HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කොරෝනා හරියටම තේරුම් ගන්න, ආචාර්ය දොස්තර රසික ඇමෙරිකාවේ සිට කියයි!

නව කොරෝනා හෙ‍වත් කෝවිඩ්-19 ගැන මේ වන විට ඕනෑ තරම් විස්තර අවවාද අනුශාසනා විද්‍යුත් මාධ්‍යයෙනුත්, මුද්‍රිත මාධ්‍යයෙනුත් පළ වී තියෙනවා. ‘මල් කැකුළු’ ඔස්සේ ද අප මේ ගැන විවිධ තොරතුරු සඳහන් කළා. පැතිරෙන ආකාරය ගැන පැහැදිලි කළා. ඒ අනුව තමයි ජනතාවට දිය යුතු උපදෙස් වශයෙන් සබන් යොදා අත් සේදීම, එක් රැස්වීමෙන් වැළකීම හා සෑම කෙනකුටම මීටරයක් දුරින් සිටීම හෙවත් සමාජ දුරස්ථභාවය වැනි දේ ලෝකයට ම නියම කළේ. ඒ කරුණු සන්නිවේදනය කිරීමේ දී නිවැරදිව නොකිරීම නිසා අප සමහරකු අතින් වැරදිම් සිදුවුණා. ඒ අතර අපට මේ කරුණු ඉතා හොඳින් සන්නිවේදනය කළ අවස්ථාවක් යූ ටියුබ් එකෙන් හමු වුණා. ඒ ඇමරිකාවේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයකු විසින් කර ඇති පැහැදිලි කිරීමයි. ඔහු නමින් රසික වික්‍රමසිංහ. හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්. ඒ වීඩියෝව පහත පළ වෙනවා. එය අපේ සන්නිවේදකයන්ටත් ආදර්ශයක්.

ආචාර්ය දොස්තර රසික වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරින් මෙන් ම පරිපාලන නිලධාරින්ද, ඇතැම් වන්දිභට්ට විද්‍යුත් නාළිකාවල එහෙයියන්ද, ‍කොරෝනා ගැන පැහැදිලි කිරීම් කරන විට දේශපාලකයන් හුවා දැක්වීමට උත්සාහ කිරීම නිසා ජනතාවට නිසි ලෙස පණිවිඩය සන්නිවේදනය නොවුන අවස්ථාත් තිබුණා.

නිදසුනක් වශයෙන් බලධාරීන් මුඛාවරණ පැලඳීම රටට ම අනිවාර්ය කළා. ඊළඟට ඇතැම් වෛද්‍ය විශේෂඥයතු එ්වා හැමදෙනාම පැලඳිය යුතු නැතැයි කීවා. හැම දෙනාම පැලඳීමෙන් ඉදිරියේ දී වෛද්‍ය සේවයේ අයට පැලඳීමට මුඛාවරණ හිඟයක් ඇතිවිය හැකියයි අනතුරු ඇඟවීමක් කළා. මුල් මතය පිළිගෙන තිබූ පොලිසිය මුඛාවරණ නොපැලඳ ගෙන ගිය අය වාහනවලින් බස්සවා ඇඳ ගෙන සිටි දහදියෙන් අපිරිසිදුව තිබූ ටීෂර්ට් ගලවා ඒවා මුහුණෙහි ඔතා ගෙන යන ලෙසට බල කළා. පැය කීපයකට ඉවත් කළ ඇඳිරි නීතිය නැති මොහොතේ පැය ගණනක් පෝලිම්වල සිටි කතුන් පවා හරවා ආපසු යැවුවා. මෙසේ සිදු වූයේ අපේ සන්නිවේදනයේ දී සිදු වූ අඩුපාඩු නිසයි.

මේ කිසිම කෙනෙකු ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් ප්‍රධාන පණිවිඩ වූ අත් සේදීමේ වැදගත්කම හා සමාජ දුරස්ථභාවය ජනතාවගේ සිතට කා වදින ලෙස තේරුම් කර දුන්නේ නැහැ. එය ඉතාමත් ප්‍රශස්ත ලෙස ඉදිරිපත් කළ අයුරු ඔහුගේ වීඩියෝවෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා මේ වෛද්‍ය විශේෂඥය‍ා ගැන තවත් විස්තර දැන ගන්න ඔබ කැමති ඇති.

ඔහු ගල්කිස්සේ ඉපිද හැදී වැඩුණු අයෙක්. (ඔහුගේ පියා වූ එච්.ටී. වික්‍රමසිංහත් වෛද්‍යවරයෙක්.) කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ඔහු උසස් පෙළ ලද ප්‍රතිඵලවලින් කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරීමට වරම් ලැබුණත් ඒ විශිෂ්ට ප්‍රතිඵල නිසා ම ඔහුට ඇමෙරිකාවෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ අනුව ඔහු ස්ටැන්‍ෆෝඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී අණුකජීව විද්‍යාවෙන් ගෞරව උපාධියක් ලබා ජෝන්ස් හොප්කින් වෛද්‍ය විද්‍යාලයට එක් වීමට වරම් ලැබ M.D/Ph.D උපාධි දෙකම එකවර කිරීමට තේරුණු ප්‍රථම විදේශ ශිෂ්‍යයා වීමේ ගෙෳරවය හිමි කර ගත්තා. අද ඔහු ඇමෙරිකාවේ හූස්ටන් හී සේවය කරන හෘදරෝග විශේෂඥයෙක්. වෛද්‍ය විද්‍යා පර්යේෂකයෙක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්.

වෛද්‍ය රාසි වික්‍රමසිංහ යන නමින් ඇමෙරිකාවේ ප්‍රකට ඔහු වයඹදිග හූස්ටන් ප්‍රදේශයේ ෂුගර්ලෑන්ඩ් නගරයේ පදිංචිව සිටිනවා. ඔහුගේ බිරිඳ දිනූ උතුරු වර්ජිනියාවේ උපන් තැනැත්තියක්. ඔහුට හිමාලි හා සොහාන් කියා දරුවන් දෙදෙනෙකු සිටිනවා.

රසික තවත් අතකින් අපට අමතක නොව දෙයක් කළා. ඒ 2005 සුනාමිය පැවති වේලේ ඉන් හානියට පත් ප්‍රදේශවලට අවශ්‍ය සෞඛ්‍ය සහන සැලසීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා ඩොලර් ලක්ෂ 25ක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළ බව අපට අමතක වෙන්නේ නැහැ.

යු ටියුබ් එකේ සංසරණය වන රසිකගේ වීඩියෝව



Post a Comment

0 Comments