතුන් අතර නිල් පැහැති දීප්තිමත් සිරුරක් හා අඩි 49ක් පමණ දිගැති, රෝස පැහැති ස්පෙගටි වැනි ශීර්ෂ ග්‍රාහිකා සහිත ‘සිංහ කෙසරු’ ඇති ලොඩියන් (jellyfish), බඩවැල් වැනි හැඩැති රන් පැහැති රැග්පණුවන්, යුප්ලොකාමිස් ඩන්ලොපී (Euplokamis dunlopae) යනුවෙන් හැඳින්වෙන කුඩා පෘෂ්ඨවංශිකයන් විශේෂයක් වූ ආලෝකය විහිදුවන ආක්ටික් කංකතිකයා (Arctic ctenophore) ආදී විශේෂයන් දැක ගන්න පුළුවන්.

මේ ඉන්නේ රන්වන් රැග්පණුවන්. මොවුන් බොහෝ විට තැන්පත් වී
 ඉන්නේ මුහුදු පත්ලේ මියගිය තල්මස් ඇට සැකිලි තුළයි.

‘මේ සතුන් වසර මිලියන ගානක් තිස්සේ විශාල සාගර ප්‍රදේශයක පැතිරී ජීවත් වුණත් අද පරිණාමය හේතුවෙන්, සම්පූර්ණයෙන් ම ඇදහිය නොහැකි ජීවිත හැඩ ගනිමින්, මෙසේ හුදෙකලාව දිවි ගෙවන හැටි මගේ ඇස් දෙකෙන් ම දැක ගන්නට ලැබීම ගැන මම අසීමිතව සතුටු වෙනවා.’ සෙමෙනෝෆ් කියනවා. (නවීන තාක්ෂණයේ පිහිටෙන් ඔබටත් ඒ දසුන් දැන් දැක ගන්න පුළුවන්.)

ඔහු මේ සතුන් කැමරාවට නැඟූ ප්‍රදේශය සුදු මුහුදට අයත් එකක්. මිනිස් වාසයෙන් බැහැර ඉතා ඈත මේ ප්‍රදේශය පොළොවේ මෙතෙක් මිනිසා ස්පර්ශ නොකළ තැනක් ලෙසයි, සැලකෙන්‍නේ. මෙම මුහුදු කොටස රුසියාවේ වයඹදිග වෙරළේ බැරන්ට්ස් මුහුදේ දකුණේ ගොඩබිම තුළට කා වැදුණු කලපුවක් වැනි තැනක්. මෙහි වර්ග සැතැපුම් 34,700ක් පමණ මතුපිටක් ඇති, අඩි 197 සිට 1,115ක් විහිදුණු ගැඹුරක් ඇති ජල කලාපයක්. මේ ප්‍රදේශය අයත් වන්නේ සුදු මුහුදටයි.

ඉංග්‍රීසි බසින් නම් කළ පාට මුහුදු හතරක් ලෝකයේ තියෙනවා. ඒ ඔබ දැනටමත් දන්නා කළු මුහුද, රතු මුහුද හා කහ මුහුදට අමතරව අද හඳුනාගත් සුදු මුහුදයි.

ප්ලවාංගී ගොළුබෙල්ලෙක්, ලිමසිනා හෙලිසිනා (Limacina helicina)

සෙමෙනෝෆ් වැඩ කළ පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ කැරිලියන් වෙරළේයි. ඒ පර්යේෂණ මධ්‍යස්ථානය මොස්කොව් රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් 1938 දී පිහිටුවන ලද්දක්. මේක බාහිර ලෝකයෙන් සම්පුර්ණයෙන් ම හුදෙකලා වූ ස්ථානයක්. කිසිම සන්නිවේදන සම්බඳතාවක් මෙහි නැහැ. ළඟ ම ගම්මානය වූ පෝයක්න්ඩා දෙසට යන මාර්ගයට සමීප වීමට නම් සැතැපුම් 10ක් (කි.මී. 16ක්) යන්න ඕනෑ. ඒ සඳහා යන්න පුළුවන් ගිම්හාන කාලයට බෝට්ටුවෙන්, ශීත කාලයේදි නම් හිම යානයකින්.

‘සුදු මුහුද මාස හතරත් හයත් අතර කාලයක් හිම තට්ටුවලින් වැහිලයි තියෙන්නෙ.’ සෙමෙනෝෆ් කියනවා.

‘අයිස් තට්ටුව යටින් කිමිදෙන කොට මතක තියා ගන්න ඕනැ වැදගත්ම කරුණ තමයි, ඔබ බඳ වටා ආරක්ෂ ලණුව දාලා තිබුණත් දිය රළකට අසුවුණොත් ගහගෙන යනවා. ඒවා ඒ තරම් ම ප්‍රචණ්ඩයි.’ ඔහු වැඩිදුරටත් කියනවා.

‘මේ මුහුදේ දී මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගය තමයි, උදම් රළ. ඔබ පර්වතයක් අල්ලා ගෙන හිටියත් පැයක් විතර යන කොට ග්‍රහණය තියා ගන්න බැහැ, ඉවතට ගහගෙන යනවා. ඒ තරමට මුහුද රළ සැරයි. මිනිත්තු තිහක් ඇතුළත ඔබ මුහුදට පැන්න තැන ඉඳලා හැතැප්මත් විතර ඈතට ගහ ගෙන යනවා.

මේ හයිපීරියා ගැල්බා (Hyperia galba) සත්ව ප්ලවාංග විශේෂයක්.

’ මෙහෙම කියන සෙමෙනෝෆ් ඒ අවදානම අර ගෙන ඒ මිදුණු මුහුද යටට ගියේ තම අභිලාෂය ඉටු කර ගැනීමේ දැඩි උද්යෝගයකිනුයි. ඔහුගේ ඒ අභිලාෂය වුණේ ලෝකය පුරා උණුසුම විඳිමින් ඉන්න තම නෑයන්ගෙන් වෙන්ව හුදෙකලාව, සම්පූර්ණයෙන් ම වෙනස් දුෂ්කර පරිසරයකට ගැඩ ගැසෙමින් වෙසෙන, මේ අසිරිමත් සතුන් අතර පවතින වෙනස්කම් මොනවාදැයි හෙළිදරවු කිරීමයි.

ඉතාමත් චිත්තාකර්ෂණීය, සුවිශේෂ සතුන් වර්ග ගණනාවක් ම මේ අයිස් තට්ටුව යට ජීවත්වෙනවා. ඉන් එක සතෙක් තමයි, සිංහ කෙසරු ඇති ලොඩියන් හෙවත් ජෙලි ෆිෂ්. මේ වර්ගය අයත් ලෝකයේ ලොකුම සත්වයා මොහුයි.

මේ අලංකාර කුඩා සතා ආක්ටික් කංකතිකයා (Arctic ctenophore). 
සත්ව විද්‍යාත්මකව යුප්ලොකාමිස් ඩන්ලොපී (Euplokamis dunlopae) කියා හැඳින්වෙනවා.

මේ ලොඩියාගේ ශීර්ෂ ග්‍රහිකා අඩි 120ක් දක්වා දික්ව වැඩෙන බව සඳහන් වෙනවා. මිනිස් කෙස් කලබක් සිහි ගන්වන මේ ග්‍රාහිකා ගොන්න පිහිටා ඇත්තේ ඝණ්ඨාකාර හැඩ ඇති උගේ හිසට යටිනුයි. උගේ කට පිහිටා ඇත්තේ ද හිසට යටින්. ඒ වගේ ම කට වටා ග්‍රාහිකා පොකුරු අටක් පිහිටා ඇත්තේ එක පොකුරකට 150ක් වන ලෙසයි. මේ ග්‍රාහිකා විෂෙන් පිරී තියෙන අතර ගොදුරක් අල්ලා ගත් වහාම ඊට විෂ ඇතුළු කර මරා ගන්නවා. 

සිංහ කෙසරු ඇති ලොඩියාට ජෛවසන්දීප්ත හැකියාව තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සිරුර තුළ ම ආලෝකය නිපදවා ගන්න ඌට පුළුවන්. ඒ නිසා දිය යට අඳුරේ දීප්තියෙන් බැබලෙන්න හැකියාව ඌට තියෙනවා.

‘ඔබ දුටුවොත් සිංහ කෙසරු ඇති ලොඩියෙක් (Cyanea capillata) අඩි තුනක විෂ්කම්භයක් ඇති, අඩි 49ක් ශීර්ෂ ග්‍රාහිකා ඇති සාගරයේ මුළුමනින් ම අඳුරු පසුබිමක ඒක අති විස්මිත දසුනක්!’ කියා සෙමෙනෝෆ් කියනවා.

මේ රුසියාවේ මොස්කොව්වල ජාතික සාගර ජීව විද්‍යාඥයකු වන 
ඇලෙක්සැන්ඩර් සෙමෙනෝෆ්. ඔහු තමා මේ විස්මිත කාර්යය ඔබ වෙනුවෙන් කළේ.

‘සාගරයේ ගැඹුරට යන්න යන්න විස්මිත දේ හමු වෙනවා. ඒ වගේ ම ලොකු දැනුමකුත් ලැබෙනවා. මේ ගණයේ සමහර සතුන්ට හොඳින් වැඩුණා ම අඩි හතක් විතර පළල හිසක් ඇති වෙනවා. ඒ වෙන කොට ඔවුන්ගේ ශීර්ෂ ග්‍රාහිකා අඩි 120ක් විතර දික් වෙනවා. අදහන්නත් බැහැ, ඒ වෙන කොට උගේ උස තට්ටු 12ක ගොඩනැගිල්ලක් තරම් වෙනවා.’ සෙමෙනෝෆ් කතාව අවසන් කළේ එහෙමයි.

ඔහු මේ චාරිකාවෙදි දම් පැහැති දුර්ලභ ගණයේ සත්ව ප්ලවාංග විශේෂයකුත් රූ ගත කළා. එහි සත්ව විද්‍යා නාමය හයිපීරියා ගැල්බා (Hyperia galba) යි. ඒ වගේ ම ප්ලවාංගී ගොළුබෙල්ලකුත් කැමරාවට හසු කර ගෙන තිබුණා. 1675 දී හඳුනාගෙන තිබූ උගේ සත්ව විද්‍යා නාමය ලිමසිනා හෙලිසිනා (Limacina helicina) යි. ඒ විතරක් නොවෙයි, හයිඩ්‍රොසෝවන් කීප දෙනකුත් ඔහුගේ රූ අතර තියෙනවා. ඔවුන්ට ඒ නම ලැබී ඇත්තේ පුරාණයේ ග්‍රීක බසින් ජලයට කියන නම අනුවයි.

- පර්සි ජයම‍ාන්න

Post a Comment

1 Comments