සිදුහත් උපතට සෙවණ දුන් සල් ගස වෙනත් ගසකට මාරු වුණේ කොහොමද?

වසර 2644කට පෙර අද වැනි වෙසක් දාක සිදුහත් උපතට සෙවණ දුන්නේ සල් ගසක් යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඒ නිසා ම සල් ගස ලොව පුරා බෞද්ධයන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වූවකි. සංස්කෘත භාෂාවෙන් ‘ශාල’ කියාද පාලියෙන් ‘සාල’ කියාද හැඳින්වෙන මෙම ගස සිංහලට ‘සල්’ වෙයි.



පැරණි සිරිතට අනුව මහාමායා දේවිය සිය පළමු දරු උපත සඳහා මවුපියන් වෙත සිය පිරිවර සමඟ යමින් සිටියදී සල් ගසින් පිරුණු වනයක් අසලදී ගිමන් හැරීමට ඇයට සිත් විය.

ඉන්දියන් සල් මල් (වමේ) හා වරදවා හඳුන්වන කාලතුවක්කු උණ්ඩ ගසේ මල් (දකුණේ)

සිදුහත් කුමරුගේ උපත සිදු වූයේ අවස්ථාවේ දී යැයි සිදුහත් සිරිතෙහි සඳහන් වෙයි. ඒ අසිරිමත් සිදුවීම නිසා සල් ගස කෙරෙහි විශේෂ ආදරයක් හා ගෞරවයක් බෞද්ධයන් වෙත තිබේ. ඒ අනුව යමින් ලියවුණු එක් බැති ගීයක කොටසක් මෙසේ ය.

දුල් සල් වනේ ලකල් .. තුල් සල් වනේ ලකල්..
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්..
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්..
තුල් සල් වනේ ලකල්..

මායා පුතානා ...ප්‍රේම රජානා...
මායා පුතානා ...ප්‍රේම රජානා...

දකිනට යමු පෙම් - ප්‍රීතියෙනි නොහිම්
දකිනට යමු පෙම් - ප්‍රීතියෙනි නොහිම්
රශ්මි පුරා’කාසෙදිදී උන් වෙස‍ෙඟ් පුන්
රශ්මි පුරා’කාසෙදිදී උන් වෙස‍ෙඟ් පුන්

දුල් සල් වනේ ලකල් ..
තුල් සල් වනේ ලකල්..

ලුම්බිණියේ (වර්තමාන නේපාලයේ) සිදු වූ සිදුහත් උපත පැරණි සිත්තරකුගේ ඇසින්.

එදා වෙසඟ පෝදා සිදුහත් උපතට සෙවණ දුන් ඒ සල් ගසින් සුසැදි වනය හා සිදුහත් උපත වනන මේ ගීය අපේ කුඩා කලේ අපට සිදුහත් උපත මහත් බැතියෙන් සිහිපත් කර දුන් එකකි. ග්‍රැමෆෝන් යුගයට අයත් ජනප්‍රිය ගීයක් වූ එය ඒ යුගයේ විසූ විශිෂ්ට ගීත රචකයකු වූ යූ.ඩී. පෙරේරාගේ රචනයකි. (මීට වසර 80කට පෙර ලියන ලද ඒ ගීය අසනු කැමති නම් ‘දුල් සල් වනේ ලකල්’ යන යොමුව ඔස්සේ ගිය විට එහි මුල් ගීය මෙන් ම පසුව කළ එහි නව ගායනා කීපයකටම සවන් දිය හැකිය.)

මේ ගීයෙහි එන සල් ගස කුමක් ද? ඒ අප කුඩා කල පාසල් පෙළ පොතේ දැක්වුණු සල් ගස ම ද? ‘අමර, නයනා, සල් ගස යට බලන්න. අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද?’ කියා වදනින් හා චිත්‍රයෙන් දක්වා තිබූ ඒ සල් ගස වැනි ගසක් අපේ ගමේ පන්සලේත් තිබුණේය. අපි එදා ඉතා ආසාවෙන් ඒ මල් කඩා ධෝවනය කොට මහත් භක්තියෙන් බුදුන් පිදුවෙමු.
ඉන්දියන් සල් ගසෙහි පත්‍ර, මල් හා ගෙඩි

එදා අප සිත් තුළ විසිතුරු සිතුවම් මැවූ ඒ සල් ගස, ‘ඇත්ත සල් ගස’ නොවේ. එදා අපි මහත් බැතියෙන් බුදුන් පිදූ ඒ මල්, ‘ඇත්ත සල් මල්’ නොවේ. ඒ ගසට සමාන ගසක් පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේත් තිබේ.

ඒ ගස රෝපණය කර ඇත්තේ 1901 අප්‍රේල් 14 වැනිදා එහි සැපත් වූ බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් මහ රජතුමා සහ එම බිසව විසිනි. එහි ඇති නාම පුවරුවෙහි ඒ ගසේ නම සඳහන්ව ඇත්තේ ‘කුරෝපිටා ගුයනෙන්සිස්’ (Couroupita guianesis) හෙවත් කැනන් බෝල් ට්‍රී කියාය. එහි සිංහල අරුත ‘කාලතුවක්කු උණ්ඩ ගස’ යන්නයි. ඒ නම යොදා ඇත්තේ එහි ගෙඩි කාලතුවක්කුවලට දමන ලොකු යකඩ බෝලවලට සමාන වන නිසාය. මේ ගස ඉංග්‍රීසීන් විසින් 1881 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් එකකි. එය ඊට පෙර ශ්‍රී ලංකාවේවත්, ඉන්දියාවේවත් තිබූ ගසක් නොවේ.

‘ශ්‍රී ලංකාවෙ ජනතාව මේ ගහට ‘සල් ගහ’ කියන්නේ වැරදීමකින්. මෙය දකුණු ඇමෙරිකාව නිජබිම කර ගත් ශාකයක්. මෙය බ්‍රිතාන්‍යයන් විසින් විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වා දුන් එකක්. 1893-1900 කාලයෙහි සකස් කරන ලද ‘ෆ්ලෝරා ඔෆ් බ්‍රිටිෂ් සිලෝන්’ නාමාවලියෙවත් ඊට කලින් පළ වුණු ‘ෆ්ලෝරා ඔෆ් බ්‍රිටිෂ් ඉන්ඩියා’ නම් අත්පොතෙහිවත් මේ ශාකය ගැන යම්තම්වත් සඳහනක් නැහැ. මං හිතන්නේ මේ වැරැද්ද තායිලන්තයටත් ගිහින් තියෙන්නෙත් මෙහෙන්.’ කියමින් මහාචාර්ය සිරිල් විජේසුන්දර කලකට ඉහත බීබීසියට අදහස් දක්වමින් කියා තිබුණා මට මතකය. අපේ රටේ සිටින ප්‍රවීණ උද්භිද විද්‍යාඥයකු වූ එතුමා කලකට පෙර පේරාදෙණියේ ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ අයෙකි. 

ඉන්දියන් සල් ගස් දෙකක්

ඉන්දියානු උප මහාද්වීපය අසලකවත් නැති රටක තිබූ ශාකයක් සිදුහත් උපතට සම්බන්ධ වුණේ කෙසේ දැයි තමාට සිතා ගන්නවත් බැරි යැයි එදා එතුමා ඒ සාකච්ඡාවේදී සඳහන් කළා මට මතකය. එහෙම නම් හරි සල් ගහ කුමක්ද? ඒ ගසත් පේරාදෙණියේ ජාතික උද්‍යානයේ තිබේ. ඒ ගස රෝපණය කර ඇත්තේ 1980 දී පෙබරවාරි 25 වන දා නේපාලයේ බිරේන්ද්‍ර රජතුමා මෙහි සැපත් වූ අවස්ථාව සිහිපත් කිරීම සඳහා ය. එහි නාම පුවරුවේ සඳහන්ව ඇත්තේ ඉන්දියාව, බංගාලදේශය, නේපාලය ආදි රටවල වැවෙන ‘ෂෝරියා රොබස්ටා’ (Shorea robusta) හෙවත් ‘ඉන්දියන් සල්’ කියා ය.

ඉන්දියන් සල් බීජ පේරාදෙණියේ රාජකීය උද්‍යානය තුළ රෝපණය කොට බෞද්ධ විහාරස්ථානවලට 2010 දී බෙදා දුන් බවක්ද බීබීසී සාකච්ඡාවේදී මහාචාර්යවරයා විසින් පවසා තිබුණි.

කාල තුවක්කු උණ්ඩ ගස අයත් වන්නේ ලෙසිතිඩේසියේ (Lecythidaceae) කුලයට ය. එහි මල් හා ‍ගෙඩි හටගන්නේ කඳ වටා ය. මල් ප්‍රමාණයෙන් ලොකු ය. දීප්තිමත් රතු හා කහ පැහැයෙන් යුතු ය. ඒ ගෙඩි විශාල ය, බර ය, වටකුරු ය. ඇතැම් ශාක පොත්පත්වල පවා මේ ගස් ගැන වැරදියට සටහන් වී තිබේ.

නේපාල රජු අතින් පේරාදෙණියේ මල් වත්තෙහි රෝපණය කළ ඉන්දියන් සල් ගස 
හා දකුණේ කාල තුවක්කු උණ්ඩ ගස.

තේක්ක ගසට සමාන, අතු නො‍බෙදෙන තද කඳක් ඇති, ඉන්දියන් සල් වටිනා දැව වර්ගයක් ලෙස සැලකේ. එය අයත් වන්නේ ඩිප්ටෙරෝකාපේසියේ (Dipterocarpaceae) කුලයට ය. හොර, දුන් ආදී ගස් අයත් වන්නේ ද මේ කුලයට ය. ‍මේ ගසේ ගෙඩිවල, හොර ගස්වල ගෙඩිවල මෙන් පියාපත් ඇත. ඒත් ඒ ගෙඩි ප්‍රමාණයෙන් කඩල ඇටයක් තරම් කුඩා ය. සැහැල්ලු නිසා ඒවා පියාපත්වල ආධාරයෙන් සුළඟත් සමඟ ඈතට පාවී ගොස් පැළ වෙයි. මල් කිනිති ලෙස අතු අග හට ගනියි. මල් සුදු පැහැතිය, මල් හට ගන්නේ අප්‍රේල් මාසයේ දී ය.

සල් ගස ලෙස වරදවා වටහා ගෙන ඇති ‘කාල තුවක්කු උණ්ඩ ගස’ දකුණු ඇමෙරිකාව (බ්‍රසීලය) නිජබිම් කර ගත් එකකි. 1881 දී ඉංග්‍රීසීන් විසින් ඔවුන් යටත් කර ගෙන සිටි ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු මේ කලාපයේ රටවලට හඳුන්වා දී ඇති ඒ ගස කිසිසේත්ම සිදුහත් උපතට හෝ පිරිනිවීමට හෝ සම්බන්ධ වීමට විධියක් ඇත්තේ නැත. ඒ නිසා ඉන්දියාව, නේපාලය හා බංගලාදේශය වැනි රටවලට ආවේණික ශාකයක් ලෙස සැලකෙන ඉන්දියන් සල් ගසට නිසැකව ම ඒ තැන හිමි විය යුතු ය. සමහර විට මෙය නියම සල් ගසට හිමි වන ආගමික ගෞරවය යටපත් කිරීමට සිතා මතා කළ දෙයක් වන්නත් බැරි නැත.

පර්සි ජයමාන්න

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. මේ අවුල ගැන කතා කළා කණාමැදිරියෝ ටෙලි නාටයයේ.. ඔවුන් කිව්වෙ මේ නව සල් ගස ආක්‍රමණීක ශාඛයක් කියලා හා නාට්‍ය‍යේ එක තැනක ඒ සල් පැල හේනකට පරිසරප්‍රේමීන් විසින් ගිණි තියන සිද්දියකුත් සඳහන් වෙනවා...

    ReplyDelete