ඒ එකක් තමයි අලුත් අවුරුද්ද ගැන ගෙදර ඉඳන් චිත්‍ර ඇඳලා එවන්න කියන එක. මුහුණු පොත, වට්ස් ඇප් ආදිය හරහා එවලා තිබුණු චිත්‍ර රූපවාහිනිවලින් පෙන්වනවා දැකලයි මට මේක ලියන්න හිතුනෙ. ඒ වැඩි දෙනෙක් දරුවන් ‘කොහා’ගේ රූපය වෙනුවට ඇඳලා තිබුනෙ වෙන කුරුල්ලකුගේ රූපයක්!
කය පුරා විහිදුණු පුල්ලි සහිත කෙවිලිය හා (කොහෝ කියා නාද කරන) කොවුලා
අපේ දරුවන්ට මෙහෙම වැරදුනේ කුමක් නිසාද? නිරීක්ෂණයේ අඩුපාඩුවක් නිසයි. අවුරුදු කාලයට නිවස අසල උස් ගස්වල මුදුන් අතුවල ඉඳන් ‘කොහෝ, කොහෝ’ කියා නාද කරන මේ කුරුල්ලා දැක ගැනීම ටිකක් අපහසුයි. ඌ ඉන්නා තැන හඬ අනුව සොයා ගෙන නිරීක්ෂණය කරන්න පුලුවන්. හැබැයි මේක කරන්න ඕනෑ, ඌට නොදැනෙන්නයි. ගස් මුදුනේ ඉඳගෙන නාද කරන ඌ පහළ ගැන සෝදිසියෙන් ඉන්නා නිසා යම්තම් සෙලවීමක් වුනත් ඇති ඌට එතැනින් ඉගිලිලා යන්න. කල්පනාවෙන් බැලුවොත් ඔබට ඒ යන අතරතුර ඔබේ නිරීක්ෂණය ටිකික් දුරට කර ගන්න පුලුවන්.
අනිත් අතට අපේ දරුවන්ට වැරදුනේ රුපවාහිනී ප්‍රචාරක දැන්වීම්වල වැඩිහිටි චිත්‍රශිල්පීන් ඇඳපු සමහර චිත්‍රවල කොහා වෙනුවට කොහී, වැරදුනා! කෙවිලිය යොදපු නිසයි. ඇඟ පුරා පුල්ලි ඉහිල තියෙන්නෙ කොහාගෙ ගෑනු සතාගෙ, ඒ කියන්නෙ කෙවිලියගෙ. ආයිත් නොවරදින්න මේ කෝකිල පවුල ගැන තවත් විස්තර ටිකක් හොයල බලමු.
ආසියානු කොවුලා (Asian Koel) හෙවත් ඉන්දියන් කොවුලා (Indian Koel)
කෝකිලයා, කොවුලා, කොහා යන විවිධ පොදු නම්වලින් හැඳින්වෙන කුරුලු වර්ග ගණනාවක් ඉන්නවා. ඒ සියල්ලන් ම අයත් වන්නේ කෝකිල කුලයට (Cuculidae) යි. මේ කුලයට අයත් කුරුලු විශේෂ 12ක් ශ්‍රී ලංකාවේදි දැක ගන්න පුලුවන්. ඒ අතරින් ‘කොහෝ, කොහෝ’ යන මිහිරි නාදයෙන් කෑගසන්නේ කොවුලා හෙවත් කෝකිලයායි. හරියට ම කියනවා නම් ආසියානු කොවුලා (Asian Koel) හෙවත් ඉන්දියන් කොවුලා (Indian Koel) යි. උගේ සත්ව විද්‍යා නාමය Eudynamys scolopacea යි. කෝකිලයා හෙවත් කොවුලා වඩාත් ප්‍රචලිත කුරුල්ලා ලෙසින් සැලකෙනවා. හැම කොවුලෙක් ම මේ විදියට ’කොහෝ කොහෝ’ කියල නාද කරන්නේ නැහැ. අඩු තරමින් මේ කුරුල්ලාගෙ ගෑනු සතාවත් එහෙම කෑගහන්නේ නෑ.
මේ වර්ගයේ පිරිමි සතාගේ සිරුර ඝන නිල්වන් කළු පැහැයෙන් යුක්තයි. ඇස් රතුපාටයි. ගැහැනු සතාගේ සිරුර පුරා සුදු පුල්ලි සහිත ඝන දුඹුරු පැහයක් ගන්නවා. සත්කාරක කැදැල්ලෙහි ගත කරන කාලය තුළ පිරිමි ගැහැනු පැටවුන් එක වගෙයි. සිංහල අවුරුදු කාලයට ‘කොහෝ’ හඬ නඟන්නේ ඒ ඔවුන් බිත්තර දමන සමය වන නිසයි. අන් කාලවල දී වැඩිපුර ගස් තුරු මුදුන්වල සැඟවී ජීවත් වෙනවා. ඒ කාලයේ සිරිතක් ලෙස මෙහෙම හඬ නඟන්නේ නැහැ. ඒ වෙනුවට නගන්නේ වෙනස් හඬක්. බියක් ඇති වූ විටෙක නොනවත්වා කෑ ගසමින් පියාසර කරනවා. වැඩිපුර කන්නේ පලතුරුයි. ඒ නිසා ගෙවතුවල නිතරම දක්නට ලැබෙතත් ඝන වනාන්තරවලදී දැක ගත නො හැකියි.
ගැහැනු සතාගේ සිරුර පුරා සුදු පුල්ලි සහිත ඝන දුඹුරු පැහයක් ගන්නවා.
සමහර කොවුලන් අනික් කුරුල්ලන් වගේ කූඩු හදන්නෙ නැහැ. ඌ කරන්නේ වෙනත් කුරුල්ලකු තෝරා ගෙන උගේ කූඩුවේ බිත්තර දමන එකයි. ඌට ‘පරපුටු’ කියන්නේ ඒ නිසයි. මේ නිසා තමන්ගේ සත්කාරක කුරුල්ලාගේ බිත්තර දමන කාලය සමග සමපාත කර ගන්න ඌට සිද්ධ වෙනවා. මේ හේතුව නිසා දැන් අවුරුදු කාලේ පහුවෙලා තමයි කොවුලන්ගේ නාදේ වැඩිපුර ඇසෙන්නේ. මේ කොහෝ නාදය අගෝස්තු විතර වෙනකන් ඇහෙනවා. බිත්තර දමන කාලයට මේ විදියට කොහා කෑගහන්නේ උපායක් හැටියටයි. කොවුලා කපුටු කූඩුවක් හෝ කැහිබෙල්ලකුගේ කූඩුවක් හෝ අසල සිට මෙසේ නාද කරන විට කැදැල්ල අයිති කපුටු ජෝඩුව හෝ කැහිබෙලි ජෝඩුව ඌට කොටන්න පන්නනවා. ඌ ඈතට පියාඹා යනවා. ඔවුනුත් ඌ පසුපස හඹා යනවා. ඒ අතර කෙවිලිය හෙමින් සීරුවේ උන්ගේ කැදැල්ලට රිංගලා බිත්තර දෙකක් දමනවා.
ඊළඟට ඒ බිත්තරවලින් එළියට එන කොහෝ පැටවුන් ඊටත් වැඩිය කපටිකමක් කරනවා. ඔවුන් සත්කාරක පැටවුන්ට ඉඩ නොදී කුරුලු ජෝඩුව ගේන සියලුම කෑම ඉදිරියට පැන ගිල දමමින් සත්කාර පැටවුන්ට වඩා ශක්තිමත් ව වැඩෙනවා. සමහර සත්කාරක පැටවුන් කෑම නැතිව මිය යනවා. සාමාන්‍යයෙන් කෝකිල කුලයේ අනිත් කුරුලු පැටවුන් තමන් සමග කූඩුවේ ඉන්නා සත්කාරක කුරුලු පැටවුන් කූඩුවෙන් පිටතට ඇද දමන අවස්ථාත් තියෙනවා.
කෝකිල කුලයට අයත් ගෝමර කොණ්ඩ කොහාගේ (Pied Crested Cuckoo)
කෝකිල කුලයට අයත් ගෝමර කොණ්ඩ කොහාගේ (Pied Crested Cuckoo) බිත්තර දෙමලිච්චාගේ බිත්තරවලට සමාන නිසා ඌ බිත්තර දැමීමට තෝරා ගන්නේ දෙමලිච්චාගේ කූඩුවයි. ඒ කොහාගේ හිස මත කළුපැහැති කොණ්ඩයක් ඇති අතර උඩු කය කළු පැහැතියි, යටි කය සුදුයි. වල්ගා තුඩ සුදු පැහැතියි. අනික් අතට ඉන්දු කෝකිලයා (Indian Cuckoo) බිත්තර දමන්නේ කහ කුරුල්ලන්ගේ කූඩුවලයි. උගේ උඩු කය දුඹුරු මුසු තද කළුවන් අළු පැහැයක් ගනී. යටි කය සුදු පැහැතියි. ඒ මත කළු වයිරම් වැටී තියෙනවා. මේ කුරුල්ලාට සමාන හැඩ ඇති එහෙත් මඳක් කුඩා සිරුරක් ඇති පුංචි කෝකිලයා (Lesser Cuckoo) ද පරපුටු ගති ඇති නිහඬ කුරුල්ලෙක්.
කොහෝලා හැම දෙනාම පරපුටුවන් නෙවෙයි. තමන්ගේ ම කූඩු හදාගෙන අනුන්ට බරක් නොවී වාසය කරන අයත් ඉන්නවා. එයින් එකෙකි, වතනිල් මල් කොහා (Blue-faced Malkoha). උගේ මුහුණ නිල් පැහැතියි. ගත කොළ මුසු අළු පැහැතියි. උගේ කූඩුව විවෘත එකකි. අතු දෙබලක කෝටු එක්කර තනන ඊට කොළ කීපයක් අතුරා ගන්නවා. වරකට රළු සුදු බිත්තර දෙකක් දමනවා. ඌ වියළි කලාපයේ ලඳු කැලෑවල තමයි වාසය කරන්නෙ. පතන් මල්කොහා හෙවත් පතන් ඇටි කුකුළා (Srikeer Malkoha) ද තමන්ගේම කූඩුවක් සාදා ගන්නවා. උගේ හැසිරීම මඳක් ඇටි කුකුළාට සමානයි. පහත රට වියළි කලාපයේ පතන් බද කැළෑවල වෙසෙන, මේ කුරුල්ලා දැක ගැනීම එතරම් පහසු නැත.
ශ්‍රී ලංකා වතරතු මල්කොහා (Sri Lanka Red-faced Malkoha)
ශ්‍රී ලංකාවට පමණක් අවේණික කුරුල්ලකු සේ සැලකෙන ශ්‍රී ලංකා වතරතු මල්කොහා (Sri Lanka Red-faced Malkoha) ද පරපුටුවෙක් නෙවෙයි. උෳ තමන්ගේ ම කූඩුවක් තනා ගන්නවා. ඒක උස් ගසක කඳට ළංවෙන්න රිකිල්ලක තැනූ ඇරුණු කූඩුවක්. රළු සුදු බිත්තර 2ක් හෝ 3ක් දමනවා. උගේ උඩු කය කොළ මුසු කළු පැහැතියි. යටි කය සුදුයි. මුහුණු රතුයි. වලිගය අග සුදුයි. කුරුල්ලගේ ඇස් දුඹුරුයි. කිරිල්ලියගේ ඇස් සුදුයි. ඔවුන් වෙසෙන්නේ උස් තුරු මුදුන්වලයි. බිත්තර දමන කාලයට ජෝඩු වශයෙන් ද අනිත් කාලවලදී රංචු වශයෙන් ද වාසය කරනවා. බොහෝ විට නිහඬ කුරුල්ලකු වන ඌ ඉඳහිට පිඹින්නාක් මෙන් හඬක් නඟනවා. තෙත් කලාපයේ වන වදුල්වලත් වියළි කලාපයේ ගංගා අසල කැලෑවල ජීවත්වෙන දුර්ලභ කුරුල්ලකු සේ සැලකෙනවා.
මේ ලිපිය ලියන මුලු කාලය තුළ ම කොහෙක් අපේ ගේ ඉස්සරහ තියෙන බෙලි ගහේ ඉඳන් කෑ ගහනවා. මම මේ ලිපිය ඉවර කළත් ඌ තාමත් උගේ ගායනය නැවැත්තුවේ නෑ.
- පර්සි ජයමාන්න
0 Comments