HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද සිය 100 වැනි උපන්දිනය සමරන ලෝකයේ වාසනාවන්තම මිනිසා!

මේකට සියවසේ උපන් දිනය කීවොත් නිවැරදියි! මෙහෙම උපන්දිනයක් සමරන්න අවස්ථාවත් ආයෙත් කාටවත් ලැබෙන එකක් නෑ. මේක ඒ තරම් අපූරු සිදුවීම්වලින් ගහන උපන්දිනයක්!

ඔහුගේ නම ටොම් මුවර්. කපිතන් තෝමස් මුවර්. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ කපිතන්වරයෙක්. ඔහු වාසය කරන්නේ එංගලන්තයේ බෙඩ්ෆෝඩ්ෂයර්හි මාස්ටන් මොරිටේන්වලයි. 2020 අප්‍රේල් 30 වැනිදාට ඔහු සිය ජීවිතයේ 100 වැනි සැතැපුම් කනුව පහු කරනවා. ඔහු සිය 100 වැනි උපන්දිනය අමුතු විධියකට සමරන්න කල්පනා කළා. ඒ තමාගේ ගෙමිදුලේ සක්මන් වාර 100ක් සම්පූර්ණ කරන්නයි. පාදයක ආබාධයක් නිසා ඇවිදීමට අපහසුව ගෙදරට සීමා වී සිටින ඔහු මෙසේ තීරණයක් ගැනීම පවුලේ අයගේ විතරක් නෙවෙයි දන්නා හඳුනන හැමදෙනාගේම මවිතයට හේතු වුණා.

කර්නල් ටොම්, සිය වැනි උපන්දිනය වෙනුවෙන් 
එලිසැබත් මහ රැජිනගෙන් ලැබුණු සුබපැතුම සමග.

මහ රැජින එවූ සුබපැතුම. ‘ඔබ අද, 2020 අප්‍රේල් 30 වැනිදා, 
 ඔබේ සිය වැනි උපන්දිනය සමරන බව දැන මම මහත් සතුටට පත් වුණෙමි. 
ජාතික ‍සෞඛ්‍ය විද්‍යායතනය වෙනුවෙන් ආධාර එක්රැස් කිරීමට 
ඔබ ගත් උත්සාහය ගැන අසන්නට ලැබීමෙන් 
මම මහත් ප්‍රසාදයට පත් වූයෙමි. 
මේ සුවිශේෂ අවස්ථාවට මගේ ප්‍රසාදය
 හා සුබ පැතුම් මේ සමඟ ඔබට එවන්නෙමි.’

ඔහුගේ අරමුණ වුණේ කොවිඩ්19 රෝගීන් සුවපත් කිරීමට වෙර දරන එංගලන්තයේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය සේවක පිරිසට තිළිණයක් ලෙස පවුම් දහසක අරමුදලක් ඇති කරන්නයි. පසුගිය 16 වැනිදා, ඔහු සිය සක්මන ඇරඹුවා. ඔහු එදා දවසේදීම ඒ අරමුණ ඉටු කර ගත්තා. ඒත් මේ කතාව අන්තර් ජාලය හරහා දැනගත් ලෝකයේ නන් දෙසින් ආධාර ගලා එන්නට පටන් ගත්තා. අද ඔහුගේ උපන්දිනය සමරන මේ මොහොත වන විට එය පවුම් මිලියන 31ක් ඉක්මවා ගොස් තියෙනවා. තවමත් මුදල් ගලා ඒම නතර වී නැහැ.

කර්නල් ටොම් මුවර් හා ඔහුගේ දියණිය හැනා මහ රැජින එවූ විදුලි පුවත අතැතිව.

ඔහුට ලැබෙන ලැබීම්වලත් අඩුවක් නැහැ. එංගලන්ත එලිසැබත් මහ රැජින ඔහුව කපිතන් නිලයෙන් කර්නල් නිලයට උසස් කළා. ඒ උසස් වීමේ ලිපිය හා ඒ සඳහා නියමිත පදක්කම යවනු ලැබුවේ එතුමියගේ වි‍ශේෂ දූතයෙක් මගින්.

ඔහුගේ උපන්දිනය වැනි උපන්දිනයක් ලොව කිසිවකුටත් මීට පෙර ලැබෙන්න නැතුව ඇති. ඔහු උපන් දිනයට ලොව පුරා නන් දෙසින් ලැබුණු උපන්දින සුබපැතුම් පත් ගණන 120,000කට වැඩියි. ඒවා ගෙදරට ගෙනියන්න ඉඩ මදි නිසා ඔහුගේ මුනුපුරා වූ 16 හැවිරිදි බෙන්ජි ඉන්ග්‍රම් මුවර් සිය විදුහලේ ගුරුවරුන්, සිසු සිසුවියන් හා හිතමිතුරන් 120ක පිරිසක් එක්ක ඒවා ගෙන ගොස් ටොම්ගේ නිවසට නුදුරින් පිහිටි බෙඩ්ෆෝඩ් විදුහල් ශාලාවේ ප්‍රදර්ශනය කරන්න සැලැස්වුවා.

ඔහුගේ උපන්දිනයට බ්‍රිතාන්‍ය හමුදාවෙන් විශේෂ කේක් ගෙඩියක් හා ෂැම්පේන් බෝතලයක් එවනු ලැබුවා. එසේම ඔහුට උපහාර වශයෙන් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හා දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ප්‍රහාරක ගුවන් යානා දෙකක් ඔහුට ආචාර දක්වමින් උපන් දිනය දා උදේ ඔහුගේ නිවසට ඉහළින් පියාසර කරන්නට යෙදුණා. ඔහු ඉන් අපමණ සතුටට පත් වුණා.

කර්නල් ටොම් ගුවනින් කළ උපන්දින ආචාරයට ප්‍රතිචාරය දක්වමින්

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පෞද්ගලිකවම පැඹිණ ටොම්ට සුබ පැතුවා. ‘ඔබ අපේ අසමසම යුද වීර ප්‍රජාව සතු අප්‍රතිහත ධෛර්යය මූර්තිමත් කරන්නෙක්. අපේ ජාතියට අභිමානයක්!’ ඔහු පැවසුවා.

යුද හමුදාවේ මාණ්ලික ප්‍රධානී ජනරල් සර් මාක් කාල්ටක්ස්මිත් ඔහුව බ්‍රිතාන්‍යයේ හැරෝගෙට් හමුදා කොලීජියේ ප්‍රථම ගෞරවණීය කර්නල්වරයා ලෙස පත්වීම ලබා දී ගෞරව දැක් වුවා. ‘ඔහු අපේ තරුණ මහලු හැම දෙනාම දිරි ගන්වන පරමාදර්ශී චරිතයක්’ ඔහු කීවා. ‍

ටොම් ඔහුට සුබපතන හැමෝටම ඔහුගේ හද පත්ලෙන්ම ස්තුති කරනවා. ‘කොවිඩ් 19 පරාද කරන්න කරන සටනට සහය දෙන්න. හැකිතාක් ගෙදරට වී සිටින්න. සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න!’ ඔහු හැමදෙනාගෙන් ම ඉල්ලීමක් කරනවා.

කර්නල් ටොම් මුවර්ට සුබ පතා ලොව දස දෙසින් එවූ 
සුබ පැතුම් ඔහුගේ නිවෙස අසල විදුහල් ශාලාවක ප්‍රදර්ශන කර තිබූ අයුරු.

කැප්ටන් ටොම් ඔහුගේ මේ ආධාර ව්‍යාපෘතියට මුල් වූ ඓතිහාසික සක්මන නිම කළා පමණක් නොව තවත් අපූරු වැඩක් කළා. ඒ ලෝක ප්‍රකට ගායක මයිකල් බෝල් සමග You'll Never Walk Alone ගීයේ නව ගායනයක් ද තැටිගත කළා. කලින් ලිවර්පූල් පාපන්දු කණ්ඩායම වෙනුවෙන් මයිකල් ගයා තිබූ ඒ ගීය ටොම්ගේ ගමනටත් ගැළපෙන නිසා ඔහු සමඟ යළි ඒ ගීය ප්‍රතිනිර්මාණය කර ගයන්නට මයිකල් අදහස් කළා. ඊට ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සත්කාරක පිරිසේ ගායන අත්වැල ද එක් වුණා. ටොම් සමඟ මයිකල් ගැයූ නව ගීතය දින කීපයක් ඇතුළතම 2020 වසරේ වැඩිම අළෙවියක් ඇති ඒකල තැටිය බවට පත් වී තියෙනවා. එයින් ලැබෙන ආදායමත් ඒ අරමුදලට හිමි වේවි. ලෝකයේ වැඩිම අළෙවියක් ඇති තැටියට එක්වූ වැඩිමහලුම පුද්ගලයා වන්නේ ටොම්.

එක්සත් රාජධානියේ විසිරී සිටින චිත්‍රශිල්පීන්, කටහඬ කවන ශිල්පීන්, කැමරා ශිල්පීන් විශාල පිරිසක් එක්වී ඔහුට උපහාර පිණිස කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඔහුගේ සියක් අවුරුදු සැමරුම වෙනුවෙන් විශේෂ ගීයක්ද ඊට ඇතුළත් කරලා තියෙනවා.

කර්නල් මුවර්ගේ දියණිය හැනා හා ඇගේ පුත් බෙන්ජි 
නිවස ඉදිරිපිට සිට ඔවුන්ගේ සතුට පළ කළ අයුරු.

ඒ විතරක් නෙවෙයි මේ යුද වීරයාගේ උපන්දිනය සමරන්න බීබීසී රූපවාහිනියත් එක් වුණා, අප්‍රේල් 30 වැනිදා ඔවුන්ගේ උදේ ‘බ්‍රෙක් ෆස්ට් ෂෝ’ එකට සහභාගි වුණු එකම අමුත්තා තමයි, කර්නල් ටොම්. මීට කලින් ඒ වැඩ සටහනට තනි පුද්ගලයකු පමණක් සහභාගි කරවා ගෙන නෑ තියලයි ඔවුන් කියන්නෙ. බකිම්හැම් මාළිගයත් සම්බන්ධ කර ගෙනයි, මේ වැඩ සටහන සුවිශේෂ උපන්දින උළෙලක් ලෙස සංවිධානය කර තිබුණේ.

ලන්ඩනයේ පිකැඩලි සර්කස් වටරවුමේ ප්‍රදර්ශනය කළ දැන්වීම් පුවරුවක්.

එහි දි ඔහුව විස්මයට පත් කරන දේවල් රාශියක් සූදානම් කර තිබුණා. ඉන් එක් අංගයක් තමා වැඩ සටහන යන අතරතුර මහ රැජින විසින් ඔහුට උපන්දින සුබපැතුමක් විදුලි පුවතක් එවීම. ඉන්පසු චාල්ස් කුමරු හා කැමිලා ආදිපාදවරියගේත්, විලියම් කුමරු හා කේට් මිඩ්ල්ටන් ආදිපාදවරියගේත් සුබපැතුම් ඔහුට එවුවා. විලියම් කුමරු ටොම් පැසසුවේ ‘ආධාර රැස්කිරීමේ කනි මිනිසාගේ යාන්ත්‍රණය’ කියායි.

‘අප අතර ඉන්නා වයසක ම යුද වීරයා වූ ඔහුට කියන්නට බොහෝ දේ ඇති. ඔහු කළ සමාජ මෙහෙවරට උපහාර පුදන්නත් ඔහුගේ උපන් දිනය අමතක නොවන එකක් කරන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.’ ඒ වැඩ සටහනේ නිෂ්පාදකයන් වැඩ සටහනට කලින් කීවා.

එංගලන්තයේ ජාතික ‍සෞඛ්‍ය විද්‍යායතනයෙන් කර්නල් ටොම්ට සුබපැතුම්

99 හැවිරිදි කැප්ටන් ටොම් එළඹෙන සිය සිය වැනි උපන්දිනය ගැන කීවේ මෙහෙමයි. ‘සීයය කියලා අමුතු වෙනසක් මට දැනෙන එකක් නැහැ.’ කැප්ටන් එහෙම කීවාට, ඒ උපන් දිනයෙන් පසු කර්නල් වරයකු වශයෙන් යළි උපදිනවා. ඒ උපන්දිනය ඔහුට ජීවිතයේ වෙනසක් ගෙනා එකක් වූවා නිසැකයි.

Post a Comment

2 Comments

  1. Harima lassana post eka.E wagema "You'll never walk alone" geethaye aluth version ekath damma nam thwath apooru wenna thibuna.

    ReplyDelete
    Replies
    1. Thank you Sarath. You'll never walk alone song is added :) - Team Malkakulu

      Delete