HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කොරෝනාව දින 100ක් තුළ ලොව‍ හෙල්ලූ හැටි!

කොරෝනා වෛරසය මුලින් ම මතු වී දින 100ක් ගත වෙලා ඉවරයි!

එය පටන් ගත්තේ චීනයේ වූහාන් නගරයෙන්, නිව්මෝනියා රෝගීන් පොකුරකින්. එතැන් පටන් එය ලෝකය පුරා සිසාරා යමින් බිලියන ගණනක් ජනතාවගේ ජීවිත වෙනස් කරමින් මහා පෙරළියක් සිදු කරමින් යනවා.

තුන් මාසයක් වැනි කෙටි කාලයක් තුළ වසංගතයක් බවට පත් වෙමින් මිලියන එක හමාරකට වැඩි ජනතාවක් ආසාදිතයන් කරමින් ලක්ෂයකට වඩා මරණයට පත් කරමින් ප්‍රධාන වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය හා එක්සත් රාජධානිය වැනි රටවල් ගොදුරු කර ගෙන තියෙනවා.


දින සියයකට පෙර මෙහෙම කොරෝනා වෛරසයක් ගැන චීනයෙන් පිට ලොව කිසිවකු දැන සිටියේ නැහැ.

දැන් එය ‍මුළු ලෝකය ම අඹරා ගල් කර හමාරයි!

මෙන්න මෙහෙමයි මේ ව්‍යසනය පියවරෙන් පියවර දිග හැරුණේ.

1 දිනය - 2019 දෙසැම්බර් 31 වැනිදා

චීනය පළමුවරට ලොවට වාර්තා කළා, එරට හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ පොකුරු වශයෙන් නියුමෝනියා රෝගීන් බිහි වී ඇති බව. ඉන්පසු එයට හේතුව එතෙක් ලෝකයා නොදැන සිටි එකක්. එය නව කොරෝනා වෛරසයක් ආසාදනය වීම නිසා ඇති වූවක් බව හෙළිදරවු කරනු ලැබුවා.

රෝගී වූ බොහෝ දෙනකු එහි මුහුදු ආහාර වෙළඳ පොළෙහි ගනුදෙනුකරුවන් හා වෙළෙන්දන් වූ බව හෙළි වුණා.

ජනවාරි 1 වැනිදා වෙළෙඳ පොළ වසා දමනු ලැබුවා. ඒ පරිසරය විෂබීජහරණයට හා සනීපාරක්ෂාව තහවුරු කිරීමටයි.

6 වන දිනය - 2020 ජනවාරි 5 වන දා

ලෝක සෞඛ්‍ය සංවිධානය වෛරස රෝගයක් පැතිරෙන බවට සිය ප්‍රථම වාර්තාව නිකුත් කළා.

හඳුනා නොගත් හේතුවක් නිසා නියුමෝනියා රෝගීන් බවට පත් වූ 44ක් ඉන්නා බවත් ඉන් 11කට අසාධ්‍ය බවත් ඉතිරි පිරිසගේ තත්වය සාමාන්‍ය බවත් ඉන් කියැවුණා.

රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් උණ වූ අතර ඉන් ස්වල්ප දෙනෙකු හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළුණු අතර පපු පෙදෙසේ එක්ස්රේ ඡායාරූපවලින් පෙණහලු තදින් ම ආසාදනයට ලක් වී තිබුණා.

චීන බලධාරීන් ඒ රෝගීන් සමීපව ඇසුරු කළ 121ක් දෙනකු හඳුනා ගෙන වෛද්‍ය පරීක්ෂාව යටතට පත් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ වාර්තා කෙරුණු රෝගීන් පිළිබඳ තොරතුරු ප්‍රමාණවත් නොවන නිසා සමස්තයක් ලෙස ඉන් එල්ල වෙන අවදානම ගැන නිගමනකට පැමිණිය නොහැකි බවයි. ඒ සමග ම වෙළෙඳපොළට ඇති සම්බන්ධතාව නිසා සතුන්ගෙන් බෝ වූවක් දැයි අනුමාණ කළ හැකි බව ද ප්‍රකාශ කළා.

ඒ අවස්ථාවේ දී සංචාරකයන්ට විශේෂ අනතුරු හැඟවීමක් හෝ චීනයට යාමේ සීමා පැනවීමක් සිදු වුණේ නැහැ.


10 දිනය - ජනවාරි 9 වන දා


අබිරහස් ආසාදනයට හේතුව මෙතෙක් හඳුනා නොගත් කොරෝනා වෛරස විශේෂයක් නිසා ඇති වන්නක් යයි ජනවාරි 9 වන දා හෙළිදරවු කළා.

වූහාන් රෝහලේ දී ඒ රෝගයෙන් එරට සිදු වූ ප්‍රථම මරණය වාර්තා වුණා. ඒ වයස අවුරුදු 61ක තැනැත්තෙක්. ඒ වෛරසය බිලිගත් ලොව ප්‍රථම රෝගියාත් ඔහුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනවාරි 10 වන දා ලෝක‍යේ සියලුම රටවල දැන ගැනීම පිණිස ප්‍රකාශයක් නිකුත් කෙරුණා. රෝග විනිශ්චය, පරීක්ෂණ කිරීම, රෝග කළමනාකරණය පිළිබඳ උපදෙස් ඊට ඇතුළත් වුණා. එයට පදනම් වූයේ වෛරසවලට අදාළව එතෙක් පැවති දැනුම හා සාර්ස්, මර්ස් වැනි වෛරස පිළිබඳ ව ලබා තිබූ අත්දැකීම්.

13 දිනය - ජනවාරි 12 වන දා

චීනයේ පර්යේෂකයන් මේ නව කොරෝනා වෛරසයේ ජාන අනුක්‍රමය ප්‍රසිද්ධ කළ අතර මෙම වෛරසයට ‘කොවිඩ් 19’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබුවා. (CO යන කොටසින් කොරෝනා යන්නත් VI යන කොටසින් වෛරස යන්නත් D යන අකුරෙන් රෝගයක් යන්නත් 19 න් එය මුලින්ම හමුවූ වසරත් දැක්වෙනවා.)

ජනවාරි 3 වනදායින් පසු වෙනත් රෝගීන් කිසිවකු වාර්තා වී නැහැ.

මෙම නව වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වන බවට පැහැදිලි සාක්ෂි නැතැයි වාර්තා වුණා.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අවශ්‍ය උපදෙස් දීම සඳහා අවශ්‍ය විවිධ සහය දීමටත් වූහාන් නගරයට විශේෂඥ කණ්ඩායමක් යැව්වා.

14 දිනය - ජනවාරි 13 වන දා

කොවිඩ් 19 රෝගියකු හම වූ බව තායිලන්තයෙන් වාර්තා වුණා. චීනයෙන් පිට හමු වූ පළමු රෝගියා ලෙස ඔහු හැඳින්වුණා.

ඔහු චීනයේ වූහාන් නගරයේ සිට ගිය සංචාරකයෙක්. තායි බලධාරීන් විසින් ඔහුව හඳුනා ගනු ලැබුවේ ජනවාරි 8 වන දා බැංකෙ‍ාක් ගුවන්තොටුපළේ දී උෂ්ණත්මාන පරීක්ෂාවකදියි. ඔහු එදා ම රෝහල් ගත කරනු ලැබූ අතර ඔහු කොවිඩ් ආසාදිතයකු බව පරීක්ෂණවලින් තහවුරු වුණා.

අනෙක් රටවලටත් රෝගීන් හමුවීම පිළිබඳව අවධානයෙන් හා නිරීක්ෂණයෙන් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කළා.

තවමත් වූහාන්වලින් වෙනත් රෝගීන් කිසිවකුත් වාර්තා වුණේ නෑ.

‘ඉදිරි දින කීපය තුළ අලුත් රෝගීන් වාර්තා නොවුනොත් ව්‍යසනය එතැනින් අවසන් වනු ඇතැයි හොංකොං විශ්ව විද්‍යාලයේ ආසදන රෝග පිළිබඳ මහාචාර්ය ගුවාන් යී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

පසුවදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආචාර්ය මාරියා වැන් කර්කෝවේ ප්‍රකාශ කරමින් කීවේ වෛරසය මිනිසා-මිනිසා අතර සම්ප්‍රේෂණය සීමා වුවත් පවුලේ අය අතර පැතිරීමෙන් පසු ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි.

එතුමිය වැඩිදුරටත් කීවේ සාර්ස්, මාර්ස් හා වෙනත් එවැනි ශ්වසන ව්‍යාධිකාරක පිළිබඳව ලබා ඇති අත්දැකීම් අනුව මිනිසා-මිනිසා අතර සම්ප්‍රේෂණය වැඩි වුවහොත් එය මවිතයට කරුණක් නොවන බවයි.


21 දිනය - ජනවාරි 20 වන දා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයකු වූහාන් නගරයට පැමිණි අතර, ඔහු ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙය නගරය තුළ මිනිසා-මිනිසා අතර සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇතැයි සාක්ෂි නොමැති බවත් ‍මේ තත්වය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නම් වැඩිදුර පරීක්ෂණ කළ යුතු බවයි.

සෞඛ්‍ය සේවකයන් 16 දෙනකු මෙම වෛරසයේ ආසාදනයට ලක් වී ඇති බව හෙළි වෙනවා.

ගුවාන්ඩොන් පළාතෙන් නව ආසාදිතයන් දෙදෙනකු සොයා ගනු ලැබුවා. ඔවුන් වූහාන් නගරයට සම්බන්ධතා ඇති නොවෙයි.

‘අපට දැන් කියන්න පුළුවන් මෙය ස්ථිරවම මිනිසා-මිනිසා අතර සම්ප්‍රේෂණය වන බව.’ චීන රජයේ මහජන සෞඛ්‍ය නියෝජිතයකු වූ ශොන් නාෂාන් කීවා.

ඒ සමග ම බෙයිජිං හා ෂැන්හයි නගරවලත් රෝගීන් වා‍ර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා කමිටුව මේ ව්‍යසනය ජාත්‍යන්තරයට හදිසියේ බලපෑ හැකි තරමේ එකක් දැයි විමසා බැලීමට හා එහි ස්වභාවය තක්සේරු කිරීම පිණිස රැස්වුණා.

ලොව පුරා විසිරී සිටින නිදහස් සාමාජිකයන්ට ඒ අවස්ථාවේ පැවති තොරතුරු අනුව නිගමනයකට ඒමට හැකි තත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා තවත් තොරතුරු රැස් කොට දින 10කින් රැස්වීමට තීරණය කෙරුණා.

ඒ වන විට චීනයේ රෝගීන් 557ක් ද ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරැව හා ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලින් ද ආසාදිතයන් වාර්තා වුණා.

25 දිනය - ජනවාරි 24 වැනිදා

වෛරසය යුරෝපයෙන් ද වාර්තා වුණා. ඒ චීනයෙන් ආ සංචාරකයෙන් හා ඔහු‍ගේ ඥාතියෙක්.

වූහාන් නගරය ලොක්ඩවුන් කිරීමේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කළා. ගමනා ගමනය අත්හිටවනු ලැබුවා.

රෝගීන් 800ක් හා මරණ 25ක් වාර්තා වුණා.

ඊළඟ දවසේ ජනගහනය මිලියන 56ක් හසුවන සේ ලොක්ඩවුන් කිරීම පුළුල් කළා. චීන ජනාධිපති ෂී ජින්පින් ‘රට බරපතල තත්වයකට” මුහුණපා ඇති බව ප්‍රකාශ කළා.

හුබෙයි හී ෂින්හුවා රෝහලේ වෛද්‍යවරයකු වූ ලියාන් වූඩොන් මේ රෝගය නිසා මරණයට ගොදුරු වූ ප්‍රථම සෞඛ්‍ය සේවකයා වුණා.

31 දිනය - ජනවාරි 30 වැනිදා

රටවල් 21 කින් 9976ක් රෝගීන් වාර්තා වුණා.

දින 10ක් යාමට කලින් හදිසි ආපදා කමිටුව රැස් වුණා. ඒ චීනයෙන් බැහැරව මිනිසා-මිනිසා අතර සම්ප්‍රේෂණය වූ බවට පළ වූ වාර්තා ලැබී දින දෙකකට පසුවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙය ජාත්‍යන්තරයට බලපෑ හැකි මහජන සෞඛ්‍ය හදිසි ආපදා තත්වයක් ලෙසට ප්‍රකාශයට පත් කළා. මෙය 2005න් පසු එවැනි ප්‍රකාශයක් නිකුත් කළ හය වන වතාවයි.

ඊළඟ දවස අවසානයේ දී මෙය සාර්ස් වෛරසයට වඩා මේ ව්‍යසනය බරපතල වුණා.

චීනයේ රෝගීන් ගණන එකපාරටම 5974ක් වැනි ඉහළ අගයකට ගියා. එය සාර්ස්වලින් රෝගී වූ 5327 ඉක්මවා යාමක්.

ඕස්ට්‍රේලියාවෙන් 9 වැනි රෝගියා වාර්තා වුණා.

වෛරසය එක්සත් රාජධානියටත්, ස්පාඤ්ඤයටත් ඉතාලියටත් ළඟා වී තිබුණා.


36 දිනය - පෙබරවාරි 4 වැනිදා

චීනයෙන් පිටත පළමු කොවිඩ්-19 මරණය වාර්තා වුණා. ඒ පිලිපීනයෙන්. ඒ සමගම රට තුළට ඇතුළුවීම තහනම් කෙරුණා.

චීනයේ ආසාදිතයන් 20,000 ඉක්ම වුණා. 425ක් මියගියා.

ඊළඟ සති කීපය තිස්සේ ලොව පුරා සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ගේ හමුවීම් පැවැත්වුණා. ඒ මේ රෝගය පිළිබඳ පර්යේෂණ සඳහා ප්‍රමුඛතා ලබා දීමටත්, වසංගත තත්වය පාලනය කිරීමට හා ඉදිරියේ දී ඇති වන තත්වයන්ට මුහුණදීමට ක්‍රමෝපායයන් සැකසීමටත් අවශ්‍ය පියවර ගැනීමටයි.

ඔවුන් චීනයේ නගර ගණනාවකටම සංචාරය කළා ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාක්ච්ඡා කිරීමට.

51 දිනය - පෙබරවාරි 19 වැනිදා


දකුණු කොරියාවේ වෛරසයේ ව්‍යාප්තිය ශීඝ්‍ර වුණා, 61 හැවිරිදි කාන්තාවක් සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියා කරමින් 1160කට අධික ගණනකට වෛරසය බෝ කිරීම නිසා. ඒ සමග ම එරට පළමු මරණය වාර්තා වුණා.

ඉරාණයෙන් දෙදෙනකු ගැන වාර්තා වුණා. පැය කීපයකින් ඒ දෙදෙනා මිය ගියා.

චීනයේ ආසාදිතයන් 74,576ක් වාර්තා වුණා. මරණ 2118කට නැංගා.

ලොව පුරා ආසාදිතයන් ගණන 82,000ක් ලෙස පෙබරවාරි 27 වැනිදා වන විට වාර්තා වුණා. මරණ 2800ක්.

69 දිනය - මාර්තු 8 වැනිදා

ඉතාලියේ ලොම්බාඩි ප්‍රාන්තයට හා උතුරේ ප්‍රදේශ 14කට දැඩි නිරෝධායන ක්‍රමයක් පැනෙව්වා. මිලියන 16ක් පමණ ජනතාවක් ඊට යොමු කෙරුණා.

දින හයක් ඇතුළත එහි මරණ ගණන හය ගුණයකින් වැඩි වී එය 230ක් බවට පත් වුණා.

72 දිනය - මාර්තු 11 වැනිදා

වෛරසය පැතිර යන වේගයත් එය හැසිරෙන දරුණු ස්වභාවයත් සලකා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 ලෝක වසංගත තත්වයකට පත් විය හැකි යයි අනතුරු ඇඟවීමක් කළා.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ සිය පරිපාලනයට වර්තමාන ලෝක ඉතිහාසයේ වඩාත් ආක්‍රමණශීලී විදේශ වෛරසයකට එරෙහිව සටන් කිරීමට සිදු වී ඇති බවයි. ‍

බොහොමයක් රටවලින් ඔවුන්ගේ ප්‍රථම ආසාදිතයා සොයා ගනු ලැබුවා.

ලෝකයේ ආසාදිතයන් ගණන 116,000 ඉක්මවා ගියා.

78 දිනය - මාර්තු 17 වැනිදා


ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කළේ තම රට ‘යුද්ධයකට’ මුහුණ දී ඇති බවයි.

බොහෝ රටවල් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණා.

ඊළඟ දිනයේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වූ ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ පළමුවරට ‘මානව ජෛවාරක්ෂක හදිසි තත්වයකට’ මුහුණ දීමට සිදුවී ඇති බවයි.

චීනයෙන් සුබදායක තොරතුරක් වාර්තා වුණා. ඒ චීනය තුළ අලුතින් ආසාදිතයන් කිසිවකු වාර්තා නොවූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා හවුල්කාර ආයතන ඒකාබද්ධව අන්තර්ජාතික විමර්ශනයක් දියත් කළා, ලොව පුරා කොවිඩ්-19 රෝග තත්වයට මුහුණ දීම සඳහා කළ ප්‍රතිකාර හා යෙදූ ක්‍රමෝපායන් එක් රැස් කිරීම පිණිසයි.
මාර්තු 20 වැනිදා වන විට ලොවපුරා කොවිඩ්-19 මරණ ගණන 10,000ක් ඉක්මවුණා. ආසාදිත ගණනත් 160,000ක් වුණා.

84 දිනය - මාර්තු 23 වැනිදා

කොවිඩ්19 ආසාදිත සංඛ්‍යාව 370,000 සිට මාර්තු 27 වැනිදා වන විට 600,000 ඉක්මවා ගියා. මරණ ගණන 27,000 ඉක්මවූවා.

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මුළු රටට ම වසා දමා දින කීපයකට පසුව ඔහුද ආසාදිතයකු බවට පත් වුණා.

ස්පාඤ්ඤය එරට දෛනික මරණ සංඛ්‍යාවේ වැඩිම අගය ලෙස වාර්තා කළ 400 ඊළඟ දෙසතියේ දී අඩුම අගය බවට පත් කරමින් මරණ සංඛ්‍යාව මාර්තු 29 වැනිදා 838ක් වුණා.

සති අන්තය වන විට ඇ‍මෙරිකා එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා කළා. ඒ දින දෙකකට කලින් වාර්තා වූ ගණන දෙගුණවීමෙන්. එනම් 2000 ඉක්මවීමෙන්. ආසාදිතයන් ගණනද 124,000 පසු කළා.


93 දිනය - අප්‍රේල් 1 වැනිදා

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මෙය දෙවැනි ලෝක යුද සමයෙන් පසු ඇති දරුණුතම ලෝක ව්‍යසනය ලෙස හැඳින්වුවා. ලෝක ව්‍යාප්ත ආසාදිතයන් ගණන මිලියනය පසු කළ අතර ලෝක මරණ සංඛ්‍යාව 50,000 පසු කළා.

ඊළඟ දිනයේ ස්පාඤ්ඤය එරට තනි දවසක් තුළ සිදු වූ වැඩි ම මරණ සංඛ්‍යාව වූ 950ක් වාර්තා කළා.

100 දිනය - අප්‍රේල් 8 වැනිදා

එක්සත් රාජධානිය එරට එක් දිනක් තුළ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 938ක් ලෙසට වාර්තා කළා. එරට සම්පූර්ණ මරණ ඒ වන විට 7097ක් වුණා.

ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව 400,000 පසු කළා.

දවස් 76ක් ලොක්ඩවුන් කර තිබූ චීනයේ වූහාන් නගරයේ වැසියන්ට ඉන් පිටව යාමට අවසර ලැබුණා. චීනයේ කෝවිඩ් 19 මරණ කිසිවක් නැතැයි වාර්තා කෙරුණා.

පසුගිය පෙබරවාරියේ සිට අලුත් ආසාදිතයන් වාර්තා නොවුනද බලධාරීන් ජනතාවට පවසා ඇත්තේ නව ආසාදිත රැල්ලක් මතුව ඒමේ අවදානමක් ඇති නිසා වැඩි අවධානයකින් හා සීරුවෙන් සිටින ලෙසයි.


Post a Comment

0 Comments