අපේ ආදිම මානවයා සිත්තරකුගේ ඇසින්
මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලන්ඩනයේ ඩේලිමේල් අන්තර්ජාල මුද්‍රණයේ පළ වී තිබුණා. එය ලියා තිබුණේ ‘සයන්ස් ඇඩ්වාන්සස්’ (Science Advances) නම් විද්‍යා සඟරාවේ පළ වූ විශේෂ අධ්‍යයනයක නිබන්ධනයක් ඇසුරෙන්.
ඒ අනුව අප්‍රිකා මහාද්වීපයෙන් මෙහි සංක්‍රමණය වූ හෝමෝ සේපියන් ආදිමානවයා විසින් දුන්න හා ඊතලය මුල්වරට නිපදවා ගෙන පාවිච්චි කර තියෙනවා. ඔහු මේ දුනුහී තල තනා ගෙන ඇත්තේ වල් ඌරන්ගේ, ගෝණුන්ගේ හා ආදි වානරයන්ගේ අස්ථි කැබලිවලිනුයි. ඒ දුනු හී යොදා ගෙන ඇත්තේ අවම වශයෙන් වසර 45,000කට පෙර මෙහි වැසි වනාන්තරවල රුක්වැසි සතුන් දඩයම් කිරීම පිණිස විය හැකි යැයි විද්‍යාඥයන්ගේ නිගමනයයි. තුරු වියනේ ඉහළ අතුපතරින් වේගයෙන් එහා මෙහා යන වඳුරන් හා දඬු ලේනුන් දඩයම් කිරීමට මේ උපක්‍රමය යොදා ගන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ පිළිබඳව පර්යේෂණය කළ අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායම කියන්නේ මේ හී තල කොටස් යුරෝපයේ දැනට හමුවී ඇති මේ හා සමාන තාක්ෂණයට අදාළ ඒවාට වඩා බොහෝ පැරණි බවයි.
බුලත්සිංහල පාහියන්ගල පිහිටි පාහියන් ලෙන ඇතුළත
මේවා හමු වී ඇත්තේ බුලත්සිංහල පාහියන්ගල පිහිටි පාහියන් (Fa-Hien) ලෙනෙහි කරන ලද කැනීම්වල දීයි. ඒවාට අමතරව වළං කැබිලිති, සතුන්ගේ අස්ථිවලින් තැනූ විදුම් කටු ද එහි තිබී සොයා ගෙන තියෙනවා. ඒ විදුම් කටු, අලිස් කටුවලට සමාන වූ අතර ඒවා සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ රෙදි හෝ දැල් විවීම සඳහායි.
ඒ බිමෙහි තිබී හමුවුණු අනෙක් කෞතුක භාණ්ඩ අතර පාට මිණි කැට අතුළු ඛනිජ ද්‍රව්‍ය, වර්ණවත් කිරි කවඩි ඇතුළු වෙරළෙන් ගෙනෙන ලද විවිධ අලංකරණ ද්‍රව්‍ය ඇතුළත් වුණා.
පාහියන් ලෙනෙන් හමු වූ අපේ ආදීමානවයන්ගේ අවශේෂයන්, ඔවුන් තැනූ අස්ථි මෙවලම්
හා නිවර්තන කලාපයේ දී ඔවුන් ආහාරයට ගත් දෑ. ඒ වගේ මෙහි දැක්වෙනවා
සම් හෝ ඇඳුම් මැසීමට යොදා ගත් අස්ථිවලින් තැනූ
වෙනත් විදුම් කටු වැනි තියුණු ප්‍රක්ෂිප්ත තල ආදිය.
ඉන්දියානු සාගරයේ ඉන්දියානු උපමහාද්වීපයට දකුණෙන් පිහිටි ශ්‍රී ලංකාද්වීපය දකුණු ආසියාවේ හෝමෝ සේපියන් නම් අපේ ආදීම මානවයාගේ පැරණිතම පොසිලවලට නිජබිම වූ බව පැහැදිලි යැයි ඒ ලෝක විද්‍යාඥයන්ගේ මෙම අධ්‍යයන වාර්තාවෙහි සඳහන් වෙනවා.
මෙම අධ්‍යයනය මගින්, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත මේ දුපතෙහි විසූ මානවයා දුනුහී පාවිච්චි කළ බවට හා රෙදි හෝ දැල් තැනූ බවට පැරණිතම සාක්ෂි වසර 45,000ත් 48,000ත් අතර ඈත කාලයකට දිව යන බව හෙළිදරවු කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හිමි කර දී තියෙනවා.
‘ප්‍රක්ෂිප්ත තාක්ෂණයෙන්’ (projectile technology) ලබා ගත් සාක්ෂි, පුද්ගලික අලංකරණය හා ඝර්මකලාපීය වැසි වනාන්තර තෙක් ආ අති දීර්ඝ ගමන වැනි කරුණුවලින් පෙනී යන්නේ ආදි හෝමෝ සේපියන් මානවයා ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී විවිධ ආන්තික පරිසරවලට හැඩ ගැසීමට සමත් වූ බවයි.
කෙසේ වෙතත් වැසි වනාන්තරවල සම්පත් ප්‍රයෝජනයට ගන්නට හා වඳුරන් හා ලේනුන් වැනි වේගයෙන් එහා මෙහා යන සතුන් අල්ලා ගන්නට උපක්‍රම යොදන්නට පෙලඹුනේ කෙසේ ද යන්න තවමත් හෙළිදරවු වී නැහැ.
‘ශ්‍රී ලංකාවෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන දුනු හී නිපදවීම, රෙදි විවීම, කෞතුක වස්තූන්ගෙන් සංඥා කෙරෙන ඉඟි ආදිය වෙනත් බොහෝ තැන්වලින්, ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තර ඇතුළු වෙනත් විවිධ තැන්වලින් හමුවී තියෙනවා’ මෙම අධ්‍යයනයෙහි සම-කර්තෘ වූ මයිකල් පෙට්‍රග්ලියා කියනවා. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යේෂණායතනයේ විද්‍යාඥයෙක්. ‘ශීතලෙන් ආරක්ෂාවීමට අමතරව, රෙදි හෝ දැල් වියා ගැනීම, ඒ පරිසරයේ ඉන්නා මදුරුවන්ගෙන් බේරීමට යොදා ගත්තා වෙන්නත් පුළුවන්’ ඔහු වැඩිදුරටත් පවසනවා.
ආදි මානවයා භාවිත කළ ඛනිජ ද්‍රව්‍ය කැබලිවලින් තැනූ වර්ණවත් පබළු, වෙරළන් ගෙනා සිප්පි හා බෙලිකටු මේ පාහියන්ගල් ලෙනෙන් සාක්ෂි වශයෙන් ලැබුණු දේ.
ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සංස්කෘතියේ ආරම්භය ගැන, විශේෂයෙන් ම නව ප්‍රක්ෂිප්ත භාවිත දඩයම් ක්‍රම ගැන, කතාබහේදී ආසියාව, ඕස්ට්‍රලේසියාව හා ඇමරිකා මහාද්වීප ආදිය කෙරෙහි අවධානය යොමු කෙරෙන්නේ නැහැ. මෙහිදී වැඩිපුර අවධානය යොමුවන්නේ අප්‍රිකාවේ තණ බිම්වලට හා වෙරළබඩ ප්‍රදේශවලට හෝ යුරෝපයේ සමශීතෝෂ්ණ පරිසර කෙරෙහියි.
ඒ නිසා ආසියාවේ ඝර්ම කලාපීය වැසි වනාන්තර වැනි වඩාත් දුරින් පිහිටි පරිසර විශාල වශයෙන් මඟ හැරී යනවා. මානව ජනාවාස පිහිටුවීම පිළිබඳව ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබුණත් ඒ ගැන පවා සැලකිල්ලට ගැනීමක් නැහැ. කෙසේ වෙතත් මේ පර්යේෂණයේදී මෙසේ අවධානය යොමු කිරීම පිළිබඳව ඒ පර්යේෂක කණ්ඩායම පැසසුමට ලක් විය යුතුයි.
ඔවුන්ගේ සොයා ගැනීම්වලට මුල් වූ පාහියන්ගල ලෙන ප්ලයිස්ටෝසීන යුගයේ අග භාගයේ මානව අස්ථි පොසිල ලෙසින් හමු වූ ස්ථානයක්. කාන්තාවකගේ ඇට සැකිල්ලක් පවා එහි දී මතු කර ගනු ලැබුවා. ඒවා සොයා ගනු ලැබුවේ 1960 ගණන්වල හා 1980 ගණන්වලදියි.
පුරාවිද්‍යාත්මක සාක්ෂි මතු කර ගත්තේ පාහියන්ගල ලෙනහි ඇතුළත කැණීම්වලිනි.
‘පාහියන් ලෙන 1980 ගණන්වල පටන් දකුණු ආසියාවේ ඉතා වැදගත් පුරවිද්‍යා භූමියක් ලෙස පතළ, විශේෂයෙන් ම අපේ ආදීමයන්ගේ අවශේෂයන් හා ඔවුන් භාවිත කළ මෙවලම්, ඔවුන් ආහාරයට ගත් දේවල් සුරැකිව පැවති, නිවර්තන කලාපීය තැනක්’ මෙම අධ්‍යයනයෙහි සම කතුවරයකු වූ ඕෂාන් වෙදගේ කියනවා. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට සම්බන්ධ විද්‍යාඥයෙක්.
පාහියන්ගල ලෙනෙහි කළ කැණීම්වලින් ලබා ගත් මේ කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009ත් 2012ත් අතර කරන ලද කැණීම්වලිනුයි.
අලුතින් ආරම්භ කරන ලද පර්යේෂණයේ දී මේ සියලුම කෞතුක වස්තු ස්ටීරියෝ මයික්‍රස්කෝපයක් යොදා ගෙන පරීක්ෂා කරනු ලැබුවා. ඒ මයික්‍රස්කෝපයට ඇක්සියෝකැම් 105 කැමරාවක් (AxioCam 105 camera) සවි කර තිබුණා. ඒ මගින් ඒවායේ මුල් පාවිච්චියේ දී කෙළින් ම ඇති වූ සීරීම් මතු කර ගත හැකි වුණා.
‘අස්ථි පුපුරා ගිය තැන්වලින් පෙනී ගියේ ඒවා තද පහරවලට ලක් වීමෙන් ඇති වූ ඒවා බවයි. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ දුනුහී යොදා ගෙන කරන සතුන් දඩයම් කිරීම්වලදියි.’ මේ ගවේෂණයට නායකත්වය දුන් මිචෙල් ලෑන්ලි කියනවා. ඇය ඔස්ට්‍රේලියාවේ කවීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියක්.
‘මේ සොයා ගැනීම, මීට කලින් මේ හා සම්බන්ධව සොයා ගෙන තිබුණු දකුණුදිග ආසියාවේ වසර 32,000ක් පැරණි වාර්තාවට වඩා පැරණියි. මෙය තමා දැනට සොයා ගෙන ඇති, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත දුනුහී භාවිතය කළ බවට විද්‍යාත්මකව තහවුරු කළ පැරණිම වාර්තාව’ ඇය වැඩිදුරටත් කියනවා.
මේ මයික්‍රොස්කොපි තාක්ෂණය ම අනෙක් අස්ථි මෙවලම්වලටත් යොදා කරන ලද නිරීක්ෂණවලින් සොයා ගත හැකි වූයේ ලෙන අසල දියපාරවල මසුන් ඇල්ලීමටත්, රෙදි හෝ දැල් විවීමටත් භාවිත කළ ඒවා විය හැකි බවයි.
කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009ත් 2012ත් අතර කරන ලද කැණීම්වලිනුයි.
සිරුර ශීතලෙන් ආරක්ෂා කර ගැනීමට වඩා ලැබුණු සාක්ෂි අනුව පෙනී ගියේ රෙදි තනා ගනු ලැබ ඇත්තේ මදුරුවන්ගෙන් බෝ වෙන රෝගවලින් ආරක්ෂා වීම සඳහා යොදන වැස්මක් හැටියටයි.
මෙම නව අධ්‍යයනය සලකනු ලබන්නේ පේලියෝලිතික යුගය අවසානයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මතු වූ සුවිශේෂ වූත්, සංකීර්ණ වූත් නව තාක්ෂණයන් පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමේ එක් පියවරත් වශයෙනුයි.
‘මේ යුගයේ මානවයන් සම්පත් බහුල සුුවිශේෂ තත්වයන් යටතේ ජීවත් වීමටත්, නව ජීවන පරිසරයන් සොයා යන්නටත් හැකියාව තිබූ අය බැව් පැහැදිලියි’ යනුවෙන් පවසන මෙම අධ්‍යයනයෙහි සම කතුවරියකු වූ ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ නිකොලී බොයිවින් කියනවා. ‘මේ හැකියාවන් නිසා තමයි වසර 10,000කට පෙර ඒ ආදිමානවයින් මේ පෘථිවිය පුරා විසිර යමින් අද අප වැනි විශ්ව මානව සංහතියක් බවට පත් වූයේ’ යැයි ඇය වැඩිදුරටත් කියනවා.
මේ පර්යේෂණය සඳහා ජර්මනිය, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව යන රටවල විද්‍යාඥයන් ගණනාවක් එක් වුණා. ඒ අතර ඔස්ට්‍රේලියාවේ මිචෙල් ලෑන්ලි, පැට්රික් රොබට්ස්, ජර්මනියේ නොයෙල් අමානෝ, බනිකොලි බොයිවින්, මයිකල් ඩී. පෙට්රග්ලියා ඇතුළු විද්‍යාඥයන් රැසක් එක් වූ අතර ශ්‍රී ලංකාවෙන් ඊට එක් වූයේ ශිරාන් දැරණියගල, ඕෂාන් වෙදගේ, එම්. එම්. පද්මලාල් හා නිමල් පෙරේරා යන විද්‍යාඥයන් පිරිසයි.
2 Comments
මට මෙහෙම අදහසක් ආවා.. ඔය කියන අතීතයේදී, ලංකාව අප්‍රිකාව එක්ක ගොඩ බිමින් සම්බන්ධ වෙලා තිබුනා වෙන්නත් බැරි නෑ නෙද ?
ReplyDeleteඑහෙම කාලයක් තිබ්බා. ඒ හෝමෝ සේපියන් මානවයා බිහි වෙන්න ඉස්සර. හෝමෝ සේපියන් මෙහෙ ඇවිත් තියෙන්නේ ඉන්දියාව හරහායි. ඒ අවුරුදු ලක්ෂ එක හමාරකට විතර ඉස්සර. මන්නාරමෙන් ඉන්දියාව අපට යාවී තියෙද්දයි කියලයි කියන්නෙ.
ReplyDelete