HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිහිතලය සුරැකීමට බිහි වූ මිහිකත දිනයට වසර 50යි!

අද අප්‍රේල් 22 වැනිදා ලෝක මිහිකත දිනයයි. මෙවර මිහිකත දිනය සමරන්නේ 50 වැනි වතාවටයි. මිහිකත දිනය ලෙස අප්‍රේල් 22 වැනිදා යොදා ගන්නේ 1970 යොදා ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සරසවි සිසුන් මිලියන ගණනක් පරිසර ගැටළු ගැන ලෝක අවධානය ගන්න වීදි බැහැපු අප්‍රේල් 22 වැනිදා දිනයයි. එහි ආරම්භය ඇති වූයේ විස්කොන්සින් ජනපදයේ කණිෂ්ඨ සෙනේට් මන්ත්‍රී වරයකු වූ ගේලෝඩ් නෙල්සන්ගේ යෝජනාවක් අනුවයි.

පරිසරයට ප්‍රයෝජනවත් පැළයක් සිටුවන්න

ඇමෙරිකා එක්සත් ජනපදයේ වායු හා ජල දූෂණය පිළිබඳ දැඩි ලෙස කම්පාවට පත් වූ ඔහු තවත් පරිසර හිතවාදී කොංග්‍රස් මන්ත්‍රීවරයකු වූ පීට් මැක්ලෝස්කි ද හවුල් කර ගෙන පරිසරය පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ඇරඹුවා. ඒ විදුහල්වල හා විශ්ව විද්‍යාලවල සිසුන් හා මාධ්‍යවේදීන් සඳහායි. ඒ මගින් සිසුන් දැනුවත් කිරීමටත් පරිසරය සුරැකීම සඳහා උද්‍ඝෝෂණය කිරීමටත් ඔවුන්ගේ සහය ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව වුණා. ඔවුන් එය ක්‍රියාවට නැංවීම සඳහා තරුණ ක්‍රියාධරයකු වූ ඩෙනිස් හේස් හවුල් කර ගත්තා. විශ්ව විද්‍යාල සිසුන්ගේ වැඩිම සහභාගිත්වයක් ලබා ගැනීම සඳහා අප්‍රේල් 22 යොදා ගත්තේ ඔහුයි. 1970 අප්‍රේල් 22 වැනිදා මුල්ම වැඩසටහනට මිලියන දෙකක් ජනතාව එක්වුණා.

ඇමෙරිකාවේ ෆිලඩෙල්සියාවේ පැවති මුල්ම පරිසර වැඩසටහනට 
පැමිණි සරසවි ප්‍රජාව - 1970 අප්‍රේල් 22 වැනිදා

මුලින් ම පරිසරය ගැන ලෝකයේ අවධානය යොමු වුණේ පරිසරයට වන විනාශය ගැන ලියැවුණු එක්තරා විශිෂ්ට පොතක් නිසයි. ඒ සාගර ජීව විද්‍යාඥවරියක හා ලේඛිකාවක වූ ඇමෙරිකන් ජාතික රැචෙල් කාසන් විසින් 1962 දී ලියූ silent spring නම් ඒ කෘතිය නිසා ලෝකයේ පරිසරය ගැන එතෙක් නොවූ විරූ උනන්දුවක් ඇති වුණා. ඒ පොත රටවල් 24ක පිටපත් 500,000ක් පළමු අවුරුද්දේ ම අලෙවි වුණා. කෘත්‍රිම පොහොර, පළිබෝධ නාශක පරිසරයට කරන දැඩි බලපෑම ඒ පොතෙහි විස්තර සහිතව දක්වා තියෙනවා. නිදසුනක් වශයෙන් ඩීඩීටී පළිබෝධ නාශකයක් ලෙස පාවිච්චි කිරීම දැකිවිය හැකියි. ඒවා ජල මාර්ගවලට එක්වීමෙන් ජලය විෂ සහිත තත්වයට පත් කරනවා. එසේ ම ආහාර දාමයට ඇතුළුව ඊට අයත් කුරුල්ලන්, මසුන් පමණක් නොව අවසානයේ දී මිනිසුන් ද මරණයට පත් කරනවා.

පරිසරයට ලෝකයාගේ ඇස යොමු කළ සාගර ජීව විද්‍යාඥ රැචෙල් කාසන්

සයිලන්ට් ස්ප්‍රිං කෘතිය නිසා පරිසර සුරකින ව්‍යාපාර ලොව පුරා බිහි වුණා. ඉන් පළමු වැන්න ලෙස මිහිකත සුරකින ව්‍යාපාරය දක්වන්න පුළුවන්. අද ලොව පුරා රටවල් 193කට වැඩි ගණනක් මේ සඳහා ව්‍යාපාරයට එක්වෙලා තියෙනවා. ඒවා මගින් සකස් කළ වැඩසටහන්වලට ලොව පුරා බිලියනයකට වැඩි ජනතාවක් සහභාගි වෙනවා.

1970 මුල් ම මිහිකත දින ව්‍යාපාරය නිසා තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂක ඒජන්සිය පිහිටුවනු ලැබුවේ. පරිසරය රකින්න නීති අණ පනත් ඇති කළේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පරිසර අධ්‍යාපන පනත, වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය පනත, පිරිසිදු වායුවට අදාළ පනත, පිරිසිදු ජල පනත ආදිය ඇති වුණේ මිහිකත සුරකිමු ව්‍යාපාරයේ උද්ඝෝෂණවල ප්‍රත්ඵල වශයෙනුයි. ඒ අනුව යමින් ලොව පුරා බොහෝ රටවල් ඒ හා සමාන පරිසර ආරක්ෂණ ආයතන හා නීති රීති ඇති කළා.

වසර 50 සපුරන 2020 මිහිකත දිනයෙහි මෙවර තේමාව ‘දේශගුණය සුරැකීමට එක් වෙමු!’ යන්නයි. මිහිකත දිනය යනු මිහිතලයේ ආරක්ෂාවට, වැඩි අවධානයක් යොමු කොට ක්‍රියාන්විතයන් සඳහා එක්වන ලෙස ලෝක ප්‍රජාවට ආරාධනය කෙරෙන දවසයි.

කෝවිඩ් 19 නිසා මෙවර ‍මිහිකත දිනය ඔබට සැමරීමට සිදුවී ඇත්තේ නිවසේ සිටයි. ඒ නිසා නිවෙස අවට පරිසරය ගැන උනන්දු වෙන්න! ගෙවුයනෙහි කුරුල්ලන්ට දිය බඳුනක්, කෑම බඳුනක් තබන්න. ඔවුන්ගේ චර්යාවන් දුර සිට නිරීක්ෂණ කරන්න. ගෙවත්තෙහි පැළයක් සිටුවන්න! පරිසරය ගැන ලියූ පොතපත කියවන්න! වඳවී යන සතුන් හා ශාක ගැන ඉගෙන ගන්න! අනෙක් අයටත් ඒ ගැන කියා දෙන්න! මිහිකත දිනය ගැන චිත්‍රයක් අඳින්න! රචනාවක් ලියන්න! කවියක් නිර්මාණය කරන්න! ගෙවත්තේ කුණු රොඩු, වියළි කොළ ආදිය එළිමහනේ ගිනි තියන්න එපා! ඒ වෙනුවට පසෙහි වළක් කපා ඒ තුළ දුම් නො නගින සේ පුළුස්සා ජීව අඟුරු තනා ගන්න! නැතිනම් ජීව අඟුරු තනන බඳුනක් තුළ කුණු රොඩු පුළුස්සන්න!

මිහිකතේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට අදම ක්‍රියා කරමු


Post a Comment

0 Comments