HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වීර කැප්පෙටිපොළගේ අවසන් මොහොත ඉංග්‍රීසි වෛද්‍යවරයකුගේ ඇසින්.

අපේ රට ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා ලද කාලයේ සිටි ඔවුන්ට එරෙහි ව සටන් කළ වීරයින් අතර මුල් තන්හිලා සලකනු ලබන කැප්පෙටිපොළ මොනරවිල ගේ අවසාන මොහොත ඇහින් දුටු සාක්ෂිය මෙයයි. මීට වසර 205කට පෙර සිදු වූ ඒ සිදු වීම අති විචිත්‍ර එකකි. සාක්ෂිකාරයා ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය වරයෙකි. ඉංග්‍රීසින්‍ ගේ පාර්ශ්වයේ අයකු වුවත් මධ්‍යස්ථ වාර්තාකරුවෙකි. කැප්පෙටිපොළ ගේ අවසන් මොහො‍ත තෙක් එහි රැඳී සිටි ඔහු ඒ වීරත්වය ඉස්මතු කරන්නට තවත් චරිත දෙකක් යොදා ගනියි. ඒ, මඩුගල්ලේ හා සර් විලියම් වොලස් ය. අපේ වීරයකු ගේ අවසන් මොහොත හා බැඳුණු එකම ඇහින් දුටු සාක්ෂිය ‍මෙය වෙනවාට සැකයක් නැත.
කැප්පෙටිපොළ වීරයා

කැප්පෙටිපොළ සහ මඩුගල්ල 
1815 දී ඉංග්‍රීසීන් උඩරට පළාත් අයිති කරගත් විට මොනරවිල හෙවත් කැප්පෙටිපොළ (මෙය සාමාන්‍යයෙන් ඔහු සඳහා භාවිත වූ නාමයයි.) ඌව පළාතේ දිසාපති පදවියට පත් කරන ලදී. ඔහු 1817 දී කැරලිකාරයන්ට එක් වන තෙක් ඒ පදවිය දැරීය. ඇහැළේපොළ ගේ සොහොයුරියක ගේ පුතකු වූ හෙයින් උඩරට ඉතා ධනවත් හා බලවත් පවුල් හා ඥාති සම්බන්ධකම් ඔහුට තිබිණි. මහනුවරට පැමිණි විට නතර වූයේ ඇහැළේපොළ සමඟ ය. කැප්පෙටිපොළ නිලමේ ඇහැළේපොළ වලව්වේ නැවතී සිටිය දී ග්‍රන්ථ කර්තෘ වෛද්‍යවරයකු වශයෙන් ඉඳහිට ඔහු හමු විය. ඔහු යුරෝපීයයන් හා ආශ්‍රය කිරීමේ දී ද අන් සියලුම උඩරට නිලමේවරුනට වඩා අවංක හා ප්‍රියශීලී විය. මෙබඳු අවස්ථාවන්හිදී ඔහු ගේ ඉරියව් ශෝභන හා ශිෂ්ට විය.

කැප්පෙටිපොළ එ තරම් උසස් බුද්ධිමතකු ලෙස නම් දරා නොසිටි නමුදු කැරැල්ලේ පිළිගත් නායකයා ලෙස ඉංල්‍රීසීන් විසින් සලකනු ලැබී ය. රාජ්‍ය ප්‍රතිරූපකයාගේ පළමු වන අදිකාරම් පදවිය පිළි ගැනීමෙන් ප්‍රිතාන්‍ය අධිපත්‍යයට විරුද්ධ ව කැරුණු මේ සටනේ මූලිකයා තමා ය යි ඔහු සැලකූ බව පෙනේ.

මොනරවිල කැප්පෙටිපොළ - ආලේඛ්‍ය චිත්‍රය ප්‍රසන්න වීරක්කොඩි‍ ගේ ය.

නීත්‍යනුකූල ව පිහිටුවන ලද මහ රජතුමාණන් ගේ රජය පෙරලීම සඳහා යුද්ධ කිරීමේ චෝදනාවට මුහුණ දෙන පිණිස (1818 නොවැම්බර් මස 13 වැනි දින) යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලද ඔහුට මරණ දඬුවම නියම විය. මරණයට නියම ව සිර ගෙයි සිටිය දී ඔහු බැලීම සඳහා ඔහු ගේ ඉල්ලීම පිට ග්‍රන්ථ කර්තෘ කීප වරක් ගියේ ය. ඔහු නිතරම පාහේ ක්‍රියා කළේ ශාන්ත භාවයෙනි. එක් අවස්ථාවක ඔහු තම ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු, අපිරිසුදු රෙද්ද විදහා පා, ‘මා ඇඳීමට පුරුදු ව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නෙහි ය’ යි සිනා සෙමින් කී ය. කැරැල්ල ගැන කතා කිරීමට අකැමැති නො වී ය. අප භටයන්ට විරුද්ධ ව එල්ල කරන ලද බොහෝ පහරදීම්වලට සම්බන්ධ ය යි ඇතැම් විට පිළිගත් ඔහු තමා වෙත ආරෝපණය කැරුණු දෝෂ දුර්වල කිරීමට හෝ තම තත්ත්වය පැහැදිලි කිරීමට හෝ තැත් ‍කෙළේ ය. කරුණු දෙකක් සම්බන්ධයෙන් තමා වරදකරු ය යි ඔහු පිළිගත්තේ ය. පළමුු වැන්න නම් ව්‍යාජ රජු ගෙන් පළමු වැනි අදිකාරම් පදවිය පිළිගැනීමයි. දෙ වැන්න නම් සැප්තැම්බර් මස 20 වැනි දිනට පෙර යුද්ධායුධ භාර දෙන කැරලිකාරයන්ට සමාව දෙන බව ප්‍රකාශිත ප්‍රකාශ පත්‍රයක් ප්‍රසිද්ධ කැරුණු විට යටත් නොවීම යි. තම මරණ දඬුවම, පිටුවහල් කිරීම බවට වෙනස් කරනු මැනැවැ යි ඔහු කීප වරක් ඕනෑකමින් ඉල්ලා සිටියේ ය. මේ සඳහා ඔහු රොබට් බ්‍රවුන්රිග් ගෙන් ඉල්ලා සිටින සේ සෝවර්ස් මහතාට දන්වනු මැනැවැ යි ඔහු ග්‍රන්ථ කර්තෘට කී ය. දුකින් පිරී පවත්නා නමුත් ජීවිතය සුන්දර ය යි ඔහු පැවසී ය. තමා අවාසනාවන්තයෙකැ යි කතාබහේ දී සඳහන් කළ නමුත් අවාසනාවන්ත තත්ත්වය තමා අනුගමනය කළ ප්‍රතිපත්තියේ හා එය අසාර්ථක වීමේ ප්‍රතිඵලයෙකැ යි පිළි ගැනීමට ඔහු මැළි විය. ඔහු දෘඪ බෞද්ධයෙක් වූයේ තම වර්තමාන දුර්භාග්‍යය අතීත භවයක කරන ලද පාපයෙහි ආදීනව ය යි සැලකී ය. මේ වූකලී මේ ජීවිත කාලය තුළ කරන ලද වැරැදි පිළිබඳ ව වගකීමක් නැතැ යි පැවැසෙන විශ්වාසයකි.

මරණය 
කැප්පෙටිපොළ, මඩුගල්ලේ යන දෙ‍ දෙන ඔවුන් ගේ ම ඉල්ලීම පරිදි නොවැම්බර් මස 25 වැනි දින අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවා ගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළ ගේ ඉල්ලීම හා සර් රොබට් බ්‍රවුන්රිග් උතුමාණන් වහන්සේ ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේ දී ඔහුට මුණගැසිණි. භික්ෂූන්වහන්සේ අභිමුඛයෙහි, වැඩ හිඳින ගබඩාවේ එළිපත්ත මත දණ ගසා ගත් නිලමේ තමා භික්ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුද පූජා වැනි තම ජීවිත කාලය තුළ කරන ලද ප්‍රධාන පුණ්‍ය ක්‍රියා ද අනෙක් ධාර්මික ක්‍රියා ද විස්තර කෙළේ ය. ඊළඟට ඔහු ගේ ප්‍රාර්ථනය ඉදිරිපත් කෙළේ ය. ඊ ළඟ ආත්ම භවයෙහි හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා යන්න යි. මෙයින් පසු භික්ෂූන් වහන්සේ ඔහු ඇමතූ සේක. එ තුමෝ ආවේග බහුල ස්වරයකින් හා ලීලාවකින් ඔහු ගේ පුණ්‍ය ක්‍රියා මහත් ඵල මහානිශංසදායක ය යි පවසා ආශංසනයකින් සිය දේශය අවසන් කළෝ ය. එහි අවසාන වචන මෙ සේ ය: ‘අහසට දැමූ ගල් කැටයක් නැවත පොළොවට පෙරළා එන්නේ යම් සේ ද එ සේ ම ඔබ කළ පින් මහිමයෙන් ඔබ ඊළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ට විපාක ලැබීම එකාන්ත ය.’ නිලමේ හා භික්ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය. මෙ තෙක් දණ බිම ඔබා සිටි නිලමේ නැගිට සෝවර්ස් මහතා දෙසට හැරී, ‘ම-ගේ අවසන් පින්කමෙන් ලත් පිනින් කොටසක් ඔබට අනුමෝදන් කරවමි’ කියා ඉණේ ඔතාගෙන සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට එය අපිරිසුදු වැරහැල්ලක් නමුත්, ‘මා සන්තක එක ම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නො‍ වේ’ ය යි සරදම් සහගත ව පැවසී ය. ඉනික්බිති වද බිමට තමා හා කැටුව එන ලෙස සෝවර්ස් මහතා ගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස ප්‍රතික්ෂේප කරන ලදී.

මඩුගල්ලේ වන්දනාමානාදිය පැවැත්වූයේ ද මෙයට සමාන ලෙසිනි. ඔහු යුද්ධ භූමියෙහි දී අභීත ලෙස ක්‍රියා කළ නමුත් මේ අවස්ථාවේ දී බලවත් සේ කැළඹිණි. භික්ෂූන් වහන්සේ පුණ්‍යානුමෝදනාව නිම වූ ඔහු වැඩ හිඳින ගබඩාවට පැන දළදා වහන්නේසේ ගේ නාමයෙන් සමාව ඉල්ලා සිටියේ ය. සහකාර මුලාදෑනි ලයිතන් මැකන්සි මුරකරුවන් කීප දෙනකු ගේ සහාය ඇති ව ඔහු කරඬුවෙන් මෑතට ඇදගත්තේ ය. උදාර ස්ථිරසාර භාවයෙන් හා ශාන්ත භාවයෙන් හැසුරුණු කැප්පෙටිපොළ, තම සගයා ගේ නියාලුකම ගැන අතිශයින් මවිත ව, ‘මඩුගල්ලේ මෝඩයකු ලෙස ක්‍රියා කළේ ය’යි සන්සුන් ලෙස පැවසි ය. ඉන් පසු කැප්පෙටිපොළ ස්ථිර හා තැන්පත් ලෙස සෝවර්ස් මහතාට අතට අත දී සමුගත්තේ ය.

සිරකාරයෝ දළදා මාලිගාවට සැතැපුමක් පමණ ඈතින්, බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලද හ. මෙහි දී වතුර සපයන ලෙස හිරකාරයන් ඉල්ලා සිටින ලදුව එ සේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩ දෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කෙළෙන් එයට අවස්ථාව සලසන ලදි. හිරකාරයෝ මුහුණු හා අත් දෝවනය කළ හ. මෙයිනික්බිති කැප්පෙටිපොළ තම හිස කෙස් කොණ්ඩයක් කොට බැඳ කුඩා පඳුරක් ළඟ වාඩි වෙමින් එය පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණ රෙදි පට අතරින් කුඩා බණ පොතක් ගෙන ගාථා කීපයක් කියවා එය එහි ස්වදේශික නිලධරයකුට දෙමින් (සෝවර්ස් මහතා රජයේ ඒජන්ත තැන හා කැප්පෙටිපොළ ඌව දිසාවේ ලෙස) බදුල්ලේ සේවය කළ කාලයේ දී තමන්ට දැක් වූ මිත්‍රත්වය හා කාරුණ්‍යය පිළිබඳ කෘතඥතා පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කී ය.

නිලමේ පාලි ගාථා ගයමින් සිටිය දී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටි පසට ගැසී ය. ඒ මොහොතේ දී අරහං යන වචනය ඔහු ගේ මුවින් පිට විය. මෙය බුදුනට යෙදෙන නමෙකි. දෙ වැනි පහරින් ප්‍රාණය නිරුද්ධ ව මෘත කලේබරය වැටුණේ ය. ඔහුගේ හිස කඳින් වෙන් කොට උඩරට සිරිත අනුව ළය මත තබන ලදි. 

මඩුගල්ලේ දිගට ම දැක්වූයේ බියසුලුකමකි. ඔහුට තම හිස කෙස් බැඳ ගත නොහැකි වූයෙන් එය කරන ලද්දේ හිරගෙදර කන්කානම විසිනි. ඔහු ගේ මුහුනේ මාංශ පේශීන් ගේ කම්පනයෙන් හිතේ කැළඹිල්ල ප්‍රකාශ විය. එක පහරින් මරන ලෙස ඉතා ඕනෑමින් ඉල්ලා සිටි ඔහු අවසානයේ අරහං යන වචනය උච්චාරණය කෙළේ ය. තම හිස ඉදිරියට නැවීමට චිත්ත ධෛර්යයක් නොවූ නිසා ඔහුගේ හිස වධකයකු විසින් අල්ලා ගන්නා ලදී. පළමු වැනි කඩු පහරින් පසු ඔහු පස්සට වැටුණේ ය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු නිසා තවත් පහරක් ගසන ලදි.

කැප්පෙටිපොළ‍ ගේ හිස් කබල ග්‍රන්ථ කර්තෘ විසින් එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලදි.

මොනරවිල කැප්පෙටිපොළ ගේ හිස් කබල

කැප්පෙටිපොළ ගේ ඉරණම ඇතැම් කරුණු අතින් ස්කොට්ලන්තයේ ජනප්‍රිය වීරයා වූ සර් විලියම් වොලස් ගේ ඉරණමට සමාන ය. තම රටේ නිදහස පතා ඔහු දැරූ ප්‍රයත්න හා විඳි දුක් පිළිබඳ කෙටි සටහනක් මෙහි ඇතුළත් කිරීම අනුචිත නො වේ. දහතුන් වැනි සියවසෙහි අවසාන භාගයේ දී එංගලන්තයේ පළමු වැනි එඩ්වර්ඩ් රජ ස්කොට්ලන්තයේ වැදගත් සියල්ල ම පාහේ නතු කරගෙන, ස්කොට්ලන්තය තමනට නීත්‍යනුකූල ව හිමි ය යි, එහි ආධිපත්‍යය තමන් වෙත ආරෝපණය කොටගත්තේ ය. රටවැසියෝ වැඩි කල් යන්නට පළමු ඉංග්‍රීසි වියගහ (පාලනය) පිළිබඳ බද්ධ වෛරයක් දක්වන්නට වූවාහූ නින්දා සහගත යටත් වීමකට වඩා උදාර එහෙත් අතිදුෂ්කර යුද්ධයක් යහපතැ යි සැලකූ හ. උඩරට සංග්‍රාමෝපායයන් අනුගමනය කළ ස්කොට් වැසියෝ රංචු හා කණ්ඩායම් වශයෙන් සංවිධානය වී වනගහන, කඳ හා ගිරිකඳුරු සහාය කොටගෙන ඉංග්‍රීසි බලයට විරුද්ධ ව කැරලිකෝලාහලයකට සූදානම් වූ හ. ඉංග්‍රීසිනට විරුද්ධ කැලෑ යුද්ධයෙහි දිගු කලක් යෙදුණු සර් විලියම් වොලස් කැරැල්ලේ පිළිගත් නායකයා බවට පත් වූයේ එඩ්වර්ඩ් රජු විසින් ස්කොට්ලන්තයට යවන ලද මුළු යුද්ධ සේනාවට විරුද්ධ ව උදාර සටනක් කෙළේ ය. සතුරන් අතට අසු වුණු ඔහු ගේ භාර්යාව ලනාර්ක්, කෝරලය භාර ඉංග්‍රීසි නිලධර තැන ගේ නියමය පරිදි ම්ලේච්ඡ ලෙස මරන ලද්දී ය. අන්තයේ දී තම රටවාසීන් කීප දෙනකු විසින් වොලස් ද්‍රෝහ ලෙස ඉංග්‍රීසින්ට පාවා දෙන ලදි. ඔහු වහා ලන්ඩන් නගරයට ගෙන යනු ලැබ වෙස්ට්මිනිස්ටර්හි දි ඔහුට විරුද්ධ නඩුව විභාග කරන ලදි. ඔහුට විරුද්ධ චෝදනාව වූයේ රාජ්‍ය ද්‍රෝහත්වය යි .නගරවලට හා මාලිගාවලට පහර දී කොල්ල කා ලේ ගංගා ගැලීමට සලස්වන ලදැ යි චෝදනා කැරිණි. ‘මම කිසි කලෙක ද්‍රෝහියකු නො වීමි’ යි වොලස් පිළිතුරු දුන්නේ ය. ඔහු ඉතිරි චෝදනා පිළිගත්තේ ය. වැරැදිකරු වූ ඔහු මරණයට නියම කරන ලදි. 1305 අගෝස්තු මස 23 වැනි දින අසුන් ගේ වල්ගාවල බැඳ වධකස්ථානයට ඇදගෙන යනු ලැබූ ඔහු උස් එල්ලුම් ගසක එල්ලන ලදි. ප්‍රාණය නිරුද්ධ වීමට පෙර ඔහු ගේ බඩවැල් එළියට ගෙන ඔහුගේ ඇස් ඉදිරිපිට ම පුලුස්සා හිස ගසා දමන ලදි. එයිනික්බිති ඔහු ගේ සිරුර හතරට කපන ලදි. ඔහු ගේ දකුණු අත නිව්කාසල් නුවර ද වමත බර්පික් නුවර ද තබන ලද්දේ ය. (සිංහලේ - 233-237 පිටු)

මෙම විස්තරය උපුටා ගන්නා ලද්දේ ඉංග්‍රීසි යුද හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයකු වූ හෙන්රි මාර්ෂල් ගේ Ceylon, A General Description of the Island and It’s Inhabitants with A Historical Sketch of the Conquest of the Colony by the English (1846) නමින් ලියා ඇල්ලෙපොළ එච්. ඇම්. සෝමරත්න විසින් ‘සිංහලේ’ නමින් සිංහලයට පරිවර්තනය කර ඇති ඓතිහාසික කෘතියෙනි. හමුදා ශල්‍ය වෛද්‍ය ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ‍වෛද්‍ය හෙන්රි මාර්ෂල් ලියූ එකම වෙනස් ග්‍රන්ථය මෙය යි. ‘සිංහලේ’ විසිදුනු ප්‍රකාශනයකි.

Post a Comment

0 Comments