HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මවත් පියාත් බේරා ගෙන කොවිඩ් -19 වෛරසයට දිවි දුන් එය සොයා ගත් වෛද්‍යවරයා!

‘කොවිඩ් -19’ මාරක වෛරසයක් ලෙස මුලින් ම හඳුනා ගනිමින්, එය ඉක්මනින් පැතිරෙන, පෙනහලුවලට හානිකරන, අමුතු මාදිලියේ වෛරසයක් බව, චීනයේ වූහාන් වැසියන්ටත්, වූහාන් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන්ටත් පළමුවෙන් අනතුරු ඇඟ වූයේ ලී වෙන්ලියැං (Li Wenliang) නමැති 34 හැවිරිදි අක්ෂි වෛද්‍යවරයායි. වෛද්‍ය ලී කළ අනතුරු ඇඟවීම් බලධාරීන් ගණන් නොගත් අතර, අනියත බියක් පතුරුවනවා යැයි පොලිසියේ අඩන්තේට්ටම්වලටද ඒ වෛද්‍ය වරයා ලක් විය. පසුගිය පෙබරවාරි 7 වැනිදා අලුයම වෛද්‍ය ලී වෙන්ලියැං අවසන් සුසුම් හෙළුවේ ඒ, ‘කොවිඩ් -19’ වෛරසයටම බිලි වෙමිනි.


මේ බව ඔහුගේ වෛද්‍ය සගයකු විසින් චීනයට පමණක් සීමා වූ වීබෝ නම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිය බ්ලොගය මගින් හෙළිදරවු කළාට පසු එ් පුවත ලැව් ගින්නක්සේ පැතිර ගියේ වුහාන් පාලන අධිකාරියට හා පොලීසියට දැඩි ලෙස විරෝධය පළ කළ කමෙන්ටු සමගයි. එක් දිනක් තුළ චීන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කළ කමෙන්ටු පන්ලක්ෂකට අධික ප්‍රමාණයක් වූ අතර එ් විරෝධයේ උණුසුම චීන ජනාධිපති ෂීට පවා දැනුනා. ඒ අනුව ජනාධිපතිවරයා වූහාන් නගරයේ ප්‍රධානියා ඇතුළු වගකිවයුතු නිලධාරින් වෙනස් කර ඒ සඳහා ෂැංහයි නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පත් කර තිබෙනවා.

ලීගේ මේ අනුවේදනීය කතාව පටන් ගන්නේ 2019 දෙසැම්බර් 8 වැනිදායි. චීනයේ හුබෙයි පළාතේ, වූහාන් අගනුවර මහ රෝහලට, ප්‍රතිකාර ගන්නට පැමිණි මහලු රෝගියකු රෝහලේ අක්ෂි වෛද්‍ය වරයා වෙත යොමු කෙරුණේ ඔහුගේ ඇස් දරුණු ලෙස රත්පැහැ ගැන්වී තිබුණු නිසයි. රෝගියා සෙම්ප්‍රතිශ්‍යාව උත්සන්නව තද උණකින් පෙළෙන අයකු වූ අතර ඔහු හුස්ම ගැනීමේ අපහසුතා ද පෙන්නුම් කළා. ඔහුගේ ඇස් රතු වී තිබුනේ විඩාබර ගතිය නිසයි. රෝගියා යොමු කර තිබුණේ අක්ෂි වෛද්‍ය 34 හැවිරිදි ලී වෙන්ලියැං වෙතටයි.


රෝගියා මෙසේ වෛද්‍ය ලී වෙන්ලියැං වෙත යොමු කෙරුණේ, ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට ඔහුගේ රෝගී තත්ත්වය ප්‍රහේලිකාවක් වූ බැවිනි. රෝගියා වෛරස ආසාදනයකට ලක් වී සිටි අතර අවශ්‍ය රුධිර සහ සෙම පරීක්ෂා කිරීම් ඒ වන විට සිදු කර තිබුණා. සෙම්ප්‍රතිශ්‍යාව සමනය කිරීමට අවශ්‍ය ඖෂධ ලබා දෙමින් තිබුණා. ලී වෙන්ලියැං ඉතා උනන්දුවෙන් රෝගියා පරීක්ෂා කළා. ඔහුගේ වෛද්‍ය වාර්තා කියවා බැලුවා.

රෝගියා වෛරස රෝග තත්වයකින් පීඩා විඳිමින් සිටින බව වෛද්‍ය ලීට අවබෝධ වුණා. අක්ෂි වෛද්‍යවරයකු ලෙස කටයුතු කළත්, වෛරස රෝග සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වූ අයකු වූ ලී මේ නව රෝගියා සම්බබන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. රෝගියාගේ රුධිර හා සෙම සාම්පල යළි පරීක්ෂා කරද්දී, වෛද්‍ය ලීට කිසියම් සැකයක් මතු වුණා. ඔහුගේ සිහියට නැඟුණේ 2003 දී චීනයෙන් ආරම්භ වී ලොව කැළඹූ ‘සර්ස්’ නම් මාරක කොරෝනා වෛරසයයි. මේ රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව, ඔහුට ආසාදනය වී ඇත්තේ ‘සර්ස්’ හා සමාන වෛරසයක් බව වෛද්‍ය ලී වටහා ගත්තා.

වෛද්‍ය ලී මේ පිළිබඳ පළමුවෙන් රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට පැවැසුවා. ඉන්පසු වූහාන් මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නා. තමන් විසින් පරීක්ෂා කරනු ලැබූ උණ රෝගියාට සර්ස් හා සමාන වයිරසයක් ආසාදනය වී ඇති බවත්, එසේ නම් එය වේගයෙන් බෝ වනු ඇති බවත්, වෛද්‍යවරුන් සහ හෙදියන් එම රෝගියාට ප්‍රතිකාර කරන්නේ නම්, ආරක්ෂිත පියවර වහා අනුගමනය කළ යුතු බවත් රෝගියා වෙන් කළ යුතු බවත් වෛද්‍ය ලීගේ නිර්දේශය වුණා.

‘ඇස් දොස්තර මොනවද දන්නේ ? ඒ, ලෙඩා ගැන අපි බලා ගන්නම්. බොරුවට කලබල කරන්න ඕනෑ නැහැ’ යන්න වූහාන් මහ රෝහලේ බලධාරීන්ගේ පිළිතුර වුණා. දින හතරකට පසු, දෙසැම්බර් 12 වැනිදා, එකම රෝග ලක්ෂණ සහිත රෝගීන් කීප දෙනකු රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී, වෛද්‍ය ලී, සෙසු වෛද්‍යවරුන්ගෙන් සහ හෙද හෙදියන්ගෙන් යළිත් ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළා. එදින ම ඔහු වූහාන් නුවර සෞඛ්‍ය බලධාරීන්ටත් ‘නව වයිරසයයක් පැතිරෙනවා’ යැයි දැනුම් දුන්නා. වූහාන් නගර බලධාරීන් ඒ ගැන තැකීමක් නොකළ බැවින් වෛද්‍ය ලී, චීනයේ ක්‍රියාත්මක සමාජ මාධ්‍ය වූ ‘වීචැට්’ සහ ‘වෙයිබෝ’ (චීනයේ ෆේස්බුක් හෝ වයිබර් හෝ නොමැත. ඇත්තේ, චීන රජය විසින් හඳුන්වා දී ඇති සමාජ මාධ්‍ය පමණි.) ඔස්සේ වයිරසයක් පැතිරෙන බවට වූහාන් වැසියන් දැනුවත් කරන්ට පටන් ගත්තා. වූහාන් නගරයේ වෛද්‍යවරුන් කිහිප දෙනකු වෛද්‍ය ලී කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගත් අතර, ඔවුන්ද අක්ෂි වෛද්‍යවරයාගේ ඒ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් හැකි පමණින් වූහාන් වැසියන් දැනුවත් කරන්නට වුණා.


මේ අතර, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වෛද්‍ය ලී ගේ නිවසට පැමිණ ඔහු රැගෙන ගිය බවත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක් කළ බවත් ඔහුගේ මහලු මව සහ පියා දුන් කටඋත්තරයකින් හෙළි වෙනවු. 34 හැවිරිදි ලී විවාහකයෙක්. ඔහුට පස් හැවිරිදි පුතකු සිටින අතර බිරිඳ තවත් දරුවකු අපේක්ෂාවෙන් ඉන්නවා. නව වෛරසයක් ගැන බොරු කලබලයක් ඇති කළ බවටත්, ජනතාව අතර අනියත බියක් ඇති කළ බවටත්, අක්ෂි වෛද්‍ය ලීට චෝදනා එල්ල කළා. ඒ අනුව වෛද්‍ය ලී නිහඬ කිරීමටත්, චීන සමාජ මාධ්‍යවලින් ඔහු ඇතුළු සෙසු වෛද්‍යවරුන් කළ අනතුරු ඇඟවීම් සියල්ල මකා දැමීමටත් කටයුතු යොදනු ලැබුවා.

වෛද්‍ය ලීගේ සැකයත් බියත් තහවුරු කරමින්, දරුණු ලෙස සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරුවුණු රෝගීන් එකා දෙන්නා බැගින් නිව්මෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් මියයන්න පටන් ගත්තා. ඒ තත්වය ඇති වුණේ පසුගිය දෙසැම්බර් අවසන් සතියෙයි. දෙසැම්බර් 28 වැනිදා තමයි, වූහාන් නුවර හා හුබෙයි ප්‍රාන්ත බලධාරීන්ගේ, අවධානය ඊට යොමු වුණේ. ඒ වයිරසයක් පැතිර යමින් පවතින බවත්, නිව්මෝනියා ආසාදන හේතුවෙන් රෝගී වූ පිරිස මියයන බවත්, වූහාන් නගරයේ රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දුන්නාට පසුවයි. චීන රජය මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන්නේ දෙසැම්බර් 30 වැනිදායි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර, මත්ස්‍ය සහ සත්ව වෙළෙඳපොළ කේන්ද්‍ර කොට ගනිමින් වෛරසය පැතිර යන බවත්, රෝගීන් පළමුවෙන් හමුවූයේ ඒ අවටින් බවත් චීන බලධාරීන්ගේ තොරතුරු පාදක කර ගනිමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ලෝකයට හෙළිදරවු කළා.

ඒ වන විටත් ‘නව කොරෝනා’ වෛරසය යන නමින් නම් කළ නව වයිරසය චීනය පුරාත් ඉන්පසු ලොව පුරාත් ව්‍යාප්ත ඇරැඹී තිබුණා. චීන රජය, මිලියන 14 ක් වෙසෙන වූහාන් නගරය සීල් තැබුවේ එයිනුත් සති තුනකට පසු ජනවාරි 20 වැනිදායි. ඒත් ප්‍රමාද වැඩියි. වෛරසය වූහාන් නුවරින් පිට හුබෙයි පළාතේත්, මුළු මහත් චීනය පුරාත්, ඉන්පසු රටවල් 25 කට වැඩි ප්‍රමාණයකටත් පැතිරෙන්න පටන් ගත්තා. දෙසැම්බර් 9 වැනිදා අක්ෂි වෛද්‍ය ලී කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගත්තේ නම් අද මෙවැනි විපතක් සිදු නොවන බව චීන වැසියන් බොහෝ දෙනාගේ අදහසයි. වූහාන් නගර බලධාරීන්ට, හුබෙයි පළාත් බලධාරීන්ට පමණක් නොව, චීන රජයට ද චීන වැසියන්ගෙන් දරුණු විවේචන එල්ල වුණා. ජනතාව එසේ වගකීම් පැහැර හැරීම ගැන පාලකයන්ට බරපතල ලෙස චෝදනා කරන්නට වුණා. අක්ෂි වෛද්‍ය ලී ඔවුන් අතර සැබෑ වීරයකු බවට පත් වුණා.

ඒ සමඟ ලී වෙන්ලියැං සම්බන්ධයෙන් වාර්තා වූ ශෝක ජනක පුවතක් නිසා මුළු මහත් චීනයම ඒ ගැන කම්පාවට පත් වුණා. ඒ ‘නව කොරෝනා වෛරසය’ ආසාදනය වීමෙන් ලී වෙන්ලියැං ඔහු රාජකාරි කළ වූහාන් මහ රෝහලට ම ඇතුළත් කරනු ලැබීමයි. මීට පෙර වෛද්‍යවරයාගේ මව සහ පියාට ඒ වෛරසය ආසාදනය වී තිබුණා. එහෙත් වාසනාවකට වාගේ ඔවුන් දෙදෙනා සම්පූර්ණ සුවය ලැබුවා. මාපිය දෙදෙනා සුව කර ගැනීමට වෛද්‍ය ලී අපමණ වෙහෙසක් ගත්තා. මාපිය දෙදෙනා සුව වී රෝහලෙන් ගියාට පසු වෛද්‍ය ලී හදිසියේ රෝගී වුණා. ඔහුත් එම රෝහලට ම ඇතුළත් කරනු ලැබුවේ එයින් පසුවයි. ඔහුගේ තත්වය ඉක්මනින් නරක අතට හැරෙමින් තිබුණා. වෛද්‍ය ලීගේ ජීවිතය බේරා ගැනීමට ඔහුගේ රෝහලේ සහෝදර වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරුවා. වෛද්‍ය කණ්ඩායමට හැර වෙනත් කිසිවකුටත් ඔහු බලන්න අවසර දුන්නේ නැහැ. ගැබිනියක වූ බිරිඳට, පස් හැවිරිදි පුතුට සහ මාපියන්ට වෛද්‍ය ලී බැලීමට රෝහලට ඒමට පවා නොහැකි වුණා.

පෙබරවාරි 6 වැනිදා සවස සමාජ මාධ්‍ය ඔස්සේ අසුබ ආරංචියක් සංසරණය වුණා. ඒ, ජනතා වීරයකු බවට පත්වුණු වෛද්‍ය ලී වෙන්ලියැංගේ තත්ත්වය නරක අතට හැරෙමින් ඇති බවත්, ඔහු දරුණු ලෙස පෙනහලු ආසාදනයකට පත්ව එනම් දරුණු නිව්මෝනියා තත්වකට පත්ව ඇතැයි වූහාන් මහ රෝහලේ වෛද්‍යවරුන් පැවැසුවේ බවයි. වූහාන් වැසියන් බොහෝ දෙනකු එදා සමාජ මාධ්‍ය ඔස්සේ එක් වෙමින් වෛද්‍ය ලීට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න වුණා. 7 වැනිදා අලූයම 3.48 ට වෛද්‍ය ලී වෙන්ලියැං අවසන් සුසුම් හෙළුවා. රෝහල් බලධාරීන් ඒ බව නිවේදනය කළේ 7 වැනිදා උදෑසන 9 ට පමණයි. ඒ ඉහළින් ආ නියෝග මතයි.


‘වෛද්‍ය ලී වීරයෙක්. ඔහු අපට අනතුරු අඟවද්දී, බලධාරීන් ඔහු නිහඬ කළා. අවසානයේ ඔහු රෝගී වුණා. රෝගය උත්සන්න වෙද්දී, අප නිදිවරාගෙන ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. ඒත් අප දන්නෙවත් නැහැ ඔහු මිය ගිහින්. අප ඒ ගැන දන්නේ උදේ. බලධාරීන් ඔහුට නිදහසේ මැරෙන්නවත් දුන්නේ නැහැ. රූපවාහිනී සහ වෙබ් මාධ්‍යවේදීන් අවදියෙන් සිටින තෙක් ලීට මැරෙන්න දුන්නේ නැහැ. ලී මැරුණේ හැමෝම නිදා ගන්න ගියාට පස්සෙයි’ යැයි වූහාන් බලධාරීන්ට සිය අප්‍රසාදය පළ කළ කාන්තාවක් චීන මාධ්‍ය හමුවේ පවසා ඇත. වෛද්‍ය ලීගේ මරණයත් සමඟ ලක්ෂ 5 කට වැඩි චීන ජාතිකයන් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ චීන රජයට සිය දැඩි අප්‍රසාදය පළ කර තිබුණා.

චීන රජය විසින් වෛද්‍ය ලීගේ අභාවය සැලකිල්ලට ගනිමින්, ඔහුගේ පවුලට පවුම් 90,000 ක් (රුපියල් කෝටි 21 ක් පමණ) ලබා දී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියේ පළවී තියෙනවා. ‘මට මගේ පුතා දකින්න ලැබුණේ නැහැ. අවසන් මොහොතේ පුතාට සමුදෙන්න බැරිවුණා. වෛරසය නිසා මාත් සැමියාත් රෝගී වුණා. ඒත් අප දෙදෙනා සුව වුණා. පුතා වෛරසයට බිලි වුණා. එයාගේ බිරිඳ සහ නූපන් දරුවත්, පස් හැවිරිදි පුතත් අද තනිවෙලා.’ යැයි වෛද්‍ය ලීගේ මව චීන මාධ්‍ය වෙත පවසා ඇත්තේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි.


Post a Comment

0 Comments