අප්‍රේල් 7 වැනිදා පෑයූ සුපිරි චන්ද්‍රයාගේ රහස කුමක්ද?

බක් පෝ දා සඳ දීප්තිමත්ව හා විශාලව පෙනුනේ ඇයි? මෙය සෑම වසරකම සිදු වන සංසිද්ධියක්. බක් පෝයට පායන සඳ වෙනදාට වඩා ලොකුවට පෙනෙනවා. ඒ වාගේ ම දීප්තියෙනුත් වැඩි වෙනවා. එයට හේතුව පෘථිවිය වටා යන ගමනේ දී එය පෘථිවියට වඩාත් ළං වන අවස්ථාව වීමයි. ඒ වගේම සූර්යයාගේ ආලෝකය ඍජුවම සඳ මත පතිත විමද මේ අවස්ථාවේ දී සිදු වෙනවා. ඒ නිසා සඳ මතට පතිත වන හිරු එළිය කෙළින් ම පරාවර්තනය කරන නිසා එහි දීප්තිය ඉතා වැඩියි.

එංගලන්තයේ විල්ට්ෂයර්හී ඇති ක්‍රිස්තු පූර්ව 3000-2000ත් අතර ඉදිකරන ලද්දෙකැයි සැලකෙන ශිලා යුගයට අයත් ස්ටෝන්නේජ් නම් පූර්ව ඓතිහාසික ස්මාරකය අසල දී (අප්‍රේල් 6 වැනිදා) නික් බුල් නම් කැමරා ශිල්පියාගේ ඇසට ‘සුපිරි පින්ක් මූන්’ පෙනුනු හැටි.

මේ අවස්ථාවේ අප්‍රේල් පසළොස්වක සඳ පායා ආවේ 14%ක විශාලත්වයෙන්. ඒ අතර සාමාන්‍යයෙන් වෙනදා පවතින දීප්තිය මෙන් 30%කින් වැඩි දීප්තියකින් යුතුව පායා ආවා.

ඔබ දන්නවා චන්ද්‍රයා පෘථිවිය වටා යන්නේ පෘථිවියේ සිට එකම දුරක් ඇති කක්ෂකය නොවන බව. ඒ නිසා ඒ ගමනේ දී චන්ද්‍රයා විටෙක පොළොවෙන් ඈත් වෙනවා. තවත් විටෙක ළං වෙනවා. එසේ පොළොවට සමීපතම අවස්ථාවට ‘භුසමීපකය’ (perigee) කියා කියනවා. එහිදී චන්ද්‍රයා පොළොවට කිලෝමීටර් 50,000කින් විතර ළං වෙනවා. ඒ අවස්ථාවේදී චන්ද්‍රයා ඇත්තේ පොළොවේ සිට කිලෝමීටර් 356,508ක් හෙවත් සැතැපුම් 221,524ක් දුරිනුයි. චන්ද්‍රයා පෘථිවියට වඩාත් ඈතින් ම කක්ෂගත වන ස්ථානය හැඳින්වෙන්නේ ‘භූදූරකය’ (apogee) කියායි. එයට ඇති දුර කිලෝමීටර් 406,700ක්.

බක් පෝයට එන සුපිරි හඳ අපට පෙනෙන්නේ කොහොමද? මේ ග්‍රැෆික් සටහනෙන් දැක්වෙන්නේ එය සිදුවන ආකාරයයි. මෙහි හඳ පායන වේලාවන් දක්වා ඇත්තේ එංගලන්ත වේලාවෙනි. පායන අවස්ථ‍ාවේදී සඳ අහසේ පහළින් ඇති විට පෘථිවි වායුගෝලයේ දී ඉන් නිකුත්වන ආලෝකයේ එන නිල් පැහැ කිරණ පෙරීමට ලක්වන නිසා ළා රත්පැහැයෙන් හෝ රඹ පැහැයෙන් දිස් වෙනවා.

මේ අප්‍රේල් පසළොස්වක සඳ බටහිර ලෝකයා විසින් ‘ පින්ක් මූන්’(Pink Moon) හෙවත් ‘ළා රෝස සඳ’ කියා හඳුන්වනු ලබනවා. එසේ හැඳින්වෙන්නේ එය ඒ වර්ණයෙන් අපට එසේ දිස් වෙන නිසා නොවෙයි. උතුරු ඇමෙරිකානු ස්වදේශිකයන් ඊට දී ඇති නම එයයි. එය ඒ කාලයට බහුුලව පිපෙන රෝස පැහැති වන මලක් නිසා ‍භාවිත කළ එකක්. සඳ ලොකුවට පෙනෙන නිසා, එයට ‘බක් මාසය’ අනුව යමින් සිංහලෙන් ‘බක් පෝය’ හෙවත් ‘බක සඳ’ කියා හැඳින්වීම නිවැරදි යයි මා සිතනවා. මෙහි දී ‘බක’ යන වි‍ශේෂණය ‘විශාල’ යන අරුතිනුයි යොදා තියෙන්නේ. බකමූණා කියන කුරැල්ලාට ඒ නම දී ඇත්තේත් උගේ ලොකු මුහුණ නිසයි. බක් මාසයට ඒ නම යොදා ඇත්තේ ‘භාග්‍යමත් මාසය’ යන අරුතින්. ‍

අප්‍රේල් පසළොස්වක සඳ ලෝකයේ සමහර සංස්කෘතීන්වල ‘බිත්තර සඳ’ (Egg Moon), ‘තණ ලියලන සඳ’ (Sprouting Grass Moon), ‘මීන සඳ’ (Fish Moon) ආදී වශයෙන් ද හැඳින්වෙනවා.

ශ්‍රී ලංකාවේ අප සෑම මසකම පෝය දිනය හැඳින්වීමට අපේ සංස්කෘතියට අයත් නම් භාවිත කරනවා. එහි වැඩි තැනක් දී ඇත්තේ බෞද්ධාගම හා බැඳුණු සිදුවීම්වලටයි. අනෙක වගාවටයි.

බටහිර ලෝකයාට එවැනි නම් නැති නිසා ඔවුන් යොදා ගන්නේ ඒ රටවල ආදීවාසීන් භාවිත කළ නම්. උතුරු ඇමෙරිකානු ස්වදේශිකයන් ඔවුන්ගේ කැලැන්ඩරයේ ඒ ඒ මාසවල පුන් පෝදාට දුන් නම් තමයි, ඔවුන් ඉංග්‍රීසියෙන් යොදන්නේ. උතුරු ඇමෙරිකානු ස්වදේශිකයන් අපට වඩා වෙනස් ආකාරයටයි, ඒවා හඳුන්වන්නේ. අප දුරුතු පෝය කියා හැඳින්වෙන ජනවාරි පෝදා ඔවුන්ට ‘වෘක සඳ’ (Wolf Moon)යි. පෙබරවාරියේ එන අපේ නවම් පෝය ඔවුනට ‘හිම සඳ’ (Snow Moon)යි. මාර්තුවේ එන මැදින් පෝය ඔවුනට ‘පණු සඳ’ (Worm Moon)යි. වෙසක් පෝය ඔවුනට ‘මල් සඳ’ (Flower Moon)යි. පොසොන් පෝය ඔවුනට ‘ස්ට්‍රෝබෙරි සඳ’(Strawberry Moon) යි. ඇසළට එන්නේ මුව සඳ (Buck Moon) යි. නිකිණිවලට එනම් අගෝස්තුවේ එන්නේ ‘ස්ටූජන් සඳ (Sturgeon Moon) යි. සැප්තැම්බරයේ බිනර සඳ ඔවුන්ට ‘අස්වනු සඳ’ (Harvest Moon)යි. ඔක්තෝබරයේ ‘වප් සඳ’ ඔවුන්ට ‘දඩයක්කාරයාගේ හඳ’ (Hunter's Moon)යි. නොවැම්බරයේ ඉල් සඳ ඔවුනට ‘බීවර සඳ (Beaver Moon)යි. දෙසැම්බරයේ එන උඳුවප් සඳ ඔවුනට ‘ශීත සඳ’ (Cold Moon) යි.

ජර්මනියේ හෙචින්ජන්හී ඔන්සොලා මාළිගයට අසලින් අප්‍රේල් පුන් සඳ පායා ආ හැටි

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments