HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ දී හමුවන උසම කුරුල්ලා හඳුනා ගන්න!

ශ්‍රී ලංකාව කුරුලු ගහනය අනුව ඉතා ‍පොහොසත් රටක්. මෙරට කුරුලු විශේෂ 440ක් පමණ ඉන්නවා. ඉන් 236ක් මෙරට නිවැසියන්. 203ක් සංක්‍රමණිකයන්. ඉතිරිය ඉඳහිට ඇවිත් යන අයයි. අපේ රටේ නිවැසි කුරුල්ලන් අතරින් කුරුලු විශේෂ 33ක් හා උප විශේෂ 68ක් අපේ රටට ම ආවේණික වූ කුරුල්ලන්. ඒ අතරින් උසින් වැඩිම කුරුල්ලා කවරෙක්ද?

ගෙලකළු අලිමානාවා (Black-necked Stork)

අපේ රටේ ඉන්නා කුරුල්ලන් අතරින් උසින් වැඩි ම කුරුල්ලා සාමාන්‍ය මිනිසකු තරම් උස අලි මානාවායි. උසින් සෙන්ටි මීටර් 132ක් තරම් උසින් යුක්තයි. මේ වර්ගයේ කුරුල්ලන් විශේෂ කීපයක් ඉන්නවා. ඇතැම් තැනක මේ කුරුල්ලා ‘අලි කොකා’, ‘අලි මානකොකා’ යනුවෙන් ද හැඳින්වෙනවා. මේ ගණයේ කුරුල්ලන් ඉතා දුර්ලභ විශේෂ ලෙසයි, සැලකෙන්නේ.

මානාවන් අතරින් ලොකු ම කුරුල්ලා වූ මේ අලි මානාවා හඳුන්වන්නේ ගෙලකළු අලිමානාවා (Black-necked Stork) කියායි. සත්ව විද්‍යාත්මකව ඌ හැඳින්වෙන්නේ Ephippiorhynchus asiaticus කියායි. මේ කුරුල්ලාට ම තමයි, ආසියානු අලිමානාවා කියලත් කියන්නේ.

අලි මානාවා ඉගිලෙන විට ඉතා අලංකාර දසුනක් මවනවා.

අලිමානාවාට ඉතා දිගු විශාල හොටක් තියෙනවා. බැලූ බැල්මට ඔවුන්ගේ ගැහැනු-පිරිමි බව කියන්න අමාරුයි. වෙනසක් සොයා ගත හැක්කේ ඇහෙන්. පිරිමි සතාගේ ඇසේ තාරා මණ්ඩලය දුඹුරු පාටයි. ගෑනු සතාගේ තාරා මණ්ඩලය කහ පාටයි. ඒ හැරෙන්නට ඔවුන් දෙදෙනාගේ ම සිරුරේ පිහාටුවල වර්ණ පිහිටීම් සමානයි. හොඳින් වැඩුණු කුරුල්ලකුගේ හිස, ගෙල, හොට, උරපත් පිහාටු, දෑලේ පියාපත්වල මහ සහ මැදි ඇවිරි පමණක් නොව තෘතීයික පියාසර පිහාටු හා පෙඳය, ආදිය කළු පාටයි. පිල් කලඹේ අනෙක් කොටස් සුදු පාටයි. පාද රතුයි. නො මේරූ කුරුල්ලන් දුඹුරු සහ අඳුරු සුදු පැහැයෙන් හඳුනා ගත හැකියි.

ශ්‍රී ලංකාවේ හැරුණු විට මෙම මානා කුලයේ කුරුලු විශේෂ ඉන්දියාවේ සිට අග්නිදිග ආසියා රටවලට මෙන්ම ඕස්ට්‍රේලියා මහාද්වීපය තෙක් පැතිර වාසය කරනවා.

අපේ රටේ සිටින කුරුල්ලන් අතරින් අලි මානාවා, කෙතරම් දුර්ලභ කුරුල්ලකු ද කීවොත් මෑතක් වනතුරු යාල අභය භූමියේ කලපු ආශ්‍රිතව දක්නට ලැබුනේ 12ත් 17ත් අතර ගණනක් විතරයි. කලෙකට පෙර එක කුරුල්ලකු පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලමට නුදුරු ආනවිලුන්දාව වැව ආශ්‍රිතව දුටු බවට වාර්තා වී තියෙනවා. අතීත වාර්තාවලට අනුව මේ කුරුල්ලන් උතුරු හා ඊසාන දිග වෙර‍ළේ කලපු ආශ්‍රිතව දුටු බවට වාර්තා වුනත් අද ඒ පැතිවල එකෙකුවත් දක්නට නැහැ.

හීන් බහුරු-මානාවා.(Lesser Adjutant)

අලි මානාවා තරම් ප්‍රමාණයෙන් විශාල නැති වුනත් තවත් මානාවකු ශ්‍රී ලංකාවේ දැක ගන්න පුලුවන්. ඒ තමා හීන් බහුරු-මානාවා.(Lesser Adjutant) ඌ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Leptoptilos javanicus කියායි. හොඳින් වැඩුණු පසු සෙ.මි. 115ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ පහත රට වියළි කලාපයේ ජීවත් වෙනවා.

ගෙලකළු අලිමානාවා ඉන්දියාවේ සිට මෙරටට වරින් වර එන සංක්‍රමණික කුරුලු විශේෂයක් කියලා සමහරුන් හැඳින්වුවද ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැන ජගත් කීර්තියක් දිනූ විශේෂඥයකු වූ ජී. එම්. හෙන්රි ඔහුගේ ‘ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැන මාර්ගෝපදේශක සංග්‍රහයේ’ දක්වා ඇත්තේ මේ අලි මානාවා මෙරට නිවැසි කුරුල්ලකු ලෙසයි. කෑම හොටින් රැගෙන යන කුරුල්ලන් නිරීක්ෂණය කර ඇති නමුදු ඔවුන්ගේ කැදැල්ලක් තාමත් කිසිවකු දුටු බවක් වාර්තා වී නැහැ. ඒ කැදැල්ල ජලාශ්‍රිත ප්‍රදේශයක පිහිටි උස් ගසක තනන, ප්‍රමාණයෙන් අති විශාල විවෘත එකක් යැයි ඉන්දියානු වාර්තාවලට අනුව කිවහැකියි. එවැනි කැදැල්ලක වරකට මිමි 75x54ක් වූ බිත්තර 2-4ක් පමණ දමන බව එරටින් වාර්තා වෙනවා.

සැඩ්ල්බිල්ඩ් ස්ටෝක් නම් අප්‍රිකානු අලි මානාවායි

ඇමෙරිකානු අලිමානාවා

අලි මානාවා අයත් වන ගණයට මේ ගෙලකළු අලිමානාවා හැරුණු විට තවත් ප්‍රමාණයෙන් විශාල කුරුල්ලන් දෙවර්ගයක් ඉන්නවා. ඉන් එක් වර්ගයක් සැඩ්ල්බිල්ඩ් ස්ටෝක් නම් අප්‍රිකානු අලි මානාවායි. ඒ නම ඌට ලැබී ඇත්තේ උගේ හොටේ උඩ හණුවේ මුල දීප්තිමත් කහ-රතු පැහැයෙන් යුත් සදෑල හැඩැති කොටස නිසයි. අනෙක් කුරුල්ලා ජබීරු නම් වූ ඇමෙරිකානු අලිමානාවායි. උගේ හිසෙහි හා ගෙලෙහි පිහාටු නැත. මේ කුරුල්ලා මෙක්සිකෝවේ සිට ආජෙන්ටිනාව දක්වා රටවල විසිරී ජීවත් වෙනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments