HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කොරෝනා ගැන වසර 40කට පෙර පොතකින් පළ කළ විස්මිත අන‍ාවැකියක්!

අන්තර්ජාලයේ හුවමාරු වන අපූරු පුවතක් නිසා මීට වසර 40කට පෙර ලියූ නවකතාවක් යළිත් උණුකැවුම් වාගේ විකිණීමට පටන් ගෙන තියෙනවා. ඒ ඇමරිකානු ජාතික ලේඛකයකු වූ ඩීන් කූන්ට්ස් (Dean Koontz) විසින් 1981 දී ලියන ලද ‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ (The Eyes of Darkness) නම් නවකතාවයි. ඒ එහි ‘වූහාන් 400’ නමින් මාරක වෛරසයක් ගැනත් එය වැළඳ‍ෙන අය සියයට සියයක් ම මිය යන බවටත් කර ඇති සඳහන නිසයි. පසුගියදා ලොවම කැළඹූ මාරක කොරෝනා වෛරසය මතු වූයේ ඒ චීනයේ වූහාන් නගරයෙන් වීම හේතුවෙන්. ඒ වෛරසය ආසාදනය වූ හැම දෙනාම මිය නොගියත් ඒ අනාවැකිය මතු කළ නවකතාව ලියූ ඩීන් කූන්ට්ස් අද වීරයකු බවට පත් වී අවසන්.

ඩීන් කූන්ට්ස් (Dean Koontz)

ඇමරිකානු ජාතික ඩීන් කූන්ට්ස් ලියා ඇති විද්‍යා ප්‍රබන්ධ, රහස් පරීක්ෂක කතා හා ත්‍රාසජනක නවකතා ඇතුළු නිර්මාණ ගණන 105ක්. එයින් එකක් තමයි, ‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ කියන්නේ.

ඔහුගේ ‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ නම් ඒ නවකතාවේ එන චරිත දෙකක් අතර කතා බහකදී කියවෙනවා, චීනය නිපදවලා තියෙන මාරක ජීව අවියක් ගැන. ඒකෙ චරිතයක් කියන විදියට ඒක මිනිසුන් අතරට එන මාරක වෛරසයක් ගෙන යන භයානක අවියක්. ‘එහි නම වූහාන් 400. හරිම පුදුම අවියක්. ඒකට පුළුවන්, වෙනත් කිසිම සතකුට හානියක් නොකර මිනිසුන් විතරක් විනාශ කරලා දමන්න. උපදංශ වගේ රෝග තත්වයක් තමයි, ඇති කරන්නෙ. මිනිස් සිරුරකින් පිට ඒ වෛරසයට විනාඩියකට වඩා රැකෙන්න බැහැ. තමා ඇතුළු වූ මිනිස් සිරුරේ උෂ්ණත්වය අඩු වු විට එය වෙනත් සිරුරකට මාරු වෙනවා. ඒ අනුව එය දිගින් දිගටම නොනැවතී මිනිස් සිරුරු ආසාදනය කරමින් අන්තිම මිනිසා තෙක්. යාවි. හරියට ඇන්ත්‍රැක්ස් හෝ වෙනත් මාරක ක්ෂුද්‍ර ජීවීන් හෝ කරන්නාක් මෙන් මුළු පළාතේ ම මිනිස් ගහනය විනාශ කර දමාවි.’ යැයි එක චරිතයක් කියනවා.

ඩීන් කූන්ට්ස්ගේ නවකතාවේ දී මේ වෛරසය විනාශ කරන්නේ මොළයේ සෛලයි. ඒත් සැබෑවට නම් කොරෝනා වෛරසය (කොවිඩ් - 19) විනාශ කරන්නේ පෙනහැල්ලයි.

කූන්ට්ස්ගේ නවකතාවේ කියැවෙන විදියට ඔවුන් එයට වූහාන් නම දී තිබෙන්නේ චීනයේ වූහාන් නගරයෙන් පිටත පිහිටි ජෛව රසායනික අවි නිපදවන රසායනාගාරයක තැනූ එකක් නිසයි. චීනයේ ඇති ඒ වර්ගයේ එකම ජාන විද්‍යා පර්යේෂණාගාරය එයයි. එය රසායනික අවි තැනන තැනක් නොවේ. එසේ වුවත් ඔහු ‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ නම් ප්‍රබන්ධ කතාවට විශ්වාසනීයත්වයක් ගෙන දීමට වූහාන් නගරයේ හා ඒ පර්යේෂණාගාරයෙහි නම යොදා ගන්නට ඇති.

ඩීන් කූන්ට්ස්ගේ ‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ නවකතාවේ කවරය හා වූහාන් 400 පළ වූ පිටුව

අප එසේ කියන්නේ ඩීන් කූන්ට්ස් ඔහුගේ ඒ ‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ නවකතාවේ මුල් මුද්‍රණයෙහි වූහාන් නමක් නොතිබුණු නිසයි. 1981 දී මුලින් පළ කළ අවස්ථාවේ දී ඔහු ඒවෛරසයට දී තිබුණු නම ‘ගෝකි 400’යි. එසේම ඒ ගෝකි වෛරසය නිපද වූයේ යැයි සඳහන් වන්නේ සෝවියට් දේශයට අයත් ගෝකි නම් වූ රසායනාගාරයකයි. 1991 දී සෝවියට් දේශය අහෝසි වීමත් සමග ඒ රසායනාගාර ද අහෝසි වී ගියෙන් ඔහු ඉන්පසුව කළ මුද්‍රණවලදී සෝවියට් දේශයෙන් චීනයට මාරු වී තියෙනවා. 1991න් පසුව පළ වූ මුද්‍රණවල ඔහු සඳහන් කළේ එය චීනයේ වූහාන්වල රසායනාගාරයක නිපැයුමක් ලෙසයි. සැබෑවටම චීනයේ වූහාන් හී වෛරසයක් පැතිර ගියේ ඉන් තවත් වසර 30කට පසුවයි. මෙය අන්තර්ජාල සාමාජිකයන්ගේ විශ්වාසයන්ට බාධාවක් වී නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ වසර 30කට පෙර මේ සිදුවීම කල්තියා පැවසීමෙන් ඩීන් කූන්ට්ස් සත්‍ය වශයෙන්ම අනාගත වක්තෲවරයකු බවයි.
‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ නවකතාව ඇසුරෙන් කළ Contagion (2011) චිත්‍රපටයෙන්

මේ පිළිබඳව මුලින්ම ලෝකයට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හෙළිදරවු කළේ නික් හින්ටන් නම් අයෙක්. එය අන්තර්ජාලය කළඹමින් ප්‍රචාරය වුණා. බොහෝ දෙනකු එයට එකඟත්වය පළ කළා. කූන්ට්ස්ගේ ‘ද අයිස් ඔෆ් ඩාක්නස්’ කෘතිය වසර 30කට පසු (මාර්තු පළමු සතියේ) යළිත් ඉහළම අළෙවියක් වාර්තා කළා. ඒ පොත ඇසුරෙන් නිපදවූ චිත්‍රපටය වූ Contagion (2011) ද ඒ සතිය තුළ යළි නැරඹූ සංඛ්‍යාව දෙවැනි වන්නේ ‘හැරී පොටර්’ චිත්‍රපටයට පමණයි.

‘ඉන්වෛරෝලැබ් සේෆ් ට්‍රවල් 10’ නමින් අයකු නික්ගේ ට්ව්ටර් පණිවිඩුයට ප්‍රතිචාර වශයෙන් කියා සිටියේ කූන්ට්ස් ඔහුගේ නවකතාවෙන් සංකේත භාෂාවෙන් අනාවැකි පළ කර ඇති බවයි. ඒ බව දැක්වෙන රූප සටහනක් පවා ඔහු අන්තර්ජාලයට එක්කර තියෙනවා. එය මේ සමග පළ වෙනවා.


The Wuhan Code කියා හඳුන්වා ඇති මෙහි දක්වා තිබෙන කරුණු අනුව එය මුලින් ම පළ වූ වසර වූ 1981 අංක එකතු කළ විට ලැබෙන උත්තරය 19 වූහාන්වල ‘කෝවිඩ් 19’ මතු වූ වසරයි. මේ තොරතුරු ලියා ඇති පිටුවේ අංකය 333යි. එය කොරෝනා වෛරස ප්‍රවේණිකය ප්‍රතිනිර්මාණය කිරීමට යොදා ගනු ලබන RNAබහුඅවයවයික ප්‍රෝටීන් සංඛ්‍යාවයි. වූහාන් 400 සඳහන ඇත්තේ 39 වැනි පරිච්ඡේදයේයි. ඒ අංක එකතු කළ විට 12ක් ලැබෙනවා. ඒ වූහාන්වල මුලින් ම කෝවිඩ් 19 මතු වූ මාසයයි. වූහාන් 400 යන්න යොදා ඇත්තේ 2020 යන වසර දැක්වීම සඳහා සූත්‍රයක් වශයෙන් යැයි ඔහු එහිදී කියනවා.

 අන්තර්ජාල ප්‍රේක්ෂකයන් ගොතන මේ වගේ කතාන්තර සිහි බුද්ධියෙන් ඇසිය යුතු ඒවායි. තවමත් ජීවතුන් අතර සිටින ඩීන් කූන්ට්ස් මේ කිසිවකට තවමත් කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ. අද 74 වසරේ පසුවන ඔහු තමන් 36 හැවිරිදි වියේ ලියූ පොතක් ගැන පාඨකයන් දක්වන ‘අද්භූත’ ප්‍රතිචාර ගැන නිහඬව සිනාසෙනවා ඇති.


Post a Comment

0 Comments