HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තරුණ පරපුර වෙනුවෙන් දෙවියන් වහන්සේ මැවූ අප්‍රමාණ මිනිසා!

ඔහු නිදහස් චින්තකයෙකි; දාර්ශනිකයෙකි; ධර්මධරයෙකි; පූජකවර‍යෙකි; සාහිත්‍යධරයෙකි; දේශ ප්‍රේමියෙකි; භාෂා ලැදියෙකි; ලේඛකයෙකි; සන්නිවේදකයෙකි; අධ්‍යපනඥයෙකි; ගුරුවරයෙකි; කලාකරුවෙකි; ජනතා සේවකයෙකි; දේව පුත්‍රයෙකි. මේ අයුරින් සමාජ මෙහෙවර උදෙසා එතුමා වරින්වර ගත් වෙස් විවිධ ය. ඒවා සියල්ල ම දැක්වීමට ගියහොත් ලැයිස්තුව තවත් දිග ය. ඒ සියල්ල කැටිකොට ගත් විට, ඒ පෝරුතොට පියතුමා ය. එතුමා සිය මෙහෙවර නිමා කොට පසුගිය 16 වැනිදා අප අත හැර ගියේ ය. මිය යන විට එතුමාගේ වයස අවුරුදු 89කි.
පෝරුතොට පියතුමා

1931 අගෝස්තු 31 වැනිදා මාරවිල, පෝරුතොට ගම්මානයෙහි දී අර්නස්ට් ඇලෙක්සැන්ඩර් නමින් උපන් මෙතුමා පෝරුතොටගේ ජෝකීනු ගුරු මහතාගේ සහ කේ. මේරි මාග්‍රට් පීරිස් මහත්මියගේ වැඩිමහල් දරුවා විය. එතුමා 1957 පෙබරවාරි 2 වැනිදා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී පූජත්වරය ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාදිනල්වරයා වූ තෝමස් කුරේ අගරදගුරුතුමන් අතිනි.

පෝරුතොට පියතුමා කිතුනුවනට පමණක් නොව බොදුනු අපටද කිසිසේත් අමතක කළ නොහැකි චරිතයකි. එතුමා සංවිධානය කළ වැඩමුළු, සමිති සංගම්, වැඩසටහන්වලට හා ව්‍යාපෘතිවලට සියලුම ආගම්වල තරුණ තරුණියන්ට සහභාගිවීමට අවස්ථාව සලසා දුන්නේ ය. පත්‍රකලාවේදීන් වන අපට ලිපියක් හෝ විශේෂාංගයක් හෝ අවශ්‍ය වූ හැම වැදගත් අවස්ථාවකදී ම උන්වහන්සේ ඒ සඳහා නොපැකිලව ඉදිරිපත් වූහ. අවිවේකී යයි කියා කිසිවිටෙකත් අපට අවස්ථාව නොදී සිටියේ නැත.

පෝරුතොට පියතුමා ගැන මට මුලින් ම අසන්නට ලැබුණේ අප සමඟ සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ බෙනඩික්ට් දොඩම්පෙගම මහතා ගෙනි. පෝරුතොට පියතුමා විසින් ලතින් බස වෙනුවට පල්ලියේ කටයුතුවලට සිංහල බස යොදා ගැනීම, සිංහල කම, දේශීයත්වය, සිංහල චාරිත්‍රවාරිත්‍ර පල්ලියට වැද්ද ගැනීම, නිදහස් දින උළෙලක් පැවැත්වීම වැනි පෙරළිකාර ක්‍රියා ගැන දොඩම්පෙගම මහතා ඉමහත් පැහැදීමකින් කතා කළ නිසා පෝරුතොට පියතුමා කෙරෙහි මා තුළ ගෞරවණීය හැඟීමක් පැවතුණි.

පෝරුතොට පියතුමා පිළිගැනීමේ උළෙලකදී

මෙයට දසක පහකට පමණ පෙර මා සරසවිය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කරන කාලේ ගාමිණී ෆොන්සේකා පිළිබඳ ව අමුතු දෘෂ්ටි කෝණයකින් ලියූ විශේෂාංග ලිපියක් ගැන ප්‍රශංසා කරන්නට එතුමන් දුරකථනයෙන් කතා කළා මට අද වාගේ මතක ය. ‘ඔබ අපූරු ලිපියක් ලියා තිබුණා. මෙවර සරසවියට, ‘‘ගාමිණී තරුවක් නොවෙයි, නළුවෙක්” කියලා. ඒ ගැන පසසන්නයි මේ කතා කළේ’ එතුමෝ කීහ. ඉන් මා විමතියට පත් වූයේ එය මගේ නමින් පළ වූවක් නොවූ නිසා ය. එම පුවත්පතේ ම වෙනත් ප්‍රධාන ලිපියකට මගේ නම යොදා තිබූ නි‍සා එම ලිපිය පත්‍රයට සැකසූ ධර්මදාස බොතේජු මහතා (පසු ව සරසවිය කර්තෘ වූ) ‘ජන’ නමින් අන්වර්ත නාමයක් යොදා එය පළ කර තිබුණේ මටත් නොකියා ම ය. ‘ස්වාමි, කොහොමද දන්නේ ඒක මගේ බව. ඒක මගේ නමින් නොවෙයි නොවැ පළ වුණේ.’ මම ඇසුවෙමි. ‘මම විමලසිරි ගෙන් (එවකට කර්තෘ විමලසිරි පෙරේරා මහතා) දැන ගත්තේ! ඒක ගාමිණී ගැන කරපු අව්‍යාජ ප්‍රකාශයක්, එක් අතකට ඔහු ගැන කළ සුුවිශේෂ අගැයීමක්, ඒ වගේ ම පැසසීමක්. තවත් ඒ වගේ දේ ලියන්න! තවත් දෙයක්, අපි චිත්‍රපට වාර්ෂිකයක් කරනවා. ඒකටත් ලියන්න. මං සුසන්තට කියන්නම් ඒ ගැන කථා කරන්න. එතුමෝ කී හ. ඒ අනුව මම ලෝක සිනමාව ගැන දීර්ඝ විවරණයක් එතුමන්ගේ මූලිකත්වයෙන් පළ කළ චිත්‍රපට වාර්ෂිකයට ලියා දුනිමි.

මට පෝරුතොට පියතුමා හමු වූ අමතක නොවන ඊළඟට අවස්ථාව උදා වූයේ සරසවිය චිත්‍රපට සම්මාන උළෙලක අවසන් දින උත්සවය හා මතු වුණු අනපේක්ෂිත බාධාවක් හේතුවෙනි. සරසවිය චිත්‍රපට සම්මාන උළෙල සඳහා අප සැලසුම් කළ ප්‍රාසාංගික උළෙලට දෙසතියක් තිස්සේ පුහුණ වීම් පැවති අතර එවර උළෙලේ ප්‍රධාන ආකර්ෂණය වූ ‘මහා ගායකයා’ උළෙලට සිවු දිනක් තියා සංගීතය මෙහෙය වූ සංගීතඥයා සහභාගි වන්නේ නම් තමා ඊට සහභාගි නොවන බව කියා සිටීම ය. ඒ ඔවුන් දෙදෙනා අතර හදිසියේ හටගත් විරසකයක් නිසා බව පසුව අපට දැන ගන්නට ලැබුණි. දෙසතියක් තිස්සේ පුහුණවීම් කළ වෙනත් අංග ගණනාවක් තිබූ නිසා එය කිසිසේත් කළ නොහැක්කක් විය. කෙතෙක් ඇවිටිලි කළත් මහා ගායකයා නම්මවා ගැනීම කළ නොහැකි විය. ඔහු වෙනුවෙන් වෙනත් වාදක මඬුල්ලක් යෙදවීමට සංගීතඥයාද කැමති වූයේ නැත. සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා අවසානයේ මහත් සේ කැළඹීමට පත් වී සිටියේ ය.

‘අපි සුනිල් සාන්තයන්ව ගෙන්න ගන්න බලමුද?’ මම එතුමන් අස්වසන ගමන් කීවෙමි.

‘එයා කැමතියි වෙයිද?’ කතු තුමා ඇසුවේ ය. ‘අවුරුදු ගාණකින් වේදිකාවට නැග්ගෙ නැතුව එක පාරටම එයා මේකට කැමතිවෙයිද?’

‘අපි පෝරුතොට පියතුමාට කියමු. එතුමා අපට ඒකට ක්‍රමයක් හදලා දේවි.’ මගේ යෝජනාවට අනුව සරසවිය කතු තුමා, ඔබ්සර්වර් පත්‍රයේ විශේෂාංග කර්තෘ ඩී.සී. රණතුංග මහතාත් සිළුමිණ කර්තෘ එස්. සුබසිංහ මහතාත් සමග ඒ ගැන කතා බස් කොට පෝරුතොට පියතුමාට ඒ බව දැන්වී ය. එතුමා කිසිදු පැකිලීමක් නැතිව, ‘එන්න අපි අයිවෝත් එක්කම ගිහින් කතා කරමු.’ කීවේ ය. ඒ අනුව අපි එතුමා හමුවීමට එවේලේ ගියෙමු.

සුනිල් සාන්තයෝ මුලදී අකමැත්ත පළ කළහ. එහෙත් පෝරුතොට පියතුමාත් අයිවෝ ඩෙනිසුන් ගේත් බලවත් ඇවිටිල්ල මත ඊට එකඟ වූ හ. එයද කොන්දේසි කිහිපයක් ඇතුව ය. ආලෝකය පාලනය කළ වේදිකාවක අඩ අඳුරේ අයිවෝ සමග එක්ව ගී ගැයීමට ඔහු එකඟ විය. එසේ ම ඔහු වේදිකාවේ සිටින කාලය තුළ ආලෝක ධාරා එල්ල නොකිරීමටත්, ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරයක් නොදීමටත් අපට එකඟ වීමට සිදු විය. ඒ කොන්දේසි අපට ආශිර්වාදයක් විය. අපි සුනිලුන් ගී ගැයීමට එන බව ද රහසක් වශයෙන් තබා ගතිමු. අවසානයේ දී අපේ නිවේදකයා සුනිලුන්ට තුති පුදන විට ශාලාව ගිගුම් දෙන අත්පොළසන් හඩක් නැඟුණේ ය. ඒ සමග එවර සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වූ ඩඩ්ලි සේනානායක අගමැති තුමා හුනස්නෙන් නැඟිට වේදිකාවට නැඟ තමාගේ ප්‍රියතම ගායකයා වූ සුනිලුන් වැළඳ ගත්තේ සිය බලවත් ප්‍රසාදය පළ කරමිනි. එදා, 1968 අප්‍රේල් 25 වැනිදා කොළඹ කාන්තා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති පස් වැනි සරසවි සම්මාන උළෙලට අලෝකයක් ගෙනා ඒ අසිරිමත් සිදුවීම පෝරුතොට පියතුමාගේ ආශිර්වාදය නිසා සිදුවූවකි. ‍

එතුමා යළිත් මට කතා කළේ මහනුවර පැවති සිනමා සම්මන්ත්‍රණයක සම්පත් දායකයකු වශයෙන් මගේ සේවය ලබා ගන්නට ය. කතෝලික මාධ්‍ය පර්ෂදය සංවිධානය කළ ඒ සම්මන්ත්‍රණය පැවැත් වුණේ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේදී ය. එතුමා මට ලබා දුන් මාතෘකාව ‘අනාගත සිනමාවට එල්ලවන අභියෝග’ යන්න ය.

ඒ සම්මන්ත්‍රණය පැවතියේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේදී වූ බැවින් ඊට සාපේක්ෂව ඉදිරියේදී සිදු විය හැකි වෙනස්කම් ගැන කතා කරද්දී එවකට පැවති සිනමා තාක්ෂණය අබිබවා වීඩියෝ තාක්ෂණය ඉස්මතු වන බව කීවෙමි. වීඩියෝ කැමරාවකින් එසැණ රූ ගත කර එසැණ ම පෙන්විය හැකි වීම නිසා එය ප්‍රවෘත්ති සන්නිවේදකයන් වශයෙන් අපටත් බලපෑමක් එල්ල විය හැකි බැව් කීවෙමි. නිදසුනක් වශයෙන් ඊට කලින් සතියේ ඇමෙරිකානු ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති සමුළුවකදී වීඩියෝ කැමරාව හඳුන්වා දෙමින් එහි සිදු වූ දෑ එවේලේ ම පටිගත කර ඊට සහභාගි වූ අයට පෙන් වූ ආකාරය විස්තර කෙළෙමි. ඊට පෙර ඔවුන් අසා නොතිබුණු දෙයක් වූ නිසා ඒ වචනය ඉංග්‍රීසියෙන් ලියන ආකාරය පවා ඊට සහභාගි වූ පියතුමෙක් විමසී ය. දේශනය අවසානයේ දී මට ප්‍රසංශා කළ පෝරුතොට පියතුමා, ‘අපි අපේ පාඨමාලාවට වීඩියෝ තාක්ෂණයත් ඇතුළු කර ගනිමු.’ යයි කී හැටි මට අද වගේ මතකය.

සිග්නිස් ටෙලිසිනේ සම්මාන උළෙලක දී

ලේඛකයකු වශයෙන් පෝරුතොට පියතුමා ආන්දෝලනාත්මක ග්‍රන්ථ රැසක් ලියා පළ කොට ඇත. ‘වෘත්තීය සමිති ගමන් මග’ (1956), ‘කිතුනු පෙරළිය’ (1960), ‘ගිහියා’ (1964), ‘භව්‍යවාදය හා ලංකාව (1965) ඉන් කීපයකි. එතුමා ‘වෘත්තීය සමිති ගමන් මග’ පළ කළේ 1956 දී අගමැති බණ්ඩාරනායක මහතා මැයි 1 වැනිදා කම්කරු දිනය ලෙස නම් කොට කම්කරුවන් වෙත විශේෂ අවධානයක් යොමු කළ අවස්ථාවේ දී ය. එපමණක් නොව එතුමා කම්කරු අයිතිය ගැන දෙව්මැඳුරේදී කතා බහට ලක් කළේ ය. ආගමික සේවාවනට අමතරව පොදු සමාජ ප්‍රශ්න ගැන ද සාකච්ඡා කරන්නට ගිහියන් පෙලඹවීය.

1964 දී ‘ගිහියා’ කෘතිය පළ කරමින් පෝරුතොට පියතුමා කතෝලික සභාවේ පූජකවරුන්ගේ හා ගිහි බැතිමතුන්ගේ වගකීම හා ක්‍රියා භාරය කෙබඳු විය යුතුදැයි මැනවින් පෙන්වා දුන්නේ ය. කතෝලික සභා නායකයන්ගේ වගකීම, ආගමක් අදහන පිරිසක් තැනීමට වඩා, සමාජ සාධාරණය හා රටේ සමගිය පවත්වා ගෙන යා හැකි, සහජීවනය ඇති කළ හැකි, රටේ එකමුතුව තැනීමට යොමු කළ හැකි පරපුරක් තැනීම බව පහදා දුන් එතුමා ගිහියනට, පල්ලියෙන් පිට කළ හැකි සමාජ හා ආගමික කාර්යයන් රැසක් ඇති බවද පෙන්වා දුන්නේ ය. උන් වහන්සේ නිතරම පැවසුවේ, ‘ගිහියා පූජක රූකඩයක් ද වහලෙක් ද නොවේ’ කියා ය.

1964 දී එතුමන් ලියූ ‘සුරාව’ බීමත්කම හා බේබදුකම ගැන කළ විග්‍රහයක් විය. ප්‍රංශ ජාතික ෂෝන් පෝල් සාත්‍රෙගේ සංදෘෂ්ටික වාදය අපේ සාහිත්‍යය කෙරෙහි බලපෑ අයුරු විග්‍රහ කෙරෙන ‘භව්‍යවාදය හා ලංකාව’ (1965) කෘතිය එතුමාගේ විචාරශීලී බවට හොඳ නිදසුන් ය.

පෝරුතොට පියතුමා තරම් දරුවන්ට, තරුණන්ට අත හිත දුන් තවත් අයෙක් නැති තරම් ය. එහිදී එතුමන් ආගම, ජාතිය, වර්ගය, තරාතිරම නොසැලකුවේ ය. ඔහුගේ මග පෙන්වීම අනුව ලෝකයට එක්ව ජගත් කීර්තියට පත් තරුණයන් රාශියක් සිටින අතර ඉන් කැපී පෙනෙන එක් අයෙක් ලෙස ආචාර්ය බෙනිල් ප්‍රියංක දැක්විය හැකි ය. මහාචාර්ය පරණවිතාන සූරීන්ගෙන් පසු සීගිරි කුරුටු කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කළ ඔහු ලියූ Recently Deciphered Records from the Mirror Wall at Sigiriya නම් පර්යේෂණාත්මක ග්‍රන්ථයට, වසරේ විශිෂ්ට ඉංග්‍රීසි ශාස්ත්‍රීය කෘතිය ලෙසින් 2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණු අවස්ථාවේ දී ඔහුට ඒ සම්මානය ලැබුණේ පෝරුතොට පියතුමන්ගේ ආශිර්වාදය නිසා බව අප සමඟ පැවසීය.

ඔහු නව වැනි වසරේ ශිෂ්‍යයකුව සිටිය දී පෝරුතොට පියතුමන්ගේ පුස්තකාලයේ තිබූ මහාචාර්ය පරණවිතාන සූරීන්ගේ සීගිරි කුරුටු ගී විග්‍රහ කරමින් ඉංග්‍රීසියෙන් ලියූ ග්‍රන්ථය දක්නට ලැබුණු බවත් ඒ පිළිබඳ පියතුමන්ගෙන් විමසූ විට එතුමන් ඒ ගැන දීර්ඝ විස්තරයක් කළා පමණක් නොව ඒ පොත් කියවීමට අවස්ථාව සලසා දුන් බවත්, එතැනින් නොනැවතුණු එතුමා තමාට සීගිරියට යාමට අවස්ථාව උදා කරදුන් බවත්, තමා පුරාවිද්‍යාවට යොමු වූයේ ඉන් ලැබුණු උත්තේජනය නිසා බවත් කීවේ ය.

1970 දෙසැම්බරයේ සිදු වූ හය වන පාවුළු පාප්තුමාගේ ලංකා සංචාරය නිමිත්තෙන් රජයෙන් පළ කරන්නට යෙදුණු ‘කතෝලික සමාජ දර්ශනය’ නමින් යුත් වෙළුම් දෙකකින් යුත් කෘතිය ජයලත් බලගල්ල පියතුමාගේ ද සහය ඇතිව සංස්කරණය කරන ලද්දේ පෝරුතොට පියතුමන් විසිනි. පාප් වහන්සේ පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ සැරසීමේ කාර්යය පැවරුණේ ද පෝරුතොට පියතුමාට ය. එය සිංහල දේශීය ඌරුවට ඉටු කරගනු වස් පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන්ගේ සහය ලබා ගත්තේ ය. එදා කටුනායක ගුවන්තොටුපොළෙහි ඉදිකළ රැලි පාලම්, නෙළුම් මල්, පොල් තෙල් පහන් ආදියෙන් සැදුම්ලත් විශේෂ වේදිකාවකින් අලංකෘත වූ අතර පාප් වහන්සේ බැතිමතුන් ඇමතුවේ එහි සිට ය.

1990 දී මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර තහනම් කරවා ගැනීමට ඇතැම් පූජකවරුනට අවශ්‍ය විය. ඊට හේතු වශයෙන් ඔවුන් දැක්වූයේ එහි ක්‍රිස්තුස්වහන්සේ ගේ චරිතය රඟපෑ නළුවා ඒ සඳහා නුසුදුසු අයකු බව ය. එහි රඟපෑවේ සුප්‍රකට නළු විජය කුමාරතුංග ය. ඔහු කතෝලිකයකු වූවත් විවාහයේ දී පල්ලිය නොසලකා හැරීමෙන් ඔහු ආගමට නිගා කර ඇති නිසා ඔහු එහි රඟපෑම ක්‍රිස්තුස්වහන්සේට කළ නිගරුවක් ලෙස ඔවුහූ දුටුවහ. ඒ නිසා මේ කතෝලික විරෝධය චිත්‍රපට පාලක මණ්ඩලයට දන්වා එය තහනම් කරවා ගැනීමේ කටයුත්ත එවකට කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) සභාපති ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාටය.

ඒත් එතුමා ඒ සිනමා පටය සම්බන්ධයෙන් සිටියේ වෙනම ස්ථාවරයක ය. එනම් නළුවාගේ ආගම, ජාතිය, විවාහය කෙබඳු වුවත් ඔහුගේ නිරූපණය තුළින් චරිතයට සාධාරණයක් ඉටුකර ඇත්නම්, නම් එය ප්‍රතික්ෂේප නොකළයුතු බව ය. ඒ නිසා ඉන් කෝපයට පත් ඔවුහූ පෝරුතොට පියතුමාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යෙදූහ. විනය පරීක්ෂණයට පෙර ඒ පරීක්ෂණය පවත්වන කාමරයට රූපවාහිනියක් හා වීඩියෝ ප්‍රතිවාදන යන්ත්‍රයක් සවි කර වීය.

පෝරුතොට පියතුමා විනය පරීක්ෂණ මණ්ඩලය වෙත ගියේ ලොව පුරා ඒ වන තෙක් ක්‍රිස්තු චරිතය අළලා නිපදවූ හොඳම චිත්‍රපට කිහිපයද සමඟ ය. මණ්ඩලයෙන් අවසර ගෙන ඒ චිත්‍රපට කොටස් එකින් එක පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ දිග හැරියේ ය. ඒ දර්ශන නරඹා පරීක්ෂණ මණ්ඩලය ඒවා මහත් සේ අගය කළහ. තමන්ට ඒවා නරඹන්නට සැලැස්වීම ගැන මහත් සේ පෝරුතොට පියතුමාට ස්තුති කළහ. නිහතමානීව ඊට ප්‍රතිචාර දක්වමින් පෝරුතොට පියතුමා එදා මෙසේ කරුණු දක්වා තිබේ.

"ඔය පළමුව බැලූ චිත්‍රපටයේ මරියතුමියට රඟපෑ නිළිය දෙපාරක් දික්කසාද වෙලා, තුන් වෙනි වතාවට විවාහ වෙලා ඉන්නෙ. ඔය දෙවැනි චිත්‍රපටයේ ජේසුතුමාට රඟපාන නළුවා කතෝලිකයෙක් නොවෙයි. විවාහ නොවී පවුල් කන කෙනෙක්. ඔය තුන්වැනි චිත්‍රපටයේ මරිය තුමීට රඟපෑ නිළියට විවාහ නොවීම දරුවෙක් ඉන්නවා. ඔය අනිත් චිත්‍රපටයේ ජේසුතුමාට රඟපෑ නළුවා මුස්ලිම් ජාතිකයෙක්. ඔය ඊළඟ චිත්‍රපටයේ මරිය තුමීට රඟපෑ නිළිය ගබ්සා දෙකක් කරගත් කෙනෙක්...." ආදී වශයෙන් එතුමා කළ විස්තරය අතරතුර, විනය පරීක්ෂණය පසෙකැලා තමන්ට විවිධ වැඩ ඇති බව දක්වමින් රදගුරුවරුන් එකිනෙකා නැගිට ගිය බවක් ඒ දවස්වල කතා බහට ලක්ව තිබුණේය.

1970 දී අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානයේ (OCIC) ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට එතුමා පුරෝගාමී විය. ඉන් සිංහල සිනමාවට අනූපමේය මෙහෙවරක් ඉටු විය. සිංහල සිනමාවේ නියුතු කලාකරුවනට හා ශිල්පීනට ඔවුන්ගේ මෙහෙය අගයනු වස් උත්තමාචාර උළෙලක් වසරක් පාසා පවත්වනු ලැබී ය. සිංහල සිනමාව පිළිබඳ වැඩි ම ප්‍රකාශන සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ද එම සංවිධානයෙනි. ලෝක සිනමාවේ විශිෂ්ට කෘතීන් මෙහි ගෙන්වා තරුණ පරපුරට නොමිලයේ නැරඹීමට අවස්ථාව සැලැස්වීය. චිත්‍රපට ලේඛක හා විචාරක සංගමයක් පිහිටුවීමට ද එතුමා පුරෝගාමී විය. සිනමාවේ උන්නතියට මෙපමණ සේවාවක් කළ වෙනත් අයකු අප අතර නැත.

දැන් විශ්ව විද්‍යාලවල සිනමා හා රූපවාහිනී පාඨමාලා ආරම්භ කර ඇතත් මීට දශක කීපයකට පෙර තරුණ පරපුර වෙනුවෙන් එවැනි පාඨමාලා ආරම්භ කිරීමට තරම් එතුමා දූරදර්ශී විය. මෙරට රූපවාහිනිය ආරම්භ වන විට ඒ විෂය පිළිබඳ තාක්ෂණික දැනුමෙන් පිරුණු පරපුරක් එතුමා විසින් බිහි කර තිබුණේ ය. අද සෑම තැනකම විසිර සේවය කරන්නේ ඒ පරපුර ය.

පෝරුතොට පියතුමන්ගේ අවමඟුල් උළෙල පසුගිය ජූනි 18 වැනිදා කළුතර පිලිප්නේරි දෙව්මැඳුරේ පැවැත්විණ. උන්වහන්සේට උපහාර පිණිස කිරිමැටියාගාර මාධ්‍ය සංසදය නිර්මාණය කළ බැනරයක තිබූ පාඨයකින් මේ සටහන නිමා කිරීමට කැමැත්තෙමි.

 
එහි සිංහල අරුත ‘දෙවියන් වහන්සේ එතුමන් මැවූහ. එතුමෝ අප මැවූහ.’ ඒ වැකිය ඒ කිරිමැටියාගාර මාධ්‍ය සංසදයට පමණක් නොව, සිංහල සිනමා ක්ෂේත්‍රයේ, පමණක් නොව, රූපවාහිනී, පුවත්පත් ඇතුළු සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සේවය කරන සමස්ත සන්නිවේදකයන්ට පොදුවේ භාවිත කළ හැකි කියමනකි.
 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments