HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් දෙකඩ කළ මල් ගසක්!

මෙතෙක් වඳ වී ගිය ශාකයක් ලෙස සලකනු ලැබූ ශාකයක් හදිසියේ මතු වීම හේතුවෙන් මහනුවර අධිවේගී මාර්ගය දෙකඩ වී යන ලකුණු පහළ වී තියෙනවා. මේ තත්වය ඇති වි තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පරිසරවේදියකු වූ හිමේෂ් ඩිල්රුවන් ජයසිංහගේ හපන්කමක් නිසයි. මා මෙය හපන්කමක් ලෙස දකින්නේ අධිවේගී මාර්ගය තැනීමට අවසර දීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ ප්‍රදේශයේ පූර්ණ පරීක්ෂණයක් කර මේ මාර්ගය තැනීමෙන් පාරිසරික හානි කිසිවක් නැතැයි නිගමනය කර තිබූ නිසයි.

ඩිල්රුවන් වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්. ඒත් අද පරිසර විද්‍යාඥයෙක්. තරුණ සත්වවේදීන්ගේ සංගමයට බැඳී එයින් ලත් දැකීම්වලින් පසුව ඔහු තේරුම් ගත්තා ඔහුගේ ඉදිරි ගමන් මග මේ අතට යොමු කළ යුතු බව. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අස්වෙලා ඔහු පරිසරවේදියකු වීම නිසා තමයි මේ සොයා ගැනීම කළ හැකි වුණේ.

පරිසර විද්‍යඥ ඩිල්රුවන් ජයසිංහ

ඩිල්රුවන් තම සොයා ගැනීම ගැන බීබීසී සිංහල සේවයට අදහස් පළ තිබුණේ මෙයෙමයි.

‘දැනට තනා ගෙන යන මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳන් මීරිගමට යන කොටසේ දාරළුව ප්‍රදේශයේ දී තමයි, අපට මේ ශාකය මුණ ගැහුණේ. මේ ප්‍රදේශය ගැන කලින් තත්ව වාර්තාවක් කර බලා මාර්ගය තැනීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් විසින් අවසර දී තිබුණත් පසුගිය වසරෙදි ඒ පරිසර අධිකාරියම අපට පැවරීමක් කළා, යළිත් මේ ප්‍රදේශවල සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියා. ඒ අනුව කළ අධ්‍යයනයේදී තමයි අපට මේ ශාකය හමු වුණේ.’

‘මේ ගහේ කොළ දැක්කාම මට හිතුණා මේ කෲඩියා සිලනිකා ශාකය විය හැකි බව. ඒත් ඒ ‍වෙලාවෙ ගහේ මල් පිපිලා තිබුණේ නෑ. ඒ නිසා නිශ්චිතව තහවුරු කර ගන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් දැන් ඒ ගහේ මල් පිපිලා තියෙනවා. දැන් ඒ ශාකය බව පැහැදිලියි.’ ඩිල්රුවන් තවදුරටත් කියනවා.

උද්භිද විද්‍යාත්මකව කෲඩියා සිලනිකා (Crudia zeylanica) යනුවෙන් හැඳින්වෙන මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික එකක් නිසා මෙයට දේශිය නමක් තිබිය යුතුයි. එහෙත් ඒ නම කුමක්දැයි සොයා ගැනීමට පරිසරවේදීන් සමත් වී නෑ. පැරණි වාර්තාවලින් දැක්වෙන පරිදි මෙම ශාකය මුලින් හඳුනා ගෙන ඇත්තේ 1868 වසරේදියි. මෙම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල වැවෙන සපුෂ්ප ශාකයක් ලෙස එහි දක්වා තියෙනවා. ඉන්පසු මෙම ශාකය යළිත් වරක් 1911දී හමු වී තියෙනවා. කෙසේ වෙතත්, මෙම ශාකය 1998 වසරෙන් පසුව වඳ වී ගිය ශාකයක් ලෙස ‍ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් කර තිබෙනවා. 2006 දී ලෝක රතු දත්ත නාමාවලියේ මෙය වඳ වී ගිය ශාකයක් ලෙස දක්වා තියෙනවා. 2012දී ජාතික රතු දත්ත නාමාවලියේත් මෙය වඳ වී ගිය ශාකයක් ලෙස සටහන් කර තියෙනවා. මේ ජාතික රතු දත්ත නාමාවලිය සකසන්නේත්, ලෝක රතු දත්ත නාමාවලියට තොරතුරු සපයන්නේත් රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටි ජාතික ශාකාගාරයයි.

ඒ නිසා ‍මේ ශාකය පිළිබඳව නිල පර්යේෂණ සඳහා එය පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටි ජාතික ශාකාගාරය වෙත යොමු කර තියෙනවා. ඔවුන් විසින් නිල වශයෙන් මේ ශාකය කෲඩියා සිලනිකා බවට තහවුරු කළ පසු අවශ්‍ය වෙනස්කම් කර නැවත ආරම්භ කරන තෙක් දැනට අධිවේගී මාර්ගය ඉදිකිරීම නතර කරලයි තියෙන්නෙ. ඩිල්රුවන්ගේ සොයා ගත් ශාකය නිසා අධිවේගී මාර්ගය දෙකඩ වුණේ එහෙමයි.

ජාතික ශාකාගාරයේ නිල වාර්තාව ආවාට පස්සේ සමහර විට ඒ ශාකය යට කරමින් යනවා වෙනුවට ඊට ගරු කරමින්, එය සංරක්ෂණය කරමින්, අධිවේගී මාර්ගය වෙනත් පැත්තකින් මහනුවර බලා යාවි.

ශ්‍රී ලංකාවේ සමනලුන් සංරක්ෂණ සංගමයේ ආරම්භක සභාපතිවරයාද වන ඔහු ශ්‍රී ලංකාවේ සමනලුන් ගැන ඉංග්‍රීසියෙන් පොතක් Common Butterflies of Sri Lanka 2015 දී සම්පාදනය කර තියෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඩිල්රුවන් ජයසිංහ මොරටුව විශ්ව විද්‍යාලයෙන් තමයි ඉංජිනේරුවකු බවට පත් වුනේ. එත් දැන් තමයි ඩිල්රුවන් තමන්ගේ ජීවිතයේ නියම අරමුණ වටහා ගෙන තියෙන්නෙ. අනාගත පරපුර වෙනුවෙන් අද අපට බාරව ඇති ලොකුම කාර්යය එයයි. එය වටහා ගෙන පරිසරවේදියකු ලෙස ඔහු කරන මෙහෙය ශ්‍රී ලංකාවාසී අපි හැම දෙනාම අගය කළ යුතුයි.

තමන්ගේ ජීවිතයේ සැබෑ අරමුණු තේරුම් ගෙන ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කැපවුණු අය තවත් අප අතර ඉන්නවා. ඉදිරියේ දී ඒ අය ගැනත් ඔබට තොරතුරු ගෙන ඒමට අපි බලාපෙරොත්තු වෙනවා.

කෲඩියා සිලනිකා ශාකයේ පතු (විකිපීඩියා විශ්වකෝෂය) දාරළුව ප්‍රදේශයෙන් හමු වූ ශාකයේ පත්‍ර

දාරළුවේදී හමුවූ ඒ විශාල කෲඩියා සිලනිකා විශාල වෘක්ෂය.

Post a Comment

1 Comments