HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 46,000ක් පැරණි කුරුල්ලකුගේ මළ සිරුරක් ආක්ටික් හිම බිමෙන් හමුවෙයි!

වයඹදිග සයිබීරියාවේ නිත්‍ය තුහින (permafrost) ප්‍රදේශයෙන් කිරිල්ලියකගේ විස්මිත මළ සිරුරක් හමු වී තිබෙනවා. එය හමු වූ මොහොතේ විශේෂඥ නිරීක්ෂකයන් මවිතයට පත් වී තියෙන්නේ ඊයේ පෙරේදා මැරුණු කිරිල්ලියකගේ මෙන් පෙනුන නිසයි. ඔවුන් රේඩියෝ කාබන් දින නිර්ණ ක්‍රමය භාවිත කොට ඒ සිරුර පරීක්ෂා කළා. ඒ කිරිල්ලිය මීට වසර 46,000කට පෙර ජීවත් වූ එකෙකු බව හෙළි වූ පසු ඒ පුදුමය තව තවත් වැඩි වුණා.

>
සයිබීරියාවේ සදා හිමෙන් වැසුණු බෙලයා ගෝරා ගම්මානය අසල ආකර උමඟක මීටර හතක් යට තිබී හමුවූ වසර 46,000ක් පැරණි කිරිල්ලිය.

පර්යේෂකයන්ගේ සොයා ගැනීමට අනුව හෙළි වුණේ, ඒ කිරිල්ලිය මීට වසර 46,000කට පෙර, එනම් අවසන් අයිස් යුගයේ මැද හරියේදී, ප්‍රචණ්ඩකාරී නොවන හදිසි මරණයකට ලක්ව ඒ මොහොතේම අයිස්වලට යට වන්නට ඇති බවයි. මේ කුරුලු විශේෂය අද වෙසෙන අං තුලිකාවාට (horned lark) සමාන උගේ ආදිමයකු විය හැකි යැයි පර්යේෂකයන් තීරණය කරලා තියෙනවා.

මේ විස්මිත කුරුලු මළ සිරුර හමුවී තියෙන්නේ වයඹදිග සයිබීරියාවේ සදා හිමෙන් වැසුණු බෙලයා ගෝරා ගම්මානය අසල ආකර උමඟක හිම බිමෙහි වැසී තිබියදීයි.

සාමාන්‍යයෙන් මේ අං තුලිකාවන් කැදලි තනන්නේ විවෘත පරිසර තුළයි. ඒ සිරුර වසර දහසක පමණ කාලයක් තිස්සේ විනාශ නොවී එදා පැවති ආකාරයට ම ඔවුන්ගේ පුදුමයට හේතු වුණා. ඔවුන් මේ කිරිල්ලියට ‘අයිස් බර්ඩ්’ කියා නම් තැබුවා. මේ තරම් පැරණි යුගයකට අයත් කුරුලු මළ සිරුරක් මේ ප්‍රදේශයෙන් හමුවූ පළමු වතාව මෙයයි.

වර්තමානයේ රුසියාවේ හා මොංගෝලියාවේ ජීවත්වන එරිමොෆිලා ඇල්පෙස්ට්‍රිස් (Eremophila alpestris) නම් සත්ව විද්‍යාත්මක නමින් හැඳින්වෙන අංතුලිකාවා

මේ විද්‍යාඥ කණ්ඩායම අයත් වූයේ ස්වීඩනයේ ස්වාභාවික ඓතිහාසික කෞතුකාගාරයට සම්බන්ධ ව්‍යාපෘතියකටයි. පාෂණධාතු විද්‍යාඥයකු වූ ලොව් ඩේලන් තමයි එහි නායකත්වය දරා ඇත්තේ. ඔවුන්ට මේ කුරුලු මළ සිරුර ලැබුණේ ඇත් දළ සොයා නිත්‍ය හිම ප්‍රදේශය පීරමින් උමං හෑරූ පිරිසකගෙන්. කුරුලු සිරුර හමු වූ විගස එය මේ පර්යේෂක කණ්ඩායමට ගෙනවුත් දීමෙන් ඔවුන් කර ඇත්තේ මහඟු ක්‍රියාවක්. මේ විස්මිත සිරුර ඔවුනට හමු වී ඇත්තේ මීටර හතක් පමණ යට හිම කුට්ටියක් අතර සිර වී තිබිය දීයි. ඒ ආකාරයට ම හිම කුට්ටිය පිටින් ම ඔවුන් ගෙනවුත් මේ පර්යේෂක කණ්ඩායමට දීලා තියෙනවා.

ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පිහිටි පොසිල ප්‍රවේණි විද්‍යායතනයෙහි මහාචාර්ය ඩේලන් හා ඔහුගේ සහායක නිකොලස් ඩසෙක්ස් ඔවුන්ගේ පර්යේෂණාගාරයෙහි දී මේ සිරුර විශ්ලේෂණයට භාජනය කළා. එහි දී තමයි මෙහි කාලවකවානුව හා කුරුලු විශේෂය හෙළිකර ගනු ලැබුවේ. දැනට ජීවත්වන එරිමොෆිලා ඇල්පෙස්ට්‍රිස් (Eremophila alpestris) නම් සත්ව විද්‍යාත්මක නමින් හැඳින්වෙන අංතුලිකාවාගේ ආදිතමයකු විය හැකි යැයි ඔවුන් විසින් නිගමනය කර තියෙනවා.

මුලදී ඔවුන්ට මේ කුරුල්ලා හඳුනා ගැනීම ගැටලුවක් වුණා. තිරාසිකයකුද තුලිකාවකුද කියා ඔවුන් දෙගිඩියාවෙන් සිටින විට, අන්තර්ජාලයෙන් ට්විටර් හරහා එක් වුණු කුරුලු විද්‍යාඥයන් ඔවුන්ට උදවු කළා ඒ කුරුල්ලා හඳුනා ගන්න. දැනට රුසියාවේ හා මොංගෝලියාවේ වෙසෙන අංතුලිකාවන්ගේ උප විශේෂ දෙකකට මේ ආදිමයා ඥාතිත්වයක් දක්වන බව හෙළි කළේ ඒ විද්‍යාඥයන් තමයි.

Post a Comment

0 Comments