HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘වසර 49කට පෙර කිරිබත වෙනුවට මළබත කෑ සිංහල අවුරුද්දක්!’

‘සති අග අරුණ’ පුවත්පතට ලිපියක් ලියමින් අපේ මිතුරු දයා ලංකාපුර ‘වසර 49කට පෙර කිරිබත වෙනුවට මළබත කෑ සිංහල අවුරුද්දක්’ යනුවෙන් මතකය අවුස්සන අපූරු ලිපියක් ලියා තිබුණා. දයා ඒ ලිපිය ලියා තිබුණේ ’71 ජවිපෙ කැරැල්ල’ සමයේ සිංහල අවුරුද්ද ගැනය. එසේ ම මෙවර ද අපේ සිංහල අලුත් අවුරුද්දට ඒ ඉරණම ම අත්වන බවට ඔහු පළ කළ ඉඟිය ද ඒ අයුරින් ම ඉටු වුණා. ඒ ලිපියට යෙදූ සිරස්තලය පාඨක ආකර්ෂණය උපරිම ලෙස ලබා ගැනීමට හැකි නිර්මාණශීලී එකක්. දයා කවදත් එවැනි සිරස්තලයක් යෙදිය හැකි වන සේ නව මානයකින් පුවත්පත් වි‍ශේෂාංග ලිවීමට දක්ෂයෙක්.

රෝහණ විජේවීර

ඔහු එහි දී අවස්ථා දෙකකදී අපට සිංහල අවුරුද්ද මග හැරුණු අයුරු සිහිපත් කරනවා. එකක් 1942 අප්‍රේල් 5 වැනිදා ජපනුන් කොළඹට බෝම්බ හෙළූ අවස්ථාවයි. ඒ අප බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලේ, දෙවැනි ලෝක යුද්ධයේ එක් අදියරක දී මෙරට සිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන්හමුදාව එල්ල කර ගෙන දියත් කළ එකක්. ඉන් බියට පත් සිංහල ජනයා විශාල වශයෙන් කොළඹ නගරය අතහැර රට තුළට ගියා. ඒ නිසා ප්‍රධාන විදුහල් පවා ගම්පහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලට ගෙන යාමට සිදු වුණා. වැඩි දෙනකු මහනුවර ප්‍රදේශයේ පදිංචියට ගියා. යුද්ධය අවසන වනතෙක් ම ජන ජීවිතය යථා තත්වයට පත් වුණේ නෑ. අදත් ඒ අයගෙන් බොහොම දෙනකු හා ඔවුන්ගෙන් පැවත එන්නන් ජීවත් වන්නේ ඒ ප්‍රදේශවලයි.

දයාගේ ලිපිය කියවූ මට ඒ අවුරුදු සමයේ මගේ මතකයන් අවදි කරන්න හිතුණා. දයා කියූ විදියට ඊළඟට අපට සිංහල අවුරුද්ද අහිමි වුණේ වසර 49කට පසු 1971දියි. ඒ ‘ජවිපෙ කැරැල්ල’ නිසයි. එය ආරම්භ වූයේ අප්‍රේල් 5 වන දා පාන්දර වැල්ලවාය පොලිස් ස්ථානයට පහර දීමෙන්. ඒ සඳහා 40ක 50ක පමණ තරුණ පිරිසක් පැමිණ බව සඳහන්.

දිවයිනේ සියලුම පොලිසිවලට එකවර පහර දීමේ මෙම තීන්දුව ගත්තේ අප්‍රේල් 2 වන දා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පැවැති රැස්වීමකදියි. ඒ රැස්වීමට නායක රෝහණ විජේවීරට සහභාගි වීමට හැකි වූයේ නැහැ. ඒ ඊට සති දෙකකට පෙර ඔහු අත්අඩංගුවට ගෙන යාපනයේ සිර කදවුරෙහි රඳවා සිටි නිසයි. ඒ අනුව ඊට සහභාගි වූ‍ පිරිස වූයේ එස්. වී. ඒ. පියතිලක, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ(ඌ මහත්තයා), අනුර රංජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය, ඩබ්ලිව්. ඩී. නිමලසිරි ජයසිංහ (ලොකු අතුල), සුසිල් වික්‍රම, සනත් බොරළුකැටිය(හික්කඩුවේ විජේසේන විතාන) සහ ඩබ්ලිව්. ටී. කරුණාරත්න(අරුණාතිලක)යි. මොවුන් අතරින් හයදෙනකු පක්ෂවත් තුන්දෙනකු විරුද්ධවත් ගන්නා ලද බෙදුනු තීන්දුවකට අනුව ඒ එකවර පහර දීම කළයුතු තිබුණේ 5 වන දා රාත්‍රි 11.30ටයි.

එහෙත් වැල්ලවාය ත්‍රස්තවාදී කණ්ඩායම ඉස්සර වුණා. ඔවුන් 4 වැනිදා රාත්‍රියේ නැත්නම් 5 වැනිදා පාන්දර ඔවුන්ගේ ප්‍රහාරය එල්ල කළා. ඒ නිසා අනෙක් පොලීසිවලට ඒ ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීමක් කල් තියා ලැබුණා. ඒ වුණත් තමන්ට එල්ලවන ප්‍රහාරය ගැන හරි තක්සේරුවක් බොහෝ පොලීසිවලට තිබුණේ නෑ. ඒ නිසා තරුණ ප්‍රහාර ඉදිරියේ ඔවුන්ට පොලිස් ස්ථාන අතහැර දමා පසුබසින්නට සිදු වුණා. තමන් පහරදුන් පොලිස්ථාන 90කින් ත්‍රස්තවාදීන්ට අල්ලා ගැනීමට හැකි වූයේ පොලීසි 25ක් පමණයි. ඒ නිසා රටේ ඒ ප්‍රදේශවල අරාජිකත්වයක් ඇති වුණා.

එකල පුවත්පත් හැරණු විට අපට තොරතුරු ලැබුණු එකම මධ්‍යය වූයේ ජාතික ගුවන් විදුලියයි. දැන් මෙන් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා රැසක් එකල තිබුණේ නැත.

71 කැරැල්ල සාර්ථකව මර්දනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය පසුදා ගුවන් විදුලියෙන් ජාතිය ඇමතූවේ මෙහෙමයි. ‘ජනතා විමුක්ති පෙරමුණ යයි කියන සංවිධානයකට සම්බන්ධ ත්‍රස්තවාදීන් ගත වූ පැය කිහිපය තුළ දී දිවයිනේ පොලිස් කාර්යාල විසි පහකටත්, මුර සංචාරයේ යෙදෙමින් සිටි ආරක්ෂක භටයන්ටත්, තවත් රජයේ ගොඩනැගිලි සමහරකටත් පහරදී ඇත. දැන් පලවා හැර ඇති මේ ත්‍රස්තවාදීක් එම ප්‍රහාරයන් එල්ල කළේ තුවක්කු, බෝම්බ සහ වෙනත් ආයුද පාවිච්චි කරමිනි.

‘අද සිට නැවත දැනුම් දෙන සවස 3 සිට උදෑසන 6 දක්වා බලපාන ඇඳිරි නීතියක් රටපුරා පවනු ලැබේ. අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු විට අනිකුත් සියලුම රජයේ කාර්යාල සහ වැඩපොළවල් හී සේවකයන්ට කල්වේලා ඇතිව ආපසු නිවෙස්වලට යාම සඳහා විධි විධාන යොදන ලෙස පුද්ගලික අංශයේ ආයතනවල පාලකයන්ගෙන් ඉල්ලා සිටිමි.

කැරලිකරුවකු හමුදාවට යටත් වූ අවස්ථාවක්

’සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඝාතනය කිරීම ද ඔවුන්ගේ කැරැල්ලේ ප්‍රධාන අරමුණක් වුණා. ඒ කටයුත්ත පැවරුණේ මරදානේ සංඝරාජ විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි එඬේරමුල්ලේ නිමල් නම් වූ ශිෂ්‍යයකුටයි. ඔහු ජවිපෙට එක්වී ඇත්තේ 1970 නොවැම්බර් මාසයේදියි. විමලගුණේ විසින් පවත්වන ලද පන්ති පහට සහභාගිවීමෙන් පසු ඔවුන් ඔහු පක්ෂයේ පූර්ණකාලීනයකු ලෙස බඳවා ගෙන තියෙනවා. පන්ති පහට ඇතුළත් වූයේ ආර්ථික අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ ලංකාවේ විප්ලවය ගතයුතු මඟ යන ඒවායි. රටේ බලය අල්ලා ගැනීම ගැන ඔහු ඉගෙන ගත්තේ අවසාන දේශනයේදීයි. එහිදී කියැවුණේ, පවතින සමාජ රටාව එක වර බිඳ දැමීම සඳහා පොලිසි ඇතුළු රජයේ මර්මස්ථානවලට පහර දී බලය අල්ලා ගැනීමෙන් පසු රැකීරක්ෂා, ඉඩම්, නිවාස ආදී ප්‍රශ්න විසඳීමටත්, අලුත් සමාජයක් බිහි කිරීමටත්, ඔවුන්ට හැකි වන බවයි.

මෙසේ රටපුරා එකවර ප්‍රහාරය සිදු කරන අවස්ථාවේ දී නිමල්ට බාර වුණේ පනස් දෙනකුගෙන් යුත් පිරිසක් සමග රෝස්මීඩ් පෙදෙසේ පිහිටි අගමැතිනියගේ නිවසට ගොස් ඇය ඝාතනය කොට හෝ පණ පිටින් හෝ අල්ලා ගැනීමයි. අගමැතිනිය ගෙන යාමට ජීප් රියක් එවේලේ එතැනට එන බවත් එසේ නාවොත් මහ මග යන එකක් ඒ සඳහා බලෙන් ලබා ගත යුතුය. නිමල්ගේ උදව්වට ඒ පනස් දෙනා සමග අත් බෝම්බ 25ක් ද ලැබෙන බව නායකත්වය විසින් දන්වා තියෙනවා. මේ පිරිස නිමල් හා එකතු වෙන්නේ ‍රෑ 11ට බොරැල්ලේ රිට්ස් සිනමා හල අසල දීයි. ඔවුන් රාත්‍රි 9.30 දර්ශනය නරඹමින් සිට එය අවසන් වීමට කලින් ඉන් පිටතට අවුත් නිමල් හා එක් වනු ඇතැයි නායකයන් ඔහුට දැනුම් දී තිබුණා.

එදා රාත්‍රි 10.30ට පමණ නිමල් ඇතුළු කීපදෙනෙකු බෝම්බ ඇසුරූ සූට් කේස් දෙකක් රැගෙන බොරැල්ලට ආවා. ඒත් බලාපොරොත්තු වූ පිරිස හමු වී නැහැ. ඇඳිරි නීතිය දැමීම නිසා සිනමා දර්ශන කලින් පැවැත්වීම හේතුවෙන් ඒ පිරිස කොහේ ඉන්නවාදැයි නිමල්ට හිතා ගන්න බැරි වුණා. කලින් හඳුනාගත් අය නොවූ නිසා ඔවුන් එක් කර ගැනීමට ක්‍රමයක් තිබුණේ නෑ. ඒ නිසා නිමල් ආපසු බෝඩිමට ආවා. එදා රෑ පොලිසිය ඔවුන් සිට නිවස වැ‍ටලුවා. නිමල් සමග තිදෙනකු අල්ලා ගනු ලැබුවා. ඉහත කී තොරතුරු හෙළි වූයේ නිමල්ගේ පාපෝච්චාරණයෙන්.

ඒ වැටලීමේ දී අත්බෝම්බ 26ක් සහිත සූට් කේස් එකක්, පතරොම් 90ක්, ඩෙටොනේටර් කැප් 50ක්, සේවානූල් 65ක්, අගමැතිනියගේ නිවසේ සිතියමක්, ගුවන් විදුලි සංස්ථාවේ සිතියමක්, තද නිල් පැහැ ඇඳුම් කට්ටල විස්සක් ද පොලිසිය සොයා ගත්තා.

එදා රාත්‍රියේ පොලිසිය තවත් වැටලීම් කළා. ඒ අනුව යුද හමුදාපතිවරයා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඇල්ලීමට සිටි ත්‍රස්තවාදීන් ද කොළඹ නගරයේ මර්මස්ථානවලට පහර දීමට සිටි පිරිසද අත්අඩංගුවට ගනු ලැබුවා.

රෝහණ විජේවීර 1970 දී කොළඹ හයිඩ් පිටියේදී ජනතාව ඇමතූ අයුරු

එවකට මා කටයුතු කළේ සිළුමිණ පුවත්පතේ උප කතුවරයකු ලෙසයි. සිකුරාදා සේවයට එන අපි එදා උදේ සිට පසුදා පහන් වන තුරුත් එක දිගට පත්‍රයේ වැඩ කිරීම එකල සිරිතයි. බදාදා සිට පත්‍රයට ඇතුළත් වන විශේෂාංග පිටු සකස් කිරීමෙන් අනතුරුව සිකුරාදා රාත්‍රියේ ප්‍රවෘත්ති පිටු සකසා පත්‍රය එදින රාත්‍රියේ ම මුද්‍රණය කෙරෙනවා. යාපනය, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර ඇතුළු ඈත ප්‍රදේශවලට යවනු ලබන්නේ ඒ මුද්‍රණයයි. අගනුවර හා තදාසන්න ප්‍රදේශ සඳහා යවනු ලබන්නේ සෙනසුරාදා සකස් කරන මුද්‍රණයයි. තාක්ෂණය අතින් කෙතරම් දියුණු තත්වයක සිටියත් අද ඉරිදා පුවත්පත් වෙළෙඳ පොළට එන්නේ සිකුරාදායි. ඒත් ඒ සිරිත එකල ‘සිළුමිණ’ට තිබුණේ නැත. අග්නිදිග ආසියාවේ වැඩිම අළෙවිය වූ සතියකට පිටපත් 365,000ක වාර්තා කළ ‘සිළුමිණ’ වෙළෙඳ පොළට ආවේ ඉරිදා උදේටයි. අඛණ්ඩව දශක ගණනාවක් කර ගෙන ආ සිරිත පළමු වරට කඩ වූයේ ඒ සතියේයි.

අපි එදා සකස් කළ අප්‍රේල් 11 වැනිදා ඉරිදා ‘සිළුමිණ’ මුද්‍රණය අතරමග නවතා දැමීමට අපට සිදු වූයේ හදිසියේ ම ඇඳිරි නීතිය සඳුදා උදේ වන තෙක් දීර්ඝ කළ නිසාය. ඉරිදා අලෙවි කළ නොහැකි නිසා නිවසේ සිට දුරකථනයෙන් කතා කොට ‘සිළුමිණ’ මුද්‍රණය නවතා දැමූ එවකට බෙදාහැරීමේ කළමනාකරු රෝලන්ඩ් අබේසිංහ මහතා සඳුදා ඇඳිරි නීතිය ඉවත් කළ වහාම අලෙවි කරන්නට ‘දිනමිණ’ පුවත්පත සූදානම් කර දිය හැකි දැයි අපෙන් ඉල්ලීමක් කළා. ඇඳිරි නීතිය නිසා දිනමිණ කර්තෘ මණ්ඩලය ගෙන්වීමද කළ නොහැකි වූයෙන් අප සමග සිටි අපේ ජ්‍යෙෂ්ඨයා වූ බෙනඩික්ට් දෙඩම්පෙගම මහතා ඒ ඉල්ලීම පිළි ගත්තා. මාත් මා සමග වැඩ කළ පී.බී. ඉලංගසිංහත් වැඩට බැස්සා.

ඒ අතර ඇඳිරි නීතිය නිසා අපට ආහාර හිඟයකටද මුහුණපාන්නට සිදුවුණා. අපට ආහාර සකසා දෙන්නට අවශ්‍ය තරම් හාල්, පොල්, එළවළු ආදිය කැන්ටිමේ තිබු‍ණේ නැහැ. ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයේ සිටි අප හතර දෙනා හැරෙන්නට මුද්‍රණ අංශයේ හා ප්‍රවාහන අංශයේ 150ක් පමණ ඇඳිරි නීතිය නිසා ලේක්හවුස් ගොඩනැගිල්ල තුළ කොටු වී සිටියා. 

එකල ආණ්ඩුවේ අලෙවි දෙපාර්තමේන්තුවේ බේකරියක් කොටුවේ තිබුණා. ඒත් හමුදාව නිසා එහි යාම ප්‍රශ්නයක් වුණා. බේකරියට යන පාර කියා දී කැන්ටිමේ සිටි සේවකයන්ට කීවාට ඔවුන් එහි යන්න බය වුණා. පසුව බෙනඩික්ට් මහතාම ඒ වැඩේ බාර ගත්තා. ජනේලවලින් බැලූ විට ඈත හමුදා පිරිස් අවි ඇතිව සිටිනු පෙනුණා. බෙනඩික්ට් මහතා දෑත් ඔසවාගෙන ඒ දෙසට යනවා අප දුටුවා. හට පිරිස අතරින් දෙදෙනෙක් ඒ දෙසට තුවක්කු මානාගෙන සිටියා. කැන්ටිමේ සේවකයකුත් ඔහු පසුපසින් ගියා. භටයන් දෙසට ළං වූ පසු දෑත් පහත දැමූ ඔහු මොහොතක් ඔවුන් සමග කතා කරනු පෙනුණා. ඉන් පසු ඔවුන් දෙදෙනා කොටුව දෙසට ගියා. බියට පත් අපි ඔවුන් එනතෙක් ඇස් දල්වා ගෙන උන්නා. බෙනඩික්ට් මහතා ආපසු ආවේ පාන් රාත්තල් සීයක් අරගෙනයි. ඒ වන විට සභාපතිතුමාගේ නිවෙසින් හාල් පොල් හා එළවළු ටිකක් එවා තිබුණා. ඒ නිසා එදා රාත්‍රියට පොල් සම්බෝලයි පානුයි කන්නට අපට හැකි වුණා.

අපට නිල වශයෙන් ප්‍රවෘත්ති ලබා දුන්නේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි සරත් අමුණුගම මහතායි. ඒ තොරතුරුත් කැරැල්ල පිළිබඳව නොයෙකුත් මාර්ගවලින් ලද විස්තරත් එක් රැස් කර ගෙන අපි සඳුදා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අලෙවි කරන්නට ‘දිනමිණ’ පත්‍රයක් සූදානම් කළා. දින කීපයක් ඇඳිරි නීතියට හසු වී සිටි අප එය ඉවත් කළ පසු නිවෙස් බලා ගියා.

අප්‍රේල් 13 වැනිදා සිංහල අවුරුදු දිනයේ අගමැතිනිය යළිත් ගුවන් විදුලියෙන් ජාතිය ඇමතුවා. ‘මාගේ රටවැසියනි, එක්සත් භාවයෙන්, සමගියෙන් හා කෙළිදෙලෙන් අලුත් අවුරුදු උත්සව පැවැත්වීම අප ජනතාව ශත වර්ෂ ගණනාවක් ම අනුගමනය කළ චාරිත්‍ර ධර්මයක් විය. අපේ රටේ ඉතාම අහිංසක නිවාසයක වුවත් මෙම අවස්ථාව අපගේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විදහා පෙන්වන අවස්ථාවක් ලෙස ඉතා අපේක්ෂාවෙන් බලාපොරොත්තු වූ දිනයක් වන්නේය. එහෙත් අපගේ දීර්ඝ ඉතිහාසයෙහි කිසි දිනක නොවූ විරූ ලෙස මෙවර ජාතික උත්සවයට බාධාවක් පැමිණ තිබේ. අපගේ ජාතික ජීවන රටාවට හා විනීත ශිෂ්ට සම්මත චාරිත්‍රවලට පිටුපා දාමරිකයන් කණ්ඩායමක් විසින් සාහසික ක්‍රියාවන්, ලේ වැගිරීම්, මංකොල්ලාකෑම්, ගිනි තැබීම් පොදු දේපළ විනාශ කිරීම් ආරම්භ කර තිබේ. ...මේ නිසා ජනතාවට විඳීමට සිදුවී තිබෙන නොයෙකුත් කරදර ගැන මා තුළ ඇති වී තිබෙන සංවේගය ඉතා විශාලය. දෙමව්පියන් හා දූ දරුවන් එක්තැන් කර පවුල් එක්සත් භාවයට ගෙන එන මෙම උත්සවය සාමයෙන් හා කෙළිදෙලෙන් පැවැත්වීම ‍මෙම ත්‍රස්තවාදීන් විසින් වළක්වා තිබේ.’ 

අගමැතිනිය එදා කීවා වාගේම මේ ත්‍රස්තක්‍රියාව නිසා අපේ ගෙදරවල අවුරුදු කිරිබත ඉදුනේ නෑ. ඒ වෙනුවට සමහර ගෙවල්වල කැරැල්ලට එක්ව මරණයට පත් වූ තම තරුණ දරුවන් වෙනුවෙන් මළබත ඉදුණා.

ආපසු බදාදා ලේක්හවුස් ආයතනයට එන කොට සිළුමිණ විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පෙගමත් ඡායාරූප ශිල්පී චන්ද්‍රගුප්ත වීරවර්ධනත් ත්‍රස්තවාදීන් අල්ලා ගෙන සිටි ප්‍රදේශවල සංචාරයකට ගිහින්. ඔවුන් ආපසු ආවේ බෘහස්පතින්දා. මහව දී ඔවුනට හමුවූ ත්‍රස්තවාදී නායකයා 14 හැවිරිදි වියේ සිටි ළමයෙක්. ඔහු ගිනි අවියක් දරාගෙන දුම්රිය පාරේ සක්මන් කරමින් සිටියා. ඔහු සමග කතා කර විස්තර විමසූ විට ඔහු කියා ඇත්තේ තමන්ට අණ ලැබුණු විධියට පොලිසියට පහරදී ප්‍රදේශයේ බලය අල්ලා ගත් බවත් දැන් ඊළඟට කළයුත්තේ කුමක් දැයි නොදැන ඒ සඳහා අණ ලැබෙනතුරු බලා සිටින බවයි. ඒ ගැන බෙනඩික්ට් මහතා මා සමග කීවේ, ‘ඒ කොල්ලන් දිනුවත් අසරණ වෙලා ඉන්නේ. හරිම අපරාධයක් ඒ තරුණයන්ට වෙලා තියෙන්නෙ. මේ සංකල්පය දුන් නායකයා යාපනේ හිරගෙදර. ප්‍රහාරයට අණ දුන්අනිත් නායකයො ආගිය අතක් නෑ.’ තරුණයන් කෙරෙහි උපන් සංවේගයක් ද ඇතිවයි. ඒ ගැන සවිස්තරාත්මක විශේෂාංගයක් ඊළඟ ඉරිදා ‘සිළුමිණ’ පත්‍රයෙහි පළ කළා.

පසුව කැරැල්ල මැඩ පැවැත්වීමෙන් අනතුරුව අගමැතිනිය ගුවන්විදුලිය මගින් මේ පිළිබඳව සත්‍ය තත්වය පැහැදිලි කළේ මෙහෙමයි. ‘ඉතා භයානක ලේ වැගිරීමකට මෙරට ඇද දමා දැන් සති තුනක් ඉකුත්වී තිබෙනවා. මෙය කුමක් නිසා පැන නැංගේද? මෙයට වගකිවයුත්තෝ කවරහුද? දැන පවතින තත්වය ‍කෙසේද? යනාදිය මේ රටේ සාධාරණව කල්පනා කරන සෑම කෙනෙකුම අද තමාගෙන් ම අසා ගන්නා ප්‍රශ්න කීපයකි. නොයෙක් ප්‍රමාණයේ මන:කල්පිත බොරු ආරංචි රට පුරා පැතිර පවත්නා බවද ඔබ බොහෝ දෙනෙක් දන්නා කරුණක්. මේවායින් සමහරක් සිතා මතා දුෂ්ඨ චේතනාවන්ගෙන් ද සමහරක් අනුමාන කටකතාවල ප්‍රතිඵලයක් වශයෙන් ද පැතිර යයි. එම නිසා දැන් පවතින ආරක්ෂක තත්වය පිළිබඳ සම්පූර්ණ දැනුමක් අවබෝධයක් ඇති ඔබගේ අග්‍රාමාත්‍යවරිය වශයෙන් වශයෙන් ඔබ කෙරෙහි සම්පූර්ණ විශ්වාසයකින් යුතුව මෙම සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

‘අප්‍රේල් මස 4 වැනි සහ 5 වැනි දින ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් පොලිස්ථානවලට පහරදීමෙන් ආරම්භ වුණු ත්‍රස්තවාදී කැරැල්ල අහම්බෙන් ඇති වූ ක්‍රියාවක් නොවෙයි. එය එක දවසකින් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා සිතා මතා ඉතා ප්‍රවේශමෙන් සකස් කරන ලද සැලැස්මක කොටසක් වන්නේය. පටන් ගැනීමේ දී සකස් කරන ලද අන්දමට ‍මෙම සැලැස්මේ අංග කීපයක් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි වූයේ මාර්තු මාසයේ දී රජය විසින් හදිසි තත්වයක් ප්‍රකාශ කරන ලද නිසාත් දාමරිකයන්ගේ ආයුධ තිප්පොළවල් ස‍ොයා ගැනීමට හැකිවීම නිසාත්ය. කොළඹට සහ මහනුවරට පහරදීම, සමහර අත්‍යවශ්‍ය යන්ත්‍රාගාර සහ පනාගොඩ යුද කඳවුර අල්ලා ගැනීම යනාදියට විශ්ව විද්‍යාලයේ තම සගයන්ගේ ආධාරය මෙම ත්‍රස්තවාදී කැරලිකරුවෝ අපේක්ෂා කරන ලද නමුත් රජයේ ආරක්ෂක ඔත්තු සේවාව ස්වකීය වගකීම අකුරටම ක්‍රියාත්මක කරන ලද නිසා කැරලිකරුවන්ට තමාගේ ව්‍යාපාර සමහරක් අතහැර දැමීමට සිදු විය.’ අගමැතිනිය ගුවන් විදුලියෙන් කීවා. 

‘ත්‍රස්තවාදී කැරලිකරුවන් කලක් තිස්සේ සංවිධානය කර හදිසි එල්ල කරන ලද තර්ජනයකට මුහුණ දීමට ප්‍රමාණවත් ආයුධ වෙඩි බෙහෙත් ගුවන්යානා ආදිය අප සතුව නොතිබුණු බව අප්‍රේල් 5 වැනිද මට පෙනී ගියේය. එම නිසා අවශ්‍ය යුද්ධෝපකරණ මිලයට ගැනීමට පියවර ගත්තෙමි. අපට වහාම යුද්ධාධාර සැපයූ ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය. සෝවියට් රුසියාව, අරාබි එක්සත් ජනපදය, පාකිස්ථානය හා යුගෝස්ලෝවියාව යන රාජ්‍යයන්ට මගේ අවංක කෘතුඥතා පුර්වක ස්තූතිය මෙයින් පිරිනමනු කැමැත්තෙමි.’ අගමැතිනිය වැඩිදුරටත් කීවා.

අගමැතිනියගේ නියෝග මත හමුදා පිරිස් කැරලිකරුවන් අල්ලා ගත් ප්‍රදේශවලට එද්දී ඔවුන් කැළෑ ප්‍රදේශවලට පැන ගත්තා. අරාජික වූ ප්‍රදේශවල පොලිසි යළිත් පිහිටුවනු ලැබුවා. හමුදාව කළෑ පීරද්දී අගමතිනිය තරුණ පිරිස් අමතා ඔවුන්ගේ තත්වය තමන් තේරුම් ගෙන ඇති බවත් ඒ නිසා හමුදාව සමග සටන් වැද මරණයට පත් නොවී ඇඳිරි නීතිය නැති වෙලාවක අවි බිම තබා ළඟම පොලිසියට හෝ හමුදා කඳවුරට බාර වෙන ලෙසට ඉල්ලීමක් කළා. ‘යටත් වෙන කිසිවකුට කිසිම අතවරයක් නොවනු ඇත. මා මෙම ආයාචනය කරන්නේ ඉතාමත් වගකීමෙන් යුතුවය.’ කී එතුමිය දේශපාලන සමාවක් ප්‍රදානය කළා. ඊට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

තමන් මරා හෝ ගලග්‍රහයෙන් ගෙන හෝ ඔවුන්ගේ ඊනියා විප්ලවය සාර්ථක කර ගන්නට තැත් කළ නොමග ගිය තරුණ කැරලිකරුවන් කෙරෙහි සානුකම්පිතව බැලූ අගමැතිනිය ඔවුන් පුනරුත්ථාපනය කිරීමට තීරණය කළා. එය කාගේත් පැසසුමට ලක් වුණා.

අප්‍රේල් කැරැල්ල නිසා 14,000ක් අත්අඩංගුවට පත්වුණා. එයින් 4,200ක් පොදු දේශපාලන සමාව යටතේ බාර වූ අයයි. මිය ගිය පිරිස හමුදාවේ අයත් ඇතුළුව 1,200ක්. (අප්‍රේල් කැරැල්ල ගැන තොරතුරු රැස් කර ඇති ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්නට අනුව මිය ගිය කැරලිකරුවන්ගේ ගණන 5000කට ආසන්නය.) පහර දෙන ලද පොලිස් ස්ථාන ගණන 90ක්. අත්හිටවූ සිර දඬුවම් මත නිදහස් කළ ගණන 3492ක්. සිරදඬුවම් හිමි වූ ගණන 390ක්. නිසි පුහුණුවක් නැතිව, අහිංසක තරුණයන් පොලඹවා ඔවුන්ගේ රණකාමීත්වය උපයෝගී කරගෙන කළ අප්‍රේල් කැරැල්ල තරුණ ජීවිත දහස් ගණනක් විනාශයට පත් කරමින් ශෝචනීය අයුරින් නිමාවට පත් වුණා.

71 කැරැල්ල නිසා ඇති වූ එකම දේ ලෙස මා දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ නමින් පිළිගත් දේශපාලන පක්ෂය බිහිවීමයි. 1930 දී මෙරට බිහි වූ වාම දේශපාලන බලවේග පසුව විවිධ හේතු නිසා දුර්වල වී ගියා. අද ඒවා නාමපුවරුවලට විතරක් සීමා වී තියෙනවා. පසුව ඒ තැන ගත්තේ ජවිපෙයයි.
රෝහණ විජේවීර ලුමුම්බා සරසවියේ ඉගෙන ගත් සමයේ එහි ශිෂ්‍ය පිරිස සමග. 
පහළ කවයේ විජේවීර, ඉහළ කවයේ එකල එහි තනාපති පදවිය 
හෙබවූ මහාචාර්ය ගුණපාල මලලසේකර.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර උපන්නේ දොන් නන්දසිරි විජේවිර ලෙසයි. ඒ තංගල්ලේදී 1943 ජූලි 14 වැනිදායි. තංගල්ලෙන් මාතර කෝට්ටේගොඩ පදිංචියට ආ ඔහු ගොඩඋඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර 1959 දී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට ඇතුළු වුණා. පසුව කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහයෙන් 1960 දී රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලයට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඔහු නිවාඩුවකට ශ්‍රී ලංකාවට ආ වේලේ මෙරට පැවති සෝවියට්-චීන භේදය අනුව ඔහු චීන පිලට සහය දීම නිසා කොමියුනිස්ට් පක්ෂයේ මොස්කොව් පිල කළ බැලපෑමෙන් ආපසු රුසියාවට යාමට වීසා ලැබුණේ නෑ. ඒ නිසා ඔහු වෛද්‍යවරයකු වීමේ අදහස අත් හැර චීන පිල හා එක්ව පූර්ණකාලීන දේශපාලනයට බැස්සා. පසුව නායකත්වය පොරය නිසා ඉන් නෙරපනු ලැබූ ඔහු ඉන්පසු 1965 දී ජනතා විමුක්ති පෙරමුණ බිහි කළා. ඉන් වසර හයකට පසු තරුණ පිරිස් ඒකරාශී කර ගෙන ‘71 කැරැල්ල’ ලෙසින් ප්‍රහාරාත්මක මුහුණුවරකින් කරලියට අ‍ාවේ ඒ ව්‍යාපාරයයි. ඔවුන් මුලින් ම ජනතාවට සිය අදහස් පළ කළේ රටපුරා එක රැයින් ඇලවූ අතින් ලියූ ‘පෝස්ටර්’ සටන් පාඨ මගිනුයි. ඒ අදහස් ජනතාව අතරට ගියාදැයි කිසිවිටෙක ඔවුන් විමසා බැලුවේ නැත. ‘පොලිස් මර්දනය ධනේශ්වරවාදයේ මරලතෝනියයි’ යන්න 71 කැරැල්ලට පෙර ඔවුන්ගේ සටන් පාඨය වුණා.

ඒ අනුව තරුණ පිරිස ප්‍රහාරය එල්ල කළ ද ඔවුන් අතර නිසි සහසම්බන්ධයක් තිබුණේ නැත. තමන්ට පැවරූ කොටස හැරෙන්නට අනිත් අය කරන්නේ කුමක්ද ? ප්‍රහාරයෙන් පසු කරන්නේ කුමක්ද? ප්‍රහාරය අසාර්ථක වුවහොත් කරන්නේ කුමක්ද? ඔවුන් ඒ කිසිවක් දැන සිටියේ නැත. ඔවුන් සියලු දෙනාම දැන සිටියේ ප්‍රහාරයෙන් පසු ‘විප්ලවය’ අවසන් වන බවයි. මේ බව අප්‍රේල් කැරැල්ලේ තීන්දු තීරණ ගැනීමට හවුල් සාමාජිකයකු වූ සුනන්ද දේශප්‍රිය පසු කලෙක ඒ අත්දැකීම් ආවර්ජනය කරමින් තබන ලද මේ සටහනෙන් පෙනෙයි.

‘පෙරදා රැයෙහි ඇඳිරි නීතියට හසුව අප කණ්ඩායම සිටියේ හපුතලේ කඳුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි …… උදෑසන කඳුකර අඩිපාරක් හරහා රක්ෂිත ස්ථානයක් සොයා ගමන් කරමින් සිටියෙමු. උදෑසන හයට නිවෙසක රේඩියෝවෙන් පිරිත් ඇසෙන්නට පටන් ගත්තේ ය. අප මෙන්ම කොළඹ ද ප්‍රහාරයන් අසාර්ථක වී ඇති බව විදුලි පහරක් මෙන් ඇඟට වැදුණේ ය. ඒ, පිරිත් වෙනුවට උදෑසන ප්‍රචාරය විය යුතුව තිබූ විජේවීර සහෝදරයාගේ කතාව රේඩියෝවේ වාදනය නොවූ නිසා ය. විජේවීර ඒ වන විට යාපනය බන්ධනාගරයේ රඳවා තිබූ නමුත් ඔහුගේ කටහඬ අනුකරණය කරමින් වෙනත් සහෝදරයකු විසින් එම කතාව පටිගත කර තිබුණි. මා දැන සිටි පරිදි ඒ දේව බණ්ඩරගේ කට හඬිනි.’

ඒ අනුකාරක ලක්ෂණය ඔවුන්ගේ සමස්ත ව්‍යාපාරය පුරාම පැවති දෙයක්. එසේ ම අන් මත නො විමසීමත්, තම මතයෙහි ම පිහිටා සිටීමත්, බලය යොදා විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීමත්, ස්වයං විවේචනයෙහි නො යෙදීමත්, ජන බලයට වඩා අවි බලයට හා ප්‍රචණ්ඩත්වයට මුල් තැන දීමත් අනෙක් ලක්ෂණ වශයෙන් පෙනෙනවා. නායකත්වයක් හෝ සංවිධානයක් හෝ පරිණත වීම වළක්වන දුර්ගුණ ලෙසයි, ඒවා මා දකින්නේ. ඔවුන්ගේ 71 කැරැල්ල පමණක් නොවෙයි, 1986-1990 දී පැවැති දෙවැනි කැරැල්ලත් වැරදී ගියේ ඉහත දක්වන දුර්වලකම් නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ නිසාම තමයි ඔවුනට මහජන සහයෝගයත් නො ලැබුණේ. අදත් මහජනතාවට හරිහැටි අවබෝධයක් නැහැ, ඔවුන් කරන්නේ කුමක්ද යන්න ගැන.

පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. ඉතා අපූරු ලිපියක්! කැරැල්ලේ පරිභාහිර ස්වභාවය් මෙන්ම අභ්‍යන්තරය පිළිබඳව ලියා ඇති කරුණු ඉතාමත් ප්‍රශංසනීයයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට. ඒ තරුණ පිබිදීම නිසා තවත් දේ අනියමින් ලැබුණා. ඉදිරියේ දී ඒවත් ලියනවා. පර්සි

      Delete