උඩු ගුවනේ කසළ එකතු කරන්න අමුතු කුණු ලොරියක්!

කසළ ප්‍රශ්නය මහ පොළොවේ ඉන්න අපට හැම තැනක ම තියෙන එකක්. මිනිසා උඩුගුවනට යන්න පටන් ගත්තාට පස්සේ එහෙත් කසළ ගොඩ ගැහෙන්න පටන් අරන්. අපේ පෘථිවිය අවට කක්ෂ ගතව පවතින මේ කුණු කන්දරාව නිසා උඩුගුවනට යන අයට දැන් ලොකු ප්‍රශ්නයක්! ඒකට විසඳුමක් සොයන්න නව රුසියානු සමාගමක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා.

ස්ටාට්රොකට් නම් ඒ සමාගම ඒ සඳහා අපූරු චන්ද්‍රිකාවක් සැලසුම් කරලා තියෙනවා. මකුළුවා දැල දමා සතකු අල්ලා ගන්නවා වාගේ පෙණ විදලා උඩු ගුවනේ කසළ අල්ලා ගෙන ඇද ගෙන අවුත් පෘථිවියේ වායුගෝලය අද්දරට ගෙනත් වායුගෝලයට දෙසට තල්ලු කරන්න මේ අපූරු චන්ද්‍රිකාවට පුලුවන්. එවිට එහිදී ඒවා ඉබේ ම පිළිස්සී යනවා.
 
ස්ටාරොකට් ආයතනය නිපදවන, පෙණ විද කුණු ඇල්ලිය හැකි කුඩා චන්ද්‍රිකාව.

‘ෆෝම් ඩෙබ්රිස් කැච්ර්’ කියා හඳුන්වා ඇති මෙය කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය චන්ද්‍රිකා‍වක්. ඒ තුළ ඇලෙනසුලු පොලිමර් පෙණ විශේෂයක් ගබඩා කර තියෙනවා. ඒ පෙණවලින් තමයි, උඩුගුවන් කසළ අල්ලා ගන්නේ.

ස්ටාට්රොකට් ආයතනයේ උපදේශක ආචාර්ය ඇලෙක්සැන්ඩර් ෂයෙන්කෝ දැන් පවතින තත්වය ගැන කියන්නේ මේ විදියෙ කතාවක්. ‘උඩුගුවනේ කසළ එකතුවීම එන්න එන්න ම වැඩි වෙනවා. දැන් පවතින තත්වය ඉදිරියේ එන ව්‍යාපෘතිවලට ප්‍රශ්නයක් වෙනවා. අභ්‍යවකාශ ගවේෂණවලට වගේම තාක්ෂණික දියුණුවටත් එයින් විශාල බාධා ඇති වේවි.’
රාත්තල් 110 බර මේ ස්වයංක්‍රීය චන්ද්‍රිකාව

‘ඒ නිසා දැන් තියෙන තත්වය අනුව ලොව පුරා සිටින විද්‍යාඥ පරපුරට සිද්ධ වෙනවා, එකට එක් වී මේකට විසඳුමක් සොයන්න. ෆෝම් ඩෙබ්රිස් කැච්ර් (කුණු අල්ලන පෙණ විදිනය) තමයි, දැනට මේ සඳහා ඇති වඩාත් හොඳම වියදම් අඩු ක්‍රමය.’

 ‘දැනට ඇති සෑම තාක්ෂණයක් ම වාගේ යොදා ගෙන තමයි, මෙය තනා තියෙන්නේ. පියවරෙන් පියවර දියත් කරන ඉතාමත් නිවැරදිව ගණනය කොට තැනූ ආදර්ශයන් යොදා ගෙන පෘථිවියේ සිට ක්‍රියාත්මක කරවිය හැකි විධියටයි මෙය තනා ඇත්තේ.’ එයා වැඩිදුරටත් කියනවා.

නිෂ්පාදන ආයතනය සැලසුම් කර ඇත්තේ මේ බැරල් හැඩයේ කුණු අල්ලන පෙණ විදිනය රොකටයක් මගින් උඩුගුවන යැවීමටයි.
සක්වළ යානයක් මගින් මේ රාත්තල් 110ක් බර කුඩා චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන ගොස් මුදා හරිනු අයුරු සිත්තරකුගේ ඇසින්.

රාත්තල් 110 බර මේ ස්වයංක්‍රීය චන්ද්‍රිකාවක් වන මෙය යානයෙන් වෙන් වී ගොස් කසළ වලාවකට ළං වූ විට බූවල්ලකුගේ අඬු වැනි පෙණ ධාරා විද ඒක අල්ලා ගෙන ඇද ගෙන ගොස් පෘථිවි වායු ගෝලය වෙත තල්ලු කරනවා. වායුගෝලයට ඇතුළු වූ විට ඒ කසළ ගිනි ගන්නවා. පෘථිවියට වැටෙන්නේ නැහැ. වායුගෝලය තුළ ම ඉබේ ම පිළිස්සී අළු බවට පත් වෙනවා.

දැනට කසළ කැබලි මිලියන 128කට වැඩි ප්‍රමාණයක් උඩු ගුවනේ පාවෙමින් තියෙනවා. ඇත්තෙන්ම ඒවා බුලට් වේගයෙන් කක්ෂයේ ගමන් කරමිනුයි තියෙන්නෙ. ඉතා වේගයෙන් සැරිසරන මේ කැබලි වැදීමෙන් කෘත්‍රිම චන්ද්‍රිකා, ගු‍වනේ පාවෙන දුරේක්ෂ, අභ්‍යවකාශ යානා ආදිය ඕනෑම එකක් විනාශ වී යා හැකියි. මෙය උඩුගුවනේ දී මිනිසා මුහුණ දෙන භීතිකාවක් හෙවත් මානසික රෝග තත්වයක්. එය හැඳින්වෙන්නේ කෙස්ලර් සංකූලතාව (Kessler syndrome) කියලයි.
මෙවැනි සක්වළ වලාවක් දුටු විට බරල් හැඩයේ කුණු ‘ලොරිය’ විසින් පෙණ දහරක් විදිනු ලබයි.

මේ සංකූලතාව ගැන මුලින් ම අදහස් පළ කළේ 1978දී නාසා විද්‍යාඥයකු වූ ඩොනල්ඩ් කෙස්ලර්. එයින් කියැවෙන්නේ උඩු ගුවනේ පහළ කක්ෂවල, පෘථිවි වායුගෝලයේ රැඳුණු වස්තූන්වල ගහණය වැඩි වූ විට එක්තරා මට්ටමක දී ඒවා පෘථිවියේ සිට උඩු ගුවනට යන අභ්‍යවකාශ යානාවල ගැටීමේ සම්භාවිතාව වැඩි කරන නිසා ඒවා ගැටේ දෝයි යන බිය ගැනයි. එවැනි විටෙක ඒවා ගැටී විනාශ වීම නිසා කසළ ගොඩට තවත් සුන්බුන් එකතු වෙනවා. එවිට පෘථිවියේ සිට අභ්‍යවකාශයට යන අයට අනතුරු සිදුවීමේ අවදානම වැඩි වෙනවා.
පෙණ දහරක් විද අල්ලා ගන්නා කුණු පෘථිවි වායු ගෝල වෙත ගෙන ගොස් මුදා හැරේ.

මෑතදී කරනලද අධ්‍යයනයකින් යෝජනා කෙරුණා, අභ්‍යවකාශයට කසළ එකතුවීමේ අවදානම අඩු කරන්නට චන්ද්‍රිකා උඩු ගුවනට යැවීම සීමා කළ යුතු බවට. ඇමෙරිකාවේ කොලරාඩෝ සරසවියේ පර්යේෂකයන් පෙන්වා දීලා තියෙනවා, කක්ෂගත කරන හැම වස්තුවක් සඳහා ම කක්ෂය පාවිච්චි කිරීමේ ගාස්තුවක් ඒවා යවන්නන්ගෙන් අය කර ගැනීමට හැකි වන ආකාරයේ අන්තර්ජාතික ගිවිසුමක් ඇති කර ගත යුතු බව. එසේ අය කරන ගාස්තුව වසරක් පාසා වැඩි කිරීම සුදුසු බව. එය වසර 2040 වන විට ඩොලර් 2,35,000 පමණ විය හැකි බව. ඒ පර්යේෂණ කණ්ඩායම කියන්නේ පෘථිවි කක්ෂයට වසරක් පාසා කසළ එක්වීම අඩු වූ පසු අවදානම් වියදම පහත හෙළිය හැකි බවයි.

මොනවද මේ උඩු ගුවනේ රැ‍ඳ‍ෙන ‘අභ්‍යවකාශ කසළ’ කියන්නේ ? 
දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට ‘අභ්‍යවකාශ කසළ’ කැබලි මිලියන 170ක් පමණ කක්ෂගත ව පවතිනවා. මේවා අභ්‍යවකාශ ගමන්වල දී අත්හැර දමන ලද ඒවායි. ඒවාට අයත් වෙනවා, අවස්ථා කීපයක දී දල්වා ඉවතලන රොකට් සුන්බුන්වල පටන් රොකට්වල ආලේප කර තිබී ගැලවී ගිය කුඩා තින්ත කැබලි ආදියත්. රොකට් කක්ෂගත කිරීමට උපකාර කරගෙන ඉවතලූ මේ කොටස්වල අගය ඇමෙරිකන් ඩොලර් බිලියන 700ක් පමණ වෙතැයි ගණන්බලා තිබෙනවා.

එවැනි කසළ ගොඩවල් 22,000ක් පමණයි, දැනට හඳුනාගෙන ති‍යෙන්නේ. ඒවායේ ඇති පුංචි කැබැල්ලක් පවා පැයකට කිලෝමීටර් 27,000ක වේගයෙන් තමයි, කක්ෂයේ ගමන් කරන්නේ. ඒ එක පුංචි කැබැල්ලක් වැදුනත් චන්ද්‍රිකාවක් විනාශ වෙන්න පුළුවන්.
සිත්තරකුගේ ඇසින් - පෘථිවිය වටා ඇති වායුගෝලයේ ඉහළ කොටසේ අභ්‍යවකාශ යානාවල සුන්බුන් මේ ආකාරයට භ්‍රමණය වෙමින් පවතිනවා.

සාමාන්‍යයෙන් මහ පොළොව මත දී අප කුණු එකතු කරන සුපුරුදු ක්‍රම එකක්වත් උඩු ගුවනට හරි යන්නේ නැහැ. කුණු උරා (ඇද) ගන්නා රික්ත කෝප්ප යොදා ගන්න බැහැ, මේ කලාපය වාතයෙන් තොර නිසා. දැඩි ශීතල උෂ්ණත්වයක් ඇති නිසා, ගම් ටේප් හෝ මැලියම් ආදිය යොදා ගන්නත් පුළුවන්කමක් නැහැ. චුම්බක යෙදූ ඩැහි අඬුවලින් වුනත් පලක් වෙන්නේ නැහැ, පෘථිවි කක්ෂය අවට කලාපය තුළ චුම්බක අක්‍රිය වන නිසා.

මේ සඳහා කර පිළියම් විසඳුම් අතරින් වැඩිපුර යෝජනා වන්නක් වන කුණු අමුණන හාපූන භාවිය වත් යොදා ගන්න බැහැ. හේතුව හාපූනයක් ඇමිණීමට විනිවිදිය හැකි බලයක් යොදන්න වෙනවා. බැරිවෙලාවත් එය ඇමිණෙන්නේ නැති ව වැදීමත් සමග තල්ලු වී ගියොත් ඒ ආකාශ වස්තුව කොහේ යාවිදැයි සිතා ගත නොහැකි වෙනවා.

විද්‍යාඥයන් කියන්නේ පසුගිය වසරවල උඩුගුවනේදී සිදු වූ අනතුරු දෙකක් නිසා අභ්‍යවකාශ කසළ ගැටලුව තීව්‍ර කළ බවයි. ඉන් ප්‍රධාන අනතුර 2009 දී ඉරිඩියම් ටෙලිකොම් චක්ද්‍රිකාවක් හා කොස්මොස් 2251 නම් රුසියානු හමුදා චන්ද්‍රිකාවක් හදිසියේ ම අනපේක්ෂිත අයුරින් එකිනෙක හා ගැටීමයි. අනිත් එක 2007 දී චීනය විසින් කළ චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලීමට කළ පුපුරුවා හැරීම නිසා ඇති වුණු දෙයක්. ඔවුන් යවපු පැරණි කාලගුණ චන්ද්‍රිකාවක් වූ ‍ ෆෙන්ජියන් පුපුරුවා හැරීම නිසා විශාල සුන්බුන් ප්‍රමාණයක් උඩුගුවනේ විසිරී තියෙනවා. විශේෂඥයන් කියන විධියට මේ සුන්බුන් කසළ ගොඩවල් දෙක විසිරී තියෙන්නෙ ඉතාමත් අනතුරුදායක කක්ෂ පථ දෙකකයි,

ඒ එක කසළ ගොඩක් තියෙන්නේ සැට්නැවි, අයි එස් එස්, චීනයේ මිනිසුන් ගෙන යන මෙහෙයුම් හා හබ්ල් දුරේක්ෂය සමග තවත් ඒවා ඇතුළත් කක්ෂයේයි. අනික් එක ඇත්තේ ජ්‍යොස්ථාපිත කක්ෂයේ. ඒ කියන්නේ චන්ද්‍රිකා ස්ථිරව රඳවා තිබිය හැකි කක්ෂයේ. එහි තමයි, සන්නිවේදන චන්ද්‍රිකා, කාලගුණ හා අවේක්ෂණ චන්ද්‍රිකා රඳවා තබන්නේ. ඒවා පොළොවට සාපේක්ෂව ස්ථිර තැන්වල ස්ථාන ගත කිරීම අවශ්‍යයි, ඒවායින් වැඩ ගන්නට නම්. මේ සුන්බුන් ඒවායේ වැදුණොත් මහ පොළොවේ සිදුවන බොහෝ දේ අඩපණ වෙනවා.
- පර්සි ජයමාන්න

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments