කොවිඩ් 19 වෛරසයෙන් පසු ලෝකයට එල්ල විය හැකි ලොකුම මාරක අවදානම කුමක්ද?

අද ලෝකය ඉදිරියේ ඇති ලොකුම අභියෝගය ජීව විද්‍යාත්මක අවියි. එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් ගැලවීම ලේසි නැහැ. පසුගියදා චීනයෙන් මතු වූ ‘කෝවිඩ් 19’ වෛරසයත් ජීව විද්‍යාත්මක අවියක් ලෙස ලෝක ජනමාධ්‍යවල ඉන්නා ‘පුවත් මවන්නන්ගෙන්’ චෝදනා එල්ල වුණා. එවැනි අවියක් තනන්නට බටහිරෙන් හොරකම් කර ගෙන ආ එකක් කියලත් ඔවුන්ගෙන් කියැවුණා. චීන රසායනාගාරයකින් වැරදීමකින් පිටවුු එකක් ලෙසත් තවත් මාධ්‍යයකින් හැඳින්වුණා. එච්චර ඉක්මනට ඒ වගේ දෙයක් හෙළිදරවු කරන්න හැක්කේ ‘පුවත්මවන්නන්’ට විතරයි. චීනය ඒ ගැන තවමත් සොයනවා. ඒත් ඒ කිසිවක් නිශ්චිතව කිව නොහැකි වුනත් පාලනය කළ නොහැකි ජීව අවියකින් එල්ල විය හැකි අභියෝගය කෙතරම් භයංකර දැයි එයින් ඇති වූ ලෝක තත්වය දෙස බැලීමෙන් සිතා ගන්න පුළුවන්.

ලෝක යුද්ධවල දී රසායනික හෝ ජීව යුද අවි භාවිත කිරීමේ දී හමුදාවට මෙවැනි ආරක්ෂක මුහුණු පලඳින්න සිදු වෙනවා.

අද මුළු ලෝකයම ‘කොවිඩ් 19’ වෛරසය නිසා බියට පත් වෙලා! ඒ වෛරසයට ගොදුරු වූ වැඩි පිරිසක් චීනයෙන් හමුවුනත් ලොව හැම රටකින් ම පාහේ දැන් දැන් ආසාදිත යැයි සැක කරනු ලබන අය හමු වී තියෙනවා. ආරක්ෂිත පියවරක් වශයෙන් චීනයේ පමණක් නොව ඉන් බැහැර රටවල් ගණනාවක ම නගර තහනම් කලාප බවට පත් කරලා, ජනතාවගේ ගමන් බිමන් සීමා කරලා, පාසල් පමණක් නොව කර්මාන්ත ශාලා වසා දමලා, සැක කටයුතු අයකු හමු වූ විට ඒ අවට සියලු දෙනා ම නිරෝධායනය කර දවස් 14කට කොටු කරලා ආදී වශයෙන් ගන්නා පියවරවලින් සමාජයේ බොහෝ කටයුතු අඩාල වෙනවා. තවමත් මේ තත්වයේ අඩු වීමක් පේන මානයකවත් නැහැ.

සාමාන්‍ය අවියකින් පහර දුන්නාම සිදුවන්නේ අවියත්, ඉලක්කයත් යන දෙක ම විනාශ වීම විතරයි. එත් ජීව විද්‍යාත්මක අවියකින් පහර දුන්නොත්, ඒ අවිය ඇතුළු වන මිනිසාගේ හෝ සතා‍ගේ හෝ සිරුර තුළ එවැනි ‘අවි’ නිපදවමින් තවදුරටත් ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වන වේගය අනුව විනාශය අඛණ්ඩ ව සිදු කෙරෙනවා. එයින් පුද්ගලයන් පමණක් නොව සමස්ත සමාජයත්, මුළු ආර්ථිකයත්, විනාශ වෙනවා.
වසර දෙදහස් අටසීයක් තරම් පැරණි මේ අල්පෝනනත ගල් කැටයම මිසොපෙතේමියාවේ නිම්රඩ්හි පැවති දෙවැනි අෂූර්නාසිපාල් රජුගේ මාලිගයෙන් සොයා ගත්තක්. ‍මින් දැක්වෙන්නේ ඇසිරියානු සොල්දාදුවෙක් තමන් අල්ලා ගත් නගරයක ළිඳකට වස දැමීම පිණිස බාල්දියක ලනුව කපන ආකාරයයි.

ජීව විද්‍යාත්මක අවි භාවිතය පිළිබඳ ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරය තරම්ම පැරණියි. ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේ දී ඇසිරියානු සොල්දාදුවන් රයි ධාන්‍යවල ස්වාභාවිකව වැඩෙන අර්ගොට් නම් මාරක දිලීර වර්ගයක් සතුරන්ගේ ළිංවලට දැමූ බවට වාර්තා වෙනවා. ඒ බව දැක්වෙන අල්පෝන්නත කැටයමක් මිසපොටේමියාවට අයත් රජ මාලිගයකින් හමුවී තියෙනවා. හැන්නිබල් නම් කාතේජියානු හමුදා නායකයා සතුරු නැව්වලට විෂඝෝර සර්පයන් විසි කළ බව සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේදී ටාටාර් යුද සෙබළුන් මහාමාරියෙන් මියගිය සෙබළුන්ගේ සිරුරු සතුරු නගරවලට ගෙන ගොස් දැමූ බවත් ඉතිහාසයේ දැක්වෙනවා. මේ කාලය වන විට විද්‍යාඥයන් විෂ බීජ ගැනත් ඉන් රෝග ඇති වන ආකාරය ගැන දැන ගැනීමත් සමඟ ජීව විද්‍යාත්මක අවි තැනීම පිළිබඳ ලොව පුරා උනන්දුවක් ඇති වුණා.

ලෝකයේ ජීව විද්‍යාත්මක අවි අතරින් භයානක ම අවිය ලෙස සැලකෙන්නේ ඇන්ත්‍රැක්ස් රෝගය පතුරුවන බැසිලස් ඇන්ත්‍රැසිස් බැක්ටීරියාව යොදා ගෙන තැනූ අවියයි. ජාතික ආරක්ෂාවට විශාලතම තර්ජනය එල්ල කළ හැකි මෙතෙක් තනා ඇති බිහිසුණු ම අවිය ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ රෝග නිවාරණ හා පාලනය පිළිබඳ අධිකාරිය විසින් නම් කර ඇත්තේ එයයි. එසේ ම මහාමාරිය, වසූරිය, ඇන්ත්‍රැක්ස්, දිලීර, විෂ ධූලක ජීව විද්‍යාත්මක අවි තැනීම සඳහා අතීතයේදී යොදා ගෙන තියෙනවා.

ජීව විද්‍යාත්මක අවි වගේ ම, රසායනික අවිත් භයානකයි. රසායනික අවිවලින් මහා මිනිස් සංහාරයක් කළ හැකියි. රසායනික අවි තැනීමට යොදා ගන්නා බොටුලියම් වැනි හලාහල විෂ ග්‍රෑම් එකක් යොදා තනන රසායනික අවියකින් මිලියනක් ජනයා එක මොහොතකින් මරා දැමිය හැකියි.

ජීව විද්‍යාත්මක අවි නිපදවූ රටවල් ලෙස කැනඩාව, චීනය, කියුබාව, ප්‍රංශය, ජර්මනිය, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, ලිබියාව, උතුරු කොරියාව, රුසියාව, දකුණු අප්‍රිකාව, සිරියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් 16 හඳුන්වන්න පුළුවන්. ඔවුන් මේවා මිනිසාට එරෙහිව පාවිච්චි නොකළත් ඒ සම්බන්ධයෙන් ඒ සමහර රටවල පර්යේෂණාගාර තුළ රහසේ අත්හදා බැලීම් කෙරෙනවා.

පළමු වන ලෝක සංග්‍රාමයේ දී ‘මස්ටර්ඩ් ගෑස්’ යොදා තැනූ රසායනික යුද අවිය භාවිතයෙන් ඇති වූ තත්වය අවබෝධ කර ගත් අන්තර්ජාතික ප්‍රජාව 1925 දී ජිනීවා නුවර දී එක් රැස් වී ජීව විද්‍යාත්මක අවි තැනීමට එරෙහිව මුලින් ම සම්මුතියක් ඇති කර ගත්තා. ඉන්පසුව 1972 ඇති කර ගත් ජීව විද්‍යාත්මක අවි හරණය පිළිබඳ ප්‍රඥප්තිය මගින් විශාල වශයෙන් ජීව විද්‍යාත්මක අවි නිපදවීම, භාවිත කිරීම හා ගබඩා කිරීම නීති විරෝධී දෙයක් බවට පත් කෙරුණද ඒ ප්‍රඥප්තියට අත්සන් කළ රටවල් 143 අතරින් කීපයක් ම, ජීව විද්‍යාත්මක අවි භාවිත නොකරන බවට දිවුරා පොරොන්දු වුනද, ජීව විද්‍යාත්මක අවි හරණයට එකඟ වුනද, ඒවාට එරෙහි වීමේ ආරක්ෂිත උපක්‍රමයක් ලෙස අවි තැනීම හා අත්හදා බැලීම් ආදියෙහි දැනටත් යෙ‍ෙදන බැව් නොරහසක්. ඒ කටයුතු එම ප්‍රඥප්තිය මගින් තහනම් කර නැතැයි යන්න ඒ රටවල මතයයි.

වසූරිය දැනට සහමුලින් ම ලෝකයෙන් තුරන්කර තිබුනත් ඒ විෂ බීජය තවමත් ඉතා රහසිගතව ඇමෙරිකාවේ හා රුසියාවේ රසායනාගාරවල අධි ශීත තත්වයන් යටතේ දැඩි රැකවල් මධ්‍යයේ තැන්පත් කර තිබුනද එ්වා විනාශකාරී පුද්ගලයකු අතට පත් වුවහොත් ඇති වන තත්වය ඉතා භයානක විය හැකි බව ලෝක විද්‍යාඥයන් ගණනාවක් විසින් ම පෙන්වා දී තිබෙනවා. වසූරිය තුරන් වීම නිසා එහි ප්‍රතිශක්තිකරණ වැඩ සටහන සහමුලින්ම නවතා දමා ඇති මෙවන් මොහොතක විනාශකාරී ත්‍රස්තවාදියකු ව්‍යසනයක් ඇති කිරීම සඳහා ඒවා සමාජගත කළොත් ඉන් පාලනය කළ නොහැකි මාරක තත්වයක් ඇති වේවි.

වියට්නාම් හා කොරියානු යුද්ධවලදීත්, ඉරාක යුද්ධයේදීත් හමුදාවන් මෙවන් ඇඳුම්වලින් සැරසී සිටීම නිසා ඒවායේ දී තහනම් අවි යොදා ගන්නට ඇතැයි සැකයක් මතු වුණා.

2011දී රටවල් 165ක් ම එකහෙළා ම මෙම ජීව අවි භාවිතය ප්‍රතික්ෂේප කර ඇති නිසා අද ඒවා ත්‍රස්තවාදීන්ගේ අවියක් බවට පත්වී තියෙනවා. පසුගිය වසර ගණනාවක් තිස්සේ ම අප ලොවපුරා තැනින් තැන දුටුවේ එවැනි අවි භාවිතය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ලෙසින් පමණයි. ඒ නිසා එවැනි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ඇති වීම ලොව පුරා ඕනෑම රටකට, ඕනෑම වෙලාවක එල්ල විය හැකි, වැළැක්විය නොහැකි තර්ජනයක් ලෙස හඳුන්ව්න්න පුළුවන්.
ලෝකයේ පවතින සෑම දියුණු ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ම ප්‍රකාශ කර තියෙනවා, ඔවුන්ගේ රාජ්‍ය තුළ මොන ම අයුරකින්වත් මිනිසාට එරෙහිව පාවිච්චි කළ හැකි ජීව අවි තනන ව්‍යාපෘති ක්‍රියාත්මක කර නැති බව. එසේවුවත් ස්වාභාවික රෝගකාරකයන්ගෙන් හා ජීව විද්‍යාත්මක කටයුතුවලට යොදා ගත හැකි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වීම පිණිස අත්හදා බලන ව්‍යාපෘතීන් ඒ හැම රටකම ක්‍රියාත්මක වෙනවා. එය ආරක්ෂක පියවර ගැනීමක් ලෙස සැලකුවත් එවැනි තැනකට රහසිගතව ඇතුළුවන ත්‍රස්තවාදියකුට හෝ මිනිස් ජීවිත තුට්ටුවකටවත් නොසලකන නරුමයකුට හෝ අනපේක්ෂිත අවදානමකට සමාජයක් තල්ලු කරන එක කළ නොහැකි දෙයකැයි කිව නොහැකියි.

ඒ නිසා අනාගතයේ දී එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බේරිය හැකි ක්‍රමවේදයන් සකස් කිරීම ගැන හැම ශිෂ්ට සම්පන්න රටක් ම වහාම අවධානය යොමු කළ යුතු වෙනවා.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments