HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිලියන සිය ගණනක් අතීතයේ විසූ ‘නදී රකුසෙක්’ සහරාවෙන් මතුවෙයි!

ඩයිනොසෝරසයන් දැවැන්ත සතුන් ලෙස ගොඩබිම ජය ගෙන සිටියා පමණක් නොව පසුව කුරුල්ලන් ලෙස පරිණාමය වෙමින් අහසත් ජය ගත්තා. ඔවුන් ආපසු ජලයට ගිහින් එහෙත් තම ආධිපත්‍යය පැතිරවූ බවක් දැන් විද්‍යාඥයන් විසින් හෙළිකර ගෙන තියෙනවා.

මෙතෙක් කල් අප දැන සිටියේ ඩයිනෝසරයන් ගොඩ බිම විසූ දැවැන්ත සතුන් පිරිසක් පමණක් බවයි. ඒත් මෑත දී සහරා කාන්තාරයේදී මතු කර ගත් ඩයිනොසෝරයා නිසා දිය යට සැරිසැරූ දැවැන්තයකුත් උන්නු බව දැන් හෙළි වෙලා තියෙනවා. මේ ඩයින‍ො‍සෝරයා නම් කර තියෙන්නෙ ස්පයිනොසෝරස් ඊජිප්ටියාකුස් (Spinosaurus aegyptiacus) කියලයි. පැතලි වලිගයක් සහිත මේ දැවැන්තයා උගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරලා තියෙන්නෙ දිය යටයි. ඒ වගේ ම ඌ ආහාර සොයා ගංගාවල ජලයේත් කිමි‍‍‍ඳ‍ෙන්නට හුරුවෙලා ඉඳලා තියෙනවා.

ස්පිනොසෝරසයන් දැති මෝරුන් රංචුවක් දඩයම් කරන අයුරු 
ත්‍රිමාන රූපයකින් නිරූපණය කර ඇති අන්දම.

මේ වර්ගයේ ඩයිනොසෝරයකු හොඳින් වැඩුණු කල දිගින් අඩි 50ක් හා බරින් ටොන් 20ක් විතර වෙන බවයි කියන්නෙ. ඒ සතකුගේ වල්ගයක කොටසක් පොසිලයක් ලෙස හමුවෙලා තියෙනවා, මොරොක්කෝවෙදි. ඒ කරුණු විශ්ලේෂණයේ දී හෙළිදරවු වෙලා තියෙනවා, ඒ අත්භුත සත්වයා ජලයේ පිහිනා ගිය බව. මේ තමයි, ජලාශ්‍රිතව විසූ ඩයිනොසෝරයකු හමුවූ පළමු වන වතාව. එයින් ඔප්පු වෙනවා ඩයිනොසෝරයන් දියගොඩ දෙකෙහිම සිය බලය පතුරුවාගෙන සිටි බව.

මෙසේ ඩයිනොසෝරයන් පිහිනා ගිය බව, ජලය යට දඩයම් කළ බව, විතරක් නෙවෙයි ඔවුන් ජලයේ ජීවත් වූ බවට මුල්වරට සාක්ෂි හමු වී ඇත්තේ සහරා ගාන්තාරයේ ශුෂ්ක වනගත පෙදෙසකිනුයි.

තවමත් පරිණත නොවූ ස්පිනොසෝරසයන් දෙදෙනකු දැති මෝරුන් 
දඩයම් කරන අයුරු නැෂනල් ජ්‍යොග්‍රෆික් සඟරාවේ පළ වී තිබුණු අයුරු. 
දැනට හමු වී ඇති වල්ගයේ පොසිලය මේ වයසේ සතකු‍ගේයි.

වසර මිලියන 100කට ‍විතර ඉස්සර මේ කලාපය සරුසාර ක්ෂේම භූමිවලින් පිරුණු, තැනින් තැන විසිරුණු ගංගා ඇළදොළවලින් යුත් විවිධ ජීවීන්ගෙන් ගහන තැනක්. එහි ජලාශවල ආහාර සොයමින් පිහිනා ගියේ සමස්ත ආහාර දාමයේම ඉහළින් වැජඹුණු දරුණු ජලජ ඩයිනොසෝරයායි.

ස්පයිනොසෝරස් ඊජිප්ටියාකුස් කියා නම් කර ඇති මේ දැවැන්තයා ජලයේ පිහිනා ගියේ වරලක් වැනි වල්ගයක ආධාරයෙන්. ඌ ලිස්සා යන ගොදුර ඩැහැගත්තේ අඟල් හයක් පමණ දික් වූ උල් දත්වලිනුයි.

මොරොක්කෝවේ දී කැණීම් කර අලුතින් මතුකර ගන්නා ලද
 ස්පිනොසෝර වල්ගයක කොටසක්.

ටී රෙක්ස් හෙවත් ටයිරනසෝරස් රෙක්ස් නම් මාංශ භක්ෂක තයිරොපොඩ් කාණ්ඩයට නෑකම් කියන මේ සත්ව විශේෂයට අයත් තරුණ සතකුගේ පොසිලගත වලිගයක් හමුවී තියෙනවා වර්තමානයේ මොරොක්කෝවට අයත් ප්‍රදේශයකින්.

මේ වර්ගයේ වැඩුණු සතෙකු අඩි 50ක් පමණ දික් වෙනවා. බර ටොන් 20කට වැඩියි. ඒත් ඔවුන්ට හමු වී ඇති සත්වයා ඒ තරමට වැඩිලා නැහැ. උගේ හොම්බේ සිට වලිගය තෙක් දිග අඩි 35ක් විතරයි. බර ‍ටොන් හතරකට වඩා නැහැ.

උල් දත් සහිත දිගු පටු හකුපාඩා හා දියේ චලනය පහසු කරන 
සුවි‍ශේෂ වල්ගය දැක්වෙන ලෙස ස්පිනොසෝරසයකු 
ප්‍රතිනිර්මාණය කර ඇති අයුරු.

සම්පූර්ණයෙන් වැඩුණු මේ වර්ගයේ සතකු ගොදුරු කර ගත හැකි විලෝපිකයන් නැහැ. ඒත් මේ පර්යේෂකයන් කියන්නේ මේ වර්ගයේ තරුණ පැටවුන් ගොදුරු කර ගත හැකි යෝධ මසුන් හා ප්‍රාග් ඓතිහාසික දැවැන්ත කිඹුලන් සිටින්නට ඇති බවයි.

මේ ව්‍යාපෘතිය මෙහෙයවූ පර්යේෂකයන්ට හැකි වී තියෙනවා, ඒ අතරින් ‘ගංගාවේ මාරයා’ ලෙස හැඳින්විය හැකි මේ සුවිශේෂ සතාගේ පොසිලයක් සොයා ගන්නට.

මේ ස්පිනෝසෝරසයන් විසූ කාලේ ඉක්තියෝසෝරයන් වැනි තවත් උරග සත්ව විශේෂ කීපයක්ම ජලාශ්‍රිත ජීවිතයට හුරුව සිටින්නට ඇතත් ඩයිනෝසෝරයන් එසේ නොවූ බවයි ඔවුන් කියන්නේ.

ඉහළ - ස්පිනොසෝරයකුගේ වල්ගය ප්‍රතිනිර්මාණය කර ඇති අයුරු. (හමු නොවූ අස්ථි සුදු පැහැයෙන්),      මැද - වල්ගයේ හරස් කඩවලින් කශේරුකාවේ ඇති වෙනස්කම් පෙන්වන ආකාරයට, වල්ගයේ පරිමාව හා මාංශ පේශීන් දැක්වෙන ලෙසින්. පහළ - නව ස්පිනොසෝරසයා පෙනෙන හැටි. (කළු, මෘදු කොටස්/සිරුරේ වට රේඛාව, රතු පැහැයෙන්, 2008 දී දේශීය පොසිල එක්රැස්කරන්නකු ලබා දුන් අස්ථි, කොළ පැහැයෙන්        මෑත කළ විද්‍යාත්මක කැණීම්වලින් ලැබුණු අස්ථි, කහ පැහැයෙන් ප්‍රධාන කැණීම් ප්‍රදේශයෙන් 
සොයා ගන්නා ලද අස්ථි කොටස්වලින් තෝරා ගත් ඒවා)

උගේ වලිගයට අමතරව, මේ ඩයිනොසෝරයාගේ වෙනත් ලක්ෂණ රැසක්, හිසෙහි ඉහළින් පිහිටි නාස් පුඩු, බර අස්ථි, කෙටි පාද, ගොඩබිමට වඩා ජලයේ ජීවත් වූ බව හඟවන විශේෂයෙන් හැඩ ගැසුණු පාද ආදිය සොයා ගැනීමට ඔවුන් සමත් වී තියෙනවා.

මේ අධ්‍යයනය පළ වී තියෙන්නෙ නේචර් සඟරාවෙයි. (2020 අප්‍රේල් 28 වැනිදා) මේ සත්වයා සත්‍ය වශයෙන්ම ජලෙයහි ජීවත් වූ නම්‍යශීලි වල්ගය උපකාරී කර ගෙන ජලයේ පිහිනමින්, ජීවිතයෙන් වැඩි කාලයක් දිය යට ගෙවූ ජීවියකු බව තහවුරු කරමින් එම ලිපිය පළවුණා.

‘නැෂනල් ජ්‍යොග්‍රෆික් ගවේෂකයකු ලෙසින් කටයුතු කරන, ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන්හී ඩෙට්රොයිට් මර්සි විශ්ව විද්‍යාලයෙහි පුරාජීව විද්‍යාඥයකු වූ ආචාර්ය නසීර් ඊබ්‍රහිම් තමයි මේ පර්යේෂණයට නායකත්වය දුන්නේ. ඔහුගේ කණ්ඩායමට එක්සත් රාජධානියේ පෝට්ස් මවුත් විශ්ව විද්‍යාලයේ ආචාර්ය අන්වින් හා මහාචාර්ය ඩේවිඩ් මාටිල් යන දෙදෙනාත් එක්ව සිටියා.

මේ විද්වත් කණ්ඩායම 2015 දී දකුණු මොරොක්කෝවේ දී ස්පිනොසෝරස් ඇටසැකිල්ලක් සොයා කැණීම් ආරම්භ කළා. එ් ගවේෂණයෙහි ඓතිහාසික සොයා ගැනීම කරනු ලැබුවේ 2018 දීයි. ඒ බොහෝ දුරට සම්පූර්ණ තත්වයේ පැවති, ඉතා හොඳින් ආරක්ෂා වී තිබුණු වල්ගයක් මතු කර ගැනීමයි.

අනෙක් තෙරපෝඩා විශේෂයන්ගේ වල්ගා ඝන පොළොවෙහි යට වී පැවතියත් ඒවා හැම එකක්ම අගට යන විට සිහින්ව දරදඬු ගතියකින් යුතු වුණා.

මෙ‍ාරොක්කෝවෙන් හමු වූ මේ විශේෂ පෘෂ්ඨවංශිකයාගේ අස්ථි විශ්ලේෂණය කළ විට පැහැදිලි වුණා, උගේ කොඳු ඇට පෙළෙහි වූ දිග කශේරුකා, නූට්ටකුගේ වල්ගයට සමාන වූ උගේ අති විශාල, අති නම්‍යශීලී, වරල්පතක් බඳු වල්ගයේ ක්‍රියාකාරිත්වයට ඉතා හොඳින් සහය වූ බව.

මේ නදී රකුසා හෙවත් ස්පිනොසෝරසයා දිය යට දී දඩයමේ යෙදුණේ කොහොමද?


මේ ලිපිය මුලදීම අප සඳහන් කළා ඌ අඩි 50ක් දිග ටොන් 20ක් බර යෝධ සතෙක් බව. මේ අති දැවැන්ත බව නිසා මේ සත්ව විශේෂය ගොදුරු කර ගන්නා විලෝපිකයන් එකල සිටියේ නැහැ.

ඌ දිය යට කිමිදෙමින් දඩයම් කරන්නට හැකි වන විධියට සිරුරේ යම් යම් කොටස් හැඩ ගසාගෙන තිබුණා. උගේ නාස් පුඩු පිහිටා තිබුණේ හිස මුදුනෙහි පසුපසට වෙන්නයි. ඒවා හිසෙන් උඩට ඉල්පී තිබුණා. මේ නිසා හිසෙන් මඳක් පමණක් දිය මතුපිටට පෙනෙනසේ දියයට රැඳී සිටිමින් හුස්ම ගන්නට ඌට හැකි වුණා.

උගේ අස්ථි දැඩියි, පෙන්ගුවින්ලාගේ වගෙයි. ඒ නිසා ඌට පරිස්සමින් ජලයේ සමබරව රැ‍‍ඳී සිටිමේ හා පාවීමේ හැකියාව ලැබෙනවා.

කිඹුලන්ට සමාන වූ විශාල පැතැලි දෙපා හා බැඳුුණුු ඇඟිලි නිසා ගංගා ඉවුරුවල මෘදු පස මත පහසුවෙන් ඇවිද යන්නටත් ඔවුන්ට පුළුවන්.

උගේ පැතලි වල්ගය තිරස් අතට චලනය කළ හැකි වූ නිසා ජලයේ පිහිනන විට ඌට ඒ උපකාරී කරගෙන ඉදිරියට යා හැකි වෙනවා.

ඩයිනොසෝරයන් අයත් වන තිරපෝඩා සත්ව ගණයෙහිලා සැලකෙන මේ සත්වයා ජලයේ පිහිනීමට හැකි වූ, අඟල් හයක් තරම් දිගැති තියුණු දත් සහිත යෝධ හකුපාඩා ඇති එකම ඩයිනොසෝරයා බව දැන් හෙළිවෙලා තියෙනවා.

දත් කේතු ආකාරයි. තියුණුයි. ඒවායේ තල හැඩයක් නැහැ. උල් දත් නිසා අල්ලන ගොදුර ලිස්සා යන්නේ නැහැ.

උගේ හොම්බ කිඹුලුන්ට සමානයි. අනෙක් මාංශභක්ෂක ඩයිනොසෝරයන්‍ගේ වගේ නෙවෙයි. එහි ‍පිහිනා යන ගොදුර නගන රැලි හඳුනාගත හැකි සංවේදකවලින් යුක්තයි. මේ සංවෙිදක නිසා ඌට අපැහැදිලි ජලයේ වුනත් සතුන් දඩයම් කළ හැකියි.

Post a Comment

0 Comments