තායිලන්ත කෑදැත්තියට ත්‍රිමාන මුද්‍රණ ක්‍රමයෙන් අලුත් හොටක්!

2020 අප්‍රේල් 18 වැනිදා බටහිර තායිලන්තයේ කාංචනබරිවල දී තුවාල වුණු කෑ‍ඳැත්තකු වනජීවී නිලධාරින්ට හමුවුණා. ඇත්තටම ඌ කුරුල්ලෙක් නෙමෙයි කිරිල්ලියක්. ඒ කියන්නේ කෑඳැත්තියක්. කැඩුණු හොටක් හා බිඳුණු අත්තටුවක් සහිතව කැළේ වැටිලා හිටිය මේ කෑඳැත්තියට පියාඹන්නවත් කෑ කන්නවත් පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඔවුන් ඇයට ‘කොකෝ’ කියලා නමකුත් දාල තියෙනවා.

මේ කෑදැත්තිය කැළේ වැටිලා ඉඳලා වනජීවී නිලධාරින්ට හමු වන විට හොටේ මේ කොටස තිබුණේ නැහැ.

වනජීවී නිලධාරින් දන්නෙ නැහැ මේ කිරිල්ලියට තුවාල වුණේ කොහොමද කියලා. ඇත්දළ සොයා යන්නන්ගේ හෝ දඩයක්කාරයකුගේ වෙඩි පහරකට ලක්වෙලා තුවාල වෙන්න ඇති කියලයි ඔවුන් හිතන්නෙ. මරණාසන්න තත්වයේ උන් කිරිල්ලියට සාත්තුසප්පායම් කරල යථාතත්වයට පත් කළත් කැඩුණු හොටටත් හා බිඳුණු අත්තටුවටත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ.

මේ සුවපත් කිරීමට වෙහෙසෙන වනජීවී නිලධාරින් හා පශු වෛද්‍ය නිලධාරින් මේ කිරිල්ලිය වැටිලා හිටිය කැළෑව පීරුවා ඇගේ කැඩුණු හොටේ කෑල්ල සොයා ගන්න. ඒත් බැරි වුණා. ඒ කෑල්ල තිබුණා නම් ඇගේ හොටට ඒ කොටස සැත්කමකින් බද්ධ කරන්න තිබුණා. ඒ කොටස නැතිව ඇයට කෑම කිසිවක් කන්න බැහැ. ඒ නිසා ඔවුන් කල්පනා කළා ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන ඇගේ හොටේ අහිමි වූ කොටස ප්ලාස්ටික්වලින් තනා ගන්න.

දැන් ඒ අඩුපාඩුව සම්පූර්ණයි! ඇය හොදින් කෑම ගන්නවා.

ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් තනා ගත් කෘත්‍රිම කොටස කිරිල්ලියගේ හොටේ ඉතිරිව තිබූ කොටසට තියලා වානේ ඇලවීමට යොදා ගන්නා ඉතාමත් ශක්තිසම්පන්න ඇලවුම් ද්‍රව්‍යයකින් අලවා ගත්තා. ඒක ඉතා ඉක්මනින් වේළුණු නිසා කිරිල්ලියට වදයක් වුණේ නැහැ. ඇය ඒ කොටස උපයෝගී කර ගෙන පහසුවෙන් කෑම ගත්තා. ඒත් ඒක පැය භාගයක්වත් පැවතුණේ නැහැ. ඇය හොට හසුරුවන වේගය වැඩි නිසා ඒක කැඩී ගියා.

‘ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන කිරිල්ලියට හොඳ හොටක් හදලා දුන්නත් ඒක වැඩි වේලාවක් පැවතුණේ නැහැ. අවාසනාවකට ඒක ඉතා ඉක්මනින් ම කැඩිලා ගියා. අපි උත්සාහය අත් ඇරියේ නැහැ.’ කොකෝට ප්‍රතිකාර කරන පශු ‍වෛද්‍ය කැනොක්වාන් තරුයනොන්ට් කීවා.

ඔහු ඇතුළු කණ්ඩායම තව එකක් හැදුවා. ඒක ඇගේ හොටේ කොට කෑල්ලට අලවන්නට වෙනස් ඇලවුම් ද්‍රව්‍යයක් භාවිතා කළා.

හොටට ඇලවීමට සකසා ගත් කෘත්‍රිම උපාංගය

වනජීවී නිලධාරින් දැන් කොකෝගේ ප්‍රගතිය දෙස අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඇය කෙතරම් වේගයෙන් කෑම ගන්නවාද කීවොත් නැවත වරක් හොට කැඩෙයි කියා බියක් ඔවුන් තුළ තියෙනවා. ඒ නිසා විශේෂඥ කණ්ඩායම වෙනත් ලෝහයක් යොදා හොට කොටස තනන්නට අත්හදා බලනවා.

ඒත් අවාසනාවකට කොකෝගේ බිඳුණු අත්තටුව තිබුණු තත්වයට ගෙන ඒමට හැකියාවක් ඔවුනට නැත. තායිලන්තයේ කැසෙට්සාත් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පශු වෛද්‍ය සුපාෆෙන් ශ්‍රීපිබූන් ඒ ගැන කියන්නේ මෙහෙම දෙයක්. ‘අපට හිතෙන්නෙ මේ කිරිල්ලියගේ අත්තටුවට සම්බන්ධ පේශීන් හා ස්නායුවලට හානිවෙලා තියෙනවා කියලයි. මෙහි ඇට බිඳීමක් වැනි කිසිවක් සිදුවී නැහැ. ඒත් ඇයට පියෑඹීමට නොහැකියි.’

ප්‍රාදේශීය වනෝද්‍යාන පාලක ප්‍රධානී සුචායි හොරාඩී කියන්නේ, කොකෝට වෙඩි වදින්න ඇතැයි කියායි. ‘ඒත් දඩයක්කාරයෙක් හිතාමතා වෙඩි තිබ්බා වෙන්න බෑ. එහෙම කළා නම් දඩයක්කාරයා මුළු කුරුල්ලම ගෙන යන එකයි ඒත් හොටක කෑල්ලක් ගෙනි යන්නේ නැහැ.’ ඔහු කීවා.

අහිමි හොට කෑල්ලේ නිල්පිටපත. හොට මුද්‍රණ කරන්නේ මේ රූපය අනුවයි.

‘ඒත් තාම අපට ඒ හොට කෑල්ල හම්බ වුණේ නෑ. ඒක හම්බ වුණා නම් කොකෝට වුණේ අනතුරක්ද නැද්ද කියලා අපට සොයා ගන්න පුළුවන්. සමහර විට බේත් පළෑටි සොයන්න කැළේට රිංගපු ගැමියන් ගැන සොයා බලන්න ඕනෑ’ ඔහු වැඩිදුරටත් කියනවා.

කොකෝ කිරිල්ලියට පිහිට වූ මේ ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය කියන්නෙ මොකක්ද? 1980 ගණන්වල ඇමරිකන් ජාතික චක් හි‍‍ල් කියන භෞතික විද්‍යා ඉංජිනේරුවා තමයි, මේ අපූරු තාක්ෂණයේ නිර්මාතෘ වරයා. ස්ටීරියෝලිතෝග්‍රැෆි හෙවත් ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් සිදුවන්නේ යම්කිසි ත්‍රිමාන දෙයක් තුනී ස්තරවලින් සැකසීමයි.

සාමාන්‍ය ඉන්ක් ජෙට් මුද්‍රණ යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයේදී තීන්ත ස්තරයක් කඩදාසියක තැවරෙනවා වාගේ මේ ක්‍රමයේදී ප්ලාස්ටික් හෝ ලෝහ කුඩු බන්ධන දියරයක් සමග භාවිත කර, වරකට එක ස්තරයක් මත තවත් ස්තරයක් බැගින් පරිගණකයේ ඩිජිටල් ගොනුවක ඇති උපාංගයේ සැලැස්මට අනුව ඒවා තැන්පත් කිරීමයි. 

සාම්ප්‍රදායික ක්‍රමවලට අනුව මෙවැනි උපාංගයක් තැනීමේ දී විශාල වශයෙන් ද්‍රව්‍ය නාස්තියක් සිදු වෙනවා.මෙය උපාංගයට අවශ්‍ය අමු ද්‍රව්‍ය මෙන් තිස්ගුණයක් යැයි ගණන් බලා තියෙනවා. මේ නව ක්‍රමයට, එනම් ත්‍රිමාන මුද්‍රණය භාවිත කරන විට එසේ වන්නේ නැහැ. එහිදී අමු ද්‍රව්‍යවලින් සියයට 98ක්ම වැය වන්නේ නිමවන උපාංගය සඳහාමයි.

දැනට ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය මගින් රොබෝවරුන් සඳහා ප්ලාස්ටික්වලින් හෝ ලෝහවලින් අවයව තැනීමේ පටන් විවිධ මිනිස් උපාංග තැනීමට යොදා ගනු ලබනවා.

මෙවැනි මුද්‍රණයක් සඳහා නිල් පිටපත (blue print) තැනීමට යොදා ගන්නේ කෑඩ් මෘදුකාංගයයි.

මුද්‍රණ යන්ත්‍රය සූදානම් කිරීමේ දී ඊට ප්ලාස්ටික් හෝ ලෝහ කුඩු හා බයින්ඩින් දියර ආදිය එක් කළ යුතු වෙනව‍ා. ත්‍රිමාන මුද්‍රණ ක්‍රමය විවිධ අයුරින් සිදු කෙරෙනවා. ඒත් වැඩිපුරම සිදුවන්නේ ඊට යොදන අමුද්‍රව්‍ය හා බයින්ඩින් දියර කවලම් වී අනතුරුව උණු වී ම්‍රද්‍රණ නොසලයක් හරහා නිකුත් වීමයි.

ඊළඟට සතාගේ හොට ස්කෑන් කර එහි අහිමි වූ කොටස පරිගණකයෙන් ප්‍රතිනිර්මාණය කර සකසා ගත් ගොනුව අනුව එහි ඇති නිල්පිටපත ආකාරයට ඒ උපාංගය මුද්‍රණය කරන ලෙස නියෝග කිරීමයි.

පශු වෛද්‍යවරියක් කොකෝගේ හොට පිරික්සන අයුරු

මෙවැනි මුද්‍රණයක් නිමවීමට ගත වන කාලය ඒ උපාංගය අනුව වෙනස් වෙනවා. මේ ක්‍රමයට මුද්‍රණ යන්ත්‍රය විශාල කොට තැනුවොත් ගෙයක් වුණත් තනන්න පුළුවන්. ඒ වගේ දෙයකට දින කීපයක් ගත වෙන්නට ඉඩ තියෙනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments