HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බලන් කඩතුරා හැර දෑසේ ! නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 ඇවිත් ලෝකය තුළ කළ මහ පෙරළිය

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 ඇවිත් ලෝකය තුළ මහ පෙරළියක් කළා. රටවල් 200කට ආසන්න ගණනක් මේ අකර්මන්‍ය වීමට එක් වුණා. පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමුණා. කඩ සාප්පු වසා දැමුණා. කර්මාන්ත ශාලා වසා දමනු ලැබුවා. මහ මග රථවාහන ගමනාගමනය නවතා දැමුණා. ගුවන් තොටුපොළ වසා දැමුණා. නිවැසියන්ට නිවෙස්වලින් එළියට බසින්නට තහනම් කෙරුණා. රැකියාව පවා නිවසේ සිට කරන්නැයි අණ කෙරුණා. රැස්වීම් දෙදෙනෙකුට සීමා කෙරුණා. රට තුළ සෞඛ්‍ය කටයුතු, අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙක් සියලු කටයුතු නවතා දමනු ලැබුවා. සෑම අයකුටම අනික් තැනැත්තාට මීටරයක් දුරින් සිටීමට නියම කෙරුණා.


මේ ලොක්ඩවුන් කිරීම නිසා හිතන්න බැරි වාසියක් වෙනත් අතකින් සිදුවෙලා තියෙනවා. ඒ පරිසරය පිරිසිදු වීමයි. සමහර නගරවලට ඉහළින් ඇති ආකාශ නිල් පැහැ ගැන්විලා. කැපී පෙනෙන පිරිසිදු කමක් චීනයේ හුබෙයි පළාත අවට පරිසරයේ දක්නට ලැබෙනවා.

ඉන්දියාවේ දිල්ලි නගරයේ පරිසරය වසාගෙන ඇති දුමාරයත් පහව ගිහින්. අවට හොඳට පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම හිමාලය ආසන්න ඉන්දියාවේ පන්ජාබයේ වැසියන්ට මෙතුවක් කලක් ඔවුන් නුදුටු හිමාල කඳුවැටිය පැහැදිලිව දැක ගන්න පුළුවන්.


ඉන්දියාවේ දිල්ලි නගරයේ පරිසර දූෂණය එදා සහ වෙනස

ඉතාලියේ වැනීසියේ ඇළ මාර්ගවල අද ගොන්ඩෝලා ‍ඔරු යාම නතර වෙලා. ඒවායේ පතුල පෙනෙන තරම් ජලය පිරිසිදුයි. කලෙකට පසු ඩොල්පින් ඇතුළු වෙනත් මසුන් නිදහසේ පීනනවා. හංසයන් නැවත පැමිණ පරිසරය අලංකාර කරනවා. ඒ අලංකාරය දැක ගන්න පිරිස් නැහැ. ඔවුන් නිවෙස්වලට කොටු වෙලා, කොරෝනාව නිසා.

චීනයේ පාරිසරික හා පාරිසරක විද්‍යා අමාත්‍යාංශයට අනුව ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ පැවති තත්වයට වඩා මේ වසරේ පෙබරවාරි මාසයේ වසා තිබුණු දින ගණනාව තිස්සේ වායුගෝලය පිරිසිදු වීමත් සමග පරිසරයේ පවිත්‍රතාව 21.5%කින් ඉහළ නැංවී තිබෙනවා.

චීනයේ පරිසර දූෂණය අඩු වූ අයුරු එදා සහ අද සසඳන්න. (වර්ණයෙන් දැක්වෙන්නේ පරිවර්තීගෝලීය නයිට්‍රජන් ඔක්සයිඩ් ඝනත්වයයි)

මෙය හුබෙයි පළාතට විතරක් සීමා වූවක් නෙවෙයි. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව පසුගිය ජනවාරි හා පෙබරවාරි අතර මාසවල චීනයේ වූහාන් ඇතුළු අනෙක් ප්‍රධාන නගරවල යාන වාහනවලින්, විදුලි බලාගාරවලින්, කර්මාන්තශාලා ආදියෙන් නිකුත් වී වායුගෝලයට එක්වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ඉතා විශාල ලෙස අඩු වෙලා තියෙනව බව පැහැදිලිවම පෙනෙනවා. මහා පරිමාණයේ කර්මාන්තශාලාවලට ඉහළින් අහසේ දක්නට ලැබුණු විෂ සහිත වලාවන් සම්පූර්ණයෙන් ම වාගේ අතුරුදන්ව ගිහින්.

‘‍එකවර ම විශාල ප්‍රදේශයක මේ තරම් පැහැදිලිව පරිසර දූෂණය අඩු වීමක් මම නම් කිසිදාක දැකලා නැහැ.’ ඇමෙරිකානු නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යනාශ පියාසර මධ්‍යස්ථානයේ වායු තත්ව පර්යේෂකයකු වූ ෆෙයි ලියු කියනවා. ‘මං පුදුම වෙන්නේ නැහැ, වෛරසය ව්‍යාප්ග වීම වැළැක්වීමට චීනය පුරා නගර ගණනාවක් ම ගනු ලැබූ පියවර නිසයි මේ තත්වය ඇති වී තියෙන්නේ’

චීනයේ වූහාන්හි පරිසර දූෂණය අඩු වූ අයුරු එදා සහ අද සසඳන්න. (වර්ණයෙන් දැක්වෙන්නේ පරිවර්තීගෝලීය නයිට්‍රජන් ඔක්සයිඩ් ඝනත්වයයි)

කාබන්ඩයොක්සයිඩ්වලත් ඒ විදියෙ රටාව වෙනස්වීමක් වෙලා තියෙනවා. ඒ ගල් අඟුරු වගේ දේවල් දැවීමෙන් විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වීම නිසා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග නිසා පෙබරවාරි 3ත් මාර්තු 1 ත් අතර කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම තරමින් 25%කින් විතර අඩු වෙලා තියෙන බව පැහැදිලිව පෙනෙන බවයි බලශක්තිය හා පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය හෙවත් CREA ආයතනය සඳහන් කරන්නේ.

ලෝකයේ ලොකුම පරිසර දූෂකයා වශයෙන් සැලකෙන චීනය තමයි වසරක් පාසා ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් 30%ක් නිකුත් කරන්‍නේ. ඉන් සියයට 25ක් අඩු වෙනවා කියන්නේ විස්මිත අඩු වීමක්, කෙටි කාලයකට හෝ මෙවැනි විශාල අඩුවීමක් කියන්නේ ලොකු බලපෑමක් ඇති කරන ඉතා හොඳ දෙයක්. ඇස්තමේන්තු කර ඇති ආකාරයට අනුව එය එක්සත් රාජධානිය වසරකදී විමෝචනය කරන සම්පූර්ණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් හරි අඩකට, එනම් ටොන් මිලියන 200කට සමානයි.

‘මේ පැහැදිලි වෙනස අපට එක රැයෙන් ම පරිසරය තුළින් දැක ගත හැකි වීම විස්මිතයි!’ ලෝරි මිලිවර්ටා කියනවා. ඇය CREA ආයතනයේ විශ්ලේෂණ කටයුතුවල යෙදෙන විශේෂඥවරියක්.

චීනය වූහාන් නගරය ලොක්ඩවුන් කළේ කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කිරීමට වුවත් ඉන් එරට පරිසර දූෂණයේ විශාල වෙනසක් ඇති කළා. මෙය චීනය අනුව යමින් මේ පියවරම ගත් ලොව සියලුම රටවලත් වායු දූෂණය මේ අයුරින් ම නිසැකවම අඩුවෙන්නට ඇති.

ඒ විතරක් නොවෙයි, තෙල් හා වානේ නිෂ්පාදනය අඩු වීම, අභ්‍යන්තර ගුවන්ගමන් 70%කින් අඩු වීම, වායු දූෂණයට තුඩු දෙන විමෝචන අඩු වීම උපකාර වූ බව CREA ආයතනය සඳහන් කරනවා. ඒ ආයතනය පවසන ආකාරයට වැඩිම බලපෑම සිදුවන්නේ ගල් අඟුරුවලින් බවයි.

චීනය තමයි සමස්ත ලෝකයේ ම ලොකුම ගල් අඟුරු නිෂ්පාදකයා. ඒ වගේ ම භාවිත කරන්නා. 2018 දී චීනය එරට බල ශක්ති සැපැයුම වෙනුවෙන් සිය ගල් අඟුරු නිෂ්පාදනයෙන් 59%ක් වැය කරලා තියෙනවා. බලශක්ති නිපදවන යන්ත්‍රසූත්‍ර මෙන් ම මහා පරිමාණයේ කර්මාන්තශාලා ක්‍රියාත්මක කිරීමට ගල් අඟුරු යොදා ගනු ලැබුවා. ඒ වගේ ම චීනය පුරා ග්‍රාමීය ප්‍රදේශවල මිලියන ගණනක් නිවාස උණුසුම් කරන්නට යොදා ගනු ලබන්නේද ගල් අඟුරුයි. කර්මාන්තශාලා වසා දැමීමෙන් පසු විදුලි බල අවශ්‍යතාව විශාල ලෙස අඩු වීම නිසා වායුගෝලය අපිරිසිදු වීම ද කැපීපෙනෙන සේ අඩු වී තිබෙනවා.

කොවිඩ් 19 අභියෝගය ජයගත් පසු මාස ගණනාවක් වැඩ නතර වීමෙන් සිදු වූ ආර්ථික පසුබෑම පැවති තත්වයට ගෙන ඒමට චීනය නිෂ්පාදන කටයුතු වේගවත් කරන්නට යාමෙන් පරිසරය යළිත් පෙරටත් වඩා දූෂණයට ලක්වීමට ඉඩ තියෙනවා. ඒත් ඇස්පනාපිට ලද මේ පාඩමෙන් ප්‍රයෝජන නොගෙන ඉඳීවිය කියා සිතන්න බැහැ.

චීනයේ පමණක් නොව මේ වෙනස ලොව පුරා සෑම රටකම, සෑම නගරයකම දක්නට ලැබෙනවා. තවමත් කෝවිඩ් 19 අනතුර සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැහැ. ලෝකය මේ අභියෝගය ජය ගන්න තවත් කලක් යාවි. ඒ වන විට පරිසරයේ පවිත්‍රතාව තවතවත් වැඩි වේවි. මෙය අවසන් වූ පසු නැවතත් පරණ තත්වයටම යාම නවත්වා ගන්නට ලෝකය පුරා පරිසරවේදීන්ට එක්වී විශාල වැඩ කොටසක් කරන්න සිදු වේවි.



Post a Comment

0 Comments