HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නයිටින්ගේල් ජන්ම දෙසිය වස සමරන අද ලෝක හෙද දිනයයි.


අද ලොව පුරා හැම රටක්ම පාහේ කොවිඩ් -19 වසංගතයට ගොදුරු වී තිබේ. රටවල් ගණනින් කීවොත් එය 212කි. බලවත් රටවල් හැම එකක් ම ඊට අයත් වෙයි. මේ මාරක වෛරසය නිසා මේ ලියන මොහොත වන විට මරණයට පත් සංඛ්‍යාව 287,613කි ආසාදිත වූවන්ගේ ගණන 4,271, 906කි. මැරෙන ගණන දිනපතා වැඩිවන්නේ දහස් ගණනිනි. සෞඛ්‍ය සේවාවල ආසාදිත වූවන්ගේ ගණන 90,000කි. මරණයට පත් හෙද සේවයේ ගණන 250කි. තවමත් නිශ්චිතව බෙහෙතක් නැති, වළක්වා ගැනීමට එන්නතක් නැති, වෙදකමටත් වඩා හෙදකම ඉස්මතු කළ මේ නව වෛරසයට ගොදුරුව අසරණව සිටින අයට ඔවුන් ළඟින්ම ඉන්නා එකම සහනය ‘නයිටින්ගේල් දියණියන්’ ය. මා ‘නයිටින්ගේල් දියණියන්’යැයි කීවේ හෙදියන්ට ය.
ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය

ජාත්‍යන්තර හෙද දිනය යෙදී ඇත්තේ අදටයි. එනම් 2020 අප්‍රේල් 12ටයි. මෙවර හෙද දිනයේ තේමාව වන්නේ ‘ලෝකයේ සෞඛ්‍යය නංවාලීමට හෙද හඬ අවදි කරමු’ යන්න ය. ලෝක හෙද දිනය ලෙස අද නම් කර ඇත්තේ හරියට ම මීට වසර 200කට පෙර උපන් ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියට ගෞරව දැක්වීම පිණිස ය. ඉංග්‍රීසි ජාතික කාන්තාවක වූ ඇයට ෆ්ලොරන්ස් යන ලැබුණේ ඇය උපන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී වන නිසා ය. එංගලන්තයේ ධනවත් පවුලකට අයත් ඇගේ දෙමාපියන් ඒ කාලයේ ජීවත්වූයේ ෆ්ලොරන්ස් නගරයේ පිහිටි ඔවුන්ට අයත් නිවාසයක ය.
ක්‍රිමියානු යුද සමයේ ෆ්ලොරන්ස් නයිටිංගේල් 
බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන චිත්‍රයක්

මිනිසා ලොව පහළ වූ දා සිට රෝගීන්ට සාත්තු කළ අය සිටින්නට ඇත. බුදුහිමියන් ද එසමයෙහි විසූ පූතිගත්ත තිස්ස නම් රෝගී තෙර නමකට සාත්තු සප්පායම් කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඉතිහාසයේ විවිධ අවස්ථාවල රෝගී සාත්තුව ගැන වාර්තා තිබුණත් ලෝකයේ වර්තමාන හෙද සේවාව අද පවත්නා ආකාරයට වෘත්තීය මට්ටමේ සේවාවක් බවට පත් කිරීමට අඩිතාලම දැමුවේ ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියයි.

ඇය උපන්නේ ඉතාලියේ දී වුවත් ඇය හැදුණු වැඩුණේ හැම්ෂයර්හී ඩර්බිෂයර්වල හා ලන්ඩනයේ ය. ඇගේ දෙමාපියන්ට අයත් නිවාස දෙපොළෙහි ම විය. ඇය කුඩා කල ඇයට ඉගැන්වූයේ ඇගේ පියා මය. පසුව ලන්ඩන් කිංස් කොලීජියටත් කේම්බ්‍රිජ් සරසවියටත් ගියාය.

කුඩා කාලයේදී ම රෝහලකට බැඳී රෝගීනට සාත්තු කරන හැටි ඉගෙනීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඇගේ පියා එය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඇයට පාර්ලිමේන්තු වාර්තා කියවීමට පියා බල කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර තුනක් ඇතුළත ඇය මහජන සෞඛ්‍යය හා රෝහල් පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගත්තාය.

දෙමාපියන්ගේ විරෝධය නොතකා ඇය එංගලන්තයේ හා යුරෝපා රටවල රෝහල්වල සංචාරය කළාය. ලන්ඩනයේ රෝහලක් බලන්න ගිය විටෙක ඇය රෝහලකට බැඳී රෝගීන්ට සාත්තු කරන්නට තමාගේ ආශාව බව එහි වෛද්‍යවරයකුට කීවාය.

‘ඔයා, ෆ්ලොරන්ස්! රෝගීන්ට සාත්තු කරන්ට?’ පුදුමයෙන් කී ෆෝලර් නම් ඒ වෛද්‍යවරයා ඇස් දල්වා ඒ සිහින් සිරුරැති ආකර්ෂණීය යුවතිය දෙස මොහොතක් බලා සිටියේය. ‘එන්න මට ඔයාගේ ඒ අදහස වෙනස් කරවන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. එන්න මේ රෝහල් වාට්ටුව දැක්කාම ඔයාම අදහස වෙනස් ගනීවී. එන්න!’ ඇය වාට්ටුව තුළට ඇය කැටුව ගියාය.

වාට්ටුවෙන් නිකුත් වූ දුර්ගන්ධය දැරිය නොහැකි තරම් විය. අඳුරු පැල්ලම් වැටුණු අශෝභන බිත්තිවලින් වට වූ ඒ වාට්ටුව තුළ පණ අදිමින් සිටි රෝගීන් නැඟූ විලාප හා ඒ ගැන මඳකුදු තැකීමක් කළ සාත්තුකාරියන් තුළ පැවති නපුරු පෙනුම ඇයව කම්පාවට පත් කළේය. ඒත් ඇය සිත බලෙන්ම නම්මවා ගෙන ඒ සියල්ලක් නැරඹුවාය.

ආපසු එන ගමන් ඇය වෛද්‍යවරයාට කීවේ, ‘මං මේවා සියල්ල වෙනස් කරනවා’ කියා ය.

1846 දී ඇගේ මිතුරකු ඇයට ජර්මනියේ කයිසර්වර්ත්හී පිහිටි ප්‍රොතෙස්තන්ත්‍ර දියෝකිසියක ආයතනික වාර්ෂික වාර්තාවක් එවීය. ඉන් වසර හතරකට පසු ඇය ඒ ආයතනයට ගොස් එහි හෙදියක ලෙස පුහුණුව ලැබුවාය. 1853 දී ඇයට ලන්ඩනයේ පිහිටි රෝගීවූ වංශවත් මහලු කතුන්ට සත්කාර කිරීමේ ආයතනයක අධිකාරි ලෙස පත්වීමක් ලැබුණේය.

ඒ වසරේදී ම ක්‍රිමියානු යුද්ධය ඇවිලී ගියෙන් ඇය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට සාත්තු කරන්නට ඇය ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වුවාය. තුර්කියේ සුකූටරිහි පිහිටි හමුදා රෝහල්වල සාත්තු සේවිකාවන්ගේ ප්‍රධානියා ලෙස ඇයට පත්වීමක් ලැබුණි. ඇය එහි යන විට සොල්දාදුවන් වැඩි දෙනකු මියගියේ යුද බිමේ ලත් තුවාලවලින් නොව උණ හා ආසාදනවලින් බව ඇයට දැක ගන්නට ලැබිණ. ඇගේ මුල් ම ඉල්ලීම වූයේ කුණු අතුල්ලන බුරුසු සපයන ලෙසය. ඒවා ලැබුණු පසු ඇය පරිසරය පිරිසිදු කළාය. සනීපාරක්ෂක රෙගුලාසි ක්‍රියාත්මක කළාය. රෝගී සොල්දාදුවන් විශේෂ පෝෂණ ගුණයෙන් යුත් ආහාර වේලක් ලබා දුන්නාය. ඒ අනුව ඇයට සොල්දාදුවන්ගේ මරණ අනුපාතය 45 සිට 2 දක්වා අඩු කළ හැකි විය.

ඇය රෝහල් සඳහා තමාගේ මුදලින් ලිනන්, කමිස, ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඇඳන් පවා මිලදී ගත්තාය. ඇය තමන් ගන්නා නව පියවර ගැන සටහන් තැබුවාය. රෝගීන් පිළිබඳ ප්‍රගති වාර්තා ලියා තැබුවා ය. ඒවා ඊළඟට එන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රයෝජවත් විය. ඇය එහිදී රැස් කළ සංඛ්‍යාලේඛන ද සෞඛ්‍ය ප්‍රගතිය මනින මිනුම් දඬු විය. එහිදී ඇගේ සේවය නොමඳ පැසසුමට ලක් විය.

ලන්ඩනයේ ටයිම්ස් පුවත්පතේ ක්‍රිමියානු යුද්ධය ගැන පළ වූ වාර්තාවක ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය පිළිබඳව පළ වූ සටහනක ඇය හඳුන්වා දුන්නේ ‘පහනක් අතින් ගත් කාන්තාව’ යන අරුත දෙන ‘ද ලේඩි විත් ද ලෑම්ප්’ යන අන්වර්ථ නාමයෙනි.
පහනක් ඇතැතිව යන කත

‘ක්‍රිමියානු යුද සමයේ තුවාල වූ භටයන් රඳවා සිටි මෙම රෝහල් ගැන සලකන විට ඇය දෙවියන් එවූ ‘සුර දුතියකැ’යි කීම අතිශයෝක්තියක් නොවේ. කෙසඟ සියුමැලි සිරුරෙන් හෙබි ඇය සෙමෙන් සෙමෙන් නිසොල්මනේ සෑම කොරිඩෝවක් දිගේ ම යන විට ඇය දකින එහි රෝගීව ඉන්නා සෑම අසරණයකුගේ ම මුහුණක ම ඇය කෙරෙහි ඇති කෘතවේදීත්ව හැඟුමෙන් පිරී යන්නේ ය. සෑමදාම සියලුම වෛද්‍යවරුන් සේවය අවසන් කර නික්ම ගිය පසු, රාත්‍රි අඳුර බිම මුුනින්තලා වී සිටින රෝගීන් වසා ගත් පසු, “කුඩා පහනක් අතැතිව යන මේ කාන්තාව,” ඔවුන්ගේ සුව දුක් විමසමින්, ඔවුන් සනසන වදන් තෙපළමින්, ඇය රෝහල පුරා තනිවම කරන සංචාරය අරඹන්නීය.’ ඒ වාර්තාවෙහි සඳහන් විය.

ටයිම්ස් පුවත්පතේ ඒ ලිපියෙහි සඳහන් පරිදි සමස්ත ලෝකය ම ඉන් පසුව ඇය ඒ නමින් හඳුන්වන්නට පටන් ගත්තේය. මේ අන්වර්ථ නාමය වඩාත් පිළිගැනීමට ලක්වූයේ සම්භාවනීය ඉංග්‍රීසි කවියකු වූ හෙන්රි ව්’ඩ්ස්වර්ත් ලෝංෆෙලෝ විසින් කවියකින් උපහාර දැක්වීම නිසා ය. 1857 දී ලියැවුණු ‘සැන්ටා ෆිලෝමිනා’ නම් ඒ පද්‍යය මෙසේ ය.

Lo! in that house of misery
A lady with a lamp I see
Pass through the glimmering gloom,
And flit from room to room.

ඒ අවාසනාවන්ත නිවාසයෙහිදී
පහනක් ඇතැතිව යන කත මම දකිමි
අඳුර අතරින් සැලෙන පහන් සිලෙන්
කාමරෙන් කාමරයට පිය නගන අයුරු

ඇය එහිදී වෙහෙස නොබලා වැඩ කළා ය. අවසානයේ දී ඇයට ක්‍රිමියානු උණ වැළඳුණේය. මාරාන්තික තත්වයට පත් වුවද ඇය ආපසු එංගලන්තයට යාම ප්‍රතික්ෂේප කළාය.

ඇය සාත්තු සේවයට පිවිසියේ සාත්තු සේවයට කිසිදු පිළිගැනීමක් නොතිබුණු යුගයකය. වර්තමාන හෙද වෘත්තිය ආරම්භ වූයේ 1849 දීය. ඒ ඇය විසින් හෙදකම වෘත්තීය මට්ටමෙන් විධිමත්ව උගන්වන ප්‍රථම හෙද පුහුණු සේවා පාසල ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර ශාන්ත වින්සන්ට් ද පෝල් ආයතනයට අනුබද්ධව ආරම්භ කිරීමත් සමගය. ඇය හෙදියන් වෙනුවෙන් නයිටින්ගේල් දිවුරුම මුලින්ම හඳුන්වා දුන්නේ මේ රෝහලෙනි.
අපේ ‘නයිටින්ගේල් දියණියෝ’

1856 වන විට ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ලෝක ප්‍රසිද්ධියට පත් ව සිටියා ය. ඒ වසරේ දී ඇය එංගලන්තයට ආවාය. ඇය වික්ටෝරියා මහ රැජින බැහැදැක්කාය. ඒ සමගම වගකිවයුතු නිලධාරීන් හමු වූ ඇය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ සෞඛ්‍යය නංවාලීම පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළාය. යළිත් දරුණු ලෙස රෝගාතුර වූ ඇය 1857 දී ආබාධිත තත්වයකට පත් වූවාය.

ඇය තමන් සතුව තිබූ පවුම් 45,000ක් යොදා නයිටින්ගේල් පදනම ආරම්භ කළාය. 1960 දී ඇයට එංගලන්ත රජයෙන් පවුම් 50,000ක පරිත්‍යාගයක් ද ලැබුණේය. ඇය එයින් බ්‍රිතාන්‍යයේ සාන්ත තෝමස් රෝහලට සම්බන්ධ හෙද පුහුණු විදුහලක් ආරම්භ කළාය. අද එය ෆ්ලොරන්ස් නයිටිංගේල් හෙද පුහුණු විදුහල ලෙස නම් කර තිබේ. බකින්හැම්ෂයර්වල ද ඇය තව පුහුණු ආයතනයක් පටන් ගත්තා ය. ලොව පුරා ඇගේ නම හෙද පුහුණු ආයතනවලට, වෛද්‍ය සේවාවලට යෙදීමෙන් ඇයට ගෞරව කර තිබේ.

එංගලන්තයේ මුදල් නෝට්ටුවලට ද රජපවුලේ කාන්තාවන් හැරුණු විට යොදා ඇති එකම කාන්තා රුව ඇයගේ ය. එ් නෝට්ටුවලට ඇගේ රුවට අමතරව යොදා ඇති අනෙක් රූප වන්නේ අයිසෙක් නිවුටන්, විලියම් ෂේක්ස්පියර්, චාල්ස් ඩිකන්ස්, මයිකල් ෆැරඩේ, සර් ක්‍රිස්ටෝපර් රෙන්, වෙලින්ටන් ආදිපාදවරයා, හා ජෝර්ජ් ස්ටීවන්සන් වැනි සම්භාව්‍නීය පුද්ගලයන්ගේ ය.

මේ කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් එංගලන්තයේ අරඹන ලද විශේෂ රෝහල් සියල්ල නම් කර ඇත්තේ ෆ්ලොරන්ස් නයිටිංගේල් රෝහල් හැටියට ය.

ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය අවුරුදු 90ක් ආයු වළඳා 1910 අගෝස්තු 13 වැනිදා ලන්ඩනයේ මේෆෙයාහිදී නිදි යහනේ දී ම මියගියා ය.

Post a Comment

0 Comments