බඩඉරිඟු ප්‍රධාන ආහාරය කර ගත් පැරණිම මිනිස්සු!

මීට වසර 4,700ට පෙර මිනිසුන් ඉරිඟු ප්‍රධාන ආහාරය කර ගත් බවට සාක්ෂි මධ්‍යම ඇමෙරිකාවේ ලෙන් ආශ්‍රිත ප්‍රදේශයකින් හමු වී තියෙනවා. මේ බව හෙළි වී තියෙන්නේ බේලීස් හී මායා කඳුකරයේ කරන ලද කැණීම්වලිනුයි.

පසුගිය වසර 10,000ක පමණ කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ තැනින් තැන වළ ලන ලද ඇට සැකිලි රාශියක් හමු වීමත් සමගයි. මේ බව හෙළි කරගෙන තියෙන්නේ එංගලන්තයේ එක්සෙටර් (Exeter) විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනුයි.
ලෝකය පුරා අද වවන හා ආහාරයට ගන්නා බඩඉරිඟු

එහිදී හමුවුනු ඇටසැකිලි 44ක කාබන් හා නයිට්‍ර්ජන් මට්ටම් මැන බලා ඒ මිනිසුන් ආහාර පිණිස ගෙන ඇත්තේ ශාක හා ගෙඩි වර්ග බවයි, ඔවුන් සොයා ගත්තේ. එහිදී තවදුරටත් කළ සොයා ගැනීම් අනුව ඔවුන් වැඩිපුරම ආහාරයට ගෙන ඇත්තේ බඩ ඉරිඟු බව හෙළි වී තියෙනවා. මේ පර්යේෂකයන් පිරිස කියන්නේ ඇටසැකිලිවල හිමිකරුවන් මින් වසර 4,700කට පමණ පෙර විසූ අය බවයි.

මධ්‍යම ඇමරිකාවේ ලෙන් ගුහාවල ඉතා සුරක්ෂිතව පැවති මේ ඇටසැකිලි සොයා ගැනීම මෑත යුගයේ සිදු වූ විශිෂ්ට ගවේෂණයක් ලෙස සැලකිය හැක්කේ.
බේලීස් හි මායා කඳුකරයේ හමු වී තියෙන සොහොන් බිම්වල 
පසුගිය වසර 10,000ක් තිස්සේ වළ ලන ලද මිනී ඇටසැකිලි 
හමු වූයේ එක්‍සෙටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කළ කැණීම්වලින්.

මේ වන තෙක් ම මානවයා අස්වනු නෙළා ගෙන ශාක බෝග ප්‍රධාන ආහාරය කර ගත්තේ කුමන වකවානුවේ දැයි හරි හැටි දැන සිටියේ නැහැ. එදා දකුණු ඇමරිකාවේ ප්‍රධාන ආහාරය වූ ඉරිඟු අද ලෝකය පුරා ම ජනතාව භාවිතා කරනව‍ා.

මේ බෝගය දැන් ලෝකයේ මානවයාගේ ආහාරයේ ඉතා වැදගත් තැනක් උසුලනවා. එපමණක් නොව එය සමස්ත ලෝකයේ පරිසරය හා භූමිදර්ශනය වෙනස් කළා. කෘෂිකාර්මික භූමිදර්ශනය හා පෘථිවියේ පරිසර පද්ධතිය හා ජෛව විවිධත්වය වෙනස් කළා.
මිනිස් ඇටසැකිලිවල අස්ථිවල කාබන් හා නයිට්‍ර්ජන් ප්‍රමාණය 
මැනීමෙන් ආදි ජනතාවගේ ආහාර පිළිබඳ තතු හෙළිදරවු කර ගත්තා.

රේඩියෝ කාබන් කාල නිර්ණය කිරීමේ ක්‍රමය අනුව ඇටසැකිලි සාම්පලවලින් විද්‍යාඥ පිරිසට පුළුවන් වුණා, දඩයම්වලින් දිවි ගෙවූ ආදි මානවයා ඉරිඟු ආහාරයට හුරු වූ හැටි ගැන සොයා ගන්න.

වසර 4,700කට පෙර ඉරිඟු ඒ ජනගහනයෙන් තුනෙන් එකකගේ ආහාරයට එක් වූවා පමණක් නොව එය ඉන් පසු වසර 700ක් තරම් කෙටි කාලයක දී ඒ ජනතාවගෙන් සියයට 70කගේ ප්‍රධාන ආහාර බවට පත් වුණා.

මිනිසා විසින් ඉරිඟු හෙවත් බඩ ඉරිඟු ශාකය වැවිලි බෝගයක් බවට පත් කර ගත්තේ වසර 9,000කට පමණ පෙරයි. ඒ මධ්‍යම මෙක්සිකෝවේ බැල්සාස් ගංගා නිම්නයේ වැවුණු ටියෝසින්ටේ (teosinte) නම් වන තෘණ විශේෂයකින්.
පර්යේෂණ කණ්ඩායම කියනවා වසර 4,700කට පෙර වැලලූ 
ඇටසැකිලිවල අධ්‍යයනයෙන් ඔවුන් ඉරිඟු 
ආහාරයට ගත් බව හෙළිදරවු වූ බව.

මීට වසර 6,500කට පෙර මායාවරුන්ගේ පහත් බිම් ප්‍රදේශවල බඩ ඉරිඟු වගා කළ බවට සාක්ෂි තියෙනවා. ඒ කාලයේ ම වාගේ මෙක්සිකෝවේ පැසිපික් වෙරළාසන්න ගොඩ බිමෙහිත් මේ වගාවන් තිබූ බව පර්යේෂකයන් මෙහිදී හෙළි කරගෙන තියෙනවා,

මෙහි කැණීම් මෙහෙය වූ එක් පාර්ශ්වකරුවකු වූ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා විශේෂඥයකු වූ ආචාර්ය මාක් රොබින්සන් කියන්නේ, ‘මෙහි ඇති ආර්ද්‍රතා තත්වයන් නිසා ආදි මානවයන්ගේ ඇට සැකිලිවල ශේෂයන් හමුවීම අති දුර්ලභ දෙයක්’ කියායි. ‘ඇමරිකා මහාද්වීපවලට අයත් නව නිවර්තන කලාපයට අයත් මෙය වසර 10,000ක් තිස්සේ නොකඩවා භාවිත කළ සුසාන භූමියක්. ඒ නිසා මෙය වෙනත් කිසිම තැනක නැති අවස්ථාවක් අපට ලබා දෙනවා, දීර්ඝ කාලයක් තිස්සේ වළලන ලද ඇට සැකිලි පරීක්ෂාවට ලක් කරන්න. බඩ ඉරිඟු හඳුන්වා දුන් කාලයත් මේ යුගයට අයත් වෙනවා.’
ඉරිඟු ශාකය වැවිලි බෝගයක් බවට පත් කර ගත්තේ 
වසර 9,000කට පමණ පෙර මධ්‍යම මැක්සිකෝවේ බැල්සාස් ගංගා නිම්නයේ  
වැවුණු ටියෝසි‍නෙට් නම් වන තෘණ විශේෂයකින්.

‘ජනතාවගේ ආහාරය වෙනස් වූ ආකාරයත්, ඊට බඩඉරිඟු එක් වූ අයුරුත්, එය ආර්ථික හා ආහාරමය වශයෙන් වැදගත් කමක් ලැබුණු ආකාරයත්, පසුව එය ඒ ජනතාවගේ පෝෂණයෙහි, ආර්ථිකයෙහි හා ආගමික ජීවිතයෙහි මූලික තැනක් ගනිමින් ප්‍රධාන ආහාරය බවට පත් වූ අයුරුත් පැහැදිලි කිරීමට අවශ්‍ය ඍජු සාක්ෂි අපට මෙහි දී ලැබුණා’ ඔහු වැඩිදුරටත් කියනවා.

විශේෂඥයන් මෙහිදී ඇට සැකිලි 44ක කොටස්වල කාබන් හා නයිට්‍ර්ජන් ප්‍රමාණයන් මැන බැලූ අතර ඒ තොරතුරුවලින් තමා ඒ යුගයේ ජනතාවගේ ආහාර ගැන අදහස් පළ කළේ.

පරීක්ෂණයට භාජනය වූ මේ ඇටසැකිලිවලට වැඩිහිටි පිරිමි හා කාන්තා ඇටසැකිලි පමණක් නොව ළමා ඇටසැකිලි ද අයත් වුණා. මේ නිසා සමස්තයක් වශයෙන් එකල ජනතාව ආහාර ගත් ආකාරය වඩාත් නිවැරදිව නිගමනය කළ හැකි වුණා.

මෙහිදී හමුවුණු පැරණි ම ඇටසැකිලි මීට වසර 9,600ත් 8,600ත් අතර ඒවායි. ඒ වසර 1000 තිස්සේ නොකඩවා වළලන ලද ඒවා එහිදී ඔවුන්ට හමුවුණා. ඒවා අතරින් පැරණි ම ඒවා දඩයම් කර ගත් සතුන්, කැලෑ කොළ, ගෙඩි, පඳුරු ආහාරයට ගත් අයගේ ඇටසැකිලියි. ඒ කොටසේ ඇටසැකිලි වැඩිහරියක් අයත් වූයේ ගොවියන්ට වඩා දඩයම් කළ අල, ගඩා‍ගෙඩි එක්රැස් කළ අයටයි.
වසර 4,700කට පෙර මිනිසා විවිධ දේ ආහාරයට ගත්තත් 
ක්‍රමයෙන් ඉරිඟු ප්‍රධාන ආහාරය බවට පත් ගත්තා.

වසර 4,700කට පෙර ඔවුන්ගේ ආහාර විවිධ වූ අතර සමහර අය පමණක් මුල්වර ඉරිඟු ආහාරයට ගත් අය බව පෙනී ගියා. සමස්ථානික ලක්ෂණවලින් හෙළි වුණේ කිරි බොන ළදරුවන් සිටි තරුණ මවුවරුන් දෙදෙනකු වැඩිපුර ඉරිඟු ආහාරයට ගෙන තිබූ බවයි.

ඒවායින් ලද ප්‍රතිඵලවලින් පෙනී ගියේ ඊළඟ වසර දහසක කාලය තුළ දී ඒ මිනිසුන් එඬේර ජීවිතය අත් හැර එක තැන සිට වගාවට හුරු වූ බවයි. වසර 4,000කට පෙර විසූ ජනතාව ඉරිඟු ගැන විශ්වාස තබා ගෙන එය වගා කරන්නට පටන් ගෙන ඇති අතර ඉක්මනින් ම එ් ජනයාගේ ආහාර අවශ්‍යතාවෙන් සියයට 70ක් සපුරා ලීමට ඉරිඟු සමත්වෙලා තියෙනවා. එහිදී සත්ව ප්‍රෝටීන වෙනුවට ඉරිඟුවල ශාක ප්‍රෝටීන ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ලූ බව පැහැදිලියි.

ඉරිඟු ප්‍රධාන ආහාරය බවට පත් වුණා, ජනතාව මහාද්වීපය පුරා ව්‍යාප්ත වෙද්දී. සමාජයේ පවතින සංකීර්ණත්වය, සමාජ අනු පිළිවෙළ, පරිසරයේ පරිණාමය ඇතුළු වෙනස්කම් රාශියක් ඇති වුණා. අධ්‍යයනයෙන් පෙන්වා දුන්නා, මිනිසුන් වැඩි වශයෙන් ඉරිඟු ආහාරයට ගැනීමට පෙලඹුණු බව. සාමූහික ගොවිතැන් කටයුතු නිසා වනාන්තර හෙළිපෙහෙලි කිරීම්, ගිනි තැබීම්, මායාදේශයේ පහත් බිම්වල පාංශු ඛාදනය වැඩි වන්නට පටන් ගත්තා.

ඉරිඟු වගාව ඇමරිකා මහාද්වීප හරහා ව්‍යාප්ත වෙත්ම දුරස්ථ සංස්කෘතීන්, තාක්ෂණයන් හා භාෂාවල සම්මිශ්‍රණයක් ඇති වෙන්න පටන් ගත්තා.

වසර 2000කට පමණ පෙර දැවැන්ත මායා ශිෂ්ටාචාර‍ය බිහි වූයේ ඒ පදනම මතයි. මේ පිළිබඳ කළ අධ්‍යයනය සයන්ස් ඇඩ්වාන්සස් (Science Advances) නම් ජර්නලයෙහි පළ වී තියෙනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments